පැරිසිය වැටලූ තත්වයක හා යුද ආතතීන් හමුවේ කොප්21 පරිසර සමුලුව ඇරඹේ

COP21 ecological summit opens amid war tensions, with Paris in lockdown

ස්ටෙෆනි හියුස් විසිනි, 2015 දෙසැම්බර් 01

කොප්21 සමුලුව නොවැම්බර් 30දා ආරම්භ කෙරුනේ, 13දා පැරිසියට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ප්‍රන්ස ආන්ඩුව විසින් හදිසි නීතිය පැනවීම නිසා පැරිසිය වැටලූ වාතාවරනයක් හමුවේය. බොහෝ ප්‍රධාන මාවත් වසා දමා මුර කපොලු ඉදිකර තිබුනු අතර දහස් ගනන් හමුදා භටයින්, කැරලි මර්දන පොලිසිය වීදි සිසාරා මුර සංචාරයේ යෙදී සිටියේය.

ඉරිදා දින පොලිසිය තමන්ට ලැබී ඇති හදිසි නීති බලතල උපයෝගී කර ගෙන කොප්21 සමුලු විරෝධතා මඬිනු ලැබූ අතර පැරිසිය තුල පමනක් 6300ක් සහිතව ප්‍රන්සය පුරා 120,000ක හමුදා හා පොලිස් බල ඇනි යොදවා තිබුනි. පුද්ගලයින් 317 දෙනෙක් රාත්‍රිය මුලුල්ලේ රඳවාගෙන සිටි අතර 341 දෙනෙක් අත්අඬංඟුවට ගත්තේය.

මෙම රුදුරු කොන්දේසි යටතේ ප්‍රන්ස ආන්ඩුව විසින්, චාල්ස් ඩිගෝල් හා ඕලි යන පැරිසියේ ප්‍රධාන ගුවන්තොටුපල වලදී රාජ්‍ය නායකයින් 145ක් ඇතුලු නියෝජිතයින් 195 දෙනෙක් පිලිගනු ලැබින. නියෝජිතයින් පැරිසියේ හෝටල් කරා රැගෙන ආ නිල රථ වලට හැරෙන්නට ගුවන්තොටුපල වලට ඇතුලු වන මහා මාර්ග හා පැරිසියේ වට රවුම් මාර්ගවල ගමනා ගමනය තහනම් කර තිබුනි.

මුලදී බලධාරීන් නිවේදනය කලේ, ඉරිදා හා සඳුදා දිනවල පැරිසියේ පොදු ප්‍රවාහනය විවෘතව තබන බවයි. එහෙත් මාධ්‍ය හා නිල ආරංචිමාර්ග පසුව පැවසුවේ, පොදු ප්‍රවාහනය අනතුරුදායක බවත් සඳුදා කම්කරුවන්ට නිවාඩු දිනයක් සේ සලකනු ලබන බවත්ය.

කොප්21 සමුලුවට ඉදිරිපත් කර තිබුනු යෝජනා කිහිපය වුව ද පැරිසියේ පැවති ආරක්ෂක වැටලීම හා පැමිනි ප්‍රමුඛ බලවතුන් අතර යුද්ධය ඇවිල යාමේ අවදානම පිලබඳ අඳුරෙන් වැසී ගියේය. සිරියාවේ හා ඉන් ඔබ්බෙහි මිලිටරි ගැටුම් වලට මෙම බලවතුන් පැටලීමේ කොන්දේසි යටතේ, සමුලුව තුල සාකච්ඡා කිරීමට නියමිතව තිබුනු සංකීර්න පාරිසරික ගැටලු විසඳීමේ කිසිදු එකඟත්වයකට පැමිනීමට ඔවුහු අසමත් වූහ.

එය ඉදිරිපත් කිරීමට සමත් වූයේ සංයුක්ත යෝජනා අතලොස්සක් පමනි. යුරෝපීය කොමිසමේ සභාපති ජීන් ක්ලවුඩි ජුන්කර් පැවසුවේ, “කාබන් දහනයෙන් අඩු හා නිර්මානශීලිත්වයෙන් පොහොසත් නව ලෝකයක් බලශක්ති පරිවර්තනය මඟින් සැලසුම් කෙරෙන්නේය. මෙහි නව ලෝක ගතිකයක් පවතී. කෙසේ වෙතත් සෙන්ටිග්‍රේඩ් 2 දක්වා ගෝලීය උනුසුම සීමා කිරීමට සෑහෙන තරම් පොරොන්දු අපට ලැබී නැත. ලොකු පොරොන්දු සෑහෙන්නේ නැත. අපට අවශ්‍ය වන්නේ ශක්තිමත් හා කල්පවත්නා බැඳුනු එකඟත්වයක් ඇතිකර ගැනීමයි.”

ගෝලීය උනුසුම පහත හෙලීම පිනිස සැබවින්ම බැඳුනු එකඟත්වයක් සමුලුව තුලින් මතුවූයේ නැත. එහි ප්‍රමුඛ ගතිකය වූයේ සාමාජික රටවල් අතර නැඟෙන ඝර්ෂනය. සමුලුව සංයුක්ත යෝජනාවක් ඇතිකර ගත්තේ වුව ද ඒ කෙරෙහි ප්‍රධාන බලවතුන්ගේ කැපවීම සහතික කරන යාන්ත්‍රනයක් බිහිනොවනු ඇත. පසුගිය මාසයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමඟ පැවති හමුවකදී කෙලින්ම පවසා ඇත්තේ, පැරිස් සමුලුවෙන් ප්‍රධාන බලවතුන් අතර ක්‍රියාත්මක කල හැකි කිසිදු ගිවිසුමක් ඇති නොවනු ඇති බවයි.

“සත්තකින්ම කොප්21 සමුලුවෙන් ගිවිසුමක් ඇති විය නොහැක.” කෙරී තවදුරටත් පැවසුවේ, “කියෝටෝ සමුලුවේදී මෙන් (හරිතාගාර වායු) පහත හෙලන ඉලක්ක පිලිබඳ නීතිමය බැඳීමක් ඇති නොවනු ඇත.” යනුවෙනි. ඔහු සඳහන් කලේ 1997 කියෝටෝ සම්මුතිය ගැනය.

එබැවින් පැරිස් සමුලුවේදී කුමන පාරිසරික පියවර පිලිබඳව එකඟතා ඇතිකර ගත්ත ද ඒවා දරනු ඇත්තේ අල්ප වැදගත්කමක් පමනි.

සමුලුවේ ප්‍රථම දිනය තුල අධිකාරය දැරුවේ දූෂනය අවම කිරීම හා දේශගුනික විපර්යාස පාලනය කිරීම නොව, නිල වේදිකාවෙන් පිටත ප්‍රධාන බලවතුන් අතර සිරියාව මුල්කරගෙන පැනනැඟී ඇති දැවැන්ත ආතතීන් හසුරුවා ගැනීම පිනිස සිදුවූ සාකච්ඡාය. වොෂින්ටනය විසින් ද ආරක්ෂා කරන ලද ඉවබව නැති ක්‍රියාව, එනම්, තුර්කිය විසින් රුසියානු ප්‍රහාරක ජෙට් ගුවන් යානයක් බිම හෙලීමේ සිද්ධිය, අධිරාජ්‍යවාදීන්ගේ නේටෝ සන්ධානය හා රුසියාව අතර යුද්ධයක අන්තරාය තියුනු ලෙස මතු කලේය.

සිදුවීම සම්බන්ධයෙන් තුර්කිය සමාව ගැනීම, අගමැති අමෙට් ඩවුටොග්ලු විසින් යලිදු ප්‍රතික්ෂේප කරනු ලැබින. දැන් තම රටට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක ගැන යලි සලකා බලන ලෙස ඔහු රුසියානු ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේය. “ඒවා අප දෙරටේම අවශ්‍යතාවන්ට පටහැනිය.” ඔහු පැවසීය.

ඇමරිකානු ජනාධිපති ඔබාමා හා රුසියානු ජනාධිපති පුටින් සමුලුවේ දෙවන දිනය තුල ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූහ. “සිරියාවේදී තුර්කිය විසින් රුසියානු යානයක් වෙඩි තබා බිම හෙලීමේ සිද්ධිය ගැන ඔබාමා කනගාටුව පල කල” බව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක ඩිමිත්‍රි පෙස්කොව් පැවසීය.

ප්‍රහාරය තුර්කිය හා රුසියාව අතර සම්බන්ධකම් කෙරෙහි බරපතල ප්‍රතිවිපාක ජනනය කරනු ඇති බවට පුටින් අනතුරු ඇඟවූ අතර දැනටමත් තුර්කි ව්‍යාපාරිකයින් 37 දෙනෙක් රුසියාවෙන් පිටුවහල් කර ඇත.

ප්‍රහාරය “රුසියාවට පිටුපසින් පිහියෙන් ඇනීමක්” ලෙස විස්තර කල ඔහු, එය කලේ ත්‍රස්තවාදීන්ගේ සහචරයින් විසින් යයි ද පැවසීය. ජාත්‍යන්තර වෙලඳපොලේ අලෙවිය සඳහා තෙල් රැගෙන තුර්කියට පැමිනෙන අයිසිස් සංවිධානයේ ට්‍රක් රථ පේලියක චන්ද්‍රිකා ඡායාරූප ඔහු ප්‍රදර්ශනය කලේය. රුසියාවේ සිට තුර්කියට යන ගුවන් ගමන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමේ නියෝගයකට ඔහු සඳුදා අත්සන් තැබීය. සංචාරකයින් තුර්කියට රැගෙන යාම නතර කරන නියෝගයක් ද නම් නොකල තුර්කි ආනයන තහනම් කිරීම හා තුර්කි සමාගම් හා තුර්කි ජාතිකයින් රුසියාව තුල කරන ගනුදෙනු අත්හිටුවීම ද ඊට ඇතුලත් විය.

“ඇතිව තිබෙන අවස්ථා ද රුසියාව මත දමා ඇති යකඩ සැට්ටය ද පෙර නොවූ විරූය. මෙම තර්ජනයට අනුකූලව පල වල ප්‍රතික්‍රියාව ස්වාභාවිකය.” එම නියෝග පැනවීමෙන් පැය කිහිපයකට පසුව පෙස්කොව් පැවසීය.

සිය මෙහෙයුම් සිදුවන අවස්ථාවල අයහපත් සිදුවීම් වැලැක්වීමේ අටියෙන් රුසියානුවන් තම ගුවන් ගමන් තොරතුරු ඇමරිකානු නිලධාරීන් වෙත ලබාදුන් බවත් ඔවුන් ඒවා නේටෝ සහචරයෙක් වන තුර්කියට සම්ප්‍රේෂනය කිරීමෙන් තම ගුවන් යානය වෙඩිතබා බිම හෙලීමට අවස්ථාව ඔවුන්ට උදාවූ බවත් පුටින් ඇඟවුම් කලේය. “ඇමරිකාව පැත්තෙන් සලකන විට, තුර්කිය ද කොටස්කරුවෙක් වන හවුලේ නායකත්වය උසුලන ඔවුන්, අපගේ යානා ගුවන්ගත වන්නේ කොහේ ද හා කුමන වේලාවන්හි ද යන්න දැන සිටියේය. ප්‍රහාරය සිදුව ඇත්තේ හරියටම ඒ අසලය.” පුටින් අවධාරනය කලේය.

මෙය රුසියාව සිරියාව තුල කරන මැදිහත්වීම් දැඩි කිරීමට තුඩු දෙයි. රුසියාව සිය ගුවනේ සිට ගුවනට එල්ල කරන මිසයිල් සහිත එස්යූ-34 ප්‍රහාරක යානා මෙන්ම බෝම්බ ද තම මෙහෙයුම් වලට එක් කර ඇත. එමෙන්ම මොස්කෝව අති නවීන එස්-400 ගුවන් ආරක්ෂක පද්ධති සිරියාව තුල ස්ථානගත කර ඇත.

එමෙන්ම ඩොලර් බිලියන ගනනක් වන තුර්කිය තුලින් රුසියානු තෙල් හා ගෑස් ප්‍රවාහනය කරන නල පද්ධති ‍කොන්ත්‍රාත්තුව ද යලි සලකා බැලීමට නියමිතය.

රුසියාව යලි වතාවක් ඇමරිකාව සහාය දෙන යුක්‍රේනයෙන් අයවිය යුතු ඩොලර් බිලියන 3ක් වන ගෑස් නය ප්‍රශ්නය ද යලි මතුකර තිබේ.

“සිරියානු ප්‍රශ්නය දීර්ග වශයෙන් සාකච්ඡා කෙරී ඇත. දේශපාලන විසඳුමක් සඳහා වන පියවර ගැන ද (ඇමරිකානු හා රුසියානු) ජනාධිපතිවරු කථා කලහ. යුක්‍රේනය පිලිබඳව සාකච්ඡා කල ඔවුන්, හැකි තරම් ඉක්මනින් මින්ස්ක් ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ වැදගත් කම ද සැලකිල්ලට ගෙන තිබේ.” පෙස්කොව් පැවසීය.

ඇත්ත කාරනය නම් රොයිටර් වාර්තාවකට අනුව, සිරියාවේ දේශපාලන පරිවර්තනයක කොටසක් ලෙස එරට ජනාධිපති බෂර් අල් අසාද් බලයෙන් ඉවත් විය යුතු යයි ඔබාමා පුටින්ට යලි පවසා ඇත. ඇමරිකාවේ ආස්ථානය රුසියානු ආන්ඩුවේ පිලිවෙතට ප්‍රති විරුද්ධ එකකි. රුසියාව කියන්නේ සිරියානු යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමේ පූර්ව කොන්දේසියක් ලෙස අසාද් ඉවත් කිරීම තමන් පිලි නොගන්නා බවය.

Share this article: