අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ විරෝධතා දේශපාලනය ප්‍රතික්ෂේප කල යුත්තේ ඇයි?

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ සටහනක් , 2015 අගෝස්තු 31

සමාජවාදී සමානතා පක්ෂය (සසප), අධිරාජ්‍යවාදී යුද්ධයට සහ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින්, පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරනයේදී තරඟවැදුනි. සසප මැතිවරන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, එහි තරුන හා ශිෂ්‍ය ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විශ්ව විද්‍යාල සිසුන් අතර මැදිහත් වෙමින් තම පක්ෂයේ ඉදිරි දර්ශන සහ ක්‍රියා මාර්ගයන් පිලිබඳව සාකච්ඡා කලහ.

ලෝක ධනේශ්වර අර්බුදය, අධිරාජ්‍යවාදී යුද්ධය සහ කප්පාදු වැඩපිලිවෙලවල් පිලිබඳව කෙරුනු සාකච්ඡාවන්ට බොහෝ සිසුහු ඉතා උනන්දුවෙන් සහභාගි වූහ. සසප ඉදිරිපත් කරන විද්‍යාත්මක සමාජවාදී ඉදිරි දර්ශනයෙන් සිසුන් සන්නද්ධවීම වලකා, ඔවුන් විරෝධතා දේශපාලනය තුල සිරකොට තැබීමට කටයුතු කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබ) ප්‍රතිගාමී භූමිකාවත්, එයින් බිඳී වෙන්වීමේ අත්‍යවශ්‍යභාවයත්, සසජාතශි උද්ඝෝෂකයෝ සිසුන්ට පැහැදිලි කලහ.

ජයවර්ධනපුර සරසවිය ආශ්‍රිතව කෙරුනු එවන් සාකච්ඡාවකදී තම විරෝධතා දේශපාලනය ආරක්ෂා කිරීමට මැදිහත් වූ අවිශිබ ක්‍රියාකාරිකයින් කීප දෙනෙකු මෙසේ ප්‍රශ්න කලහ. “ඔබ පවසන්නේ සිසුන් විරෝධතාවන්හි නියැලිය නොයුතු බව ද? නැතහොත් අවිශිබ විසින් නායකත්වය දෙන විරෝධතාවන්ට සිසුන් සහභාගි නොවිය යුතු බව ද? අවිශිබ නොමැතිනම් සිසුන්ගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් විරෝධතාවන් සංවිධානය කරන්නේ කවුද? ”

අවිශිබ විරෝධතා දේශපාලනයෙන් ව්‍යකූලත්වයට පත්ව සිටින සහ අවමංගතව සිටින සිසුන් එම ව්‍යාකූලත්වයෙන් මුදා ගැනීමට සහ ඔවුන් විප්ලවවාදී ඉදිරි දර්ශනයකින් සන්නද්ධ කර ගැනීමට සසප සහ සසජාතශි ගෙනයන අරගලයේ කොටසක් ලෙස, අවිශිබයේ ඉහත ප්‍රශ්න වලට වඩාත් සංයුක්ත පිලිතුරක් සම්පාදනය කිරීම මෙම ලිපියේ අරමුනයි.

විරෝධතා දේශපාලනය

ප්‍රථම කොටම, විරෝධතා දේශපාලනය පදනම් වන්නේ, අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් කප්පාදු කිරීම වනාහි පාලක පන්තීන්ගේ “දෘෂ්ටිවාදාත්මක තෝරා ගැනීමකට” වැඩි දෙයක් නොවේය යන විඤ්ඤානවාදී සංකල්පය මතයි. මෙම දේශපාලනයේ යෙදෙන්නන් අවධාරනය කරන්නේ, මහා අවපාතයෙන් පසු ලෝක ධනවාදය මුහුන දෙන ගැඹුරුතම අර්බුදයේ කොන්දේසි යටතේ පාලක ප්‍රභූව අතට බිලියන සංඛ්‍යාත ලාභයන් අබාධිතව ගලා එනු පිනිස ගෙන ඇති පියවරයන්, එනම් දැවැන්ත අයවැය කප්පාදු, ධනවතුන්ගෙන් අය කෙරෙන බදු මුදල් කපා හැරීම් හා කම්කරුවන්ගේ ජීවන කොන්දේසි තලා දැමීම්, ධනපති ආන්ඩු වලට බලපෑම් දැමීම මගින් ආපසු හැරවිය හැකි බවයි.

ධනේශ්වර ක්‍රමයේ සාපේක්ෂ උත්පාත සමයන්හි ධනපති ආන්ඩු වලට බලපෑම් දැමීමේ විරෝධතා මගින් යම් ප්‍රතිසංස්කරන දිනාගත්බව සත්‍යයකි. ඓතිහාසිකව මෙම ජාතික ප්‍රතිසංස්කරනවාදය තොරොම්බල් කල බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය, ප්‍රන්සයේ සමාජවාදී පක්ෂය හා ලංකාවේ සම සමාජ පක්ෂය වැනි දේශපාලන පක්ෂ, ධනේශ්වර අර්බුදය වඩවඩාත් ගැඹුරු වූ පසුගිය දශක කීපය තුල තම විරෝධතා දේශපාලනය අත්හැර ධනේශ්වර කප්පාදු මුලුමනින්ම වැලැඳ ගෙන ඇත. 2008 න් ඇරඹුනු ගෝලීය ධනේශ්වර අර්බුදය හමුවේ මෙම සන්තතිය වඩාත් වේගවත් වී තිබේ.

ශුභසාධන රාජ්‍යයන් දෙසට ඇගිල්ල දිගු කොට “බලව, ධනවාදය මානුෂීය කල හැකැ” යි පාරම් බෑ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ ස්ටැලින්වාදීන් එම රාජ්‍ය පාලකයන් බවට පත්ව සමාජ සේවාවන්ගෙන් ඉතිරිව පවතින යමක් වෙතොත් එයද සමතලා කරමින් සිටී.

අවිශිබමත්, එයට නායකත්වය දෙන ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් (පෙසප) අනුයන්නේ ඓතිහාසිකව අවලංගු වී ඇති මෙම ජාතික ප්‍රතිසංස්කරනවාදී විරෝධතා දේශපාලනයයි. ඔවුන් මෙම දේශපාලනයේ යෙදී ගන්නේ, ලංකාව ද අන්තර්ගත කරගත් ලෝක ධනේශ්වර පද්ධතිය දරුනුතම අර්බුදයක ගිලී එහි බර කම්කරු පීඩිත මහජනතාවන් වෙත පටවන විවෘත වෙලදපොල ආර්ථිකයන් යටතේ වඩාත් තියුනු ලෙස පහර එල්ල කරන තතු යටතේය.

පසුගිය ශත වර්ෂයේ කම්කරු පන්තිය දිනාගත් සියලු සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආපසු උදුරා ගැනෙන සමාජ ප්‍රතිවිප්ලවීය ප්‍රහාරයක් බවට මෙම ප්‍රහාරය පත්ව ඇත. අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුලු සමාජ සුබසාධන දැවැන්ත ලෙස කප්පාදු කෙරෙන්නේ මෙම ප්‍රහාරය යටතේයි.

ග්‍රීසියේ සිරිසා ව්‍යාපාරය සහ අවිශිබ

විරෝධතා දේශපාලනයේ මෑත කාලීන ජාත්‍යන්තර මොඩලය බවට පත්ව තිබූයේ ග්‍රීසියේ සිරිසා ව්‍යාපාරයයි. විපක්ෂයේ සිටියදී නව ලිබරල් ධනවාදී ප්‍රතිපත්ති “විවේචනය” කල සිරිසාව, පැසොක් ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් ආපසු හරවන බවට දිවුරුම් දෙමින් එකක් පසුපස එකක් විරෝධතා සංවිධානය කලේය. උග්‍ර අර්බුදයක ගිලී සිටින ග්‍රීක මහජනතාවගේ විරෝධය ගසා කමින් පසුගිය ජනවාරියේදී බලයට පැමිනි සිරිසාව, සති කීපයක් යන්නට මත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ කප්පාදු පියවරයන් ග්‍රීසිය තුල ක්‍රියාත්මක කරන ගහලයා බවට පත්විය.

පෙසපයේ සහ අවිශිබයේ මොඩලය බවට පත්ව ඇත්තේ සිරිසාවයි. පෙසප, සිරිසාව හැදින්වූයේ “වෙනස්කම් සහිත වාමාංශිකයන් සමූහයකට ද්ගුකාලීන ඒකාබද්ධ අරගලයක් ලෙස, බහුවිධ සමාජ අරගල ඒකාබද්ධ කිරීමේ නිර්මානශීලී වූ භාවිතාවක් ලෙස, පැසිස්ට්වාදී ව්‍යාජ ගැලවුම්කරුවන්ට එරෙහි රැඩිකල් වාමාංශයක්” ලෙසයි.

අවිශිබ මෙම “නිර්මානශීලී භාවිතාව” අනුයමින්, කම්කරුවන් සහ අනෙකුත් ජන කොටස් නිරතුරුව පාවා දී ඇති වෘත්තීය සමිති නිලධරයන් සහ නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධාන තම වේදිකාවට ගෙන්වා ගනිමින් සිරිසා වැනි “රැඩිකල් වාමාංශයක්” ගොඩ නැංවීමට වැඩ කරමින් සිටී.

ලෝක ධනවාදයේ බිද වැටීම තුල ජාත්‍යන්තරව වර්ධනය වන විප්ලවවාදී අරගලයන් විරෝධතා දේශපාලනය තුල සිර කොට, එම අරගල මැඩලා ධනේශ්වර පන්ති පාලනය ආරක්ෂා කරදීම සිරිසා වර්ගයේ සංවිධානයන්හි කාර්යභාරයයි. අවිශිබ සහ පෙසප වැඩට බැස සිටින්නේ එයටයි.

අවිශිබ විරෝධතා දේශපාලනයේ ඉතිහාසය

1978 පටන් ජවිපෙ සහ පෙසප නායකත්වය යටතේ අවිශිබ යෙදී ඇත්තේ මෙම විරෝධතා දේශපාලනයේය. අධ්‍යාපනයට එල්ල කෙරෙන ප්‍රහාර නතර කිරීම සදහා ශක්‍ය වූ ක්‍රියා මාර්ගයක් ලෙස ඉදිරිපත් කරමින් සත් තිස් වසරක් ඔස්සේ එයට සිසුන් පටලවා තිබූ මෙම දේශපාලනයේ ප්‍රතිඵලය වී ඇත්තේ ප්‍රහාරය වඩාත් ගැඹුරු වීමයි.

“ජවිපෙ අභූත චෝදනා වලට අන්තරෙන් පිලිතුරු” යන මැයෙන්, පසුගිය අගෝස්තු 13 දා අවිශිබ වෙබ් අඩවියේ පල කොට ඇති අවිශිබ කැදවුම්කරු නජිත් ඉන්දිකගේම ප්‍රකාශය මෙයට සාක්ෂියකි.

“ඇත්ත ලෝකෙ වෙන්නෙ මොකක්ද? පසුගිය වසර 5 ඇතුලත අධ්‍යාපනයට වෙන් කරන ලද මුදල් හරි අඩකින් අඩු කරල තියෙනවා. බෙලහීන කරල තියෙනව.අධ්‍යාපනය විකුනන ක්‍රමවේදයක් තියෙනව. රජයේ විශ්ව විද්‍යාල තුල උපාධි විකුනනව. රජයේ පාසැල් පද්ධතිය තුල මුදල් අය කරනව. ”

තතු එසේ වුවද, පෙසප නිල මාධ්‍යය වන ජනරළ පුවත්පතට (2015 අප්‍රේල් 12) නජිත් ඉන්දික දුන් සම්මුඛ සාකච්ඡාවකදී “ඉදිරි ක්‍රියා මාර්ග මොනවාදැයි” ප්‍රශ්න කල විට ඉන්දිකගේ පිලිතුර වන්නේ “අරගලය”, “අරගලය” සහ “අරගලය” ම බවයි. මෙම “අරගල” යනු එකක් පිටුපස එකක් වන අයුරින් ධනේශ්වර ආන්ඩුවලට සහ පරිපාලන ආයතනයන්ට බලපෑම් දැමීමේ විරෝධතාවන් සංවිධානය කිරීම හැර අන් කිසිවක් නොවේ.

නව ලිබරල් ධනවාදය

අධ්‍යාපනය ඇතුලු සමාජ සුබසාධනයන්ට එල්ල කෙරෙන ප්‍රහාර නව ලිබරල්වාදී පිලිවෙත්වල කොටසක්ය යන ප්‍රකට සත්‍යය අවිශිබ සහ පෙසප පුනපුනා කියයි. නව ලිබරල්වාදී පිලිවෙත් යනු ලෝක ධනේශ්වර අර්බුදය කෙරෙහි මූල්‍ය ප්‍රාග්ධනයේ නිර්දය ප්‍රතිචාරයයයි.

විරෝධතාවන් මගින් මෙම පිලිවෙත් ආපසු හැරවිය හැකිය යන මතය, අප මුලදී සඳහන් කල පරිදි, ධනේශ්වර අර්බුදයෙන් පැන නංවන මෙම පිලිවෙත් අහෝසි කොට ජාතික ආර්ථික නියාමනයකට යටත් කල හැකිය යන්න මුලුමනින්ම විඤ්ඤානවාදී ය. මනෝරාජිකය. අවිශිබ විසින් සිසුන් අතර වපුරන්නේ මෙම රුදුරු මිථ්‍යාවයි.

ගුනාත්මක වශයෙන් ඉහල නිදහස් අධ්‍යාපනයක් වර්ධනය කිරීමට අවශ්‍ය බිලියන සංඛ්‍යාත මුදල් සහ අනෙකුත් සම්පත් උපයා ගත හැක්කේ ලාභය සදහා නොව මනුෂ්‍ය අවශ්‍යතා සඳහා නිශ්පාදනය කෙරෙන සමාජවාදී ආර්ථිකයක් තුල පමනි. ධනපති ආන්ඩුවට එරෙහිව, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ දේශපාලන අරගලයට සිසුන් හැරී ගත යුතුය.

අවිශිබ විරෝධතා දේශපාලනය මෙම අරගලයට මුලුමනින්ම සතුරුය. සිසුන් එම දේශපාලනය ප්‍රතික්ෂේප කල යුත්තේ සහ එයින් බිඳී ගත යුත්තේ එබැවිනි.

Share this article: