ශ්‍රී ලංකාවේ අගමැති ලෙස ඇමරිකානු ගැති එජාප නායකයාගේ දිව්රුම

Pro-US UNP leader sworn in as new Sri Lankan prime minister

කේ. රත්නායක විසිනි, 2015 අගෝස්තු 22

එජාප නායකත්වය දෙන යහ පාලනය සඳහා එක්සත් ජාතික පෙරමුන, අගෝස්තු 17 මහ මැතිවරනයේදී ආසන 106ක් දිනාගත්ත ද 225න් සැදුම්ලත් පාර්ලිමේන්තුවේ ස්ථිර බහුතරයකට එය ප්‍රමානවත් නොවීය. එජාපයේ එම පෙරමුන සමඟ හවුලකට ඇතුලු වීම සඳහා තමන්ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සූදානම් කරන තෙක් 20දා දක්වා වික්‍රමසිංහගේ දිව්රුම කල් ගියේය. ඒ අනුව වික්‍රමසිංහ දිව්රුම් දුන් වහාම, ශ්‍රීලනිපයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක එජාප මහ ලේකම් කබීර් හෂීම් සමඟ “ජාතික ආන්ඩුවක්” පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීය.

ජනවාරි මැතිවරනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයෙන් පහකර සිරිසේන පත්කරගත්, ඇමරිකාව අනුග්‍රහය දැක්වූ තන්ත්‍ර මාරු මෙහෙයුමට, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සමඟ එක්වූ අනෙක් ප්‍රධානියා වූයේ වික්‍රමසිංහය. යුද්ධය සඳහා සූදානම් වීමේ, චීනයට එරෙහි “ආසියාවට හැරීම” තුල ඔබාමා පාලනය, බීජිනය සමඟ රාජපක්ෂගේ සමීප බැඳීම් කෙරෙහි වඩ වඩාත් සතුරුකම් දැක්වීය.

පසුගිය වසරේ මාර්තුවේ තරම් මෑතකදී වික්‍රමසිංහ, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම කොලඹ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවන්හි න්‍යාය පත්‍රය තුල, රාජපක්ෂ ඉවත් කිරීම පිලිබඳ කාරනය මුල් තැන ගත් බව නිසැකය. රාජපක්ෂට විරුද්ධව ඉදිරිපත් වීම සඳහා පක්ෂයේ මහ ලේකම් හා ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක්ව සිටි සිරිසේන තෝරා ගැනීම සඳහා කුමාරතුංග, ශ්‍රීලනිපය තුල තමන්ට පැවති සම්බන්ධකම් උපයෝගිකර ගත්තාය. අනෙක් අතට වික්‍රමසිංහ, සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස පිලිගැනීමට එකඟ විය. ජනවාරියේදී ජනාධිපතිවූ සිරිසේන එජාප නායකයා අගමැති ලෙස පත් කලේය.

චීනය සමඟ රාජපක්ෂට පැවති සම්බන්ධකම් පිලිබඳව නොසතුටට පත්ව සිටි වොෂින්ටනයෙන් එල්ල විය හැකි සතුරු ප්‍රතිචාර කෙරෙහි බිය පත් පාලක පන්තියේ සැලකිය යුතු කොටසක්, ඔහුට එරෙහි කුමන්ත්‍රනයන්ට සහාය දැක්වූහ. බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂගේ යුද්ධයට පිටුබලය දුන් ඇමරිකාව, 2009 එල්ටීටීඊය මුහුන දුන් පරාජයෙන් අනතුරුව, රාජපක්ෂ බීජිනයෙන් ඈත්කරවීම සඳහා ඔහුට පීඩනය යෙදීම පිනිස හමුදාව සිදු කල යුද අපරාධ නරුම ලෙස ගසා කෑවේය.

සිරිසේනගේ ජයග්‍රහනයෙන් පසුව වොෂින්ටනයේ ඉල්ලීම පරිදි කල් දමන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මන්ඩලයේ වාර්තාව ලබන මාසයේ ඉදිරිපත් කිරීමට නියමිතය. ආර්ථික සම්බාධක පැනවීම සඳහා කඩතුරාවක් ලෙස උපයෝගී කර ගත හැකිව තිබූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ තොරතුරු, දැන් වුවත් රාජපක්ෂට විරුද්ධව චෝදනා ගොනු කිරීම පිනිස යොදාගත හැකිය. ශ්‍රී ලංකාව ඇමරිකානු හා යුරෝපීය අපනයන වෙලඳපොලවල් මත බෙහෙවින් වාරුවී සිටියි.

වික්‍රමසිංහ දිව්රුම්දී තිබුන ද ඇමතිකම් සඳහා සිදුවන කේවලය මත කැබිනට්ටුව පත් කිරීම ලබන සතිය තෙක් ප්‍රමාද විය හැකිය. රාජපක්ෂගේ හා සිරිසේනගේ ශ්‍රීලනිප ආධාරකරුවන් අතර කටුක මතභේද හටගෙන ඇත. ජාතික එකමුතුවේ ආන්ඩුවක් පිහිටුවීම පිනිස සිරිසේන විසින් කැඳවා තිබුන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවට රාජපක්ෂ සහභාගී නොවීය. එජාපය සම්බන්ධවන කුමන හෝ හවුලකට ඔහුගේ ආධාරකරුවෝ විරුද්ධත්වය පල කරති.

දෙපක්ෂය අතර අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට නොයෙකුත් පොරොන්දු ඇතුලත් නමුත් ඒ කිසිවක් ඉටු නොකරනු ඇත. රැකියා මිලියනයක් නිර්මානය කිරීම, පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා මිල නියාමනයක්, සමාජ අසමානතාවය අඩු කිරීමට වැඩි ආදයමක්, ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම පිනිස නව නීති සම්පාදනය, දූෂනය පිටුදැකීමට නව නීති හා ආයතන ව්‍යුහයක්, අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6ක් හා 3ක් වෙන් කිරීම හා ලමුන් හා කාන්තාවන් අපයෝජනය වැලැක්වීමේ පියවර ඊට ඇතුලත්ය.

දූෂිත කොලඹ දේශපාලනය තුල දිගු කාලීන පුරුද්දක්ව පවතින, මන්ත්‍රීන් එක් පක්ෂයකින් තවත් එකකට පැනීම වැලැක්වීමේ එකඟතාව පක්ෂ නායකයින් හමුවේ ඇති ප්‍රධාන ප්‍රශ්නයකි. තවදුරටත් දීර්ග කිරීම ගැන සලකා බැලීමට යටත්ව ගිවිසුම දෙවසරක කාලයකට වලංඟු වන්නේය.

ජීවන තත්වයන් හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම පිලිබඳ පොරොන්දු මුලුමනින්ම නින්දාසහගතය. 1948 නිල නිදහසේ පටන් මාරුවෙන් මාරුවට ශ්‍රී ලංකාව පාලනය කර ඇති මහ ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන ධනපති පක්ෂ දෙකටම, වැඩකරන හා පීඩිත ජනතාවට එරෙහි සිදුකර තිබෙන අපරාධ හා ප්‍රහාර සම්බන්ධයෙන් ඇත්තේ නොබිඳුනු දිගු වාර්තාවකි.

ප්‍රථම වතාවට මෙම දිගුකාලීන ප්‍රතිවාදීන් දෙදෙනා එකට එකතුවීම පිටුපස ඇති සැබෑ අරමුන, වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත රුදුරු කප්පාදු පියවර ගන්නා විට කම්කරු පන්තියට එරෙහි එක්සත් පෙරමුනක් ලෙස මුහුන දීමය.

ආර්ථිකය මත සැලකිය යුතු නය කන්දරාවක බර හා නිර්යාත මිල පහත වැටීමේ ආනිසංස පැටවී ඇත. ගෙවුම් ශේෂ අර්බුදයක අන්තරාය සලකුනු කරමින් මහ බැංකුව ඊයේ වාර්තා කලේ, “ආනයන වැය ඉහල යාම, තේ හා ඇඟලුම් අදායම අඩුවීම හමුවේ සමස්ත අපනයන ආදායම පහල යාම නිසා 2015 වෙලඳ හිඟය පුලුල් වී ඇති” බවයි.

හවුලේ සැබෑ අරමුන ඇඟවුම් කරමින් ශ්‍රීලනිප ලේකම් දිසානායක පැවසුවේ, “රට මුහුනපා ඇති ජාත්‍යන්තර හා ආර්ථික අභියෝග ජය ගැනීමට මේ අවස්ථාවේදී ජාතික එක්සත් ආන්ඩුවක අවශ්‍යතාවය ජනාධිපති අවධාරනය කල” බවයි. කම්කරු පීඩිත ජන සමූහයාගේ ජීවන කොන්දේසි නඟා සිටුවීම නොව, ආන්ඩුවේ තේමා ගීතය වනු ඇත්තේ කප්පාදුවයි.

නව ආන්ඩුව විසින් ඉදිරියේදී වැඩකරන ජනතාවට එරෙහිව මුදාහරිනු ඇති ප්‍රහාරයන්ගේ දේශපාලන වගකීම, “ෆැසිස්ට් රාජපක්ෂ රෙජිමයට” විකල්පය ලෙස එජාප හා වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයින් ලෙස හුවා දක්වන ලද, සියල්ලන්ටත් වඩා නව සමසමාජ හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධාන ඇතුලු සියල්ලන් මත පැවරේ.

රාජපක්ෂ මෙන්ම වික්‍රමසිංහ ද වැඩකරන ජනතාවට එරෙහි මෘග ප්‍රහාර එල්ල කිරීමට වගකිවයුතු දිගුකාලීන ධනපති දේශපාලඥයෙකි. ඔහු සිය දේශපාලන චාරිකාව පටන් ගත්තේ, 1977දී බලයට පත්වූ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුවෙහි තරුන හා රැකියා කටයුතු ඇමතිවරයා ලෙසය. එම ආන්ඩුව පුලුල් විවෘත වෙලඳපොල ප්‍රතිව්‍යුහකරනයන්ට මුල පිරීය. 1980දී ආන්ඩුව, වැටුප් හා හොඳ ජීවන කොන්දේසි සඳහා දියත් කල මහ වැඩවර්ජනය තලා දමමින් 100,000ක් රාජ්‍ය සේවකයින් රැකියා වලින් දොට්ට දැමීය.

අධ්‍යාපන ඇමති ලෙස වික්‍රමසිංහ, 1981දී අධ්‍යාපන ධවල පත්‍රිකාව හඳුන්වා දුන් අතර එය, අධ්‍යාපන වියදම් කැපීමේ සැලසුම් පත්‍රය විය.

වැඩෙන සමාජ ආතතින් හමුවේ ජයවර්ධන ආන්ඩුව, ලක්ෂ ගනනකගේ ජීවිත බිලිගත් දිග්ගැස්සුන සිවිල් යුද්ධයට මඟ හෙලිකල, දෙමල ජනතාවට එරෙහිව දිවයින පුරා 1983දී මුදා හරින ලද ප්‍රචන්ඩත්වයෙන් කුලුගැන්වුන දෙමල විරෝධී වර්ගවාදය උසිගැන්වීය. 1980 ගනන් අග හරියේදී එජාප ආන්ඩුව, ජනතා විමුක්ති පෙරමුනට, වඩාත් පුලුල් ලෙස ගම්බද සිංහල තරුනයින්ට, එරෙහිව, 60,000ගේ ජීවිත බිලිගත් බවට ගනන් බලා ඇති, මිලිටරියේ පිටුබලය සහිත මිනීමරු කල්ලි මුදාහැරියේය.

ඒ සියලු ආන්ඩුවල ඇමතිවරයෙක්ව සිටි වික්‍රමසිංහ, එම සියලු අපරාධ වලට සෘජුවම වගකිව යුතුය.

අගමැති වශයෙන් 2002දී වික්‍රමසිංහ, ලක්ෂ ගනනක් රජයේ රැකියා විනාශ කිරීම, ගම්බද ගොවීන්ගේ පොහොර ද ඇතුලු මිල සහනාධාර කපා හැරීම හා විදේශ හා දේශීය ආයෝජකයින්ට වාසිදායක සහන පිරිනැමීමට යෝජනා කල, ලෝක බැංකුවේ අනුමැතිය සහිත, යලි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන දියත් කලේය. කොලඹ නවීන “මහා නගරයක්” බවට පත්කිරීම සඳහා ඔහුගේ ආන්ඩුව සකස් කල සැලැස්ම, ඒ දැක්මට අනුකූලව පැල්පත් වාසීන් ඉවත් කිරීමට කටයුතු කල රාජපක්ෂ ආන්ඩුව සියතට ගෙන ක්‍රියාවට නැංවීම ආරම්භ කලේය.

නරක අතට හැරෙමින් තිබෙන ලෝක ආර්ථික අර්බුදය හමුවේ නව එජාප ආන්ඩුව, රාජපක්ෂ නතරකල තැන් සිට ඉදිරියට යමින් වැඩකරන ජනතාව මත අලුත් බර පටවනු ඇත.

සිය මැතිවරන ව්‍යාපාරය තුලදී සමාජවාදී සමානතා පක්ෂය පැහැදිලි කල පරිදි, කම්කරු පන්තියට සිය අයිතීන් රැකගත හැක්කේ, සියලු ධනපති කොටස් වලින් බිඳී වෙන් වෙමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී පිලිවෙත් ක්‍රියාත්මක කල හැකි, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයට ස්වාධීනව බලමුලු ගැන්වෙමින් පමනි.

Share this article: