ශ්‍රී ලංකාවේ සසප ආරම්භක මැතිවරන රැස්වීම කොලඹ දී පවත්ව යි

Sri Lankan SEP holds inaugural election meeting in Colombo

අපගේ වාර්තාකරුවන් විසිනි, 2015 ජූලි 25

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ජූලි 17වැනිදා කොලඹ දී තම පලමු මැතිවරන රැස්වීම පැවත්වූහ. අගෝස්තු 17වැනිදා පැවත්වෙන මහ මැතිවරනය සඳහා සසප කොලඹ, යාපනය හා නුවරඑලිය යන දිස්ත්‍රික්ක තුන සඳහා අපේක්ෂකයින් 43ක් සමගින් තරඟ කර යි.

ඒ වෙනුවෙන් කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමට තරුනයන් හා ශිෂ්‍යයින් මෙන් ම රජයේ හා පුද්ගලික අංශයේ කම්කරුවන් ඇතුලු සිය දෙනෙක් පමන සහභාගී වුහ. සසප කථිකයින් ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනයේ අර්බුදය පැහදිලි කලේ ගෝලීය භූදේශපාලනික ආතතීන් හා බෙලහීන වෙමින් ඇති ලෝක ආර්ථිකය තුල එහි මූලයන් පෙන්වා දෙමිනි. කථිකයෝ සියලු ම ධනේශ්වර පක්ෂ හා ඔවුන්ගේ ව්‍යාජ වාම හෙන්චයියන්ට එරෙහි අරගලයේ දී කම්කරු පන්තිය හා පීඩිතයින් සටන් කල යුතු සමාජවාදී ක්‍රියාමාර්ගය පැහැදිලි කලෝ ය.

පානී විජේසිරිවර්ධන

සසප දේශපාලන කමිටු සාමාජික පානී විජේසිරිවර්ධන රැස්වීමේ මුලසුන ගත්තේ ය. ගැඹුරුවන භූදේශපාලනික ආතතීන් හා ගැටුම් තුලට ශ්‍රී ලංකාව ඇද ගනිමින් තිබෙන ආකාරය ඔහු පැහදිලි කලේ ය.

ජනවාරි 8වැනිදා ජනාධිපතිවරනයේ දී මෛත්‍රීපාල සිරිසේන බලයට පැමිනියේ මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමට ඇමරිකාව පිටුබලය දුන් පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක කොටසක් ලෙස බව ඔහු ප්‍රකාශ කලේ ය. බීජීනය සමග රාජපක්ෂගේ කිට්ටු බැඳීම් පිලිබඳව විරසකව සිටි ඇමරිකානු පාලනයට, එහි ආසියාවට “හැරීමේ” හා චීනයට එරෙහි යුද්ධය සූදානම් කිරීමේ කොටසක් ලෙස රාජපක්ෂ ඉවත් කිරීමට අවශ්‍ය වී යැයි ඔහු පැවසී ය.

“ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සිදුවූ වෙනස පිලිගත්තේ ‘ශ්‍රී ලංකාව නැවතත් නිවැරදි මාවතට පැමින සිටින” බව පවසමිනි. “ශ්‍රී ලංකාව සමග කිට්ටුවෙන් වැඩ කිරීමට ඇමරිකාව සූදානම්” යයි පවසමිනි. වොෂින්ටනය රුසියාවට එරෙහි ප්‍රකෝපකරන උග්‍ර කිරීම පිනිස යුක්‍රේනය යොදා ගන්නා අතර බීජීනය‍ සහ නැගෙනහිර හා දකුනු චීන මුහුදේ ඇමරිකානු ආසියා-ෆැසිෆික් සහචරයින් අතර කලාපීය මතභේද ගසාකමින් සිටී. මෙය “ලෝක යුද්ධයේ අන්තරාය තීව්‍ර කරයි” කථිකයා අනතුරු ඇඟවී ය.

විලානී පීරිස්

කොලඹ මැතිවරන දිස්ත්‍රික්කයට තරඟ වදින ලැයිස්තුවේ නායකත්වය දරන සසප දේශපාලන කමිටු සාමාජිකා විලානී පීරිස් පැහදිලි කලේ, නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම සංවිධාන ජනවාරි ජනාධිපතිවරනයේ දී ඍජුව හෝ වක්‍රව මෛත්‍රිපාල සිරිසේනට සහාය දී ඇති බව යි.

චීනයට එරෙහිව ඇමරිකාව නායකත්වය දෙන යුද ව්‍යායාමය සමග ශ්‍රී ලංකාව කිට්ටුවෙන් ඒකාබද්ධ කිරීමේ යූඑන්පී උත්සාහය කම්කරු පන්තියට බරපතල ප්‍රශ්න මතු කරන බව ඇය පැවසුවා ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අවුස්සන දෙමල විරෝධී බේදකාරී වර්ගවාදය ගැන ඇය අනතුරු ඇඟවූවා ය.

“මැතිවරනය තුල දී සියළු ම ධනේශ්වර පක්ෂ කැප වන්නේ දේශීය හා විදේශීය ආයෝජකයින් සඳහා මෙරට ලාභ ශ්‍රමය සැපයීමට යි. දුප්පත් පවුල් දහස් ගනනක් පලවා හැරිමට මග පෑදූ කොලඹ වානීජ හා සංචාරක මධ්‍යස්ථානයක් කිරීමේ රාජපක්ෂගේ සැලැස්මට යූඑන්පිය කැපවෙනවා” යයි ඇය පැවසුවා ය.

පංකජ ජයවික්‍රම

සසජාතශි විශ්වවිද්‍යාල ශාඛා නායක හා කොලඹ සසප අපේක්ෂකයෙකු ද වන පංකජ ජයවික්‍රම පෙසප යටතේ ඇති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබ) සිරිසේනගේ ආන්ඩුව සමග පෙල ගැසී ඇත්තේ කෙසේ දැ යි පැහැදිලි කලේ ය. “අවිශිබ කැඳවුම්කරු වන නජිත් ඉන්දික ‘ඔබගේ තාවකාලික ආන්ඩුව යටතේ ඇතම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන’ අයැදමින් සිරිසේනට ලිපි ලිව්වා. අවිශිබ සිරිසේනගේ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වර්නයන්ගෙන් පාට කලත් විරෝධතා දක්වමින් සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එරෙහිව එය පොලීසිය යෙද වූ අවස්ථාවේ ආන්ඩුව ශිෂ්‍යයින්ට පහර දෙනවා යැයි ද අඬාවැලපුනා.”

විජේ ඩයස්

ප්‍රධාන කතාව පවත්වමින් සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් මැතිවරනය පිලිබඳ පහත් මාධ්‍ය වාර්තාකරනය ගැන අදහස් දැක්වී ය. ජනාධිපතිවරනය ප්‍රකාශ කිරීම දක්වා සතිවල දී මාධ්‍ය සමපේක්ෂනය කලේ විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා කව්රු විය හැකි ද කියාය. ජනවාරි ඡන්දයෙන් පස්සේ ඔවුන් රොදබැඳ ගත්තේ රාජපක්ෂ පාලන කාලයේ දී රජයේ අරමුදල් කොල්ල කෑ අය අත්අඩංගුවට ගැනීම හා වඩා මෑත දී මහා මැතිවරනයේ දී රාජපක්ෂට නාම යෝජනා ලැබෙයි ද නැද්ද යන කාරනවලට යි. “සාකච්ඡාව පුරාම කම්කරුවන් හා පීඩිතයින් මුහුන දෙන හදිසි ප්‍රශ්න සම්බන්ධයෙන් කීමට දෙයක් ඔවුන්ට නැත.”

සසප මැතිවරන ව්‍යාපාරය පදනම් වන්නේ ජනාවාරි ජනාධිපතිවරනය තුල දී වර්ධනය කරන ලද දේශපාලන විශ්ලේෂනය මත යයි ඩයස් පැවසී ය.“අපගේ අරගලය අධිරාජ්‍යවාදී යුද්ධයට හා සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය යි. ජනවාරියෙන් පසු තත්වයේ එකම වෙනස යුද්ධයේ අන්තරාය හා කප්පාදු පියවර තවත් දරුනු වෙලා තිබෙන එකයි. ආසියා -ෆැසිෆික් කලාපයේ යුද ආතතීන්ගේ කලබැගෑනියෙන් ශ්‍රී ලංකාවට ගැලවීමක් නැත” යි ඔහු පැවසී ය.

ඇමරිකානු ගැති එජාප සමග ද ඒ මගින් අධිරාජ්‍යවාදී යුද තල්ලුව සමග ද පෙල ගැසී සිටින ව්‍යාජ වම්මුන්ගේ ද්‍රෝහී ක්‍රියාකලාපය ද කථිකයා පෙන්වා දුන්නේ ය. නොවැම්බර් 23වැනිදා ලක්බිම පත්‍රයේ සිය සතිපතා තීරුවේ වික්‍රමබාහූ ලියූ දේ ඩයස් උපුටා දැක්වී ය: “ (රාජපක්ෂ) ආන්ඩුවෙන් බිඳුනු කම්කරුවා ඉක්මනින් ම එජාප සමග පෙල ගැසීමට අකමැති ය. එම නිසා ආන්ඩුවෙන් පිටත වාම පක්ෂ හරහා ඔවුන්ගේ පාලම හඳා ගත හැක.”

මෛත්‍රීපාල තෝරා ගැනුනු අවස්ථාවේ දී ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙකු බවත් ඔහු විධායක ජනාධිපතික්‍රමය තුරන් කරනු ඇති බවත් ව්‍යාජ වම්මු ප්‍රකාශ කලා යයි ඩයස් පැවසී ය. “එහෙම මොකුත් වුනේ නෑ. ඒ වෙනුවට ඔවුන් දැන් සිරිසේනට බලකරන්නේ රාජපක්ෂ වැලක්වීමට ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේද යොදා ගන්නා ලෙස යි.”

දකුනු ආසියාවේ වැඩෙන යුද තර්ජනය දෙසට අවධානය යොමු කල ඩයස් මෙසේ පැවසී ය: “කලාපයේ සිය මූලෝපායික හවුල්කරුවා ලෙස ඉන්දියාව සමග කිට්ටු සම්බන්ධකම් හැඩගැස්වීමට ඇමරිකාව ආක්‍රමනකාරී ලෙස පෙරට විත් ඇත. මෙය මග පාදා ඇත්තේ දෙරට ම න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාව හා පකිස්තානය අතර ආතතීන් උත්සන්න කිරීමටයි. කලාපය තුල චීනය පිටුදැකීමේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ක්‍රියා උසිගන්වා ඇත්තේ ඇමරිකාව විසිනි. ”

“අගෝස්තු මැතිවරනයේ දී කව්රු බලයට ආවත් ජනවාරියේ දී තමන ඉදිරියට ගෙනා වැඩ සටහන වෙනස් කිරීමට ඉඩ දෙන්නේ නැතැ යි සිරිසේන කියලා තියෙනවා. මෙහි අර්ථය, අධිරාජ්‍යවාදී න්‍යායපත්‍රය සමග ඔහුගේ පෙල ගැසීම තවත් ගැඹුරුවී ඇති බවයි. රාජපක්ෂ බලයට පත්වීම වැලක්වීමට ව්‍යාජ වම්මූන් හා වෘත්තීය සමිති නිලධරය ගන්නා පියවරයන්හි ඉලක්කය වෙන්නේ, එජාප ආන්ඩුව යලි ගෙන ඒම පමනක් නොවඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ යුද සැලැස්මට ජනතාව යටත් කිරීම යි.”

ඩයස් ඔහුගේ කතාව අවසන් කලේ සසප මැතිවරන උද්ඝෝෂනයට උපකාර කිරීමට හා පක්ෂයට බැඳීමට මෙන් ම වැඩෙන අධිරාජ්‍යවාදී යුද තර්ජනයට එරෙහිව කම්කරුවන් ඒකරාශී කිරීමේ අරගලයට පෙරට එන ලෙස ප්‍රේක්ෂකයින්ට ආරාධනය කරමිනි. ඩයස් හා සසප අපේක්ෂකයින්ගේ කතාවලට ප්‍රේක්ෂකයින් උනුසුම් ව ප්‍රතිචාර දැක්වමින් රු.500,000ක පක්ෂ මැතිවරන අරමුදලට රු.13,000ක් එකතු කර දුන්නේය.

Share this article: