ශ‍්‍රී ලංකාවේ මහ මැතිවරනය, 2015
යුද්ධයට හා කප්පාදුවට එරෙහිව ද ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආරක්ෂාකර ගැනීම සඳහා ද සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන්න!
කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා පෙරට!

Vote for the Socialist Equality Party For socialist program against war, austerity and to defend democratic rights!
For a workers and peasants government!

සමාජවාදී සමානතා පක්ෂය, 2015 අගෝස්තු 15

කම්කරු, තරුන හා ගම්බද පීඩිත ජනතාවගෙන් සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටින්නේ, ධනපති එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඔවුන්ගේ සියලු සහචර පක්ෂ වලටත් එරෙහිව සමාජවාදී විකල්පයක් සඳහා තම සහාය ප‍්‍රකාශ කරමින්, අගෝස්තු 17 වන සඳුදා පැවැත්වෙන මහ මැතිවරනයේදී සසපට ඡන්දය දෙන ලෙසයි.

කොලඹ, යාපනය හා නුවර එලිය මැතිවරන දිස්ත‍්‍රික්ක තුල සසප අපේක්ෂකයින් 43 දෙනෙක් තරඟ වදිති. පක්ෂයේ දිගුකාලීන නායකයින් වන විලානි පීරිස්, තිරුඥානසම්බන්දර් හා එම්. දේවරාජා පිලිවෙලින් එම අපේක්ෂක කන්ඩායම් මෙහෙයවති. පක්ෂයේ ඡන්ද ලකුන කතුරයි.

වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට වඩ වඩාත් එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට ද වැඩෙන යුද තර්ජනයට ද එරෙහිව සටන් වදින සමාජවාදී ජාත්‍යන්තර ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමින්, වැඩකරන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින්නේ සමාජවාදී සමානතා පක්ෂය පමනි.

මැතිවරන ව්‍යාපාරය තුල බොරුව ද අභ්‍යන්තර කාකොටා ගැනීම් ද රජ කරයි. යහ පාලනයක් සඳහා වන එජාප නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පෙරමුන හා ශ‍්‍රීලනිපයේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය යන දෙකම වපුරන්නේ, ඉටුකිරීම සඳහා කිසිදු බලාපොරොත්තුවක් නැති මැතිවරන පොරොන්දු ය.

2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ඉක්බිතිව ධනපති පද්ධතියේ සිදුවෙමින් ඇති ලෝක පරිමාන බිඳවැටීම, ශ‍්‍රී ලංකාව තුල යෝධ අර්බුදයක් නිර්මානය කර තිබේ. විදේශ නය බරින් ආර්ථිකය කොරගසන අතර ආන්ඩුව මූල්‍ය බංකොලොත්කම අද්දරට පැමින ඇත. යුරෝපීය හා ජාත්‍යන්තර බැංකු ග‍්‍රීක ජනතාව මත පටවා ඇති රුදුරු කප්පාදු නිර්දේශ, ශ‍්‍රී ලංකාව ද ඇතුලු සෑම රටකම කම්කරුවන් වෙනුවෙන් සූදානම් කෙරෙන්නේ කුමක් ද යන්න පිලිබඳව කෙරෙන තියුනු අනතුරු ඇඟවීමකි.

බලයට පැනගැනීම සඳහා ප‍්‍රමුඛ ධනපති පක්ෂ දෙකම තරඟවැද සිටින්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනකර ඇති කප්පාදු න්‍යායපත‍්‍රය ක‍්‍රියාවට නැගීම සඳහා මිස කම්කරු හා පීඩිත ජනතාවගේ ජීවන තත්වයන් නගාසිටුවීමට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට නොවේ.

ශ‍්‍රී ලංකාවේ පාලක පන්තියෙහි එජාප හා ශ‍්‍රීලනිප අතර පැනනැග ඇති බිහිසුනු කන්ඩායමික ගැටුම, තියුනු වන භූ දේශපාලන ආතතීන්, සියල්ලටත් වඩා සියලු විභව ප‍්‍රතිවාදීන්ට එරෙහිව සිය ගෝලීය ආධිපත්‍යය සහතිකකර ගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කඩාවැදීම්, මගින් උත්සන්න කෙරී ඇත. චීනයට විරුද්ධ සිය “ආසියාවට හැරීමේ” කොටසක් ලෙස ඇමරිකාව, න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධය ඇවිලවිය හැකි යුද පෙරමුනු ගොඩනැගීමේ ඉවබව නැති ව්‍යායාමයක නිරතව සිටියි.

පසුගිය වසර පහ පුරා වොෂින්ටනය, කලාපය පුරා සිය සන්ධානයන් සවිමත් කර චීනයේ අනුහස අඩපන කිරීමේ ව්‍යාපාරයක් නොකඩවා ගෙනයමින් සිටියි. මහින්ද රාජපක්ෂ ඉවත්කර මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස පත්කල ජනවාරි මැතිවරනය, ඇමරිකාවට පූර්න සහාය ගොනුකර ගැනීමේ “රෙජිම් චේන්ජ්” හෙවත් තන්ත‍්‍ර මාරු මාලාවක අලුත්ම සිද්ධියයි.

කොලඹ සිටින වොෂින්ටනයේ ප‍්‍රමුඛ සාපරාධී සහචරයින් වූයේ, එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගය. ඔවුන් නියෝජනය කරන්නේ, බීජිනය සමග රාජපක්ෂගේ සමීප සම්බන්ධකම්වල ප‍්‍රතිපල වශයෙන්, චීනයට එරෙහිව යුද්ධය සූදානම් කිරීමේ යෙදී සිටින ඇමරිකාවේ පලිගැනීම් වලට ශ‍්‍රී ලංකාව ලක්වේය යන බියෙන් පසුවන ධනපති කොටස්ය. සිරිසේන හා එජාපය යටතේ ශ‍්‍රී ලංකාවේ විදෙස් පිලිවෙත ඇමරිකාව හා ඉන්දියාව වෙත හැරී තිබේ.

වොෂින්ටනය හා නව දිල්ලිය මැතිවරන කටයුතු සමීපව නිරීක්ෂනය කරමින් සිටිති. බ‍්‍රහ්ම චැලනි යන ඉන්දියානු විශ්ලේෂකයා මෙසේ ලියයි. “සඳුදා පැවැත්වෙන ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරනය, රටේ දේශපාලන අනාගතය පමනක් නොව විශාල ඉන්දියානු සාගර කලාපයේ භූ දේශපාලනය ද හැඩගැස්වීමේ පොරෙන්දුවකි.” ඉන්දීය සාගරය හරහා විහිද යන නාවික මාර්ගයන්හි ශ‍්‍රී ලංකාවේ කේන්ද්‍රීය පිහිටීම සලකුනු කරන “මූලෝපායික වැදගත්කම” ඉස්මතු කරමින් ඔහු, මෙම මැතිවරනයෙන් රාජපක්ෂ අගමැති ලෙස බලයට පත්වුවහොත් චීනයට වාසි සැලසෙනු ඇත යන කනස්සල්ල පල කරයි.

එක් තන්ත‍්‍ර වෙනසක් සිදුකලාට පසුව ඇමරිකාව, රාජපක්ෂට යලි බලයට පැන ගැනීම සඳහා ඉඩ දීමට සූදානම් නැත. රාජපක්ෂ වැලැක්වීමට යොදාගනු ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රමෝපායන්හි සලකුනු දැනටමත් විද්‍යමානව ඇත. ජනවාරි මැතිවරනයේදී මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් ලෙස පුම්බන ලද සිරිසේන, ශ‍්‍රීලනිපය ජයගත්ත ද තමන් රාජපක්ෂ අගමැති ලෙස පත් නොකරන්නේ යයි මේ සතියේ යලි පැවසීය. මෙම පොරොන්දුව ඉටු කිරීම සඳහා රාජ්‍ය යාන්ත‍්‍රනය හා ආරක්ෂක හමුදා මෙහෙයවීමට සිදුවනු ඇත.

තමන්ගේ පැත්තෙන් රාජපක්ෂ, ප‍්‍රතිගාමී දෙමල විරෝධී වර්ගවාදය උසිගන්වන අතර 2009දී මිලිටරිමය වශයෙන් එල්ටීටීඊයට අත්කරදුන් පරාජය අපසු හරවන්නේ යයි එජාපයට චෝදනා කරයි. ඔහුට පිටුබලය දෙන්නේ, සැලකිය යුතු ආකාරයේ චීන ආධාර හා ආයෝජන මගින් වාසි සලසාගත් පාලක පන්තියේ කොටස්ය. ලෝක යුද්ධයේ ව්‍යසනයක තර්ජනය මතු කරන භූ දේශපාලනික එදිරිවාදිකම්වල වේරම්භය වෙත ශ‍්‍රී ලංකාව හා සමස්ත කලාපයම නිර්දය ලෙස ඇද ගනිමින් තිබේ.

යුද්ධය කරා ධාවනය, ලෝක ආර්ථිකය හා යල් පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය අතර ඇතිව තිබෙන, ලෝක ධනේශ්වර ක‍්‍රමයේ අති මූලික පරස්පර විරෝධයන්ගේ නිමැවුමකි. යුද්ධය වැලැක්විය හැකි එකම සමාජ බලවේගය, සමාජවාදී විප්ලවය තුලින් ලාභ පද්ධතිය අහෝසි කරන ජාත්‍යන්තර කම්කරු පන්තිය පමනි.

සසප ගෙන යන අරගලය, කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම පිනිස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ විසින් ගෙනයනු ලබන ව්‍යායාමයේ අවියෝජනීය කොටසකි. ආසියානු හා ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් වෙනුවෙන් පක්ෂය කරන කැඳවුම මගින් ප‍්‍රකාශයට පත් කරනු ලබන්නේ, කම්කරු පන්තිය එක්සත් කිරීමට අප දියත්කර ඇති අරගලය යි.

ශ‍්‍රී ලංකාවේ අනෙක් සියලු පක්ෂ එක් හෝ තවත් ආකාරයකින් ධනපති පෙරමුනු දෙක පිටුපස ගාල්වී සිටිති.

⋆ වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන එජාපය සමග සන්ධානගතව සිටී. අගමැති ලෙස රාජපක්ෂ පත් නොකරන බවට කල සිරිසේනගේ ප‍්‍රකාශයට ඔවුහු ප‍්‍රසිද්ධියේම සහාය දක්වති. එජාපයේ සුලුතර ආන්ඩුව නගාසිටුවීම පිනිස සිරිසේන හා වික‍්‍රමසිංහ විසින් පත් කරන ලද ඉහල උපදේශක සභාව වන ජාතික විධායක සභාවේ පාර්ශවයක් ඔවුහු නියෝජනය කලහ.

⋆ දිවයිනේ දෙමල ප‍්‍රභූව වෙනුවෙන් පෙනී සිටින ටීඑන්ඒ හෙවත් දෙමල ජාතික සන්ධානය, ජනවාරි තන්ත‍්‍ර මාරුවට සහාය දුන් අතර දැන් එජාපයට තම සහාය ඇඟවුම් කර ඇත. ඔවුන් ද ජාතික විධායක සභාව නියෝජනය කලේය. ටීඑන්ඒ බලපොරොත්තු වන්නේ, ඇමරිකාවේ හා ඉන්දියාවේ ද සහාය ඇතිව, වැඩකරන ජනතාව හවුලේ සූරාකෑම පිනිස සිංහල හා දෙමල ධනපතියන් අතර බලය බෙදාගැනීමේ ගිවිසුමක් එජාප ආන්ඩුවක් සමග ඇතිකර ගැනීමයි.

⋆ සියලු ව්‍යාජ වාම සංවිධාන කෙලින්ම හෝ වක‍්‍ර ලෙස එජාපය සමග පෙලගැසී සිටිති. තම නායකයා ජාතික විධායක සභාවේ ද සාමාජිකයෙකුව සිටින නව සමසමාජ පක්ෂය, එජාප නායකත්වය සහිත ආන්ඩුවක් වෙනුවෙන් උද්ඝෝෂනය කරයි. එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන දෙකම තමන් පක්ෂ දෙකටම විරුද්ධ බව කියන අතර සිය ප‍්‍රධාන වෙඩිමුරය එල්ල කරන්නේ “ඒකාධිපති” රාජපක්ෂ වෙතය. එමගින් ඔවුහු, “අඩු නපුර” ලෙස එජාපයට තම ඡන්දය පාවිච්චි කිරීම සඳහා වඩාත් දෙගිඩියා සහගත ඡන්දදායකයින් දිරිමත් කරති.

⋆ ඉහල මධ්‍යම පන්තියේ ශාස්ත‍්‍රාලික හා වෘත්තික සංවිධාන, සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය, සමාජ සාධාරනත්වය සඳහා වෘත්තීය සමිති එකමුතුව වැනි රාජ්‍ය නොවන සංවිධාන හා වෘත්තීය සමිති, ශ‍්‍රීලනිපයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පයක් ලෙස එජාපය හුවා දක්වමින්, එය සමග මැතිවරන ගිවිසුමක් අත්සන් කලහ. ව්‍යාජ වාම සංවිධාන සමග එක්ව මෙම කන්ඩායම්, රාජපක්ෂ බලයට ඒම වැලැක්වීමට ඇමරිකාව තීරනය කරන මාවත ඔස්සේ, සූදානම් වෙමින් තිබෙන “වර්න විප්ලවය” සඳහා පසුබිම සකසති.

එජාප හා ශ‍්‍රීලනිප සමග ඔවුන්ගේ සියලු දේශපාලන සහචරයින් ද ක්ෂමාලාපයින් ද හෙංචයියන් ද ප‍්‍රතික්ෂේප කරන ලෙස සසප, කම්කරුවන්ගෙන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටියි. 1948 නිල නිදහස ලැබූ තැන් පටන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනය තුල අධිකාරය දැරූ මෙම පක්ෂ දෙක, වැඩකරන ජනතාවට එකකින් පසුව තවෙකක් වශයෙන් විනාශයන් අත්කරදී ඇත. සිංහල වර්ගවාදයේ කරවටක් ගිලී සිටින මෙම පක්ෂ, ලක්ෂ ගනනකගේ ජීවිත බිලිගනිමින් දිවයින විනාශයට ඇද දැමූ වසර 26ක සිවිල් යුද්ධය සඳහා වගකීම දරා සිටිති.

මැතිවරනයෙන් පසුව කුමන පක්ෂ විසින් ඊලඟ ආන්ඩුව පිහිටුවනු ලැබුව ද එය, ජාමූඅ විසින් ඉල්ලා සිටින ව්‍යසනකාරී කප්පාදු වැඩසටහන් ක‍්‍රියාවට නැගීමටත්, වැඩකරන ජනතාවගේ ප‍්‍රතිරෝධය බිඳීම පිනිස යුද්ධය අවධියේ ගොඩනගන ලද පොලිස් රාජ්‍ය යාන්ත‍්‍රනය යොදාගැනීමටත් නොපසුබට වනු ඇත.

පක්ෂ දෙකම කම්කරු පන්තියට හා පීඩිත ජනතාවන්ට එරෙහිව සිදුකල බිහිසුනු අපරාධ සඳහා වගකිව යුතුය. ශ‍්‍රීලනිප නායකත්වයෙන් පැවති සමසමාජ කොමියුනිස්ට් පක්ෂ හවුල් ආන්ඩුව ගම්බද තරුනයින් 25,000ක් ඝාතනය කරමින් 1971 ජවිපෙ කැරැල්ල නිර්දය ලෙස තලා දැමීය. 1980 ගනන් අග කම්කරු පන්තියට එරෙහිව ජවිපෙ යොදා ගනිමින් එජාපය, සිය අනියම් සහචරයා වෙත කඩා පනිමින් මුදාහල මිනීමරු කල්ලි විසින් ගනන් බලනු ලැබ ඇති පරිදි 60,000ක් පමන මිනිසුන් මරා දැමීය.

එජාප හා ශ‍්‍රීලනිප ආන්ඩු එල්ටීටීඊයට එරෙහි යුද්ධය අවධියේ සිදුවූ වධබන්ධන, පැහැරගෙන යාම් හා ඉබාගාතේ සිදුකල සිවිල් වැසියන් ඝාතනයට වගකිව යුතුය. පක්ෂ දෙකම උතුරු නැගෙනහිර අඛන්ඩව පවත්වාගෙන යන මිලිටරි ග‍්‍රහනයට ද දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මැඩලීමට ද සහාය දෙයි.

සියලු සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර ප‍්‍රශ්න වලට විසඳුම් වශයෙන් සසප විප්ලවවාදී සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරමින් සටන් වදියි. පාලක පන්තිය විසින් අවුලුවනු ලබන වර්ගවාදී බෙදීම් පිලිකෙව් කරමින් ධනවාදය පෙරලා දමන සමාජවාදී පිලිවෙත් සඳහා සටන් වැදීමට සිංහල, දෙමල හා මුස්ලිම් වාර්ගික බෙදීම් අබිබවමින් එක්සත් වන ලෙස පක්ෂය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. වාර්ගික වෙනස්කම් අවසන් කිරීමත් සියලු ජන කොටස්වල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සුරැකීමත් සිදුවනු ඇත්තේ සමාජවාදය සඳහා අරගලය ඔස්සේ පමනි.

කප්පාදු පියවරයන්ට එරෙහිව සටන් වදින අතරතුර, අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස වැනි සමාජ අයිතීන් දිරාපත්වන ධනවාදය යටතේ රැකගත නොහැකිය. මෙම ක‍්‍රමය යටතේ කුඩා ගොවීන් හා ධීවරයින් අඛන්ඩ ප‍්‍රහාරයට ගොදුරුවී සිටියි. මහ බැංකු, වතු හා කර්මාන්ත ජනසතු කිරීමත් විදේශ නය කටුගා දැමීමත් මගින් පමනක් මෙම ප‍්‍රහාර අවසන් කර සමාජවාදී සමාජයක අත්තිවාරම දැමීම ඇරඹිය හැකිය.

ජාත්‍යන්තර සමාගම්, මූල්‍ය ප‍්‍රාග්ධනය ආධිපත්‍යය දරන ලෝකයක් තුල, සමාජවාදය සඳහා අරගලය අවශ්‍යයෙන්ම පරිමාවෙන් ජාත්‍යන්තරය. සසප සටන් වදින්නේ, දකුනු ආසියානු හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් හා ශ‍්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් වෙනුවෙනි.

සමාජවාදය සඳහා අරගලයට සහාය පලකිරීමක් ලෙස මෙම මැතිවරනයේදී කොලඹ, යාපනය හා නුවර එලිය දිස්ත‍්‍රික්කවල සසපට ඡන්දය දෙන ලෙස අපි කම්කරු හා පීඩිත ජනතාවගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

එලඹෙන පන්ති අරගල විසින් ඉල්ලා සිටිනු ලබන විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම සඳහා පක්ෂයේ ක‍්‍රියාමාර්ගය හදාරමින් සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ යන එහි තරුන ව්‍යාපාරයට බැඳෙන්න.

Share this article: