ශ්‍රී ලංකාව: ඇමරිකානු ගැති එක්සත් ජාතික පක්ෂය ආන්ඩුවක් පිහිටුවීමට සූදානම් වෙයි

Pro-US United National Party to form government in Sri Lanka

සමන් ගුනදාස විසිනි , 2015 අගෝස්තු 19

17දා මහ මැතිවරනයේදී එක්සත් ජාතික පක්ෂය හා එහි සහචරයින් ගෙන ගිය කටුක දේශපාලන ව්‍යාපාරයකින් අනතුරුව, ආසන 225න් යුත් පාර්ලිමේන්තුවේ ස්ථිර බහුතරයක් සඳහා අවශ්‍ය තරමට වඩා 07න් අඩු නමුත් ආසන 106ක් ඔවුන් දිනා ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුත් ප්‍රතිවාදී කන්ඬායම්වල එක්සත් ජනතා නිදහස් සන්ධානය, ආසන 95ක් දිනාගෙන ඇත.

එජාපය, අනෙකුත් කුඩා පක්ෂවල සහාය ඇතිව ආන්ඩුවක් පිහිටුවිය හැකි නමුත් කොලඹ දේශපාලන අර්බුදය දිග්ගැස්සෙනු ඇත. ජනවාරි‍ ජනාධිපතිවරනයේදී මෛත්‍රිපාල සිරිසේන විසින් පරාජය කරන ලද මහින්ද රාජපක්ෂ දැන් පාර්ලිමේන්තු අසුනක් දිනා සිටින අතර ශ්‍රීලනිප හා එජනිස තුල සැලකිය යුතු අනුහසක් දරයි.

පාලක පන්තිය තුල පැනනැඟී තිබෙන තියුනු බෙදීම්වල හරි මැද ඇත්තේ, විදෙස් පිලිවෙතේ දිශානතිය පිලිබඳ මතභේදය. රාජපක්ෂගේ කැබිනට් ඇමතිවරයෙකුව සිටි සිරිසේන ජනාධිපතිවරනයේදී ඔහු පරාජය කරමින් බලයට පත්වූයේ, චීනයට එරෙහි සිය “ආසියාවට හැරීම” පිලිබඳ මූලෝපායේ කොටසක් ලෙස වොෂින්ටනය, එජාපයේ ද සහාය ඇතිව දියත් කල තන්ත්‍ර මාරුකිරීමේ මෙහෙයුමෙහි ප්‍රතිපල වශයෙනි. ඇමරිකාව බීජිනය සමඟ රාජපක්ෂගේ සමීප සම්බන්ධතාවන්ට සතුරුකම් දැක්වීය.

රාජපක්ෂ අගමැති ලෙස යලි බලයට පත්වේ යයි වොෂින්ටනය හා නව දිල්ලිය තුල පැවති කනස්සල්ල මධ්‍යයේ ජාත්‍යන්තර මාධ්‍ය, ශ්‍රී ලංකාවේ මැතිවරනය සමීපව නිරීක්ෂනය කලේය. ආන්ඩුවක් පිහිටුවීමටත් කලින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි, එජාප නායක රනිල් වික්‍රමසිංහ ලැබූ ජයග්‍රහනය ගැන දුරකථනයෙන් ඔහුට ශුභ පැතීය.

ජයග්‍රහනයට ශුභ පතමින් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත, එය “සැලකිය යුතු භූදේශපාලනික ප්‍රතිවිපාක ගැබ්කරගෙන” ඇති බව පැවසීය. ජනාධිපති ලෙස රාජපක්ෂ මහතා දැඩි ලෙස චීනය වෙත නැඹුරු වෙමින්, ඉන්දියාව හා එක්සත් ජනපදය තැතිගැන්වූ ආර්ථික හා මිලිටරි සම්බන්ධතා ගොඩනඟා ගත්තේය. බෙංගාල බොක්ක හා අරාබි මුහුද අතර වානිජ්‍ය නාවික මාර්ග ඔස්සේ මූලෝපායිකව පිහිටා තිබෙන දිවයිනෙහි චීනය පැලපදියම්වීම, ඒ දෙරටම නොරිස්සීය. චීනය සමඟ බැඳීම් ‘ප්‍රතිතුලනය' කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් සිරිසේන හා වික්‍රමසිංහ මහත්වරු, එම නැඹුරුව නතර කලහ.”

17දා පැවති ඡන්දය එජාපය, සිරිසේන හා වොෂින්ටනය බලාපොරොත්තු වූවාට වඩා තියුනු විය. ඡන්දය පාවිච්චි කල සංඛ්‍යාවෙන් මිලියන 4.7ක් හෙවත් සියයට 42ක් ලබාගත් එජනිස සමඟ බලන කල එජාප නායකත්වයෙන් යුත් යහ පාලනය සඳහා එක්සත් ජාතික පෙරමුන, සියයට 45.7ක් හෙවත් යන්තම් මිලියන 5කට වැඩි ඡන්ද ප්‍රමානයක් ලබා ගැනීමට සමත් විය.

සිරිසේන විසින් ජනවාරියේදී අගමැති ලෙස පත් කරන ලද වික්‍රමසිංහ පැවසුවේ එය, “යහ පාලනය හා සංහිඳියාව මත පදනම්වූ දේශපාලනය වෙනුවෙන් ලැබුන වරමක්” බවය. ඔහු ජනාධිපති සමඟ ආන්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡා පවත්වන අතර අද දිනයේ ඊලඟ අගමැති ලෙස දිව්රුම් දෙනු ඇති බව වාර්තාවේ.

ශ්‍රීලනිපය තුල සිටින සිරිසේන පාක්ෂිකයින්ගේ පිටුබලය ලබාගැනීම පිනිස එජාපය ඔහුගේ සහාය පතනු ඇත. ජනවාරියේදී රාජපක්ෂගේ ප්‍රතිවාදියා ලෙස පෙනී සිටි සිරිසේන, ශ්‍රීලනිපයේ සමාජිකයෙක් හා එහි ද එජනිස ද බලගතු සභාපති තනතුර දරයි. පසුගිය දින කිහිපය තුල ඔහු, ශ්‍රීලනිපයේ හා එජනිස ප්‍රධාන ලේකම් වරුන් බලයෙන් පහ කරමින් ද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභිකයින් 13 දෙනෙක් නෙරපා හරිමින් ද රාජපක්ෂ ආධාරකරුවන් විරේක කිරීමට පියවර ගත්තේය.

වික්‍රමසිංහට, ආසන 16ක් හිමිකරගෙන සිටින දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) සහාය පැතීමට ද සිදුවනු ඇත. ඊයේ කල කෙටි සඳහනකදී ටීඑන්ඒ නායක ආර්. සම්පන්දන් පැවසුවේ, ජනාධිපති සිරිසේනට ලැබී ඇති “ජනවරම” පෙරට ගෙන යාම සඳහා තමන් ආන්ඩුවට සහාය දීමට කැමැත්තෙන් සිටින බවයි.

2009 මැයි මාසයේදී බෙදුම්වාදී එල්ටීටීඊය ලත් පරාජයෙන් පසුව ටීඑන්ඒ, දිවයින තුල දිගට ඇදී ගිය සිවිල් යුද්ධයට, කොලඹ සමඟ බලය බෙදාගන්නා ආකාරයේ “දේශපාලන විසඳුමක්” සඳහා බල කරමින් සිටියි. එහි මැතිවරන ප්‍රකාශනය ඉල්ලා සිටියේ, ෆෙඩරල් ශ්‍රී ලංකාවක් හා පලාත් සභාවලට පුලුල් බලය බෙදීමකි.

කෙසේ වෙතත් ටීඑන්ඒ සමග ගිවිසුමක්, දෙමල හා මුස්ලිම් ධනපතියන්ට කිසිදු සහනයක් දීම හෝ ෆෙඩරල් ව්‍යවස්ථාවකට දැඩි ලෙස සතුරු සිංහල අන්තවාදී ජාතික හෙල උරුමය ද කොටස්කරුවෙක් වන එජාප සන්ධානය තුල ගැඹුරු ආතතීන් නිර්මානය කරනු ඇත. එම සන්ධානයට වර්ගවාදය පදනම් කරගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය හා දෙමල ප්‍රගතිශීලී සන්ධානය ද ඇතුලත් වීම හේතුකොටගෙන අස්ථාවරත්වය ඇතිවීමේ හැකියාව තවත් උග්‍ර කෙරේ.

පරාජය පිලිගෙන ඇති රාජපක්ෂ ඇඟවුම් කලේ, තමන් පාර්ලිමේන්තුවේ විපක්ෂය මෙහෙයවන බවත්, (ආන්ඩුවේ) හොඳ ප්‍රතිපත්ති වලට සහාය දෙමින් නරක ඒවාට විරුද්ධවන බවත්ය. යලි හිස ඔසවමින් ඇතැයි කියන ලද “ එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් මව්බිම රැකගැනීමේ” අවශ්‍යතාවය අවධාරනය කරමින් සිංහල වර්ගවාදය ඇවිස්සීමේ පදනම මත, ඔහු මැතිවරන ව්‍යාපාරය ගෙන ගියේය.

එජාප හා ටීඑන්ඒ අතර කුමන හෝ ගිවිසුමක් අල්ලාගෙන, රට බෙදන බවටත් ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන බවටත් ආන්ඩුව හෙලා දකිමින් රාජපක්ෂ, වැඩෙන සමාජ ආතතීන් වර්ගවාදී මාවතකට හැරවීමට උත්සාහ කරනු නිසැකය.

ටීඑන්ඒ මෙන්ම ජනතා විමුක්ති පෙරමුන ද එජාප ප්‍රමුඛ ආන්ඩුවට සහාය දෙන බව ඇඟවුම් කර ඇත. ආන්ඩුවේ උපදේශක සභාවක් ලෙස හා කලින් පැවති සුලුතර එජාප ආන්ඩුවේ සහයෝගය නඟා සිටුවීම සඳහා පිහිටුවන ලද ජාතික විධායක සභාවට එම සංවිධාන දෙකේම නියෝජිතයින් පත්කර තිබුනි.

දිවයිනේම ඡන්ද 544000ක් හා ආසන 6ක් ලබාගනිමින් ජවිපෙ, කලින් පැවති පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව දෙකකින් වැඩිකර ගත්තේය. මාධ්‍ය හමුවකදී එහි නායක අනුර කුමාර දිසානායක පැවසුවේ, තමන් විපක්ෂයේ සිටින අතර බහුතර පක්ෂයට සහාය නොදෙන බවයි. ඒ හුස්මටම ඔහු අවධාරනය කලේ, අනෙකුත් අය “ආන්ඩුව පෙරලා දැමීමට” දරන උත්සාහයන්ට පක්ෂය සහාය නොදෙන බවයි. එය වනාහි එජාපයට එරෙහි විශ්වාස භංගයකට සහාය නොදක්වන බව වහෙන් ඔරෝ බසින් පැවසීමකි.

ඊයේ සිය ජයග්‍රහනයේ කථාව තුල වික්‍රමසිංහ පැවසුවේ, “අපට අවශ්‍ය වන්නේ එක් පවුලක් ලෙස මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් නිර්මානය කිරීමටය..... මේ රටේ බහුතරයක් ඡන්දය දී ඇත්තේ, ජනවාරි 8දා සිදුවූ විප්ලවයේ ජයග්‍රහන තහවුරු කිරීමටත්, යහ පාලනයේ හා සංහිඳියාවේ පිලිවෙත් ඉදිරියට ගෙනයාමටත්ය.”

ජනවාරි “විප්ලවයක්” ගැන කරන කථාව විකාරයකි. ජනාධිපතිවරනයේදී එජාපය විශ්වාසය තැබුවේ, සිරිසේන දීප්තිමත් “ප්‍රජාතන්ත්‍රවාදී” වර්නයෙන් සැරසීම පිනිස රොද බැඳගත්, ඉහල මධ්‍යම පන්තියේ ශාස්ත්‍රාලිකයින්, වෘත්තික කන්ඬායම්, වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන හා සියල්ලටත් වඩා, නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම කන්ඩායම් මතය. සිරිසේන හා වික්‍රමසිංහ යන දෙනොම, වැඩකරන ජනතාවට එරෙහිව සිදු කල අපරාධ සම්බන්ධයෙන් දිගු වාර්තාවකට හිමිකම් කියන දක්ෂිනාංශික ධනපති දේශපාලඥයින්ය.

එජාප නව ආන්ඩුව ද සිය විරුද්ධවාදීන්ට හා කම්කරු පන්තියට මුහුනදීමේදී, ආඥාදායක රාජපක්ෂ රෙජිමය මෙන්ම නිර්දය වනු ඇත. ඔවුන් දැනටමත් හිටපු ඇමතිවරුන්ට හා ඉහල රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දූෂන චෝදනා මාලාවක් පරීක්ෂාවට ලක් කරමින් සිටින අතර රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවන්ට තව තවත් ප්‍රහාර එල්ල කිරීමට අරමුනු කරයි. මැතිවරන ව්‍යාපාරයේ අවසන් සතිය තුල, 2012 වසරේදී ඝාතනයට ලක්වූ ජාතික රග්බි කන්ඬායමේ සමාජිකයෙකුව සිටි වසිම් තාජුඩීන්ගේ මරනය සම්බන්ධව රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට එල්ලවී ඇති චෝදනා පිලිබඳ පොලිස් පරීක්ෂන කඩිනම් කරන ලදී.

ආන්ඩුව, ශ්‍රී ලංකාව ඇමරිකාව හා එහි සහචරයින් සමඟ පවත්වනන සම්බන්ධකම් දැඩි කරමින්, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය නිර්දේශ කරන කප්පාදු වඩසටහන් වැඩකරන ජනතාව මත පැටවීම කඩිනම් කරනු ඇත. මැතිවරන දිනය තුල කොටස් වෙලඳපොල මාස හතකට පසු ඉහලම අගය වාර්තා කිරීමෙන් සලකුනු වූ පරිදි, එජාපයේ ව්‍යාපාරික ගැති වාර්තාව බෙහෙවින් ප්‍රකටය. ඒ අතර එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කඩාවැටීම පෙන්නුම් කරන්නේ, ලඹදෙන ගෙවුම් ශේෂ අර්බුදයක් හා රැකියා, ජීවන තත්වයන්ට එරෙහි නව වටයක ප්‍රහාරයකි.

දිස්ත්‍රික්ක තුනකට අපේක්ෂකයින් 43 දෙනෙක් ඉදිරිපත් කරමින් සමාජවාදී සමානතා පක්ෂය විසින් උද්යෝගිමත් උද්ඝෝෂන ව්‍යාපාරයක් දියත් කරනු ලැබින. දකුනු ආසියාවේ හා ලෝකය පුරා ගොඩනඟන සමාජවාදී සමූහාන්ඩු සංඟමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකාව තුල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් වෙනුවෙන්, ධනේශ්වරයේ සියලු කොටස් වලට එරෙහිව වැඩකරන ජනතාව වෙනුවෙන් ස්වාධීන ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමින් සටන් වැදුනේ සසප පමනි.

ලියාපදිංචි දේශපාලන පක්ෂ 21ක් හා ස්වාධීන කන්ඬායම් 201ක දැවැන්ත දේශපාලන පෙලගැසීමක් සහිත ක්ෂේත්‍රයක සසප ලැබූ 321ක ඡන්ද සංඛ්‍යාව සුලු නමුත් එය සලකුනු කරන්නේ, පන්ති විඥානයෙන් යුතු කම්කරුවන්ගේ හා සිසුන්ගේ ස්ථරයක වැදගත් ප්‍රතිචාරයයි. සසප දේශපාලන උද්ඝෝෂනය හා ලත් ඡන්දයේ වැදගත්කම ගැන ඉදිරියේදී අපි වෙනම ලියන්නෙමු.

Share this article: