ශ්‍රී ලංකාවේ මැතිවරනය දේශපාලන කැලඹීම් පෙර ඇඟවුම් කරයි

Sri Lankan election results foreshadow political upheavals

කේ. රත්නායක විසිනි, 2015 අගෝස්තු 18

ඊයේ දිනය තුල පවත්වන ලද මැතිවරනයේ අවසන් ප්‍රතිපල අද දහවල් වන විටත් සම්පූර්නයෙන් නිකුත් කෙරී නොතිබුනි. නිල ප්‍රතිපල නිකුත්කොට තිබුනේ මැතිවරන දිස්ත්‍රික්ක 22න් 13ක පමනි.

දැනට ගනන් කර තිබෙන පදනම මත පාලක එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්දවලට වඩා සුලු වැඩිවීමක් පෙන්වා තිබුන ද ආසන අනුව 43 හා 45 ලෙස පසුපසින් සිටියි. දෙමල ජාතික සන්ධානය ආසන 6ක් ද ජනතා විමුක්ති පෙරමුන 2ක් හා එජනිස හවුල්කාර ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) එක් ආසනයක් ද හිමිකරගෙන සිටියි.

ප්‍රතිපලය කරට කර සිටින බව පෙනෙන්නට ඇති අතර ඒඑෆ්පී මාධ්‍ය අද උදෑසන වාර්තාකර තිබුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය පිලිගත් බවය. ජනවාරි 8දා ජනාධිපතිවරනයෙන් මෛත්‍රිපාල සිරිසේනට පරාජයවූ රාජපක්ෂ, අගමැති ලෙස යලි බලයට ඒමට බලාපොරොත්තු විය. ඒඑෆ්පී වාර්තාව සනාථ කර නොමැති වුව ද රාජපක්ෂට එජනිස ගනන් කිරීමේ නිලධාරීන්ගෙන් තොරතුරු ලැබුනා විය හැකිය. එජාප නායකත්වයෙන් යුත් යහ පාලනයක් සඳහා එක්සත් ජාතික පෙරමුන, මැතිවරන දිස්ත්‍රික්ක 11ක් දිනා සිටින නමුත් තම පක්ෂය දිනා ඇත්තේ දිස්ත්‍රික්ක 8ක් පමනක් බව රාජපක්ෂ පැවසුවේ යයි ඒඑෆ්පීය වාර්තාකොට තිබුනි. අනෙක් දිස්ත්‍රික්ක තුන ටීඑන්ඒට හිමි විය. තම “අගමැති වීමේ සිහිනය” බොඳවී ගිය බව ඔහු පවසා තිබුනි. පාර්ලිමේන්තුවේ ස්ථිර බහුතරය සඳහා අවශ්‍ය ආසන 113ක් කිසිදු පක්ෂයකට නොලැබෙනු ඇති බව ද ඔහු පවසා තිබුනි.

දැන් පවතින තත්වය ගැන කිසිදු නිශ්චිත භාවයක් නොමැති වුවත් ප්‍රතිපලය කරට කර එකක් වනු ඇති බව පෙනෙන්නට තිබේ. එජාපයට ආසන 113ක් හිමි නොවුනහොත් ඔවුන්ට ජවිපෙ හා ටීඑන්ඒ වැනි අනෙකුත් පක්ෂ වෙත හැරීමට සිදුවනු ඇත. එජනිස යෙන් පනින හෝ පැති මාරු කරන්නන් බිලිබා ගැනීමට ද නිසැකවම ඔවුන් උත්සාහ කරනු ඇත.

දැනට මාස ගනනක් තිස්සේ කොලඹ පවතින දේශපාලන අර්බුදය ඉන් උත්සන්න කෙරෙනු ඇත. එජාපය හා එහි සන්ධානයට, සිංහල අන්තවාදී ජාතික හෙල උරුමය (ජාහෙඋ), එජනිස හැරගිය කන්ඩායමක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, ප්‍රගතිශීලී දෙමල සන්ධානය ඇතුලු දිවයිනේ මුස්ලිම් හා දෙමල සුලුතර පක්ෂ ඇතුලත්ය.

එජාපයට තම පාර්ලිමේන්තු බහුතරය සොයා ගැනීමට ටීඑන්ඒ වෙත හැරීමට සිදුවුවහොත්, ඔවුන්ට ජාහෙඋ විරුද්ධත්වයට මුහුන පෑමට සිදුවනු ඇත. උතුරු නැඟෙනහිරට පුලුල් බලය බෙදීමක් අවශ්‍ය බව අවධාරනය කරන ටීඑන්ඒ කෙරෙහි ඔවුන් දක්වන්නේ උග්‍ර සතුරු කමකි. ටීඑන්ඒ, කොලඹ සමඟ බලය බෙදාගැනීමේ ගිවිසුමක් මඟින් රටේ දෙමල පභූවට වරප්‍රසාදිත තත්වයක් සහතික කර ගැනීමට උත්සාහ දරයි.

යලි බලයට පැන ගැනීම සඳහා රාජපක්ෂ දරන උත්සාහය, ජනාධිපති සිරිසේනගේ ද එජාපයේ සුලුතර ආන්ඩුවේ ද සියල්ලටත් වඩා ඇමරිකාවේ හා එහි මූලෝපායික සහචරයා වන ඉන්දියාවේ ද දැඩි විරුද්ධත්වයට හේතුවී තිබේ. ජනවාරියේ ජනාධිපතිවරනයෙන් සිරිසේන රාජපක්ෂ පරාජය කිරීම, එජාප නායක රනිල් වික්‍රමසිංහගේ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ සහාය ඇතිව වොෂින්ටනය විසින් සැලසුම් කරන ලද තන්ත්‍ර මාරු කිරීමේ මෙහෙයුමක ප්‍රතිපලයයි.

රාජපක්ෂ බලයෙන් පහ කිරීම, කලාපය තුල චීන අනුහස අඩාල කර එරටට එරෙහිව යුද්ධය සූදානම් කිරීමේ අරමුන සහිත ඇමරිකාවේ “ආසියාවට හැරීම” පිලිබඳ මූලෝපායේ කොටසකි. වොෂින්ටනය රාජපක්ෂට විරුද්ධ වන්නේ, ඔහු අනුගමනය කල ආඥාදායක පාලන ක්‍රමය නිසා නොව, බීජිනය සමඟ ඔහු ගොඩනඟාගෙන සිටි සමීප සම්බන්ධකම් නිසාවෙනි.

සැලකිය යුතු තරම් සමීප ලෙස මෙරට මැතිවරනය ආවරනය කල ඇමරිකානු හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා තුල ඇමරිකාවේ උත්සුකයන් පිලිබිඹු විය. ඒවායේ ශීර්ෂපාඨ මෙසේ දැක්වුනි: නිව් යෝර්ක් ටයිම්ස්, “පාර්ලිමේන්තු මැතිවරනයෙන් බලයට ඒමේ හිටපු ජනාධිපතිගේ බලාපොරොත්තු අඳුරුය” වොෂින්ටන් පෝස්ට්, “ශ්‍රී ලංකාවේ නව ආන්ඩුවට චීන ග්‍රහනයෙන් මිඳිය හැකි ද?” වෝල් ස්ට්‍රීට් ජර්නල්, ශ්‍රී ලංකවේ මැතිවරනයෙන් රාජපක්ෂ යලි කරලියට එයි ද?” ෆිනෑන්ෂල් ටයිම්ස්, “ශ්‍රී ලාංකික නායකයා බලයට ඒමේ මැතිවරන කුමන්ත්‍රනයක”.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, යුරෝපීය සංඟමය, පොදුරාජ්‍ය මන්ඩලය හා දකුනු ආසියානු මැතිවරන නිරීක්ෂන සංවිධාන නියෝජිතයෝ සිය ගනනක් දිවයිනට පැමිනියහ. ඔවුන් සියල්ලෝම, ප්‍රචන්ඩත්වයෙන් තොර නිදහස් මැතිවරනය හා ඊනියා ප්‍රජාතන්ත්‍ර ප්‍රතිසංස්කරන පිලිබඳව සිරිසේනට හා වික්‍රමසිංහට ප්‍රසංසා කලහ. මෙම ප්‍රසංසා මඟින් ඇමරිකානු ගැත්තන් වන මේ දෙදෙනාගේ අතීත අපරාධ පමනක් නොව, බලයේ එල්ලී සිටීම පිනිස ඔවුන් දැනුදු ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී විධික්‍රමයන් ද වසංකරනු ලැබින.

රාජපක්ෂ ආන්ඩුවෙන් දොට්ට බසින තෙක්ම සිරිසේන එජනිස ප්‍රමුඛ පක්ෂය වන ශ්‍රීලනිපයේ ප්‍රධාන ලේකම්ව සිටියේය. එජනිස ආසන බහුතරයක් දිනා ගත්ත ද ජනාධිපති බලතල යොදාගෙන තමන් රාජපක්ෂට අගමැති වීමට ඉඩ නොදෙන බව දැනට ඔහු දෙවතාවක්ම කියා ඇත.

මැතිවරන තරඟය කරට කර වන බව වටහාගත් සිරිසේන, අධිකරන නියෝගයන්හි පිටුබලය ඇතිව ශ්‍රීලනිපයේ ප්‍රමුඛ තනතුරු වලින් රාජපක්ෂගේ සමීපතමයන් නෙරපා හැරීමට කටයුතු කලේය. පසුගිය සිකුරාදා ඔහු, ශ්‍රීලනිපයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා හා එජනිස ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පක්ෂ තනතුරු වලින් හා සාමාජිකත්වයෙන් නෙරපා හලේය. ඊයේ ඡන්දය අවසන්වූ පසුව සිරිසේන ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් 56න් 13 දෙනෙක් නෙරපා හැරියේය. තම අනුමැතියකින් තොරව මධ්‍යම කාරක සභාව රැස්කිරීම තහනම් කිරීමේ නියෝග ද අධිකරනයෙන් ලබා ගත්තේය.

ශ්‍රීලනිපයේ බෙදීම් ඇතිකල හැකි සිරිසේනගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී උපාමාරුවල අරමුන, පක්ෂවල ජාතික මට්ටමේ ඡන්ද ප්‍රමානය අනුව ආසන බෙදා දෙන, ජාතික ලැයිස්තුවෙන් පත්කරන්නේ කවුදැයි තීරනය කිරීම තමන්ගේ හෙංචයියන් අතට ගැනීමය. මැතිවරන ප්‍රතිපලය කරට කර වුවහොත්, ඊලඟ ආන්ඩුව තීරනය කිරීමේදී මෙසේ අලුතින් පත්කල අය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

මේ දක්වා ලැබී ඇති ප්‍රතිපල වලට අනුව එජනිස තමන්ගේ ආසන වැඩි හරියක් දිනාගෙන ඇත්තේ ග්‍රාමීය දිස්ත්‍රික්ක වලින්, විශේෂයෙන්ම උතුරුමැද හා දකුනු පලාත් දිස්ත්‍රික්ක වලිනි. රාජපක්ෂ සිය සහචර සිංහල වර්ගවාදී පක්ෂවල ද සහාය ඇතිව, 2009 පරාජය කල එල්ටීටීඊය යලි හිසඔසවමින් සිටින බවට භීතිය වපුරවමින්, කර්කෂ දෙමල විරෝධී උද්ඝෝෂනයක් ගෙන ගියේය.

මෙම උද්ඝෝෂනය වනාහි, වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් හා ජීවන තත්වයන්ට එරෙහිව රාජපක්ෂ එල්ල කල ප්‍රහාරයන්ගේ වාර්තාව ආවරනය කිරීමේ උත්සාහයකි. කෙසේ වෙතත් ඔහුට, සිරිසේන හා එජාප ආන්ඩුව කෙරෙහි ද එහි කඩකල පොරොන්දු පිලිබඳව ද වැඩෙමින් පැවති නොසතුට ගසාකෑමට හැකි විය. රාජපක්ෂ හා ඔහුගේ සහචරයින් නියෝජනය කරන්නේ, චීන ආයෝජන වලින් හා රජයේ අනුග්‍රහය මඟින් ලාභ උපයාගත් අලුතින් පොහොසත්වූ ව්‍යාපාරික කොටස්ය.

රාජපක්ෂගේ ඥාතිසංග්‍රහ නිසා කොන්වී ගිය හා වොෂින්ටනයෙන් හුදෙකලා වීම නිසා ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක කෙරේ බියට පත්වූ පාලක පන්තියේ කොටස් ඔහුට දැඩි ලෙස විරුද්ධ වූහ. එජාපය ඇමරිකානු ගැති පක්ෂයක් හා එහි නායකයා වොෂින්ටනය සමඟ සමීප සම්බන්ධකම් ඇත්තෙකු ලෙස ප්‍රකටය.

රටේ පැරනිතම ධනපති පක්ෂය ද වන එජාපයට, ශ්‍රීලනිප මෙන්ම ව්‍යාපාර ගැති පිලිවෙත් ක්‍රියාවට නැඟීම පිලිබඳව හා වැඩකරන ජනතාවගේ විරුද්ධත්වය මැඬීමේදී පොලිස් රාජ්‍ය ක්‍රමෝපායන් යොදාගැනීම පිලිබඳව ඇත්තේ දිගු වාර්තාවකි. එජාපය 1977දී සමාජ සේවා බිඳ විසුරුවීම, පුද්ගලීකරනය හා විවෘත වෙලඳපොල ප්‍රතිව්‍යුහකරන ආරම්භ කල අතර 1980 වැඩවර්ජනය තලා දමමින් රාජ්‍ය සේවකයින් දස දහස් ගනනක් රැකියාවලින් දොට්ට දැමීය.

ඊලඟ ආන්ඩුව පිහිටුවන්නේ එජාප හෝ ශ්‍රීලනිප යන පක්ෂ දෙකෙන් කවරක් වුවත් එය, මූල්‍ය ප්‍රාග්ධනයේ නියමය පරිදි සමාජ කප්පාදුවේ (සමාජ ප්‍රතිවිප්ලවයේ) වැඩසටහන වේගවත් කරනු ඇත. එහිදී ආන්ඩුව කම්කරු පීඩිත ජනතාවගේ හා සිසුන්ගේ ප්‍රතිරෝධය බිඳීමට මර්දන පියවර ගැනීමට නොපැකිලෙනු ඇත.

දිස්ත්‍රික්ක තුනකට සිය අපේක්ෂකයින් ඉදිරිපත් කරමින් තරඟ වැදුනු සමාජවාදී සමානතා පක්ෂය පමනක්, ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත පාලක පන්තියේ සියලු පක්ෂ වලට එරෙහිව කම්කරු පන්තිය හා පීඩිත ජනතාවගේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා සටන් වැදුනි. ඉදිරි දිනවලදී සසප, සිය උද්ඝෝෂනය හා ලැබූ ඡන්ද ඇතුලු මැතිවරන ප්‍රතිපල පිලිබඳ වඩා විස්තර සහිත විශ්ලේෂනයක් ඉදිරිපත් කරනු ඇත.

Share this article: