ශ‍්‍රී ලංකාවේ මැතිවරනය: දෙමල ජාතිකවාදී කන්ඩායම් අධිරාජ්‍ය ගැති පිලිවෙත් වැලඳ ගනී

Tamil nationalist groups adopt pro-imperialist policy in Sri Lankan elections

එන්. නේසන් සහ වී. ඥානා විසිනි, 2015 අගෝස්තු 15

දෙමල කම්කරුවන් ද දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) හා දෙමල ජාතිකවාදී ඉදිරි දර්ශනයත් අතර වැඩෙන හතුරුකම හමුවේ, දෙමල ජාතික මහජන පෙරමුන (ටීඑන්පීඑන්) සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා සටන්කරුවෝ (සීඩී) මැතිවරනය තුල ජාතිකවාදී, අධිරාජ්‍ය ගැති පිලිවෙතක් ඉදිරිපත් කර ඇත.

ජනවාරි ජනාධිපතිවරනයේ දී බොහෝ දෙමල ඡන්දදායකයෝ, ජනාධිපති පදවිය හෙබ වූ මහින්ද රාජපක්ෂට එරෙහිව අධිරාජ්‍ය ගැති අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට ඡන්දය පාවිච්චි කරන ලෙස ටීඑන්ඒ කල කැඳවුමට අනුකූලතාවය දැක්වූහ. “ඇමරිකාවේ ආසියාවට හැරීම” හා ශ‍්‍රී ලංකාවේ තන්ත‍්‍ර මාරුකිරීමේ එහි සැලැස්මට සහාය දැක්වීමේදී ටීඑන්ඒ, ශ‍්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසානය සනිටුහන් කල 2009 දී දස දහස් ගනන් දෙමල ජනඝාතන වලට වගකිවයුතු රාජපක්ෂට එරෙහිව පැවති පුලූල් විරුද්ධත්වය ගසා කෑවේ ය. වොෂිංටනය රාජපක්ෂ ඉවත් කලේ, ඔහු චීනයට සමීප විදේශ හා ආර්ථික පිලිවෙතක් අනුගමනය කිරීම නිසා ය.

සිරිසේන හා ටීඑන්ඒ දුන් ප‍්‍රතිසංස්කරන පිලිබඳ පොරොන්දු දේශපාලන ප්‍රෝඩාවක් බව ඉක්මනින් ම හෙලි දරව් විය. සිරිසේනට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදු වූ අවස්ථාවේ සිට ටීඑන්ඒය සහ සීඩීය දෙමල ජාතිකවාදය පෙරටුකර ගනිමින් සිටින අතර සීඩීය මේ වන විට සැලකිය යුතු සහයෝගයක් දිනා ගැනීමට අසමත්ව අපකීර්තියට පත්ව සිටින ටීඑන්ඒයට විකල්පය ලෙස තමන් පිහිටුවා ගැනීමට වෙර දරයි.

සිංහල බහුතරය හා දෙමල සුලුතරය අතර ගැටුමට සිය විසඳුම ලෙස ටීඑන්පීඑෆ් මැතිවරන ප‍්‍රකාශනය ඉදිරිපත් කරන්නේ, “එක් රටක් තුල සංධානගත වූ ජාතින් දෙකක් ය. නිජබිම, ජාතික අනන්‍යතාව සහ ස්වයං නීර්නය මත පදනම් වූ ජාතියේ පූර්න ස්වෛරිත්වය පිලි ගනු ලැබිය යුතු ය.”

ටීඑන්ඒ මෙන් ම ටීඑන්පීඑෆ් මැතිවරන ප‍්‍රකාශය ද යෝජනා කරන්නේ, අධිරාජ්‍යවාදීන්ට ආයචනා කිරීමේ පතුරු ගැසුනු පදනම මත මෙම අවශ්‍යතාවන් මුදුන්පත් කර ගැනීමට ය. “දිවයිනේ ගෝලීය දේශපාලනය සහ ඒ තුල දෙමල ජනයාගේ කාර්ය භාරය යෝග්‍ය පරිදි ප‍්‍රයෝජනයට ගැනීම තුලින් දෙමල ජනයාගේ අවශ්‍යතාවන් වෙත ජාත්‍යන්තර ආකල්පය යොමුකර ගැනීමට ඔවුන් උත්සාහ කරයි. ජාත්‍යන්තර මැදිහත්වීමේ මෙම පදනම මත ශ‍්‍රී ලංකා ආන්ඩුව සමග සාකච්ඡාවන්ට යොමු වන්නෙමු” යි එය ලිය යි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා සිංහල ධනේශ්වරය සමග දේශපාලන ගනුදෙනුවක් මත පදනම් වන සෞභාග්‍ය, හොඳහිත පිලිබද ටීඑන්පීඑෆ්හි පොරොන්දු හිස් ප‍්‍රලාපයන් ය. දෙමල හා සිංහල කම්කරුවන් අතර ඒකාබද්ධතාවය සඳහා වන අරගලයක් කෙරෙහි දෙමල ජනයා අතර වර්ධනය වන මනෝභාවයන්ට එරෙහිව ඔවුන්, ඉංදියන් සාගරයේ තීරනාත්මක චීන නාවික මාර්ග සමීපයේ පිහිටි ශ‍්‍රී ලංකාව, චීනයට එරෙහි නාවික කඳවුරක් බවට පරිවර්තනය කිරීමේ එක්සත් ජනපද එල්ලය සමග පෙලගැසෙයි. ඇමරිකාවේ මිලිටරි ව්‍යායාමය ව්‍යසනකාරී ලෝක යුද්ධයක තර්ජනය තියුනු ලෙස මතු කරයි.

ටීඑන්පීඑෆ්ට ඇත්තේ දෙමල ධනේශ්වරයේ අවශ්‍යතා වෙනුවෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදය හා ශ‍්‍රී ලංකා ආන්ඩුව සමග එකඟතාවකට පැමිනෙන්නේ කෙසේ ද යන්න ගැන උපායාත්මක වෙනස්කම් පමනි.

විදේශ බලවතුන් සමග සකච්ඡා කිරීමේ දී ශ‍්‍රී ලංකාවේ භූ මූලෝපායික වැදගත්කම “නිසි පරිදි භාවිත” නො කිරිම ගැන, ටීඑන්පීඑෆ් මැතිවරනය ප‍්‍රකාශය ටීඑන්ඒයට දොස් පවරයි. ශ‍්‍රී ලංකාවේ ජනවාරි මැතිවරනය තුල දී එක්සත් ජනපදය සිදු කල තන්ත‍්‍ර මාරු මෙහෙයුම පිලිබඳ එය මුලුමනින්ම නිහඬය.

ආධාර සඳහා අධිරාජ්‍යවාදීන් මත විශ්වාස තැබූ සිය ඉදිරි දර්ශනයේ බංකොලොත්කම පිලිබඳව වහෙං ඔරෝ ආකාරයේ පිලිගැනීමක් තුල “ජාත්‍යන්තර ප‍්‍රජාව” 2006 - 2009 අතර යුද්ධයේ අවසාන භාගයේදී සිදු කෙරුනු දෙමල ජන සංහාරය නතර කිරීමට අසමත් වූ බවට ටීඑන්ඒඑෆ් මැතිවරන ප‍්‍රකාශය චෝදනා කරයි.

ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ ප‍්‍රධාන දෙමල සටන්කාමී සංවිධානය වූ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය ලැබූ පරාජය ගැන සඳහන් කරමින් “තම ආරක්ෂක පලිහ අහිමි ව අර්බුදයට ඇද දැමුනු දෙමල ජනතාව ආරක්ෂා කිරීම ජාත්‍යන්තර ප‍්‍රජාවේ වගකීමක්ව පැවති” බව එය ලිය යි. “අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයට ජාත්‍යන්තර ප‍්‍රජාවේ අවධානය දිනා ගැනීම සඳහා අවශ්‍ය සෑම පියවරක් ම අපි ගන්නෙමු” යයි එය තව දුරටත් කියා සිටී.

අධිරාජ්‍යවාදය කෙරෙහි තබන ටීඑන්පීඑෆ් හි අන්ධ විශ්වාසයට ගැලපෙන එකම කරුන වන්නේ ලේවැකි යුද්ධයේ අවසන් වසරවල් ගැන කරන එහි ශෝකජනක විකෘතිකරනය යි. “ජාත්‍යන්තර ප‍්‍රජාවේ” දේශපාලන රාජ්‍යතාන්ත‍්‍රික බැඳීම සහ මිලිටරි මැදිහත්වීම 2006 දී යුද්ධය නැවත ආරම්භ කිරීම සඳහා රාජපක්ෂට තීරනාත්මක ලෙස සහාය දුන්නේ ය. 2006 අපේ‍්‍රල්වල දී කැනඩාව එල්ටීටීඊය ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තහනම් කල අතර ඊලඟ මාසයේ දී යුරෝපා සංගමය ද එය ම කලේ ය. යුද්ධයේ අවසන් වසර තුනේ දී බි‍්‍රතාන්‍ය සහ ඉන්දියාව ශ‍්‍රී ලංකාවට මිලිටරි උපකරන සම්පාදනය කලේ ය.

එල්ටීටීඊයේ දේශපාලන හොරනෑව ලෙස 2001දී ගොඩ නැගූ ටීඑන්ඒ සංවිධානයෙන් බිඳී ගිය කන්ඩායමක් විසින් 2010දී ටීඑන්පීඑෆ් පිහිටුවා ගන්නා ලදී. ටීඑන්ඒ - ටීඑන්පීඑෆ් භේදය එල්ටීටීඊයේ පරාජය තුලින් නිර්මානය කෙරිනි. භේදයට මුල පුරන්නේ වෙනම දෙමල රාජ්‍යක් සඳහා ඉල්ලීම අත් හැර දැමීම මගින් ටීඑන්ඒය එල්ටීටීඊ දේශපාලනයෙන් බිඳී ගොස් ඇතැයි ටීඑන්පීඑෆ් නායක ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් චෝදනා නැගීය. “දිවයින තුල දෙමල ඊලමයේ ස්වාධිපත්‍ය සාක්ෂ්‍යාත් කර ගැනීම සම්බන්ධයෙන් ටීඑන්ඒ අසමත්කම” වෙත ඔහුගේ මූලික විවේචන එල්ල විය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන් කරුවෝ (සීඩී) යනු එල්ටීටීඊ සාමාජිකයින් පුනස්ථාපනය කිරීම මුල්කරගෙන මේ අවුරුද්දේ සංවිධානය කෙරුනු කන්ඩායමකි. එහි සම්බන්ධීකාරක නඬේසපිල්ලේ විද්‍යාදරන් යනු ටීඑන්ඒහි ප‍්‍රධාන සාමාජිකයෙකුට අයත් දිනපතා උදයන් පුවත්පතේ හිටපු කතෘවරයා ය.

තමන්ගේ ම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට පෙර, ටීඑන්ඒ සමග ඒකාබද්ධ අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමේ ගනුදෙනුවක් සඳහා සාකච්ඡාවකට සීඩීය උත්සාහ කලේ ය. කෙසේ වෙතත් එම සාකච්ඡාවන්ගෙන් පසු විද්‍යාදරන් මෙසේ නිවේදනය කලේ ය. “ජනවාර්ගික ප‍්‍රශ්නය විසඳීම සඳහා තම පක්ෂය ගෙන යන ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රයත්නයන් නාස්ති වීමට තුඩු දෙන පියවරයන් තමන් නො ගන්නා බව ටීඑන්ඒ නායක සම්බන්ධන් අපට කිවේ ය.” අපේක්ෂකයන් ලෙස හිටපු එල්ටීටීඊ කේඩරයන් ඉදිරිපත් කල හොත් එක්සත් ජනපදය කුපිත විය හැකිය යි ටීඑන්ඒ නිසැකවම සැලකිල්ලට ගත්තේය. එක්සත් ජනපදය තවමත් ත‍්‍රස්තවාදී සංවිධානවල ලැයිස්තුවට එල්ටීටීඊය ඇතුලත් කර ගෙන සිටී.

සීඞීයේ පිලිවෙත ටීඑන්ඒ සහ ටීඑන්පීඑෆ් ප‍්‍රතිපත්ති වලට බෙහෙවින් සමාන වන නමුත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වන්දනාමාන කිරීමේ දී හා චීනයට එරෙහි එක්සත් ජනපදයේ යුද සූදානම කෙරේ එහි උද්යෝගය වඩා කැපී පෙනෙන සුලූය. “ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන් කරුවෝ” ඉන්දියානු සාගර කලාපයේ දේශපාලන සහ ආර්ථික වැදගත්කම වටහා ගෙන සිටී. “ලෝකයේ විශාලතම ආර්ථික හා දේශපාලන බලය සහිත එක්සත් ජනපදයේ කලාපීය උවමනාවන්ට අපි ගරු කරමු” යනුවෙන් එය ලිය යි.

“ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන්කරුවෝ ඉංදියාවේ අවශ්‍යතාවන්ට වැදගත් තැනක් ලබා දෙයි” යනුවෙන් ලියමින් එය අගමැති නරසිංහ මෝදිගේ ප‍්‍රතිගාමී ආන්ඩුවට ද සහාය දෙයි.

දෙමල ජාතිකවාදී කන්ඩායම්වල ප‍්‍රතිගාමී ඉදිරි දර්ශන ප‍්‍රකාශ කරන්නේ, ප‍්‍රධාන බලවතුන්ගේ අවශ්‍යතා සමග ගැටීම් මග හැරීම් මගින් තම මූල්‍යමය අවශ්‍යතා වර්ධනය කර ගැනීමේ කෑදර කමින් පසුවන දෙමල ධනපති පන්තියේ හා පොහොසත් මධ්‍යම පන්තියේ පටු ස්ථරයක අවශ්‍යතාවන් ය. ගැඹුරු පන්ති අගාධයකින් ඔවුන්, සිංහල හා දෙමල දිලිඳු කම්කරු හා පීඩිත ජනයාගෙන් වෙන් කරනු ලබයි.

Share this article: