ශ්‍රී ලංකාවේ මැතිවරනයේ දී සසප ලද ඡන්දයේ අර්ථභාරය

The significance of the SEP's vote in Sri Lankan elections

දීපාල් ජයසේකර විසිනි, 2015 අගෝස්තු 20

සඳුදා පැවති මහ මැතිවරනයේ දී සමාජවාදී සමානතා පක්ෂය (සසප) වෙත ලැබුනු ඡන්ද පෙන්නුම් කරන්නේ කම්කරුවන්ගේ හා පීඩිත ජනයාගේ වැඩි දියුනු කොටසක් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරි දර්ශනය වෙත හැරීම යි. රටෙහි මැතිවරන දිස්ත්‍රික්ක 22න් අගනගරය වන කොලඹ, යුද්ධයෙන් ඉරිතැලී ගිය යාපනය හා මධ්‍ය කඳුකරයේ තේවතු පවතින කලාපයේ නුවරඑලිය යන දිස්ත්‍රික්ක තුන සඳහා සසප අපේක්ෂකයන් 43 දෙනෙකු ඉදිරිපත් කරමින් තරඟ වැදුනේ ය.

කොලඹින් 125ක්, යාපනයෙන් 142ක් හා නුවරඑලියෙන් 54ක් වසයෙන් සසපට ඡන්ද 321ක් ලැබුනි. මෙය කුඩා ඡන්ද ගනනක් වුවත් එය පෙන්නුම් කරන්නේ අධිරාජ්‍යවාදී යුද තර්ජනයට හා කප්පාදු පිලිවෙත්වලට එරෙහි වත් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට හා සමාජවාදී ප්‍රතිපත්ති සඳහාත් සසප ගෙනගිය මූලධර්මාත්මක උද්ඝෝෂනයට ලැබුනු සවිඥානික ඡන්දයකි. දිස්ත්‍රික්ක තුනේ සෑම මැතිවරන කොට්ඨාශයකින් ම සසපට ඡන්ද ලැබීම පෙන්නුම් කරන්නේ පක්ෂය සෑම ප්‍රදේශයක ම වැඩ කරන ජනයා අතර මූලයන්ට සසප ආමන්ත්‍රනය කොට ඇති බව යි.

අගෝස්තු 17දා පැවති මැතිවරනයේ දී දේශපාලන පක්ෂ 21කින් හා ස්වාධීන කන්ඩායම් 201කින් තරඟ කල අපේක්ෂකයින් 6,151දෙනෙකුට මුහුන දීමට ඡන්ද දායකයන්ට සිදුවිය. සසප හා එහි අපේක්ෂකයන් හැරුනු විට අන් සියලු දෙනා තරඟ කලේ ධනේශ්වර පාලනය රැකීමේ වේදිකාවක ය. අපේක්ෂකයින් හා පක්ෂ විසින් ද පාලක සංස්ථාපිතයේ ජනමාධ්‍ය විසින් ද ජනනය කරන ලද දේශපාලන ව්‍යාකූලත්වය කපා හෙලීමටත් පීඩිත ජනයාගේ සහයෝගය සහිත ව කම්කරු පන්තිය ධනවාදය අහෝසි කිරීමේ විප්ලවවාදී අරගලයක් සඳහා බලමුලු ගැන්වීමටත් ගෙනගිය උද්ඝෝෂනයක් තුලින් සසප මෙම ඡන්ද ගනන ලබා ගත්තේ ය.

ජූලි 13දා මැතිවරනයට තරඟ වදින බව නිවේදනය කල සසප ඉන් ඉක්බිතිව විස්තරාත්මක මැතිවරන ප්‍රකාශයක් නිකුත් කලේ එහි පිටපත් දහස් ගනනක් සිංහල හා දෙමල භාෂාවලින් පක්ෂය තරඟ කල දිස්ත්‍රික්කවල මෙන් ම දිවයිනේ අනෙක් ප්‍රදේශවල ද බෙදා හැරීමට කටයුතු කලේ ය. අනෙකුත් සෑම පක්ෂයකින් ම වෙන් ව සසප ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් හා මැතිවරන උද්ඝෝෂනය තුල ඇති වූ දේශපාලන වර්ධනයන් විශ්ලේෂනය කරමින් ලිපි දුසිම් ගනනක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය තුල පල කරන ලදී.

යන්තම් මාසයක කාලයක් තුල සසප නායක අපේක්ෂකයන් හා එහි ප්‍රධාන ලේකම් විජේ ඩයස් ආමන්ත්‍රනය කල ප්‍රසිද්ධ රැස්වීම් 10ක් මැතිවරන දිස්ත්‍රික්ක තුන තුල පවත්වන ලදී. පක්ෂයේ මැතිවරන උද්ඝෝෂනයේ ජාත්‍යන්තර අර්ථභාරය සාකච්ඡාවට බඳුන් කරමින් අන්තර්ජාලය හරහා ඩයස් හා සසප අපේක්ෂකයින් දෙදෙනෙක් කතාකල සාර්ථක ප්‍රසිද්ධ රැස්වීමක් ප්‍රන්සයේ දී අගෝස්තු 15දා පැවැත්වීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ආධාරකරුවෝ පියවර ගත්හ.

ප්‍රධාන ධනපති පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) අතර පවතින කටුක එදිරිවාදිකම වැඩෙමින් පවතින භූ-දේශපාලනික ආතතීන් සමඟ බැඳී පවතින බව පැහැදිලි කලේ සසප පමනි. ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරනයේ දී මහින්ද රාජපක්ෂ ඉවත් කොට මෛත්‍රීපාල සිරිසේන පත්කර ගැනීමේ වොෂින්ටනයේ පිටුබලය ලත් තන්ත්‍ර මාරු කිරීමේ මෙහෙයුම චීනයට එරෙහි එක්සත් ජනපදයේ “ආසියාවට හැරීමේ” පිලිවෙතේ කොටසකි. රාජපක්ෂ කෙරෙහි එක්සත් ජනපදයේ එදිරිවාදිකම ඔහුගේ ආන්ඩුව බීජිනය සමඟ පවත්වාගෙන ගිය සමීප සබඳතාවල ප්‍රතිඵලයකි.

ඉන්දියන් සාගරයේ මුහුදු මාර්ගවල අසරේ ශ්‍රී ලංකාවේ මූලෝපායික පිහිටීම හේතුවෙන් චීනයට එරෙහි ව එක්සත් ජනපදය සූදානම් කරගෙන යන යන යුද සූදානමේ වාසුලියට දිවයින ඇද ගනිමින් පවතින බවට සසප අනතුරු ඇඟවීය. ධනවාදය හා යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීමේ අරගලය හරහා යුද්ධය සඳහා තල්ලුව නතර කල හැකි එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය බව අපි අවධාරනය කලෙමු.

හජාජාක විසින් දියත් කරනු ලැබ ඇති උද්ඝෝෂනයේ කොටසක් ලෙස අපගේ අපේක්ෂකයෝ කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පිලිබඳ ව කම්කරුවන් හා තරුනයන් ව ඒත්තු ගැන්වීමට ප්‍රයත්න දැරූහ. දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ හා ඊලමේ සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා අරගලය තුල කම්කරුවන් ඒකාබද්ධ කිරීමට සසප ප්‍රෝත්සාහී වූයේ සකලාකාර ජාතිකවාදයන්ට හා ප්‍රජාගනවාදයන්ට එරෙහි වෙමිනි.

තමන් බලයට පත්වුවහොත් ප්‍රජාතන්ත්‍රවාදය හා ආර්ථික සමෘද්ධිය ගෙන එන බවට එජාපය, ශ්‍රීලනිපය හා ඒවායේ අන්තේවාසිකයන් ඇද බෑ බේගල් හෙලිදරවු කිරීමට ද සසප කටයුතු කලේ ය. අන් සියල්ලටත් වඩා ග්‍රීක කම්කරු පන්තිය මත පටවමින් තිබෙන ආන්තික කප්පාදු පියවරයන්ගේ අර්ථය වන්නේ සෑම රටක ම කම්කරුවන්ගේ ජීවන කොන්දේසි මත ගැඹුරු වන ප්‍රහාර එල්ල කිරීමට වර්ධනය වන ධනවාදයේ ලෝක අර්බුදය හේතු වන බව අපේ අපේක්ෂකයෝ කම්කරුවන්ට අනතුරු ඇඟවූහ. මී ලඟ ආන්ඩුව කවර පක්ෂවලින් සැදුම් ලද්දේ වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු න්‍යාය පත්‍රය අනුකම්පා විරහිත ව ක්‍රියාවට දැමීමට කටයුතු කරන එම ආන්ඩුව වැඩකරන ජනයාගේ විරුද්ධත්වය මර්දනයට පොලිස් රාජ්‍ය පියවර ගනු ඇත.

ජනවාරි මාසයේ දී රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපදය දියත් කල මෙහෙයුමට සහාය දීමේ දී නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ-වාම සංවිධානවල භූමිකාව පැහැදිලි කිරීමට ද සසප මැතිවරන උද්ඝෝෂනය මෙහෙයවුනි. බලයේ සිටින ව්‍යාජ-වම කප්පාදු පිලිවෙත්වලට එරෙහි පොරොන්දු බිඳ පසුගිය මාසයේ පැවති ජනමත විචාරනයේ දී අතිමහත් බහුතරයකින් “එපා” ය යනුවෙන් දුන් ඡන්දය නො තකා යුරෝපා හා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ කප්පාදු නියෝගයන් ක්‍රියාවට දමමින් ග්‍රීසිය තුල සිරිසා සංවිධානය කරන පාවාදීමේ පාඩම් කෙරෙහි ද සසප උද්ඝෝෂනය අවධානය කැඳවීය.

දිස්ත්‍රික්ක පහකට තරඟ වැදුනත්, ජනවාරි මාසයේ “ෆැසිස්ට් රාජපක්ෂ තන්ත්‍රය” ඉවත් කල ඊනියා “ප්‍රජාතාන්ත්‍රික විප්ලවය” රැකීමේ නාමයෙන් එජාපයේ ජයග්‍රහනය තහවුරු කිරීමට නසසප සිය උත්සාහය විවෘත ව යෙදවූයේ ය. වැඩකරන ජනයාගේ සමාජ හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් මත එජාප ආන්ඩු විසින් එල්ල කර ඇති ප්‍රහාරවල දීර්ඝ ඉතිහාසය වසන් කිරීමේ දී නසසප, “ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය” ශ්‍රී ලංකාවට ගෙන ඒමට එජාපය දෙසූ බේගල් තුල ඡන්ද දායකින් හිර කිරීමට යත්න දැරී ය.

එසප හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (එසප) එජාප හා ශ්‍රීලනිප යන දෙකේ ම විරුද්ධවාදීන් ලෙස පින්තාරු වීමට උත්සාහ කලත් ඔවුන්ගේ විවේචන ප්‍රධාන වසයෙන් එල්ල වූයේ රාජපක්ෂට හා ශ්‍රීලනිපට එරෙහි ව ය. එලෙස එජාපය “අඩු නපුර” ලෙස ඉදිරිපත් කල එම පක්ෂ දෙක වඩා උදාසීන ඡන්ද දායකයින් එජාප වෙත ඡන්දය දීම සඳහා වක්‍ර ව දැක්කී ය.

එජාපය සමඟ විවෘත ව පෙලගැසීම හෙලිදරවු කරමින් ලෝසවෙඅ පලකල ලිපියකට ප්‍රතිචාර දක්වමින් එසප, සසප “බොරු හා මඩ ගැසීම්” හෙලා දකින නරුම ප්‍රහාරයක් එල්ල කලේ ය. එජාප හා ශ්‍රීලනිප යන දෙක ම සමඟ පෙලගැසීමේ එසපයේ අවස්ථාවාදී ඉතිහාසය හෙලිදරවු කරන දීර්ඝ පිලිතුරක් පල කරමින් සසප ප්‍රතිචාර දැක්වූයේ ධනේශ්වරයේ සෑම කොටසකින් ම කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා එය ගෙන යන මූලධර්මාත්මක අරගලයේ වාර්තාව තහවුරු කරමිනි.

සිය උද්ඝෝෂනයට සහයෝගය දුන් සියල්ලන්ටත් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ අපගේ ක්‍රියාමාර්ගයට සහාය පල කිරීම සඳහා ඡන්දය දුන් සියලු කම්කරුවන්, තරුනයන් හා දුගීන්ටත් සසප ස්තුතිය පල කරයි. එජාප-නීත ආන්ඩුව ශ්‍රී ලංකාව, එක්සත් ජනපද යුද සැලසුම්වලට ගැටගැසීමට හා වැඩකරන ජනයාගේ ජීවන තත්ත්වයන් මත ප්‍රහාරය තීව්‍ර කිරීමට කටයුතු කරද්දී මැතිවරනයෙන් ඉක්බිත්තේ ප්‍රමුඛ පෙලේ අරගල ඉස්මත්තට එමින් තිබේ. සසප ක්‍රියාමාර්ගය ගැඹුරින් හදාරන ලෙසත් ලෝසවෙඅ නිතිපතා පරිශීලනය කරන ලෙසත් ඉදිරියේ එන දේශපාලන අරගලවලට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස සසප ගොඩනැගීමට එයට බැඳෙන ලෙසත් අපි කම්කරුවන් හා තරුනයන්ගෙන් ඉල්ලමු.

Share this article: