ශ්‍රී ලංකාවේ මහා මැතිවරනය ගැඹුරුවන දේශපාලන අස්ථාවරත්වය ඇඟවුම් කරයි

Sri Lankan general election signals deepening political instability

අපගේ වාර්තාකරුවන් විසිනි, 2015 අගෝස්තු 17

ශ්‍රී ලංකාවේ අද පැවැත්වෙන මැතිවරනයේ ප්‍රතිඵලය කුමක් වුවත් එය රටතුල දේශපාලන අර්බුදයේ නව අවධියකට දොර හරියි. භූ දේශපාලන ආතතිය හමුවේ පාලක ප්‍රභූව තුල බෙදීම් වැඩිවී ඇත. උග්‍ර නය බර හා වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් තව දුරටත් කඩා වැටීම ඇතුලු කඳු ගැසෙන ආර්ථික ගැටලු වලින් රට මිරිකී ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ මිලියන 15ක් ඡන්දදායකයින් තමන්ගේ සෘජු ඡන්දයෙන් නියෝජිතයන් 196 ක් පත් කරන අතර ජය ගන්නා පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් 29 ක් පත්වෙයි. දහනය වන සුලු දේශපාලන තත්වය පිලිබඳ ඇඟවුම් ප්‍රකට කරමින් “නීතිය හා සාමය” පවත්වා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් 75000ක් යොදවා තිබිනි.

මැතිවරනය පැවැත්වෙන්නේ නියමිත කාලයට මාස 8ක් තිබිය දී ය. නියමිත දිනට දෙවසරකට පමන කලින් ජනවාරි 8දා ජනපතිවරනය පවත්වනු ලැබූ අවස්ථාවේ දී මෙම දේශපාලන අර්බුදය මතුපිටට පුපුරා ආවේ ය. ජනාධිපතිවරනයට තරඟ කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුවෙන් ඉවත් ව ගිය මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත් කලේය.

මෙය චීනය සමග රාජපක්ෂගේ සමීප සම්බන්ධතාවලට එරෙහි වූ වොෂිංටනය විසින් මෙහෙයවන ලද තන්ත්‍ර මාරුවකි. කුමන්ත්‍රනයට ඇමරිකානු ගැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සහාය දුන්හ. නියමිත කාලයට පෙර පාර්ලිමේන්තු මැතිවරනයක් පවත්වන බවට පොරොන්දු දුන් සිරිසේන, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් සුලුතරයේ අන්තර් වාර ආන්ඩුවක් පත් කලේය.

මැතිවරනය ආසන්නයේ දී, වික්‍රමසිංහ තම පරිපාලනයේ අධිරාජ්‍ය ගැති හැඩගැසීම පිලිබඳ නැවතත් ඉඟි කලේ ය. රූපට් මර්ඩොක්ගේ හොරනෑවලින් එකක් වන “ඔස්ට්‍රේලියන්” සමග සම්මුඛ සාකච්ඡාවක දී ඔහු, අප යලි තේරී පත් වුවහොත් ශ්‍රී ලංකාව සියලුම විදේශ ආයෝජනයන්ට විවෘතව පවතිනු ඇති අතර සියලු නාවික කටයුතු සඳහා ඉංදියන් සාගරයේ නාවික ගමන් මාර්ග ආරක්ෂා කිරීමට කැපවනු ඇති බව පැවසීය.

චීනය සිය වෙලඳ කටයුතු සඳහා බෙහෙවින් ම රැඳී සිටින ඉන්දියන් සාගරය ඔස්සේ විහිදෙන, එමෙන් ම යුද තත්වයකදී අවහිරකල හැකි ගිනිකොනදිග ආසියාවේ ප්‍රධාන නාවික මාර්ග මත එක්සත් ජනපදයේ සහ එහි සහචරයින්ගේ පාලනය සහතික කිරීම ද ඇතුලු චීනයට එරෙහි ව යොමු කල වොෂිංටනයේ “හැරීම” සමග වික්‍රමසිංහගේ මෙම පොරොන්දුව එකට පෙල ගැසෙයි.

“කලාපීය අසල්වාසීන් වන ඉංදියාව හා ජපානය සේ ම හිටපු ජනාධිපති හා දැන් අගමැති ධූර අපේක්ෂක රාජපකෂගේ බීජිනය සමග සමීපව පෙල ගැසීම සැලකිල්ලට ගත් එක්සත් ජනපදය ද විසින් ඔහුගේ පනිවිඩය සාදරයෙන් පිලිගනු ඇත“ යි “ඔස්ට්‍රේලියන්” ප්‍රකාශ කලේ ය.

වැටුප් වැඩිකිරීම හා ජීවින තත්වයන් නංවාලීම ගැන පොරොන්දු කඩ කල එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව කෙරේ ජනතා අප්‍රසාදය ගසා කමින් යලි අගමැතිකම ඩැහැ ගැනීමේ කේවලයක රාජපක්ෂ යෙදී සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමික නායකයා වන්නේ සිරිසේන වුව ද මෙම සංවිධාන දෙකෙහිම පාලනය තමන් වෙත යොමුකර ගෙන සිටින රාජපක්ෂ තම හිතවතුන් පෙල ගස්වා ගනිමින් සිටී.

එක්සත් ජනතා නිදහස් සන්දානය ආසන වැඩි ගනනක් දිනා ගත්තත් රාජපක්ෂ අගමැතිකමට පත් නො කරන බව අවධාරනය කල සිරිසේන, තම තීන්දුව සිහිකැඳවන ලිපියක් රාජපක්ෂ වෙත යැවීය. පසු දින සිරිසේන ශ්‍රීලනිපයේ සහ එජනිසයේ සභාපති ලෙස තමන් සතු බලය භාවිතා කර, පිලිවෙලින් ඒවායේ ප්‍රධාන ලේකම්වරුන් වන අනුර ප්‍රිය දර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත එම තනතුරුවලින් ඉවත් කර ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය ද අහෝසි කලේ ය. ලේකම්වරු හැටියට වැඩ කිරීමෙන් ඔවුන් වලක්වන උසාවි නියෝගයක් ද සිරිසේන ලබා ගත්තේ ය.

රාජපක්ෂ වැලැක්වීමේ සිරිසේනගේ තර්ජනය ක්‍රියාවට දැමිය හැක්කේ විධායක ජනාධිපති බලය යෙදීමෙන් හා ඕනෑම විරෝධයක් මැඩලීම සඳහා ආරක්ෂක හමුදා යොදා ගැනීමෙන් පමනකි. සිරිසේන තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ කප්පිත්තෙකු ලෙස සලුපිලි පෙරවීමට දරන ලද සියලු ප්‍රයත්නයන් පුපුරුවා හරිමින් රාජපක්ෂ වැනි ම ඒකාධිපතියකු ලෙස ක්‍රියා කිරීමේ සිය සූදානම මේ මගින් පෙන්නුම් කර ඇත. ශ්‍රීලනිප හා එජනිස ලේකම්වරු ඉවත් කිරීම සිරිසේනගේ කැමැත්ත අනුව එජනිසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් පත් කිරීමේ පියවරකි යි ශ්‍රීලංකාවේ මාධ්‍ය වාර්තා කලේ ය.

රාජපක්ෂගේ පුනරාගමනය නතර කිරීමට තව දුරටත් ප්‍රයත්න දරමින් එජාපය, මැතිවරන උද්ඝොෂනයේ අවසන් සතිය තුල ප්‍රාදේශීය මාධ්‍යවල අවධානය දිනා ගත් රග්බි ක්‍රීඩකයකු වන වසීම් තාජුඩීන් තෙවසරකට පෙර වද දී මරා දැමීය යන චෝදනාවට රාජපක්ෂ පවුල පටලවා ගැනීමේ සිද්ධිය ගසා කැවේ ය.

මෙම උත්සාහයන් සැලසුම් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් යුත් යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුනෙහි (යපාසඑජාපෙ)මැතිවරන අපේක්ෂා සාක්ෂාත් කර ගැනීම සඳහා ය. එම සන්ධානය අස්ථාවර සභාගයකි. එක්සත් ජනපදය සමග පෙල ගැසුනු ව්‍යාපාර ගැති එජාපයත් සමග රටෙහි දෙමල සහ මුස්ලිම් සුලුතරයට මොනම සහායක් හෝ දීමට එරෙහි වර්ගවාදී ජාතික හෙල උරුමය ද ඊට ඇතුලත් ය.

සන්ධානයට ඇතුලත් අනෙකුත් පක්ෂ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය (ශ්‍රීලමුකො) සහ වතු කම්කරුවන් මත පදනම් වන පෙරමුනක් වන කම්කරුවන්ගේ ජාතික සංගමය, සහ කඳුරට ජනතා පෙරමුන යන කන්ඬායම් තමන් නියෝජනය කරන ධනපති කොටස් වලට වැඩි වරප්‍රසාද ඉල්ලා සිටී. මෙම පක්ෂ සියල්ල ඔවුන් සිදුකර ඇති පාවා දීම් මාලාව නිසා වතු කම්කරුවන් අතර අප්‍රසාදයට ලක්ව සිටී.

රාජපක්ෂ සහ ඔහුගේ සහචර සන්ධානය කඳු ගැසෙන සමාජ අතෘප්තිය වෙනතකට හැරවීමේ හා ගසා කෑමේ උපායක් ලෙස උග්‍ර සිංහල වර්ගවාදී උද්ඝෝෂනයක් ගෙන යයි. මහජන එක්සත් පෙරමුන (මඑපෙ) සහ ජාතික නිදහස් පෙරමුන වැනි සිංහල අන්තවාදී පක්ෂ ඔහුගේ සහකරුවන් ගොන්නට ඇතුලත් ය. “යලි හිස ඔසවමින් සිටින එල්ටීටීඊයෙන් මවුබිම රැක ගැනීම සඳහා අපට ඡන්දය දෙන්න” යි කුරුනෑගල නගරයේ පැවැත් වුනු අවසන් උද්ඝෝෂන රැලියේ දී රාජපක්ෂ ඉල්ලා සිටියේ ය.

වොෂිංටනය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් රාජපක්ෂගේ පුනරාගමන උත්සාහය පිලිබඳ පැහැදිලිවම සංවේදීය. ඊයේ ලන්ඩනයේ “ෆයිනෑන්ෂල් ටයිම්” පුවත්පත මෙසේ වාර්තා කලේ ය. චීන අයෝජන පිලිබඳ රාජපක්ෂ මහතාගේ අචල විශ්වාසයෙන් ශ්‍රී ලංකාව ඉවතට පැද්දී යන නිසා ඉංදියාව හා බටහිර යන දෙපාර්ශවයේ ම සම්බන්ධතා වර්ධනය වී ඇත”.

16 ඊයේ වොෂිංටන් පෝස්ට් පත්‍රය ඉතා පැහැදිලි ලෙස මෙසේ කියා සිටියේ ය.“සඳුදා මැතිවරනයේ භූදේශපාලන ඔට්ටු තැබීම් ඉතා ඉහල ය‍. සිරිසේනට ඔහුගේ බි‍‍ඳෙනනසුලු ආන්ඩු සන්ධානය පවත්වා ගත හැකි ද වෙනස්කම ඇති කිරීමේ මාවත ඔස්සේ එය ගෙන යා හැකි ද නැතහොත් ඉන්දියානු සාගරයට “සේද මාවත” පුලුල් කිරිමේ එහි මූලෝපාය තුල සටහන් කෙරී ඇති වැදගත් පිහිටීමක් සහිත මෙම දිවයින මත නැවතත් චීනය අධිකාරය පවත්වනු ඇතිද යනාදි වශයෙන් ප්‍රශ්නය මතු කෙරී ඇත”.

වොෂිංටනය තම තන්ත්‍රමාරු ක්‍රියාදාමය තුලින් අත්පත් කර ගත් දෑ ආපසු හැරෙනු ඉවසා සිටිනු නැත. සිරිසේන සහ එජාපය රාජපක්ෂ වැලැක්වීම සඳහා ගනු ලැබූ පියවර මෙහි ප්‍රකාශනයන් ය.

ව්‍යාජ වාම නසසපය,“ෆැසිස්ට් රාජපක්ෂ” පරාජය කිරීම මූලික කටයුත්ත ය යි පවසමින් දක්ෂිනාංශික එජාපයට විවෘතව සහාය දෙමින් සිටී. එක්සත් සමාජවාදී පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන අනෙක් ව්‍යාජ වාම පක්ෂ දෙක එජාපයට එරෙහිව නාමික විවේචන ඉදිරිපත් කරන අතරවාරයේ තම මූලික ප්‍රහාරය රාජපක්ෂ වෙත යොමු කරන අතර එජාපයට වක්‍රව සහයෝගය දෙයි.. රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තිය සමිති, වෘත්තිකයෝ විද්වත් කන්ඩායම් 110ක පෙරමුන එජාප සන්ධානයේ මැතිවරන ජයග්‍රහනයට සේවය කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කලහ.

මෙම ඉහල මධ්‍යම පන්තික කොටස් ජනවාරි 8 මැතිවරන මෙහෙයුම “ෆැසිස්ට් රාජපක්ෂ තන්ත්‍රයට“ එරෙහි “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්“ ලෙස දැනටමත් නම්කර ඇති අතර එජාප සන්ධානය මැතිවරන පරාජයක් ලැබුවහොත් එක්සත් ජනපදයේ පිටුබලය සහිත වර්න විප්ලවයකට සහාය දීමට සූදානම්ව සිටිති.

දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සහ දෙමල ජාතික ජනතා පෙරමුන (ටීඑන්පීඑෆ්) වැනි සෙසු ධනේශ්වර පක්ෂ සහ අභිනවයෙන් ගොඩ නැගූ ප්‍රජාතන්ත්‍රවාදය සදහා සටන්කරුවෝ (සීඩී) උතුර සහ නැගෙනහිර සදහා තරග වදියි. ටීඑන්පීඑෆ් සහ සීඩී යන පක්ෂ දෙකම ටීඑන්ඒ යට එරෙහිව දෙමල ජනතාව තුල වර්ධනය වන අතෘප්තිය ගසා කෑමට මාවතක් සොයමින් සිටී. කෙසේ වෙතත් , යථාර්ථයේදී මේ සියලු කන්ඩායම් දෙමල ධනේශ්වරයේ අවශ්‍යතා උදෙසා බලය බෙදීමක් සදහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහාය ලබා ගැනීමට යලි පෙල ගැසෙමින් සිටිති.

කලකට පෙරම තම සමාජවාදී මවා පෑම් අත්හැර දමා සිටින ජවිපෙ ව්‍යාපාරිකයන්ගේ පක්ෂයක් වන අතර ඒකාබද්ධ අවශ්‍යතාවන් ආරක්ෂා කිරීම ගැන හා 2020 මැතිවරනයෙන් බලය ගැනීමේ සූදානම පිලිබඳ පොරොන්දු දෙමින් සිටී. කෙසේ වෙතත් ඉවත්ව යන ආන්ඩුවේ ඉහලම උපදේශක කමිටුව වන, සිරිසේනගේ විධායක කමිටුවේ 13 දෙනාගෙන් කෙනෙක් ලෙස සේවය කිරීමෙන් අනතුරුව ප්‍රධාන වශයෙන් රාජපක්ෂගේ පරාජය වෙනුවෙන් පෙනී සිටින ජවිපෙ එජාපයේ උද්ඝෝෂනය සමග පෙල ගැසී සිටී.

ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලට එරෙහිව, යුද්ධයේ සහ සමාජ ප්‍රතිවිප්ලවයේ තර්ජනයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියා මාර්ගයක් සඳහා සටන් කිරීමට පෙරට එන මෙන් කම්කරු පන්තියට හා පීඩිත ජනතාවන්ට සසප ඇරයුම් කරයි.

ලෝක ආර්ථික බිඳ වැටීම ශ්‍රී ලංකා ආර්ථිකය තුලට කා වදිමින් තිබේ. ජාත්‍යන්තරව පහත වැටෙන භාන්ඩ මිල තේ, රබර් හා පොල්වලින් ලබන අපනයන ආදායම් පහත හෙලා ඇත. එමෙන්ම යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ආර්ථික පල්වීම ද ඇඟලුම් අපනයන කෙරේ බලපායි. මේ වසරේ මුල් මාස 4 තුල එහි ප්‍රතිඵලයක් ලෙස වැඩී ඇති එක්සත් ජනපද ඩොලර් බිලියන 3.4 ක් වන විදේශ වෙලඳාමේ හිඟය ගෙවුම් ශේෂ අර්බුදයක් නිර්මානය කර තිබේ.

පසු ගිය සයමස ඇතුලත ආන්ඩුව, රාජ්‍ය බැදුම්කර, සංවර්ධන බැදුම්කර සහ ඉංදියානු රිසව් බැංකුව හරහා ලබා ගත් ඩොලර් බිලියන 3.8ක නය මඟින් තව තවත් විදේශ නය ගොඩ ගසා ගැනීමට ආන්ඩුවට බල කෙරුනි. මීට අමතරව ආන්ඩුව භාන්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් මඟින් ගිය වසරෙ රුපියල් බිලියන සිය ගනනක මුලු ගනන සමග සැසඳුකල රුපියල් ට්‍රිලියන භාගයක් පමන වන තවත් නය දේශීය වෙලඳපොලෙන් ලබා ගත්තේ ය.

ඊයේ සන්ඩේ ටයිම්ස් ආර්ථික තීරු ලියුම්කරු නිමල් සඳරත්න පාලක කවයන්හි ඇතැම් උත්සුකයන් ඇඟවුම් කරමින්, මෙසේ ලීවේ ය. “නය ආපසු ගෙවීම් සඳහාවත් ප්‍රමානවත් ආදායම් නැති, බරපතල සේ නය වී සිටින ජාතියක් ලෙස මෙම මැතිවරනය පැවැත්වෙන්නේ, සිය ප්‍රජාතන්ත්‍රවාදී අක්ත පත්‍ර වැඩි දියුනුකර ගැනීමට වලි කමින් සිටින අවස්ථාවක දී ය.

අදින් පසු පාලක පන්තියේ කුමන කන්ඩායමක් බලයට පත් වුව ද ඔවුන්, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ කප්පාදු ඉල්ලීම් ක්‍රියාවට නඟනු ඇත. එලඹෙන ආන්ඩුව කම්කරු පීඩිත ජනතාව හා තරුනයන්ගෙන් පල වන විරෝධයට එරෙහිව පොලිස් රාජ්‍ය පිලිවෙත් යොදා ගැනීමට පසුබට නොවනු ඇත.

Share this article: