ග්‍රීසියේ කප්පාදු සැලසුමට ජර්මානු පාර්ලිමේන්තුවේ විශාල බහුතරයකගේ අනුමැතිය පලවේ

German parliament votes by a large majority for Greek austerity plan

පීටර් ෂ්වාස් විසිනි, 2015 අගෝස්තු 20

බලාපොරොත්තු වූ පරිදිම ජර්මානු පාර්ලිමේන්තුව ග්‍රීසිය සඳහා නව කප්පාදු වැඩපිලිවෙලක් විශාල බහුතරයකින් සම්මත කර ඇත. එහිදී පක්ෂව 454ක් ද විපක්ෂව 113ක් ද ඡන්දය දී ඇති අතර 18ක් ඡන්දය දීමෙන් වැලකී ඇත.

විපක්ෂව ලැබුන ඡන්ද අඩකටත් වඩා ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙනි. ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගම්-ක්‍රිස්තියානි සමාජ සංගම් (සීඩීයූ-සීඑස්යූ) පාර්ලිමේන්තු කන්ඩායමේ සාමාජිකයින් 63ක් චිපක්ෂව ඡන්දය දුන් අතර තිදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ. මෙය මීට මසකට පෙරාතුව ජර්මානු පාර්ලිමේන්තුව ග්‍රීසිය සමඟ නව ගිවිසුම් ඇරඹීමට ඡන්දය දෙන විට චාන්සලර්වරියට සහය දැක්වීම ප්‍රතික්ෂේප කල සීඩීයූ-සීඑස්යූ සාමාජිකයින් ගනන මඳ වශයෙන් ඉහල යාමකි. එම අවස්ථාවේ 60ක් විපක්ෂව ඡන්දය දුන් අතර 5ක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ. ඊට අමතරව සීඩීයූ-සීඑස්යූ සභිකයින් 4ක් ඡන්දය දීමෙන් වැලුකුනු අතර මෙවර එය 17කි.

ජර්මානු සභාග ආන්ඩුවේ ප්‍රමුඛ පක්ෂයෙහි විරුද්ධවාදීන් සංඛ්‍යාව ඉහල ගොස් තිබියදී වුව ද පාර්ලිමේන්තුවේ විශේෂ සැසිය මසකට පෙර පැවතියාට වඩා සන්සුන්ව පැවතුනි. අවසන් වතාවෙහි සැසිය ආතති සහගත හා කලබලකාරී වුවද දැන් සම්ප්‍රධායික හා ඇල් මැරුනු තත්වයක පවතී. මුදල් ඇමති වුල්ෆ්ගැන්ග් ශෝබෙල් සහ අදාල පාර්ලිමේන්තු කන්ඩායම් නායකයන් හැරුනු කොට විවාදයට සහභාගී වුනේ පසුපෙල මන්ත්‍රීන් පමනි.

පසුගිය සැසිය අතරතුර ශෝබෙල්, ග්‍රීසිය යුරෝ කලාපයෙන් ඉවත් කිරීමට තමන් පක්ෂ බව සැකයකින් තොරව පෙන්නුම් කලේය. මෙවර නව කප්පාදු පියවරයන්ට සහ නය ගිවිසුම් වලට පක්ෂව ඔහු එක දිගටම පෙනී සිටියේය.

ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්රාස්ට “දැන් ඔහු පොරොන්දු වූ දෙයෙහි විරුද්ධ දෙය කිරීමට සිදුවන බව” ඔහු මහත් අභිරුචියකින් පෙන්වා දුන්නේය. ඇතන්ස් හි වෙනස ප්‍රත්‍යක්ෂ දෙයක් බව ඔහු පැවසීය. “ග්‍රීක පාර්ලිමේන්තුව දැනටමත් කප්පාදු පියවරයන් හි වැඩි පංගුවක් ක්‍රියාවට දමා ඇති තතු තුළ දැන්, මෙම අවස්ථාව ග්‍රීසිය තුළ නව ආරම්භයක් වෙනුවෙන් පාවිච්චි නොකිරීම වගකීම් විරහිත ක්‍රියාවක් විය හැකිය.”

සිරිසා ආන්ඩුවේ යටත්වීම පැහැදිලිවම මර්කල් ආන්ඩුව ශක්තිමත් කර ඇත. ජූලි ඡන්දය අරබයා ඇති වූ වැනීම වනාහි, ග්‍රීසියේ අර්බුදය මගින් ස්පාඤ්ඤයේ, ඉතාලියේ සහ ප්‍රන්සයේ කප්පාදු පියවරයන්ට එරෙහි විරෝධය දැඩි වී, ජර්මනියද ඇතුලු යුරෝපය හරහා පන්ති ආතතීන් අවුලුවනු ඇතැයි ජර්මන් ආන්ඩුවේ තැති ගැන්ම නිසා ඇතිවූවකි. මෙය ඔවුන්ගේම පක්ෂය තුල බෙදීම් ඇති කලේය.

පූර්ව කප්පාදු මොනවාදැයි සිතෙන ආකාරයේ ප්‍රහාර සිප්‍රාස් ආන්ඩුව විසින් ග්‍රීක කම්කරු පන්තියට එරෙහිව දියත් කරනු ඇතැයි දැන් බර්ලිනය බලාපොරොත්තු වන්නා සේම, යුරෝපය පුරා සිය කප්පාදු වැඩසටහන් තීව්‍ර කිරීමට ද බලාපොරොත්තු වෙයි. “දැන් ඇතන්ස් ආන්ඩුව මත බලාපොරොත්තු රැඳවීම පුදුම සහගතය. එහි නායකයා මෑතක් වනතුරුම කප්පාදු පියවර මුලුමනින්ම හෙලා දුටු නමුත් දැන් ඒවා ක්‍රියාවට දැමීම වෙත හැරිය යුතුය. ඔහු දී ඇති සහතික වලට අනුව කටයුතු කිරීමට කැපවිය යුතුයි.” කොන්සවේටිව් ෆ්‍රෑන්ෆර්ට් ඇල්ජිමින්හි එසේ අදහස් පලකෙරී තිබින.

ෆ්‍රෑන්ක්ෆර්ට් කොටස් හුවමාරුවේ හොරනෑව, සීඩීයූ-සීඑස්යූවේ විරුද්ධවාදී අදහස් වැදගැම්මකට ඇති බව නොසලකයි. “මර්කල් ඒ පිලිබඳව කලබල වන වගක් නොපෙනෙනවා මෙන්ම, එවැන්නකට හැඩ ගැසෙන්නට ඇයට බැරිකමක් ද නැත. ඉන් ඇගේ ආධිපත්‍යට සහ බර්ලිනයේ රඳාපැවැත්මට දැඩි හානි පමුනුවනු නැත.” පුවත්පත ලියා තිබුනේ එසේය. “ඔවුන්ගේම මිනිසුන්ගේ මහා කැරැල්ල හටගත්තේ නැත”

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (එස්පීඩී), හරිතයන් සහ වාම පක්ෂය, මර්කල්ගේ ආස්ථානය ශක්තිමත් කිරීමට සැලකියයුතු සහගෝගයක් දී තිබේ. එස්පීඩීයේ සහ හරිතයන්ගේ අතිමහත් බහුතරය කප්පාදුවට පක්ෂව ඡන්දය දී ඇත.

එස්පීඩී පාර්ලිමේන්තු නායක තෝමස් ඔපර්මන් ග්‍රීක රජය අන්තිමේදී “පුලුල් ප්‍රතිසංස්කරන” ක්‍රියාවට දැමීමට සුදානම් වීම ගැන ප්‍රශංසා කලේය. ඇතන්ස් වල අභිප්‍රාය ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීම බව බලයට පැමිනීමෙන් පසු පලමු වරට සිප්‍රාස්ට හැඟී ඇතැයි ඔහු පැවසීය. දැන් ග්‍රීක රජය එසේ කල යුතුයැයි පැවසූ ඔහු, එම බංකොලොත් රටට කිසිඳු නය සමාවක් ලබා දීමට දැඩි ලෙස විරුද්ධව අදහස් දැක්වීය.

හරිතයින්ගේ පාර්ලිමේන්තු නායක ඇන්ටන් හොෆ්රෙයිටර් පවා නව කප්පාදු පියවරයන්ට සහාය පල කලේය. එහෙත් යුරෝපා සංගමය (යුස) සහ මුල්‍ය සංගමය අතර එකමුතුවට පක්ෂව ප්‍රමානවත් දෘඪතර භාවයක් නොදැක්වීම ගැන චාන්සලර් ඇන්ජෙලා මර්කල්ට චෝදනා කලේය.

වාම පක්ෂයේ බහුතරයක් ග්‍රීක කප්පාදු පියවරයන්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල ද එය හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදී විපක්ෂ සම්ප්‍රධාය ආරක්ෂා කිරීමේ භූමිකාව ඉෂ්ට කිරීමක් පමනි. වාම පක්ෂ කථිකයෝ ග්‍රීක ජනතාවට එරෙහි මෘග කප්පාදු ක්‍රියාවට දමමින් සිටින සිය සහෝදර පක්ෂය වන සිරිසාව පිලිබඳ එකදු විවේචනාත්මක වදනක් හෝ නොබිනූ අතර මිලියන ගනනකගේ දුක්ඛිත හා දරිද්‍රතාව කැඳවන එම ප්‍රතිපත්තියට විරුද්ධව ප්‍රතිවිරෝධය දක්වන ලෙසට කිසිදු කැඳවීමක් කෙරෙන ඉඟියක් හෝ නොදීමට ප්‍රවේසම් වූහ.

වාම පක්ෂයේ ප්‍රථම කථිකයා වූ පාර්ලිමේන්තු කන්ඩායම් නායක ග්‍රෙගර් ගයිසි බොහෝ වෙලාවක් සැබෑ ප්‍රස්තුතය මඟ හරිමින් අදහස් දැක්වීය. අන්තිමේදී ග්‍රීසිය පිලිබඳව කථා කරන්නට ප්‍රථම තුර්කියේ සිවිල් යුද්ධය වැනි අනෙකුත් කාරනා ගැන කතා කලේය.

මෙහිදී එක් යුරෝවක් හෝ ආයෝජනයට නොයොදවා අලුතෙන් යුරෝ බිලියන 86ක් නය සඳහා ද 54ක් නය හා පොලී ගෙවීම සඳහා ද 25ක් බැංකු වලට සහාය වීම සඳහා ද යටකිරීම කෙරෙහි ඔහු සිය විවේචනය සිමා කලේය. ජර්මනියට අයවිය යුතු නය මුදල් ද මේ මගින් අවහිර වන නිසා මෙය හාස්‍යජනක බවට ගයිසි අවලාද නැගීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද බොහෝ ධනේශ්වර ආර්ථශාස්ත්‍රඥයින් ද මීට සමාන විවේචනයන් ඉදිරිපත් කර ඇත.

ජර්මන් ආන්ඩුවේ වැඩපිලිවෙල සමඟ කිසිදු මූලධර්මාත්මක විරෝධයක් වාම පක්ෂයේ කිසිඳු ඡන්දයක් මඟින් සලකුනු නොවීය. ඊට පටහැනි ලෙස එය එම වැඩ පිලිවෙල වසං කරයි. ඉහතින් සඳහන් කල ෆෑන්ක්ෆර්ටර් කතුවැකිය තුල මෙසේ ද ලියා තිබුනි. “වැදගත් යුරෝපීය ප්‍රතිපත්ති පිලිබඳ කාරනයකදී සමස්ත පාර්ලිමේන්තුව එකම ආස්ථානයක් දැරීම මවිතකරය. අවසානයේදී මතභේදය සහ විසම්මුතිය ප්‍රජාතන්ත්‍රවාදී සූපයේ ලුනු මෙනි”

මෙම සූපය තලපයක් බවට පත්ව ඇත. සිය දේශපාලන සගයා වන සිප්‍රාස්ට මෙන්ම ගයිසිට ද ධනේශ්වර ක්‍රමය සහ එහි සංස්ථාපිතයන් සුරැකීමත්, ඒවා කම්කරු පන්තියේ වැඩෙන විරෝධයෙන් බේරා ගැනීමත් හැර වෙනත් දෙයක් ඇත්තේ නැත. බදාදා රැස්වූ ජර්මානු පාර්ලිමේන්තුව සම්පුර්නයෙන්ම පාහේ පෙලගැසී ඇත්තේ, ග්‍රීක වැසියන් දශක ගනනාවක් අන්ත දරිද්‍රතාවට ඇද දමන, සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදය තුරන් කර දමා එරට වඩා බලවත් යුරෝපිය බලවතුන්ගේ රක්ෂිතයක් බවට පෙරලන කප්පාදු පැකේජයක් පිටුපසිනි.

Share this article: