ශ්‍රී ලංකාවේ මැතිවරනය: එක්සත් ජනපද ගැති එජාපය මහ ව්‍යාපාරිකයට ආයාචනය කරයි

Sri Lankan election: Pro-US UNP appeals to big business

රොහන්ත ද සිල්වා විසිනි, 2015 අගෝස්තු 11

එක්සත් ජාතික පක්ෂය එහි ප්‍රතිවාදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සේම අගෝස්තු 17 මැතිවරනය සඳහා පෙනී සිටින්නේ, ජනතාවාදී පොරොන්දු හා බේගල් මත පදනම් වෙමිනි. එහි මැතිවරන ප්‍රකාශනය කම්කරුවන්, ගොවීන්, සිසුන් හා පීඩිත ජනතාව යන සියල්ලන්ටම යමක් ඉදිරිපත් කරයි. එහෙත් එජාපය මැතිවරනය ජයගතහොත්, සියලු පොරොන්දු පසෙකලා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ නිර්දේශිත කප්පාදු න්‍යායපත්‍රය ක්‍රියාත්මක කරනු ඇත.

ජනවාරි ජනාධිපතිවරනයේදී එජාපයේ සහාය ඇතිව මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ පරාජය කර බලයට පත්වීමෙන් පසුව එජාපයේ නායකත්වයෙන් යුත් සුලුතරයේ ආන්ඩුවක් පත්කලේය. ශ්‍රීලනිපයේ නාමික නායකයා වන සිරිසේන, රාජපක්ෂ රෙජිමයේ දූෂනය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය අවසන් කර වැඩකරන ජනතාවගේ ජීවන තත්වය නංවාලීම පිනිස බව පවසමින් දින 100 වැඩසටහන ක්‍රියාවට නැංවීමට රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කලේය.

මෙම මැතිවරන ව්‍යාපාරයේදී වික්‍රමසිංහ, “ජනවාරි විප්ලවය” සිය ප්‍රධාන තේමාව කරගෙන ඇත. මීරිගමදී 09දා පැවති රැස්වීමකදී ඔහු, “ජනවාරි විප්ලවය පෙරට ගෙනයාමට අප තීරනය කර ඇති තත්වය යටතේ ත්‍රස්තය, දූෂනය හා මත් ද්‍රව්‍ය උවදුර නොපවතිනු ඇත. රැකියා අවස්ථා බහුල වනු ඇත. අපට කෘෂිකර්මය සංවර්ධනය කල හැකි වනු ඇත.”යයි යලි කියා සිටියේය. “දින 100 යහ පාලනය පිහිටුවීමෙන් පසුව අප 60 මාසයක් තුල නව රටක් නිර්මානය කරන්නෙමු.”

යහපාලනයේ එක්සත් ජාතික පෙරමුන යනුවෙන් ඔහු සිය සන්ධානය නම් කලේය. ඊට, සිංහල බෞද්ධ අධිපතිවාදී ජාතික හෙල උරුමය, වර්ගවාදී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය හා කම්කරු ජාතික සංඟමය, කඳුරට ජනතා පෙරමුන හා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුන යන වතු කම්කරුවන් යලි යලිත් පාවාදෙනලද සංවිධාන ද ඇතුලත්ය.

එසේම එජාපය, “ජනවාරි 8දා ලැබූ ජයග්‍රහනය ආරක්ෂාකර, ශක්තිමත් කර ඉදිරියට ගෙන යාම සඳහා ඉහල මධ්‍යම පන්තියේ කන්ඩායම් මත පදනම්වූ, වෘත්තීය සමිති 110ක්, ලිබරල් කන්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, ශාස්ත්‍රාලික හා වෘත්තීය කන්ඩායම් සමඟ එක්ව, පොදු ජනතා ගිවිසුමක්”අත්සන් තැබීය. නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධාන සමඟ ගත් කල මෙම කන්ඩායම්, රාජපක්ෂ පරාජය කිරීම “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්” ය යන ප්‍රෝඩාව වැපිරීමේදී ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කලේය.

එය එවන් කිසිවක් නොවේ. ඇමරිකාවේ පිටුබලය සහිතව මාස ගනනාවකට පෙරාතුව වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංඟ, සිරිසේන ආන්ඩුවෙන් ඉවතට ගෙන ඔහු රාජපක්ෂගේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට දායක වූහ.මෙවර මැතිවරනයෙන් ජය ගෙන අගමැති ලෙස යලි බලයට ඒමේ අපේක්ෂාවෙන් වැඩ කරන රාජපක්ෂට වොෂින්ටනය විරුද්ධ වන්නේ, ඔහු දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් වීම නිසා නොව, ඔහු චීනයට වඩා සමීප වීම නිසාය.

කොලඹ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුම, චීනයේ අනුහසට වලකපා එරට මිලිටරිමය වශයෙන් වැටලීමේ වඩා පුලුල් ඇමරිකානු සැලසුමක කොටසකි. පසුගිය මාස හය තුල එජාප නායකත්වයෙන් යුත් ආන්ඩුව, සිය විදෙස් පිලිවෙත තියුනු ලෙස ඇමරිකාව දෙසට යොමුකර තිබෙන අතර දැවැන්ත කොලඹ වරාය නගර ව්‍යාපෘතිය ඇතුලු චීනය අරමුදල් සපයන විවිධ ව්‍යාපෘති අත්හිටුවීය.

දිවයිනේ පැරනිතම ධනපති පක්ෂය වන එජාප, හැමවිටම ඇමරිකාවේ හා යුරෝපයේ සමීපතමයෙක් වූ අතර වැඩකරන ජනතාවට එරෙහි රුදුරු ප්‍රහාරයන්ට වගකිවයුත්තෙකි. එජාප ආන්ඩුව 1977 පටන් වෙලඳපොල ගැති ප්‍රතිසංස්කරන වලට මුලපිරූ අතර දශක තුනකට ආසන්න කාලයක් දිග්ගැස්සුනු වර්ගවාදී යුද්ධය ආරම්භ කිරීමට වගකිව යුතුය. එසේම එය, 1980 ගනන් අග ගම්බද තරුනයින් දස දහස් ගනනක් ඝාතනය කල මිලිටරියේ සහාය ලත් මිනීමරු කල්ලි මුදාහලේය.

එජාප ආන්ඩුව 1980 වැඩවර්ජනය තලා දමමින්, රජයේ සේවකයින් ලක්ෂයක් රැකියා වලින් නෙරපා හැරි අතර තම කප්පාදු පියවරයන්ට පලවූ කම්කරු පන්තියේ විරුද්ධත්වය බිඳීම පිනිස පොලිස්-රාජ්‍ය මර්දනය ද ඇතුලු ඕනෑම ක්‍රමවේදයක් උපයෝගීකර ගැනීමට පසුබට නොවීය. මාස හතක් ඇතුලත වික්‍රමසිංහ ආන්ඩුව, සෞඛ්‍ය සේවකයින්ට හා විරෝධතාවයේ යෙදුනු සිසුන්ට එරෙහිව ආරක්ෂක හමුදා යොදාගත් අතර සටන්කාමී වතු කම්කරුවන් දඩයම් කිරීමට සහාය දුන්නේය.

මාස හයක් තුල “නව රටක්” බිහිකරන බවට වික්‍රමසිංහ දෙන පොරොන්දුව, ශ්‍රීලනිප මෙන්ම එජාපය ද දැඩිසේ සම්බන්ධව සිටින රටේ ව්‍යාපාරික පැලැන්තිය වෙනුවෙන් මිස වැඩකරන ජනතාව සඳහා නම් නොවේ. අගෝස්තු 04දා කොලඹදී පැවති ආර්ථික සමුලුවකදී අගමැති කියා සිටියේ, වාර්ෂික අපනයන ඩොලර් බිලියන 50 දක්වා වැඩිකිරීමේ අටියෙන් දිවයින “ගෝලීයව තරඟකාරී” රටත් බවට පත්කරන බව ය.

ඇමරිකාවට හා යුරෝපයට කරන තේ, රබර්, හා ඇඟලුම් අපනයන ද ඇතුලු පාරිභෝගික භාන්ඩ මිල ලෝක වෙලඳපොල තුල පහත වැටෙන තතු හමුවේ, වික්‍රමසිංහගේ පොරොන්දුවට ඇත්තේ එක අර්ථයකි. එනම් ශ්‍රී ලංකාවේ අපනයන “ගෝලීයව තරඟකාරී” තැනකට ගෙන ඒම සහතික කර ගැනීම පිනිස එජාප ප්‍රමුඛ ආන්ඩුව, වැටුප්, සේවා කොන්දේසි හා රාජ්‍ය වියදම් රුදුරු ලෙස කපා හරිනු ඇතැයි යන්නය.

රාජ්‍ය දේපොල බලපත්‍ර හා තට්ටු නිවාස පුද්ගලීකරනයේ මෙන්ම කුඩා ව්‍යාපාරිකයින්ට හා ආයෝජකයින්ට නය සම්පාදනය කිරීමේ අලුත් වටයක් හරහා “ශක්තිමත් මධ්‍යම පන්තියක්” නිර්මානය කරන අතර සිය ආසියානු ප්‍රතිවාදීන් සමඟ “තරඟකිරීමේ හැකියාව“ වැඩිදියුනු කරමින් විදේශ ආයෝජන දිරිමත් කිරීමට වික්‍රමසිංහ පොරොන්දු විය.

එජාපයට “ගිනිකොන දිග ආසියාවේ වැනි පහසුකම් සහිත යෝධ ආර්ථික සංවර්ධන කලාප” 45ක් ගොඩනැඟීමේ චමත්කාරජනක සැලැස්මක් ද ඇත. චීන හා ෆෝක්ස්වාගන් වැනි ජර්මානු ආයෝජකයින් දැනටමත් වරායක් හා නිෂ්පාදන කම්හලක් ඉදිකිරීමට පොරොන්දුවී ඇති බව වික්‍රමසිංහ පවසයි. ලෝක වෙලඳපොල සඳහා නිෂ්පාදනය කරන ඒකාබද්ධ පොකුරු ගම්මාන ඉදිකිරීමේ අර්ථය, ගොවීන් අන්තර් ජාතික සංගතවල අනුකම්පාවට යටත් කෙරෙන බවයි.

පසුගිය සතියේ පැවති ආර්ථික සමුලුවේදී වික්‍රමසිංහ මෙසේ ද පැවසීය. “රටේ ආර්ථික වේදනාව සියලු කොටස් අතර බෙදී යාම අවශ්‍යය. එහි බර පුලුල් ජනතාව මත නොපැටවිය යුතුය.”

මොන බොරුවක් ද? අගෝස්තු 7දායින් පසුව කුමන පක්ෂ ආන්ඩුව පිහිටවුවත්, ඔවුන් නිර්දය ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කරනු ඇත. ග්‍රීසියේ සිදුවනවාක් මෙන් බර විශේෂයෙන්ම පැටවෙනු ඇත්තේ කම්කරු පන්තිය හා සමාජයේ අතිශයින්ම පීඩිත කොටස් මතය.

මැයි මාසයේදී මුදල් ඇමති රවි කරුනානායක, ආන්ඩුවේ නය ආපසු ගෙවීමේ පිරිවැය “අතිශයින්ම ඉහල” මට්ටමක පවතින බවට හා රජයේ වාර්ෂික ආදායමෙන් සියයට 95.4ක් ගිල ගන්නා බවට ද අනතුරු ඇඟවීය. රුපියල් ට්‍රිලියන 8.8ක් වන රාජ්‍ය නයබර හමුවේ ඊලඟ ආන්ඩුව, සමාජ ප්‍රතිවිප්ලවයේ න්‍යායපත්‍රය ක්‍රියාවට නැඟිය යුතු අතර වැඩකරන ජනතාවට එරෙහි ප්‍රහාර උත්සන්න කල යුතුය. කුමන හෝ අලුත් නයක් සඳහා පූර්ව කොන්දේසිය ලෙස ගැඹුරු පිරිවැය කප්පාදුවක් ජාමූඅ දැනටමත් නිර්දේශ කර ඇත.

කලින් පැවති ආන්ඩුව මෙන්ම එජාප ආන්ඩුව ද දශක ගනනාවක සිවිල් යුද්ධය අවධියේ ගොඩනඟන ලද පොලිස් රාජ්‍ය යාන්ත්‍රනය වැඩකරන ජනතාවට එරෙහිව යොදාගනු ඇත. එසේම වොෂින්ටනය සමඟ ඇති සමීප සම්බන්ධකම් හමුවේ, කලාපයම ලෝක යුද්ධයක් තුලට ඇද දැමීමට තර්ජනය කරන භූ දේශපාලනික සුලිය තුලට ශ්‍රී ලංකාව ද ඇදගනු ඇත.

එලඹෙන අරගලයන්ට කම්කරු පන්තිය සූදානම් කිරීමේ කොටසක් ලෙස මෙම මැතිවරනයට තරඟ කරන සසප, කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නේ, ව්‍යාපාරික ගැති ධනපති පක්ෂ දෙක ද ඔවුන්ගේ සියලු හෙංචයියන් ද ප්‍රතික්ෂේප කරන ලෙසය. යුද්ධය කරා වන තල්ලුව නතර කල හැක්කේ ද ප්‍රජාතන්ත්‍ර හා අයිතීන් ආරක්ෂා කල හැක්කේ ද ලෝක සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ විප්ලවවාදී අරගලයක් තුල පීඩිත ජනතාවගේ නායකයා ලෙස කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගැන්වීමෙන් පමනි.මැතිවරනයේදී කොලඹ, යාපනය හා නුවරඑලිය දිස්ත්‍රික්කවල සසප අපේක්ෂකයින්ට ඡන්දය දෙමින් පක්ෂයේ ක්‍රියාමාර්ගය හා ඉදිරිදර්ශනය හදාරන ලෙසත් පක්ෂයට එක්වන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

Share this article: