අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි වන්න!
2015 අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලියට සම්බන්ධ වන්න!

No to imperialist war! Join the 2015 International May Day Online Rally!

2015 අප්‍රේල් 13

ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගිතාවයේ ඓතිහාසික මැයි දිනය සැමරීම පිනිස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මැයි 03 ඉරිදා, අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලියක් පවත්වනු ඇත.

මෙම වසරේ මැයි දින සැමරුම පැවැත්වෙන්නේ දැවැන්ත අර්බුදයක කොන්දේසි හමුවේය. ලෝකයේ වැඩි කොටසක් දැනටමත් යුද්ධයේ පැටලී ඇත. කම්කරු පන්තියේ මැදිහත්වීමකින් තොර වුවහොත්, වඩ වඩාත් ප‍්‍රචන්ඩ ස්වභාවයක් ගන්නා මෙම ගැටුම්, මානව ශිෂ්ඨාචාරයේ අනාගතයම ප‍්‍රශ්නයට බඳුන් කරන, න්‍යෂ්ටික අවි බලවතුන් අතර නොවැලැක්විය හැකි ලෝක යුද්ධයක් කරා තල්ලුවනු ඇත.

නැගෙනහිර යුරෝපයේදී, 2014 පෙබරවාරියේ එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් විසින් උසිගන්වන ලද යුකේ‍්‍රනය තුල ෆැසිස්ට්වාදීන් මූලිකත්වය ගත් කුමන්ත‍්‍රනය පසුපසින්, සමස්ත කලාපයම උග‍්‍ර මිලිටරිකරනයකට යටත් කර ඇත. රුසියානු දේශසීමාවේ නේටෝ හමුදා අතිශය ප‍්‍රකෝපකාරී මිලිටරි අභ්‍යාසවල යෙදී සිටින අතර දක්ෂිනාංශික, රුසියානු විරෝධී රාජ්‍යයන් ශක්තිමත් කිරීම සඳහා ඇමරිකානු සන්නද්ධ රථ, යුද ටැංකි, ප‍්‍රහාරක හෙලිකොප්ටර් හා ගුවන් යානා යොදවා ඇත.

මැද පෙරදිග හා මධ්‍යම ආසියාව තුල ඇමරිකාව, සෑම එකක්ම ව්‍යසනයකින් කෙලවර වන එකකට පසුව තවෙකක් වශයෙන් යුද්ධ අවුලුවා තිබේ. පසුගිය වසරේදී ඔබාමා පාලනය, ඉරාකයේ හා සිරියාවේ නව යුද්ධ සඳහා මැදිහත්වූ අතර ඒ පසු පසින් දැන්, සව්දි අරාබියාවේ හා ඊජිප්තුවේ ප‍්‍රතිගාමී ආන්ඩු විසින් මෙහෙයවන යේමනයේ බෝම්බ දැමීමට පිටුබලය දෙයි.

ඒ අතර ඇමරිකාව, චීනය වැටලීම හා යටත් කිරීම ඉලක්ක කරගත් අවි ගිවිසුම් හා මිලිටරි සන්ධාන ජාලයක් ගොඩනගමින් සිය “ආසියාවට හැරීම” පුලුල් කරන අතර, යුද්ධයට සූදානම් වෙයි. අප‍්‍රිකාවේ නැගෙනහිරදී වොෂින්ටනය, සෝමාලියාවට එරෙහිව කෙන්යාවට පිටුබලය දෙන අතර බටහිරදී, චැඩ්, නයිජර්, නයිජීරියාව, කැමරොන් හා ටියුනීසියාව සම්බන්ධ කරගත් දැවැන්ත යුද අභ්‍යාස සංවිධානය කරයි.

විසිපස් වසරකට පෙර සෝවියට් සංගමය විසුරුවාහල තැන් පටන් ඇමරිකානු පාලක පන්තිය, නිමක් නැති හා වඩාත් පැතිර යන ගෝලීය ගැටුම් ඇවිලවීම සඳහා පියවර ගෙන තිබේ. සිය “ඒක ධ‍්‍රැවීය මොහොත” ප‍්‍රකාශයට පත් කරමින් ඇමරිකානු මූල්‍ය වංශාධිපතියන්, ප‍්‍රචන්ඩත්වය හා දිග් විජය තුලින්, ඇමරිකානු ධනවාදයේ දිග්ගැස්සුනු පරිහානිය නතර කර ගැනීමට උත්සාහ දරයි. ලෝක ආධිපත්‍ය කරා වන සිය කඩා පැනීම් වලට බාධාකාරී වන කිසිම සැලකිය යුතු කලාපීය තරගකරුවෙකු නොඉවසන බව, ඇමරිකාව ප‍්‍රතිපත්ති පිලිබඳ කාරනයක් බවට පත්කරගෙන සිටියි.

වසර 15ට පමන පෙර බුෂ් පාලනය, සැප්තැම්බර් 11 සිදුවීම් අල්ලා ගනිමින් ජනාධිපති බුෂ්, “21 වන සියවසේ යුද්ධයන්ගේ” පලමුවැන්න ලෙස හැඳින්වූ, ඇෆ්ගනිස්ථානයට එරෙහි ආක‍්‍රමනය මෙහෙයවීය. “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ලෝකයේ සෑම අස්සක් මුල්ලක්ම තම අවශ්‍යතාවන්ට යටත්කර ගැනීමේ ගෝලීය ව්‍යාපාරය දියත් කිරීම පිනිස යොදාගත් අවියක් පමනක් බව දැන් පැහැදිලිවී ඇත.

ලෝකය කපා වෙන්කර ගැනීමට ඇමරිකාව මුල්තැන ගනිද්දී අනෙකුත් අධිරාජ්‍යවාදී බලවත්තු, කොල්ලයේ තම තමන්ගේ පංගුව ගැන කෙල හලති.

ජර්මනියේදී පාලක පන්තිය, යලි වතාවක් යුරෝපයේ හා ඉන් ඔබ්බෙහි ප‍්‍රමුඛ බලවතා බවට පත්වීම පිනිස, 20 වන සියවසේ ලෝක යුද්ධ වලදී ඔවුන් කල අපරාධයන්ට සුදුහුනු ගෑමේ උත්සාහයක යෙදී සිටිති. ඒ ආකාරයටම ජපානය, දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව තමන් මත පනවා තිබෙන, මිලිටරි ආක‍්‍රමනිකත්වයට එරෙහි ව්‍යවස්ථාමය තහංචි වේගයෙන් ඉවත දමමින් සිටී. ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය හා යුරෝපය පුරා ආන්ඩු ද ඇතුලු සියලු අධිරාජ්‍යවාදී බලවතුන් විසින් පලමු ලෝක යුද සංවත්සරය ඉහලින් සමරන ලදී. ඒ, අනාගතයේ ජයග‍්‍රහන බලාපොරොත්තුවෙන් අතීත යුද්ධ තුල සිය මැදිහත්වීම පුනස්ථාපනය කර ගැනීමේ අවස්ථාවක් ලෙස ය.

චීනයේ මූලිකත්වයෙන් ගොඩ නගන ආසියානු යටිතල ව්‍යුහ ආයෝජන බැංකුවට සම්බන්ධ නොවන ලෙසට ඇමරිකාව කල ඉල්ලීම් කෙලින්ම ප‍්‍රතික්ෂේප කරමින්, පසුගිය මාසයේදී ප‍්‍රධාන යුරෝපීය බලවතුන් ගත් තීරනය, ඇමරිකානු අධිරාජ්‍යවාදය මුහුන දෙන අර්බුදයේ තීරනාත්මක සන්ධිස්ථානයක් සලකුනු කලේය. ජර්මානු, බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්ස හා ඉතාලි අධිරාජ්‍යවාදීහු, ස්වාධීන මාවතක් වෙනුවෙන් කුමන්ත‍්‍රනයක යෙදී සිටිති.

20 වන සියවසේ ඔවුන් අතර සිදුවූ ලෝක යුද්ධ දෙකෙහිදී, මිලියන 100ක් ජනතාවගේ ජීවිත වනසා දැමුනි. එවකදී මාක්ස්වාදීන් පෙන්වාදුන් ආකාරයට මෙම යුද්ධ පැන නැංගේ, ධනේශ්වර පද්ධතියේ අති මූලික ප‍්‍රතිවිරෝධතා තුලින්ය. එනම්, වඩ වඩාත් ඒකාග‍්‍ර වන ගෝලීය ආර්ථිකය හා යල්පැනගිය ජාතික රාජ්‍ය පද්ධතියත්, සමාජීයවූ නිෂ්පාදනය හා නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතියත් අතර ප‍්‍රතිඝතිතාව තුලිනි.

ප‍්‍රථම ලෝක සංග‍්‍රාමය ආසන්නයේ හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලේඛනය තුල, 1917 රුසියානු විප්ලවයේදී ලෙනින් හා සම නායකත්වය දැරූ ට්‍රොට්ස්කි, ලෝක ධනවාදය මානව වර්ගයා ව්‍යසනයක් කරා ඇදගෙන යන බව පැහැදිලි කලේය. “ධනවාදය බිඳවැටීමේ උග‍්‍ර වන ආතතිය යටතේ අධිරාජ්‍යවාදී ප‍්‍රතිඝතිතා, වෙන් වෙන් ගැටුම් හා ලේ වැකි දේශීය කැලඹීම්වල උච්ඡ අවස්ථාවේදී, ආවෘත අන්තරයකට මුහුන දෙන අතර.... ලෝක පරිමානයේ අග්නි ජාලාවක් තුලට නොවැලැක්විය හැකි පරිදි ඇද වැටේ. නව ලෝක යුද්ධයක් මගින් ප‍්‍රකාශයට පත් වන, සිය ආධිපත්‍යය මුහුනපා සිටින මාරාන්තික අන්තරාය ගැන, ධනේශ්වරය සත්තකින්ම දැනුවත්ය. එහෙත් යුද්ධය වැලැක්වීම සඳහා එම පන්තියට දැන් ඇත්තේ, 1914 ආසන්නයේදීටත් වඩා නොමිනිය හැකි තරම් අල්ප හැකියාවක් පමනි.”

ට්‍රොට්ස්කි මෙසේ අනතුරු ඇඟවීය. “ඊලඟ ඓතිහාසික අවධියේදී සමාජවාදී විප්ලවයක් සිදු නොවුනහොත්, සමස්ත මානව සංස්කෘතියම විනාශවී යාමේ තර්ජනයට මුහුන දෙයි.”

හැත්තෑ පස් වසරකට පසුව ලෝක ධනවාදය මුලුමනින්ම සනාථ කර ඇත්තේ මාක්ස්වාදී ව්‍යාපාරයේ විශ්ලේෂනය නිවැරදි බවයි. 2008 වසරේදී හටගත් ධනවාදී පද්ධතියේ බිඳ වැටීම, කම්කරු පන්තියට ඔවුන් එල්ල කරන රුදුරු ප‍්‍රහාරය සේම, ලෝකය තම තමන් අතර යලි බෙදාගැනීමේ අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී කඩා වැදීම්, බෙහෙවින් උත්සන්න කර ඇත. සිය පාලනය පවත්වාගැනීමට දරන උත්සාහයේදී ව්‍යාපාරික හා මූල්‍ය ප‍්‍රභූව, රට තුල අති මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පසෙකට අතුගා දැමීම සඳහා පෙර නොවූ විරූ ලෙස සෘජුවම බලය හා ප‍්‍රචන්ඩත්වය යොදාගැනීම වෙත හැරී සිටිති.

මෙම සාපරාධිත්වයට හා උමතුවට අවසන් තිත තැබිය හැකි එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය පමනි. අධිරාජ්‍යවාදය පැරදවිය හැක්කේ, රුසියාවේ ප‍්‍රතිගාමී ජාතිකවාදය හා න්‍යෂ්ටික කඩුව ලෙලවන පුටින් තන්ත‍්‍රයට හෝ චීනයේ කතිපයාධිකාරී පාලක පන්තියේ උපාමාරු දැමීම් වලින් නොව, විප්ලවවාදී දේශපාලන අරගලය තුල සංවිධානය වන මානව සමාජයේ අති මහත් බහුතරයකට පමනි.

කෙසේ වුවත්, ගෝලීය අග්නි ජාලාවක වැඩෙන අන්තරාය තිබියදී ද සැලකිය යුතු යුද විරෝධී ව්‍යාපාරයක් ඇත්තේ නැත. එහෙත් දශකයකට පමන පෙර, ඇමරිකාවේ ලක්ෂ ගනන් මිනිසුන් ද ඇතුලුව, ලෝකය පුරා මිලියන සංඛ්‍යාත ජනතාව, එලඹෙමින් තිබූ ඉරාක යුද්ධයට විරුද්ධව දැවැන්ත පෙලපාලි වලට අවතීර්න වූහ. මේ අතරතුර කාලයේ කම්කරු පන්තිය තුල කිසිදු යුද විරෝධී මනෝ භාවයක් වර්ධනය වී නැත. ඊට විපරීත ලෙස, එක්සත් ජාතීන්ට හා බලය දරන අනෙකුත් කොටස් වෙත නිරර්ථක විරෝධය දැක්වීමේ පදනම මත, 2003 පෙලපාලි සංවිධානය කල මධ්‍යම පන්තික ව්‍යාජ වාම සංවිධාන, එතැන් පටන්, අධිරාජ්‍යවාදී පර්යායට මුලුමනින්ම ඒකාග‍්‍රවී සිටිති.

ග‍්‍රීසියේ සිරිසාව රාජ්‍ය බලයේ හිනි පෙත්තට නැගීමත් සමග මෙම බලවේග, දැන් කම්කරු පන්තියට එරෙහිව කප්පාදුවේ ප‍්‍රහාර තව තවත් පුලුල් කිරීමට යොදාගන්නා එම රාජ්‍ය යාන්ත‍්‍රනයම යොදාගනිමින් සිටිති.

එහෙත් අධිරාජ්‍යවාදී යුද්ධයට තුඩු දෙන එම මූලික ප‍්‍රතිවිරෝධතාම සමාජවාදී විප්ලවය සඳහා ද වෛෂයික කොන්දේසි නිර්මානය කරයි. ජාත්‍යන්තර කම්කරු පන්තිය සියවසකට පෙරදීට වඩා අද බෙහෙවින් බලගතු යෝධ සමාජ බලවේගයකි. මෙම සමාජ බලවේගය දේශපාලන නායකත්වයක් සම්පාදනය කරමින් සංවිධානය කර, බලමුලු ගන්වා ගත යුතුය. අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය, සමාජ අසමානතාවට, මහජන විරැකියාවට, පොලිස් ප‍්‍රචන්ඩත්වයට හා ආඥාදායකත්වයට එරෙහි අරගලය සමග බද්ධ කල යුතුව ඇත.

දැන් හැරීම, ජාතික, වාර්ගික හා ප‍්‍රදේශීය බෙදීම් වලට ඔබ්බෙන්, කම්කරු පන්තියේ එකමුතුව දෙසටය. සෑම රටක් තුලම එම මූලික ප‍්‍රශ්නයම මතුවෙයි; විප්ලවවාදී, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී පදනමක කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගැන්වීමයි.

මෙම ව්‍යාපාරය මෙහෙයවීම පිනිස දේශපාලන නායකත්වයක් ගොඩනැගිය යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 2015 ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය සංවිධානය කර ඇත්තේ මේ සඳහා ය. මැයි 03දා අප සමග එක් වන්න` අධිරාජ්‍යවාදී යුද්ධයටත් ධනේශ්වර ක‍්‍රමයටත් එරෙහිව කම්කරු පන්තිය මෙහෙයවීමේ සටනට එක් වන්න`

වැඩිදුර තොරතුරු හා අන්තර්ජාල මැයි දින රැලිය සඳහා ලියාපදිංචි වීමට internationalmayday.org/si/ වෙත පිවිසෙන්න.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව

Share this article: