ශ‍්‍රී ලංකාව: සමාජවාදී සමානතා පක්ෂයේ 2015 මහ මැතිවරන ප‍්‍රකාශනය
යුද්ධයට හා කප්පාදුවට එරෙහිවනු!
සමාජවාදී ක‍්‍රියාමාර්ගයකට හා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදිනු!

Manifesto of the Socialist Equality Party (Sri Lanka) for the 2015 general election,
Against war and austerity! Fight for a workers’ and peasants’ government and a socialist program!

සමාජවාදී සමානතා පක්ෂය, 2015 අගෝස්තු 03

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ශ‍්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), අගෝස්තු 17දා පැවැත්වෙන මහ මැතිවරන ව්‍යාපාරය තුල ගෙන යන අපගේ උද්ඝෝෂනයට සහාය දෙන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් ගම්බද පීඩිත ජනතාවගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටියි.

කොලඹ, යාපනය හා නුවර එලිය යන මැතිවරන දිස්ත‍්‍රික්ක තුන සඳහා සසප අපේක්ෂකයින් 43 දෙනෙක් ඉදිරිපත් කරයි. පක්ෂ නායකත්වයේ දිගුකාලීන සාමාජිකයන් වන, විලානි පීරිස්, පරමු තිරුඥානසම්බන්දර් හා එම්. දේවරාජා, පිලිවෙලින් එම දිස්ත‍්‍රික්ක තුනේ අපේක්ෂක කන්ඩායම් වලට නායකත්වය දෙති. අනෙක් අපේක්ෂකයෝ ද, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලයේ මූලධර්මාත්මක වාර්තාවකට හිමිකම් කියන, කම්කරුවන්, තරුනයින් හා විශ‍්‍රාමිකයෝ වෙති.

සසප මැතිවරනයට ඉදිරිපත්ව සිටින්නේ, එක්සත් ජාතික පක්ෂය (එජාප), ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප) හා එක් හෝ තවත් ආකාරයකින් එම ප‍්‍රමුඛ ධනපති පක්ෂ දෙක සමග පෙල ගැසී සිටින අනෙකුත් සියලු දේශපාලන ප‍්‍රවනතාවන්ට විරුද්ධව ය. වැඩකරන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින්නේ අපගේ පක්ෂයම පමනි.

සසප මැතිවරන ව්‍යාපාරයේ අරමුන ඡන්ද එකතුකිරීම නොවේ. යුද්ධයටත්, ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් හා ජීවන කොන්දේසි වලට එල්ල කරන ප‍්‍රහාරයන්ටත් විරුද්ධව, කම්කරුවන් හා තරුනයින් උගන්වාගෙන බලමුලු ගැන්වීම අපගේ ප‍්‍රමුඛ අරමුනයි. පක්ෂයේ ඉදිරිදර්ශනය වන්නේ, පීඩිත ජනතාව සමග සන්ධානගතව, විප්ලවවාදී අරගලයක් මගින්, ධනවාදය අහෝසි කර, ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීම සඳහා කම්කරු පන්තිය මෙහෙයවීමයි. එය දකුනු ආසියාව හා ලෝකය පුරා ගෙන යන සමාජවාදී අරගලයක කොටසකි.

බොරුවේ හා වංචාවේ මැතිවරනයක්

සමස්ත දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයම මෙම මැතිවරනය තුල යෙදී සිටින්නේ, වැඩකරන ජනතාවට එරෙහි කුමන්ත‍්‍රනයක ය. කම්කරුවන්ට සත්‍යය පවසන්නේ සසප පමනි. එනම්, 2008දී පුපුරා ගිය තැන් පටන් එක දිගට ගැඹුරු වෙමින් ඇති ගෝලීය ධනවාදයේ අර්බුදය, භූ දේශපාලනික ආතතීන් අවුලුවමින් යුද්ධය හා සෑම රටක් තුලම සමාජ ප‍්‍රතිවිප්ලවය කරා ධාවනය උත්සන්න කරමින් පවතින බවයි.

මෙම ගෝලීය වේරම්බයෙන් ශ‍්‍රී ලංකාව නිදහස් නැත. ඒ වෙනුවට, ආර්ථික-පසුබැස්මේ ජාත්‍යන්තර ප‍්‍රවනතාවන්ට, පහත වැටෙන වෙලඳභාන්ඩ මිලගනන් වලට හා මූල්‍ය අස්ථාවරත්වයට ලංකාව දැඩි ලෙස හසුව සිටී. සිය සහචරයින් සමග එක්ව එජාපය හා ශ‍්‍රීලනිපය නිර්ලජ්ජිත ලෙස කියා සිටින්නේ, බලයට පත්වුවහොත් තමන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය හා ජනතාව වෙනුවෙන් යහපත් ආර්ථික වාතාවරනයක් ඇති කරන බවයි.

ඊට සපුරා පටහැනිලෙස, ගෝලීය සංගතවල ලාභ තරකිරීම අරමුනු කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, රජයේ වියදම් තියුනු ලෙස කපා හැරීමටත්, පුද්ගලීකරනය වේගවත් කිරීමට හා ජීවන තත්වයන් නොනවත්වා පහත හෙලීමටත් කරන නිර්දේශ, ක‍්‍රියාත්මක කිරීමට, මෙම පක්ෂ කැපවී සිටිති. ග‍්‍රීක කම්කරු පන්තිය මත පටවා ඇති ව්‍යසනකාරී කප්පාදු වැඩසටහන්, මගින් අන් සෑම තැනකම කම්කරුවන් වෙත කෙරෙන අනතුරු ඇඟවීම වනාහි ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය තම ඉල්ලීම් වලට පලවන කුමන හෝ ප‍්‍රතිරෝධයක් නොඉවසන බවයි.

ජීවන තත්වයන් ගැඹුරට කපා හෙලීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස කල හැක්කක් නොවේ. කම්කරු පන්තියටත් සිය දේශපාලන විරුද්ධවාදීන්ටත් එරෙහිව නිර්දය පොලිස්-රාජ්‍ය පියවර ගැනීමේ දීර්ග වාර්තාවකට, එජාප මෙන්ම ශ‍්‍රීලනිපයත් හිමිකම් කියති. ලක්ෂ ගනනකගේ ජීවිත බිලිගත් විසිහය වසරක වර්ගවාදී යුද්ධයට, සිංහල අධිපතිවාදයේ කරවටක් ගිලී සිටින මෙම පක්ෂ දෙකම වගකිව යුතුය. ඊලඟ ආන්ඩුව හදන්නේ කවර පක්ෂ විසින් වුවත් ඔවුන්, ප‍්‍රජාතන්ත‍්‍ර හා සමාජ අයිතීන්ට එරෙහිව එක දිගට එල්ල කෙරෙන, ප‍්‍රහාරයන් කෙරෙහි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් පල වන ප‍්‍රතිරෝධය මැඬීම සඳහා එක එල්ලේ ආරක්ෂක හමුදා යොදා ගනු ඇත.

යුද්ධය කරා ධාවනය

ඉන්දියානු සාගරයේ මුහුදු මාර්ග හරහා මූලෝපායිකව පිහිටා තිබීමේ ප‍්‍රතිපලය වශයෙන් ශ‍්‍රී ලංකාව, කටුක භූ-දේශපාලන එදිරිවාදිකම්වල කේන්ද්‍රයක් බවට පත්ව ඇත. මේවා ජනවාරි ජනාධිපතිවරනය තුල මතුපිටට පැමිනියේය. කලක් තිස්සේ සූදානම් කෙරෙමින් තිබුනු තන්ත‍්‍ර මාරුවක මෙහෙයුමක් තුල වොෂින්ටනය, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සමග, මහින්ද රාජපක්ෂ පරාජය කර මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස පිහිටුවීමේ කුමන්ත‍්‍රනයක යෙදී සිටියේය.

රාජපක්ෂ කෙරෙහි වොෂින්ටනයේ විරුද්ධත්වයට හේතු වූයේ, ඔහුගේ පාලනයෙහි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රමෝපායන් හෝ බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි මිලිටරි ආක‍්‍රමනයට ඔහුගේ ආන්ඩුව වගකිවයුතු වීම නොවේ. ඊට හේතුව වූයේ වොෂින්ටනය, චීනය සමග රාජපක්ෂ ආන්ඩුව ඇතිකරගෙන තිබූ ආර්ථික හා දේශපාලන සම්බන්ධතා තදින්ම නොරිස්සීමය.

ශ‍්‍රී ලංකාවේ තන්ත‍්‍රය වෙනස් කිරීමේ මෙහෙයුම, ඔබාමා පාලනයේ “ආසියාවට හැරීමේ” කොටසක් විය. ඒ වනාහි, ආසියානු කලාපය තුල රාජ්‍යතාන්ත‍්‍රිකව බීජිනයට වලකැපීම, මිලිටරිමය වශයෙන් චීනය වටලා ඇමරිකානු ආර්ථික ආධිපත්‍යය සහතික කිරීම යන පුලුල් මූලෝපායික අරමුන යි. වොෂින්ටනය වගකීම් විරහිත ලෙස, දකුනු හා නැගෙනහිර චීන මුහුදු ප‍්‍රදේශයේ භෞමික ගැටුම් අවුලුවමින්, සමස්ත කලාපයම අනතුරකට ඇද දමා තිබේ. දෙපාර්ශවයෙන්ම සිදුවිය හැකි අතපසුවීමක් හෝ වැරදි ගනන් බැලීමක්, න්‍යෂ්ටික බලවතුන් අතර ව්‍යසනකාරී ගැටුමක් තුලට ආසියාව පමනක් නොව ලෝකයම ඇද දැමීමේ හැකියාව අන්තර්ගත කර ගනියි.

සෑම රටක්ම මේ භූ-දේශපාලන සුලිය තුලට අදගනිමින් තිබේ. ඇමරිකානු මිලිටරිය සඳහා ඕස්ටේ‍්‍රලියාව වේදිකාවක් බවට පත්කරමින් තිබෙන තතු හමුවේ, චීනය සමග ඇති තමන්ගේ නාවික ආරවුල් පිලිබඳව වඩාත් ආක‍්‍රමනික ආස්ථානයක් ගැනීම සඳහා ඇමරිකාව විසින් වියට්නාමය, පිලිපීනය හා ජපානය පොලඹවනු ලබයි.

අගමැති නරේන්ද්‍ර මෝඩි යටතේ ඉන්දියාව ඇමරිකාව සමග සිය මිලිටරි බැඳීම් ශක්තිමත් කරන අතර එම ව්‍යායාමය තුඩු දෙනු ඇත්තේ පකිස්ථානය සමග ආතතීන් උග‍්‍ර කිරීම යි. ශ‍්‍රී ලංකාව පිලිබඳව සලකන කල වොෂින්ටනයට අවශ්‍යව ඇත්තේ, මැද පෙරදිගින් හා අප‍්‍රිකාවෙන් චීනයට ආනයනය කරනු ලබන බලශක්ති හා අමුද්‍රව්‍ය සැපයුම් අඩාල කිරීම අරමුනු කර ගත් ඇමරිකානු යුද සැලසුම්වල කොටසක් ලෙස දිවයින, ඉන්දියානු සාගරයේ මූලෝපායික කඳවුරක් බවට පත්කර ගැනීමය.

යුද්ධය කරා ධාවනය වනාහි, ධනවාදයේ නොවිසඳිය හැකි පරස්පර විරෝධයන් තුලින් පැන නැගෙන්නකි. එනම්, ලෝක ආර්ථිකය හා යල් පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අතර ද සමාජීය නිෂ්පාදනය හා නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය ද අතර ප‍්‍රතිඝතිතාවයි. ගෝලීය ආර්ථික අර්බුදයට හා තම රටේම ඓතිහාසික පරිහානියට ප‍්‍රතිචාර වශයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදය, සිය ලෝක ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා වඩ වඩාත් මිලිටරි මාධ්‍යයන් වෙත වාරු වෙයි.

ජාතික එදිරිවාදිකම්වල හා මිලිටරි ගැටුම්වල මූල සාධකය වන ලාභ පද්ධතිය අහෝසි කිරීමට කම්කරු පන්තිය විප්ලවවාදී ලෙස මැදිහත් නොවුනහොත්, යුද්ධය නොවැලැක්විය හැකිය. සසප මැතිවරන ව්‍යාපාරය, තුන්වන ලෝක යුද්ධයක් තුලට ඇද වැටීම වලක්වාලමින්, කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් තුල, සියලු රටවල කම්කරුවන් එක්සත් කිරීම සඳහා ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛාවන් විසින් දියත්කර ඇති දේශපාලන අරගලයේ අභේද්‍ය කොටසකි.

කොලඹ දේශපාලන අර්බුදය

මෙම භූ දේශපාලනික ආතතීන් ශ‍්‍රී ලංකාවේ පලක පැලැන්තිය තුල ගැඹුරු බෙදීම් අවුලුවා ඇත. ජනාධිපති සිරිසේන විසින් පත් කරනු ලැබ අගමැති වික‍්‍රමසිංහ නායකත්වය දෙන, එජාප මෙහෙයවන සුලුතර ආන්ඩුව, තියුනු ලෙස වොෂින්ටනය වෙත නැඹුරුවී ඇත. මැයි මාසයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ සංචාරයෙන් සලකුනු වූයේ එයයි. ආන්ඩුව බීජිනය වෙත නැඹුරුවී වොෂින්ටනය සතුරු කරගත හොත් ඇතිවිය හැකි ආර්ථික හා රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රතිවිපාක කෙරෙහි බියට පත් පාලක පන්තියේ කොටස්, මේ මාරුවට පිටුබලය දෙති.

කෙසේ වෙතත් පසුගිය මාස හත තුල, එකකට පසුව තවෙකක් වශයෙන් මැතිවරන පොරොන්දු කඩකරද්දී හා ජීවන තත්වයන් එක දිගට පිරිහෙද්දී, සිරිසේන හා එජාප ආන්ඩුව කෙරේ මහජන විරුද්ධත්වය තියුනු ලෙස ඉහල නැග ඇත. එහි ප‍්‍රතිපල වශයෙන් රාජපක්ෂ දිරිය ලබා මැතිවරනයට ඉදිරිපත් වෙමින්, අගමැති ලෙස යලි බලයට පත්වීමේ ව්‍යායාමයක නිරතව සිටියි. චීනයේ සැලකිය යුතු ආයෝජන ව්‍යාපෘතීන්ගෙන් - සමහරක් එජාප විසින් අත්හිටුවා තිබේ - ලාභ ඉපැයූ මහ ව්‍යාපාරික කොටස්, ඔහුට සහාය දෙයි.

ශ‍්‍රීලනිපයේ පාලනය සියතට ගැනීම පිනිස රාජපක්ෂ හා සිරිසේන අතර පැනනැගී තිබෙන දේශපාලන පොරයෙන් මෙම දිගුකාලීන ධනපති පක්ෂය බෙදී ඇත. තමන් එල්ටීටීඊය පරාජය කල බවට කයිවාරු ගසමින්, දිවයිනේ ඒකීය භාවය හා ආරක්ෂාව අනතුරේ හෙලා ඇති බවට එජාපයට දොස් නගන රාජපක්ෂ කරන්නේ, දෙමල විරෝධී වර්ගවාදය ඇවිස්සීමයි. ඇමරිකාව හා එහි සහචරයින් පිලිබඳව ප‍්‍රවේසමින් විවේචනය කරන අතරම රාජපක්ෂ, චීන ව්‍යාපෘති යලි අරඹා ආර්ථිකයට පන දෙන බවටත් රැකියා හා හොඳ ජීවන තත්වයන් ඇතිකරන බවටත් පොරොන්දු දෙමින් ඡන්දදායකයින් කොටසක් පෙලගස්වා ගැනීමට උත්සාහ කරයි.

ජනවාරියේදී රාජපක්ෂ පෙරලා දැමීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක කල ඇමරිකාව, ඔහු අගමැති ලෙස යලි බලයට පත්වීම හෝ බීජිනය සමග යලි සමීප සබඳතා ගොඩනගා ගැනීම හෝ කිසිසේත්ම නොඉවසනු ඇත. බලයට පත්වීම සඳහා රාජපක්ෂ අල්ලන ඔට්ටුව අසාර්ථක කරවීම වොෂින්ටනයට චකිතයක් නොපවතිනු ඇත. ශ‍්‍රීලනිපය ජය ගත්ත ද තමන් අගමැති ලෙස රාජපක්ෂ පත් නොකරන බව සිරිසේන දැනටමත් පවසා ඇත. තනිකරම ව්‍යවස්ථා විරෝධී වන එවන් පියවරක් ගත හැක්කේ මිලිටරියේ හා රාජ්‍ය යාන්ත‍්‍රනයේ පිටුබලය ඇතිව පමනි.

රාජපක්ෂ ජය ගත්ත ද එම ප‍්‍රතිපලය හෙලා දකිමින් ඔහු ඉවත් කරන ලෙස බල කරන, වොෂින්ටනයේ හා එහි මිතුරු රටවල සහාය සහිත ප‍්‍රචන්ඩ උද්ඝෝෂනයක් සඳහා කරලිය සූදානම් කෙරෙමින් තිබේ. ඇමරිකාවේ පිටුබලය සහිත “වර්න විප්ලවයක්” සැකසෙමින් තිබේ. රාජ්‍ය නොවන සංවිධාන, ලිබරල් කන්ඩායම්, ශාස්ත‍්‍රාලිකයින් ඇතුලු ඉහල මධ්‍යම පන්තික කොටස්වල විශාල පදාසයක්, ජනවාරියේදී සිරිසේන පිටුපස පෙලගැසුනු ආකාරයට, යහ පාලනය සඳහා එජාප හා එහි ඊනියා එක්සත් ජාතික පෙරමුන පිටුපස පෙලගැසෙමින් තිබේ.

සසප ඇමරිකාවේ හා කොලඹ එහි දේශපාලන සහචරයින්ගේ කුමන්ත‍්‍රන වලට එරෙහිවන අතරම, දස දහස් ගනනක් සිවිල් වැසියන්ගේ ජීවිත බිලිගත් මිලිටරියේ යුද අපරාධ සඳහා ද ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට ප‍්‍රතිරෝධය දැක්වූ කම්කරුවන් හා සිසුන් මැඩීමට ආරක්ෂක හමුදා යොදාගැනීම ද ඇතුලු, අමු අමුවේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනය කිරීම් වලට ද වගකිව යුතු රාජපක්ෂට, කිසිදු ආකාරයක සහයෝගයක් දෙන්නේ නැත. කම්කරු පන්තියට සිය සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ, සමාජවාදී හා ජාත්‍යන්තර ක‍්‍රියාමාර්ගයක් සඳහා වන අරගලය තුල, පාලක පන්තියේ සියලු කොටස් වලින් ස්වාධීනව බලමුලුගැන්වී ගැනීමෙන් පමනක් බව සසප අවධාරනය කරයි.

ව්‍යාජ වාම සංවිධාන

රාජපක්ෂ ආන්ඩුව “ෆැසිස්ට් ආඥාදායකත්වයක්” ලෙස හෙලා දකිමින් ජනවාරියේ “ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය” සඳහා හුරේ දමන්නන් ලෙස ක‍්‍රියා කල නව සමසමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප), පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යන ව්‍යාජ වාම සංවිධාන, අතිශයින්ම දුෂ්ඨ ක‍්‍රියාකලාපය ඉටු කලේය. කෙලින්ම හෝ වක‍්‍ර ආකාරයට ඔවුන් සියල්ලෝම එජාපයේ වත්මන් මැතිවරන ව්‍යාපාරයට සහාය දෙති.

ව්‍යාජ වම්මු කොලඹ දේශපාලන සංස්ථාපිතයට ඒකාග‍්‍ර වීම කැටිකොට දක්වා ඇත්තේ, ජාතික විධායක සභාව නම් ආන්ඩුවේ ඉහලම උපදේශක මන්ඩලයට නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න පත් කිරීම මගිනි. එහිදී ඔහු නිර්ලජ්ජිත ලෙස එහි ප‍්‍රධාන ප‍්‍රචාරකයා ලෙස වැඩ කලේය. සිරිසේන හා වික‍්‍රමසිංහ වැනි කම්කරු පන්ති විරෝධීන්ට ප‍්‍රගතිශීලී පාට තැවරීමට උත්සාහ කරමින්, ජනවාරි “ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය” වෙනුවෙන් කරන ඔහුගේ හඬතැලීම්, රාජපක්ෂට එරෙහි වර්න විප්ලවය සඳහා පසුබිම සකසයි.

නසසප, එසප හා පෙසප විසින් ග‍්‍රීසියේ සිරිසා ආන්ඩුව ශ‍්‍රී ලංකාව සඳහා මොඩලයක් ලෙස දැක්වීම, කම්කරුවන්ට හා තරුනයින්ට කෙරෙන අනතුරු ඇඟවීමකි. යන්තම් මාස කිහිපයක් ගතවෙද්දී සිරිසාව, සිය කප්පාදු විරෝධී පොරොන්දු මුලුමනින්ම අතහැර දමමින් ද ජූලි 05දා ග‍්‍රීක ජනතාව කප්පාදු ගැන “එපා” යයි දුන් ඉමහත් බහුතර ඡන්දය නොසලකා හරිමින් ද යුරෝපීය සංගමයේ රුදුරු කප්පාදු නිර්දේශ ක‍්‍රියාත්මක කරයි. එජාපයට සහය දීම මගින් ශ‍්‍රී ලංකාවේ ව්‍යාජ වම්මු, වැඩකරන ජනතාව පාවාදීමේ තමන්ගේම වැඩ සූදානම් කරති.

සිංහල වර්ගවාදයේ කරවටක් ගිලී සිටින හා කම්කරු පන්තියට එරෙහිව අපරාධ සිදුකර ඇති එජාපය, ශ‍්‍රී ලංකා ධනේශ්වරයේ පැරනිතම පක්ෂයයි. දිවයින පුරා දෙමල විරෝධී ප‍්‍රචන්ඩ ක‍්‍රියා අවුලුවමින්, සිය ගනනක් මිනිසුන් මරා දමා, 1983දී දියත් කල සිවිල් යුද්ධයට එම පක්ෂය වගකිව යුතුය. 1980 ගනන් අග එජාප ආන්ඩුව, එහි අනියම් සහචරයෙක්ව සිටි සිංහල වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුනට එරෙහිව මිලිටරිය සංවිධානය කල මිනීමරු කල්ලි මුදාහරිමින්, ගනන් බලා ඇති පරිදි ගම්බද සිංහල තරුනයින් 60,000ක් ඝාතනය කලේය. ජනවාරියේ පටන් එය වැඩ වර්ජිත සෞඛ්‍ය සේවකයින්ට හා විරෝධතාවේ යෙදුනු සිසුන්ට එරෙහිව ආරක්ෂක හමුදාව යොදවා තිබේ. එසේම එය වතු කම්කරුවන් දඩයම් කිරීමට ද සහාය දුන්නේය.

කැස්ත්‍රෝවාදී ගරිල්ලාවාදයේ පදනම මත පිහිටුවන ලද ජවිපෙ, බොහෝ කලකට පෙරම සිය ආයුධ පාර්ලිමේන්තු ආසන වෙනුවට හුවමාරු කරමින් කොලඹ තන්ත‍්‍රයට මුලුමනින්ම ඒකාග‍්‍රවී ඇත. 2005 රාජපක්ෂගේ ජයග‍්‍රහනය වෙනුවෙන් කටයුතු කල එම පක්ෂය දැන්, එජාපය සමග පෙල ගැසෙමින් සිටියි. ජනවාරියේ සිරිසේනගේ ජයග‍්‍රහනයට සහාය දුන් ජවිපෙ, ජාතික විධායක සභාව තුල ද කටයුතු කලේය. තමන්ගේම අපෙක්ෂකයින් ඉදිරිපත් කරන මේ මැතිවරනයේදී ජවිපෙ නායකයෝ, එජාපය පිලිබඳව බොහෝ කොටම අවිවේචනාත්මකව සිටින අතර සිය ප‍්‍රචාරක කටයුතු ශ‍්‍රීලනිපයට විරුද්ධව යොමුකරති.

ආර්ථික හා සමාජ අර්බුදය ගැඹුරු වීම

ඊලඟ ආන්ඩුවේ දේශපාලනික හැඩ රුව කවරක් වුව ද එය උත්සාහ දරනු ඇත්තේ, ගැඹුරුවන ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීමට බවට සසප අනතුරු අඟවයි.

සාපේක්ෂ වශයෙන් ඉහල අගයක් පෙන්වන ආර්ථික වර්ධනය පිලිබඳ නිල සංඛ්‍යා වැරදි චිත‍්‍රයක් සම්පාදනය කරයි. ආර්ථිකය පුම්බා ඇත්තේ, මහා මාර්ග, උස් ගොඩනැගිලි හා හෝටල් මෙන්ම දේපොල හා කොටස් වෙලඳපොලේ පරපුටු දේපොල සමපේක්ෂනය මගින්ය. මේ සියල්ල අනිවාර්යයෙන්ම කඩා වැටෙනු ඇත. තේ හා ඇඟලුම් අපනයන පහත වැටෙද්දී ගෙවුම්ශේෂ අර්බුදයක් ලඹදෙමින් තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අලුතෙන් ඩොලර් බිලියන 4ක නයක් ලබා දීම ප‍්‍රතික්ෂේප කර, තව තවත් වියදම් කප්පාදු කරන ලෙස අන කිරීමෙන් පසුව ආන්ඩුවට බල කෙරී ඇත්තේ, ඉහල නගින විදේශ නය තවත් උග‍්‍ර අතට පත් කරමින් වියදම් අධික නය ගැනීම් කරා යොමු වීමටයි. මැයි මාසයේදී මුදල් ඇමති කියා සිටියේ, නය ආපසු ගෙවීමේ පිරිවැය “අතිශයින්ම ඉහල” මට්ටමක පවතින බවත්, එය ආන්ඩුවේ වාර්ෂික ආදායමෙන් සියයට 95.4ක් ගිල දමන බවත්ය. එම මාසයේම හිටපු ජානාධිපති කුමාරතුංඟ, ආන්ඩුව රජයේ සේවකයින්ට පඩි ගොවාගත නොහැකි තරම් බංකොලොත් කමට පත්ව තිබෙන බවට අනතුරු ඇඟවූවාය.

මැතිවරන ව්‍යාපාරය තුල ශ‍්‍රීලනිප හා එජාප යන දෙපාර්ශවයම, තමන්ගේ පාලනයක් යටතේ ඉහල ආර්ථික වර්ධනයක් අත් කර ගනු ඇති බවට කයිවාරු ගසති. යථාර්තය නම් දෙපක්ෂයම, වැඩකරන ජනතාවගේ වියදමෙන් අතලොස්සක් ධනවතුන්ගේ ලාභ තර කරන, ජාමූඅ ආර්ථික ප‍්‍රතිව්‍යුහකරන න්‍යායපත‍්‍රය ක‍්‍රියාවට නැඟීම සඳහා කැපවී සිටින බවයි.

නිල වාර්තාවන්ට අනුව නම් දුප්පත්කම ජනගහනයෙන් සියයට 6.7 දක්වා පහත හෙලා ඇත. එහෙත් දරිද්‍රතා මට්ටම සාගත තත්වයේ දිනකට ඩොලර් 1 සිට 2 දක්වා වැඩිකලහොත්, දුගී භාවය සියයට 23ක් වනු ඇත. රටේ ශ‍්‍රම බලකායෙන් අඩක්ම යෙදී සිටින්නේ අඩු වැටුප් ලබන තාවකාලික හා අනියම් රැකියාවලය. ඔවුන්ගේ වැටුප, තියුනු ලෙස ඉහල යන ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ මිල ගනන් වලට අලගු තියන්නටවත් මඳිය. ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පරියේෂකයින් මෑතකදී ප‍්‍රසිද්ධ කල තොරතුරු වලට අනුව, ජනගහනයෙන් හතරෙන් එකක්ම මන්දපෝෂනයෙන් පෙලෙති.

කුඩා වරප‍්‍රසාදිත ස්ථරයක් සුඛෝපභෝගී නිවාසවල ජීවත් වෙමින්, නවීන පන්නයේ වාහන හිමිකරගෙන සිටින අතර දුගී පවුලක් මාසයක් පන ගැටගහගන්නා මුදලක් එක වේලකට වියදම් කිරීමට තරම් නිර්ලෝභී වෙති. වඩාත් මෑත සංඛ්‍යාවලට අනුව, කුටුම්භයන්ගෙන් පොහොසත්ම සියයට 20 රටේ වාර්ෂික ආදායමෙන් සියයට 53.5ක පංගුවක් හිමිකර ගන්නා අතර දුප්පත්ම සියයට 20ට ලැබෙන්නේ සියයට 4.4ක් පමනි.

ශ‍්‍රී ලංකාවේ මැතිවරනයෙන් ක්ෂනික ඉක්බිත්තෙහි සූදානම් කෙරෙනු ඇත්තේ කුමක් ද යන්න අතිශය කැපී පෙනෙන අයුරින් පෙන්නුම් කලේ ග‍්‍රීසිය තුලය. එහිදී යුරෝපීය හා ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය අනකරනු ලබුවේ, මහජන සෞඛ්‍යය, අධ්‍යාපනය, විශ‍්‍රාම සහන, රැකියා හා ශුභසාධන වියදම් වැනි අත්‍යවශ්‍ය සේවා මුලුමනින්ම බිඳ විසුරුවන ලෙසය. ශ‍්‍රී ලංකාව තුල බලයට පත්වන ඊලඟ ආන්ඩුව, රටේ සිවිල් යුද්ධය පැවති අවධියේ ගොඩනගන ලද පොලිස්-රාජ්‍ය යාන්ත‍්‍රනය වැඩකරන ජනතාවට එරෙහිව යෙදවීමට නොපැකිලෙනු ඇත. වැටුප් වැඩිවීමක් ඉල්ලා උද්ඝෝෂනය කල, ඩීසයිඩ් හා ඉන්ජෙස්ටි‍්‍ර තේ වතුවල කම්කරුවන් දඩයම් කිරීම, සෑම තැනකම කම්කරුවන්ට කෙරෙන අනතුරු ඇඟවීමකි.

කම්කරු පන්තිය සඳහා විප්ලවවාදී සමාජවාදී ක‍්‍රියාමාර්ගයක්

එජාප මෙන්ම ශ‍්‍රීලනිප ධනපති පක්ෂවල සියලු කොටස් වලින් ද ඔවුන්ගේ සියලු සහචරයින්ගෙන් ද හෙංචයියන්ගෙන් ද ව්‍යාජ වාම ක්ෂමාලාපකයින්ගෙන් ද සිය දේශපාලන ස්වාධීනත්වය අත්කර නොගෙන කම්කරු පන්තියට, තම ප‍්‍රජාතන්ත‍්‍රීය හා සමාජ අයිතීන් ආරක්ෂාකරගත නොහැකි බව සසප අවධාරනය කරයි. බලය සඳහා අරගලයේදී පීඩිත ජනතාවන්ට නායකත්වය සැපයීම ද සමාජවාදී ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැගීම පිනිස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ගොඩනැගීම ද කල හැක්කේ, කම්කරුවන්ගේ එක්සත් ව්‍යාපාරයකට පමනක්මය.

සසප කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ, එජාපයේ, ශ‍්‍රීලිනිපයේ, ජවිපෙ හා ඔවුන්ගේ සහචරයින්ගේ සිංහල වර්ගවාදය ද දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) වැනි විවිධ දෙමල ධනපති පක්ෂවල දෙමල බෙදුම්වාදය ද යන ජාතිකවාදයේ හා වර්ගවාදයේ සියලු රූපාකාරයන් ප‍්‍රතික්ෂේප කරන ලෙසය. එජාපය හා ශ‍්‍රීලනිපය වසර 26ක මිනීමරු සිවිල් යුද්ධය වෙනුවෙන් වගකිව යුතු වනවාක් මෙන්ම එල්ටීටීඊයේ වර්ගවාදී දේශපාලනය ද දෙමල ජනතාවට ව්‍යසනකාරී පරාජයක් බව සනාථ කර ඇත.

එල්ටීටීඊය නියෝජනය කලේ දෙමල කම්කරුවන් හා ජීඩිත ජනතාව නොව, දූෂිත දෙමල ප‍්‍රභූ පැලැන්තියයි. 2009 වසරේදී ශ‍්‍රී ලංකා මිලිටරිය ප‍්‍රහාර උත්සන්න කල විට එල්ටීටීඊය, තමන්ගේම මර්දනකාරී පාලන ක‍්‍රමවේදයන් මගින් වියෝ කරන ලද දෙමල කම්කරුවන් හා ගොවීන් වෙත කිසිදු පන්ති ආයාචනයක් කිරීමට පමනක් නොව, දිවයිනේ අවශේෂ කම්කරු පන්තියට ද ඉන්දියාවේ හා ලෝක කම්කරු පන්තිය වෙත ද පුලුල් ආයාචනයක් කිරීමට අසමත් විය. ඒ වෙනුවට ඔවුන්, කොලඹ පාලනයේ සාපරාධී යුද්ධයට සහාය දුන් ඇමරිකාව, ඉන්දියාව හා යුරෝපීය සංගමය යන “ජාත්‍යන්තර ප‍්‍රජාවට” නිරර්ථක ආයාචන කිරීමට සීමාවිය. එල්ටීටීඊයේ පරාජය හුදෙක් එහි මිලිටරි නොහැකියාවේ නොව, ප‍්‍රධානකොටම එහි දේශපාලනයේ ප‍්‍රතිපලයයි.

එල්ටීටීඊයේ පාර්ලිමේන්තු කන්ඩායම ලෙස ක‍්‍රියාත්මකවූ ටීඑන්ඒ, 2009 වසරේ පටන්, දෙමල ප‍්‍රභූ කොටස් වෙනුවෙන් වරප‍්‍රසාදිත තත්වයක් සකසා ගැනීම පිනිස කොලඹ දේශපාලන සංස්ථාපිතය සමග උපාමාරු දැමීමෙහි යෙදී සිටියි. උතුරු පලාත් සභාවේ පාලනය අත්කර ගත් ඔවුහු, යාපනයේ පවත්වාගෙන යන මිලිටරි වාඩිලෑමට අනුගත වෙමින් උතුරු පලාත ආයෝජකයින් සඳහා ලාභ ශ‍්‍රම තටාකයක් බවට පත්කිරීමට උත්සාහ කරති. ඔවුන් ජනතාවගේ රැකියා, සේවා හා නිවාස ප‍්‍රශ්න විසඳීමට කිසිවක්ම කර නැත්නම් කර ඇත්තේ අල්පයකි. තමන්ගේම අපේක්ෂකයින් ඉදිරිපත්කර ඇති නමුත් මේ තත්වය තුල ටීඑන්ඒ, එජාපයට නිහඬව සහයෝගය දෙමින් වොෂින්ටනය සමග වැඩ කිරීමේ සිය අභිලාශය පැහැදිලිව පෙන්වා ඇත.

සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත එක්සත් කිරීමට සටන්වැදී ඇති පක්ෂය සසප පමනි. සසප හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) බලයට පත්වූ සෑම කොලඹ ආන්ඩුවක් විසින්ම ගෙනගිය වර්ගවාදී යුද්ධයට අඛන්ඩව විරෝධය දැක්වූ අතර දිවයිනේ උතුරෙන් හා නැගෙනහිරෙන් වහාම හා කොන්දේසි විරහිතව හමුදා ඉවත්කර ගන්නා ලෙස බල කලේය. අප පෙනී සිටින්නේ, දකුනු ආසියානු හා ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ගොඩනගන ශ‍්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ඉදිරිදර්ශනය වෙනුවෙනි.

සසප පදනම් වන්නේ, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය මතය. ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් හා යහපත් ජීවන තත්වයන් සඳහා වන වැඩකරන ජනතාවගේ කිසිදු අභිලාශයක් සාක්ෂාත් කිරීමට තරයේම අසමත්ව සිටින ශ‍්‍රී ලංකාවේ ධනේශ්වර පන්තිය, නාටකාකාර ලෙස පෙන්නුම්කර ඇත්තේ එහි නිරවද්‍ය භාවයයි. නොවිසඳී ඇති ප‍්‍රජාතන්ත‍්‍රීය කර්තව්‍යයන් සාක්ෂාත් කරනු ඇත්තේ, සමාජවාදය සඳහා ගෙන යන තම අරගලයේ කොටසක් ලෙස ගම්බද ජනතාව තමන් පිටුපස බලමුලුගන්වා ගත් කම්කරු පන්තිය විසින්, පමනි.

මෙම මැතිවරන ව්‍යාපාරය තුල සසප හා එහි සාමාජිකයෝ, පහත සඳහන් ප‍්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිති.

⋆ සියලු මර්දනකාරී අනපනත් ද ඇතුලු, රටේ පවතින ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා වර්ගවාදී ව්‍යවස්ථාව අහෝසි කල යුතු බවත්, සමස්ත ආරක්ෂක පද්ධතියම විසිරුවා හලයුතු බවත් අපි කියා සිටිමු. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පත්කරගත් ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් තුලින් නව ව්‍යවස්ථාවක් සකස් කල යුතුය.

⋆ සේවා වියුක්ත තරුනයින්ට රැකියා සම්පාදනය කිරීම පිනිස කිසිදු වැටුප් අඩුකිරීමකින් තොරව, වැඩ සතිය පැය 30 දක්වා අඩු කිරීම තුලින් රැකියා අවස්ථා පුලුල් කිරීමට අපි යෝජනා කරන්නෙමු. නිවාස, පාසැල්, රෝහල්, පිරිසිදු ජලය, විදුලිය හා පාරවල් සඳහා වන දැවෙන මහජන අවශ්‍යතා සපුරාලීමටත්, සාධාරන වැටුප් ගෙවන රැකියා නිර්මානය කිරීමටත්, දැවැන්ත මහජන වැඩසටහනක් දියත් කල යුතුය.

⋆ සමස්තයක් ලෙස කම්කරු පන්තියේ වැටුප් හා සේවා කොන්දේසි කාබාසීනියා කිරීම සඳහා යොදා ගන්නා, කොන්ත‍්‍රාත් ශ‍්‍රම ව්‍යාපෘති ක‍්‍රමය අහෝසි කල යුතුය. සෑම අයෙකුටම සාධාරන වැටුප් ගෙවන රැකියාවක් සඳහා වන අයිතිය තහවුරු කල යුතුය. යහපත් ජීවතයක් ගත කිරීමට සරිලන පරිදි වහාම වැටුප් වැඩිකල යුතු අතර එය උද්ධමනයට අනුව ගැලපිය යුතුය.

⋆ නොමිලයේ අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් ද සියල්ලන්ට ඉහල ගුනාත්මක සේවා සම්පාදනය ද පුලුල් කිරීම සඳහා රුපියල් බිලියන සිය ගනන් වියදම් කල යුතු බව සසප කියා සිටියි. දැරිය හැකි ගාස්තුවකට යටත්ව, හොඳ පහසුකම් සහිත නිවාස සම්පාදනය දැවැන්ත ලෙස පුලුල් කල යුතුය.

⋆ වාර්ගිකත්වය නොසලකා සියලු ඉඩම් අහිමි ගොවීන්ට රජයේ ඉඩම් සම්පාදනය කල යුතු බව අපි කියා සිටිමු. සියලු දුගී ගොවීන්ගේ හා ධීවරයින්ගේ නය වහාම අහෝසි කල යුතු අතර පහසු කොන්දේසි යටතේ නය, තක්ෂනික උපදෙස් හා අනෙකුත් ආධාර සැපයිය යුතුය. යහපත් ජීවිතයක් ගතකිරීමට සරිලන ආදායමක් ලැබෙන පරිදි, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා සහතික මිලක් ඇතිකල යුතුය.

⋆ ඉහත පිලිවෙත් සමග නොපෑහෙන, දැවැන්ත සමාගම් හා බැංකුවල ආර්ථික අධිකාරය බිඳ දැමීම පිනිස ඒවා ජනසතු කර, වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයකට යටත් කල යුතුය. විදේශ නය කටුගා දැමිය යුතුය. සුපිරි ධනවතුන් සුලු කොටසකගේ ලාභය සඳහා නොව අතිමහත් බහුතරයකගේ අවශ්‍යතා සැපිරෙන පරිදි සමස්ත සමාජයම, සමාජවාදී පිලිවෙත් ඔස්සේ ඉහල සිට පහලට ප‍්‍රතිසංවිධානය කල යුතුය.

අප කම්කරුවන්ගෙන්, ගම්බද පීඩිත ජනතාවගෙන්, තරුනයින්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, පක්ෂයේ දේශපාලන උද්ඝෝෂනයට සහාය දෙන ලෙසයි. එහි උද්ඝෝෂන කන්ඩායම් වලට සම්බන්ධ වෙමින්, රැස්වීම් වලට සහභාගී වෙමින් අපගේ මැතිවරන අරමුදලට ද ආධාර කරන්න. කොලඹ, යාපනය හා නුවර එලිය දිස්ත‍්‍රික්කයන්හිදී සසපට ඡන්දය දෙන්න. සියල්ලටත් වඩා, පක්ෂයේ දේශපාලන ඉදිරිදර්ශනය හා ක‍්‍රියාමාර්ගය ප‍්‍රවේශමෙන් අධ්‍යයනය කරමින්, සසප කම්කරු පන්තියේ විප්ලවවාදී මහජන පක්ෂය ලෙස ගොඩනැගීම සඳහා එක්වන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

Share this article: