එක්සත් ජනපදයේ ත්‍රස්ත භීතිකාව

The US terror scare

2015 දෙසැම්බර් 21

ඇමරිකානු මිලිටරි-ඔත්තු අංශ සමඟ සමීප සම්බන්ධකම් ඇති වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ වාර්තාකාර ඩේවිඩ් ඉග්නේෂස්, සිරියාවේ හා ඉරාකයේ ඇමරිකානු මිලිටරි මැදිහත්වීම් පුලුල් කිරීමේ කාල වකවානු හා පරිමාව පිලිබඳව පාලක කවයන් තුල සිදුවන වාද විවාද ගැන සඳහන් කරමින්, 17දා ලිපියක් පල කලේය.

ජනාධිපති ඔබාමා මේ දක්වා, අයිසිස් (ඉස්ලාමීය රාජ්‍ය) සංවිධානයට එරෙහිව සැලකිය යුතු තරම් ඇමරිකානු ගොඩබිම් හමුදා යොදවන ලෙසට කෙරෙන ඉල්ලීම් නොතකා හැරීම ගැන සඳහන් කිරීමෙන් පසුව ඉග්නේෂස්, පහත සඳහන් හෙලිදරව්කාරී ප්‍රශ්නය මතු කරයි:

“ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහි යුද්ධය, එක්සත් ජනපදයේ ප්‍රධාන මිලිටරි මැදිහත්වීමක් අවශ්‍ය කෙරෙන දෙයක් ලෙස සැලකීම වෙත ඔබාමාගේ අදහස යොමු වනු ඇත්තේ කුමන කාරනයක් මත ද? සමහර විට හේතුව ලොකු එකක් විය හැකිය. ඇමරිකාවේ සාමාන්‍ය කටයුතු ඇනහිටුවීමට පටන්ගන්නේ යයි මහජන මතය භීතියට පත්කල හැකි ත්‍රස්තවාදී සිදුවීමක් සැලසුම් කිරීමේ හැකියාව ඇත. එවන් තත්වයකදී ඔබාමා, දස දහස් ගනන් එක්සත් ජනපද හමුදා යොදාගෙන මැද පෙරදිග අවුල ලිහීමේ වගකීම ගනු හැර වෙනත් විකල්පයක් නැතැයි තීරනය කල හැකිය.”

මෙම නිරීක්ෂනය, ඇමරිකානු දේශපාලකයින් හා ව්‍යාපාර පාලිත මාධ්‍ය විසින් අයිසිස් හෙලා දැකීමේ උන්මාදයට වඩා, නොවැම්බර් 13දා පැරිසියේ හා දෙසැම්බර් 02දා සැන් බර්නාඩිනෝහි ත්‍රස්තවාදී ප්‍රහාරවල දේශපාලන වැදගත්කම පිලිබඳ බොහෝ දේ පැහැදිලි කරයි.

ඉරාකය හා සිරියාව තුල සිය විකල්ප ගැන සැලකිලිමත් වන ඇමරිකානු පාලක පන්තිය, මැද පෙරදිග පැතිර යන යුද්ධය කෙරෙහි රට තුල පවතින බරපතල විරුද්ධත්වය ගැන දැනුවත්ය. වෝල් වීදියට, පෙන්ටගනයට හා සීඅයිඒ සංවිධානයට විශාල වශයෙන් ගොඩබිම් හමුදාව ද පුලුල් ලෙස යොදාගන්නා යුද්ධය තීව්ර කිරීම පිනිස, මෙම යුද විරෝධී මහජන මතය වෙනස් කිරීමට ගැලපෙන කඩතුරාවක් අවශ්‍යව ඇත. සැන් බර්නාඩිනෝ සිද්ධියෙන් පසුව මාධ්‍ය විසින් දියත් කරන ලද උග්‍ර ප්‍රචාරය, එය කරන්නේ කෙසේ ද යන්න පිලිබඳ යම් පෙරහුරුවකි.

මිනිසුන් 14කගේ ජීවිත බිලිගත් බිහිසුනු හා ඛේදජනකවූ එම ප්‍රහාරය” පසුගිය වසර කිහිපය තුල ඇමරිකාවේ සිදුවූ එවන් ප්‍රධාන වෙඩිතැබීම් ගනනාවකින් එකක් පමනි. එමෙන්ම ප්‍රහාරකයින් ඉස්ලාමීය අන්තවාදයෙන් පෙලඹවුනු බව පෙනී යන, 2009 මේජර් නඩාල් හසන් විසින් ටෙක්සාස්හි කල ඝාතනයෙන් පසුව සිදුවූ දෙවැන්නයි. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු අවධිය තුල සුදු අන්තවාදීන් හා ක්‍රිස්තියානි මූලධර්මවාදී ත්‍රස්තවාදීන් ඇමරිකාව තුල ඉස්ලාමීයවාදීන්ට වඩා මිනිසුන් ඝාතනය කර ඇත. එහෙත් එවන් දක්ෂිනාංශික උන්මත්තකයින් මඬින ලෙස ඉල්ලා කෙරෙන මෙවන් හඬතැලීමක් දේශපාලන හෝ මාධ්‍ය අංශයෙන් සිදු නොවේ.

සැන් බර්නාඩිනෝ සිද්ධිය අල්ලාගෙන ඇත්තේ, කල්තියා සූදානම් කල දේශපාලන න්‍යායපත්‍රයක් පෙරට ගැනීමටයි. අන්තර්ජාල සේවාවන්හි කේතාංකකරන ක්‍රියාවලිය අහෝසි කිරීම, සියලු සමාජ මාධ්‍ය ජාලයන්හි පිටපත් කිරීම් නිරීක්ෂනය කිරීම, වීසා රෙගුලාසි කඩකරන්නන් වෙත කඩාපැනීම් හා අයිසිස්ට එරෙහි යුද්ධයේ නාමයෙන් ඇමරිකානු මිලිටරි මෙහෙයුම් දැවැන්ත ලෙස උත්සන්න කිරීම සිදුවෙමින් තිබේ. ස්වාමියා හා භාර්යාව වන මිනීමරුවන් දෙදෙනා රහස්‍ය කේතාංක සන්නිවේදනය සිය ප්‍රහාරයේදී පාවිච්චි කර නොතිබීම, මාධ්‍ය ප්‍රකාශයන්ට පටහැනි ලෙස, සිය ත්‍රස්තවාදී අභිලාශයන් සමාජ මාධ්‍ය තුල නිවේදනය කර නොතිබීම, වීසා රෙගුලාසි කඩකිරීමේ වැඩ සටහන් ප්‍රයෝජනයට ගෙන නොතිබීම හා අයිසිස්ට කිසිදු සෘජු සම්බන්ධයක් නොතිබීම යන කාරනා තිබියදී ද ප්‍රචාර යහමින් ඉදිරියට යයි. සියඩ් ෆාරුක් රැඩිකලෙක් වී ඇත්තේ, සංවිධානයක් ලෙස අයිසිස් එහි වත්මන් හැඩය අත්කර ගැනීමටත් පෙර ය.

මෙය පසුගිය වසර 15 නිරන්තර මෝස්තරය වී ඇත. ඒවා, කිසි විටෙකත් බැරෑරුම් හා ස්වාධීන පරීක්ෂනයකට මාතෘකාව වී නැති, සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයන්ගේ අන්ධකාර මූලාරම්භයන් දක්වා දිවේ. සිදුවූ ත්‍රස්ත ප්‍රහාර බැර කරනු ලැබුවේ, සීඅයිඒ හා අනෙකුත් අධිරාජ්‍යවාදී ඔත්තු සේවාවන්ට දිගු කලක් තිස්සේ බැඳීම් තිබුනු සෙවනැලි ඉස්ලාමීය සංවිධානයන්ටය. නිදසුනක් ලෙස අල් කයිඩාව නැඟී ආවේ, 1980 ගනන්වල ඇෆ්ගනිස්ථානයේ සෝවියට් ගැති තන්ත්‍රයට එරෙහි ඇමරිකාවේ පිටුබලය ලත් ගරිල්ලා යුද්ධය තුලින්ය.

මෙම ප්‍රහාර, යෝග්‍ය කඩතුරාවක් පමනක් අවශ්‍ය කෙරුනු, අධිරාජ්‍යාවාදී බලවතුන් දිගු කලක් තිස්සේ සැලසුම් කරන ලද කොල්ලකාරී යුද්ධ දියත් කිරීමේ නිමිත්ත බවට පත්ව තිබේ. ඒ අනුව සැප්තැම්බර් 11, 2001 ඇෆ්ගනිස්ථාන හා 2003 ඉරාක ආක්‍රමනයන්ට පිනුම් පිත්ත බවට පත් විය. පැරිස් ප්‍රහාර, සිරියාව තුල බෝම්බ හෙලීම පිනිස ප්‍රන්සයේ ගුවන් යානා පරිවාරක යුද නැව පිටත්කර හැරීම සමඟ බ්‍රිතාන්‍ය ප්‍රහාරක ගුවන් යානා ද ජර්මනියේ සැලකිය යුතු හමුදා යොදවුම් ද සඳහා නිමිත්ත විය.

විදේශයන්හි යුද්ධය අනිවාර්යයෙන්ම, රට තුල මර්දනය සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. “ත්‍රස්තවාදයට” එරෙහි සටන යන නාමයෙන් ගෙන යන පොලිස්-මිලිටරි මෙහෙයුම් ඒ සමඟ ගමන් ගනියි. එහෙත් ඒවායේ සැබෑ අරමුන, රට තුල යුද විරෝධී මහජන මතය මැඬලීම හා ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය විසින් ඉල්ලා සිටින, කප්පාදු පියවරයන්ට පලවන කම්කරු පන්තියේ විරුද්ධත්වය තලා දැමීමය. ඒ අනුව පැරිස් ප්‍රහාර වලින් පසුව, ප්‍රන්ස ආන්ඩුව විසින් ක්‍රියාත්මක කල රුදුරු කඩාපැනීමේ පලමු ගොදුර බවට පත් වූයේ, මේ මාසය මුල පරිසර සමුලුවට පිටතින් විරෝධතා දැක්වූවන්ය.

දෙසැම්බර් 15දා මාධ්‍ය කතුවරුන් හා වාර්තාකරුවන් කන්ඬායමක් සමඟ වැසූ දොරවල් පිටුපස, ධවල මන්දිරයේ පැවති හමුවට සහභාගීවූ ඉග්නේෂස්ට අනුව, සිරියාව තුල පූර්න පරිමානයේ ඇමරිකානු යුද්ධය සඳහා සෑහෙන තරම් ප්‍රකෝපකරනයක් ලෙස ඔබාමා පාලනය, සැන් බර්නාඩිනෝ ප්‍රහාරය සැලකිල්ලට නොගත්තේය. ඊට වඩා විශාල යමක් අවශ්‍යව තිබෙන බවකි.

මෙය අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. එක්කෝ සැප්තැම්බර් 11 සිද්ධියේදී පෙනෙන්නට තිබුන පරිදි, ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී සැලසුමක් කඩාකප්පල් නොවීමට ඉඩ හරිමින් හෝ වැරදි ධජයක් යටතේ එවන් මෙහෙයුමක් කෙලින්ම සංවිධානය කරමින් හෝ එවන් සිදුවීමක් නිර්මානය කිරීමට අවශ්‍ය අත්දැකීමෙන් හා නිර්දය භාවයෙන් යුත් බොහෝ දෙනෙක් දැවැන්ත ඇමරිකානු ඔත්තු අංශ තුල සිටිති. අඩුම තරමින් ඔවුහු, පැරිස් හා බර්නාඩිනෝ වැනි ප්‍රහාර දෙවියන්ගෙන් ලැබුනු දේශපාලන තෑග්ගක් ලෙස සලකති.

ඇෆ්ගනිස්ථානය තුල සෝවියට් මැදිහත්වීමට එරෙහි කාටර් පාලනයේ ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කල එවක ජාතික ආරක්ෂක ලේකම්ව සිටි සිබිග්නිව් බ්‍රෙසන්ස්කිගේ වචන යමෙක් සිහියට නඟා ගැනීම උපදේශාත්මකය. 9/11ට යන්තම් සිව් වසරකට පෙර පලවූ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විදෙස් පිලිවෙත සම්බන්ධ ඔහුගේ The Grand Chessboard(මහා චෙස් පෙත) යන කෘතිය තුල:

විදේශයේදී ආඥාදායක වීම සමඟ ගැටෙන තරම් ඇමරිකාව රට තුලදී ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වීම ද කාරනයකි. මෙය ඇමරිකාවේ බලය පාවිච්චි කිරීම සීමා කරයි. විශේෂයෙන්ම මිලිටරි අඩන්තේට්ටම් කිරීමේ එය සතු හැකියාව සීමා කරයි. ජනතාවාදී ප්‍රජාතන්ත්‍රය මින් පෙර කවර කලෙකවත් ජාත්‍යන්තර පරමාධිකාරය දිනාගෙන නැත. රට තුල යහපත් පැවැත්මට හදිසි තර්ජනයක් හෝ අභියෝගයක් එල්ලවී ඇතැයි මහජන මතය තුලට කාවැදුනු කොන්දේසි යටතේ හැර, බලය යොදාගැනීම, ජනතා අභිලාෂයන් මෙහෙයවිය හැකි ක්‍රමයක් වන්නේ නැත. (අවධාරනය ඈඳුනි.) ආර්ථික ස්වයං ප්‍රතික්ෂේපය (ආරක්ෂක වියදම්) හා එම ව්‍යායාමයේදී අවශ්‍ය කෙරෙන මානව කැපකිරීම් (ජීවිත හානි, නිපුන සොල්දාදුවන් අතර පවා) ප්‍රජාතන්ත්‍ර ස්වභාවයට නොපෑහෙයි. ප්‍රජාතන්ත්‍රවාදය අධිරාජ්‍ය බලමුලුගැන්වීමට සතුරු වේ.

එවැන්නක් සිදුවූ කල, වගකිව යුත්තේ කවර සංවිධානයක් ද හා ඇමරිකානු ජනතාවගේ “ආරක්ෂාව” සඳහා බෝම්බ දැමිය යුත්තේ හෝ ආක්‍රමනය කල යුත්තේ කවර රටක් ද යන්න මත, මාධ්‍ය ඉක්මනින්ම ඒකමතිකත්වයකට පැමිනීම, කලකට පෙරම සකස්කල අනිශ්චිත සැලැස්ම ක්‍රියාත්මක වීම පිලිබඳව වඩා නිශ්චිත ඇඟවුමක් වන්නේය.

මෙම යථාර්තය සලකුනු කරන්නේ, 2016 ජනාධිපතිවරනය මුලුමනින්ම මානා ඇත්තේ හා වේදිකාව සැකසී ඇත්තේ කොහාට ද යන්නයි. යුද්ධයක් ඇවිලවීම පිනිස සැන් බර්නාඩිනෝ වැනි සිද්ධියක්, ඕනෑම අවස්ථාවක ඇමරිකානු ජනතාව මතට බෝම්බයක් ලෙස පතිත කල හැකිය. මැතිවරනය කල් දැමීම හෝ ඡන්දය මුලුමනින්ම අත්හිටුවීම සිදුවිය හැකිය. විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිමිත්ත කර ගෙන ජනාධිපතිවරනය කල් දැමීම හෝ අවලංඟු කිරීමේ හැකියාව ගැන බුෂ් පාලනය තුල 2004දී විවෘත සාකච්ඡාවක් පැවති බව සිහිපත් කර ගැනීම වටනේය.(බලන්න: “බුෂ් ආන්ඩුව එක්සත් ජනපද මැතිවරනය අවලංගු කිරීමට පියවර ගනී”)

පසුගිය සතියේ රිපබ්ලිකානු හා ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයන් විසින් පවත්වන්නට යෙදුනු විවාදයන්හි දී, මැද පෙරදිග නව අධිරාජ්‍යවාදී යුද්ධයක් සඳහා අත්‍යවශ්‍ය දේශපාලන යුක්තිකරනයක් සඳහා ද්විපාර්ශවික එකඟත්වයක් පැවතුනි. ව්‍යාජ සමාජවාදී බර්නි සැන්ඩර්ස්ගේ පටන් ලිබරල් රෑන්ඩ් පෝල් දක්වා වන සියලු ධනපති දේශපාලඥයෝ, මාධ්‍ය වෘත්තාන්තයට අනුව යමින්, සැන් බර්නාඩිනෝ ඝාතනය මැතිවරන ව්‍යාපාරයේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්කර ගත්හ. එනම්, ඇමරිකානු ජනතාව මුලුමනින්ම වසාගෙන ඇත්තේ, ත්‍රස්තවාදයේ අන්තරායෙන් බවත්, විදේශයන්හි මෙන්ම රට තුල ද ඇමරිකානු ආන්ඩුවේ සෑම කටයුත්තක්ම විනිශ්චය කල යුත්තේ, මෙම දෘෂ්ඨිකෝනයෙන් බවත්ය යන අදහසය.

සමාජවාදී සමානතා පක්ෂය මෙම දේශපාලන ආකෘතිය මුලුමනින්ම ප්‍රතික්ෂේප කරයි. ත්‍රස්ත විරෝධය ලෙස වෙස් වලාගත් යුදවාදී ප්‍රචාරක ඝෝෂාවෙන් නොරැවටෙන ලෙසත් නොසැලෙන ලෙසත් අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. අධිරාජ්‍යවාදී යුද්ධයට, නැඟී එන රාජ්‍ය මර්දනයට, කප්පාදු පිලිවෙත් වලට හා රැකියා විනාශයටත් ජීවන තත්වයන් කාබාසීනියා කිරීමටත් විරුද්ධව, කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගැන්වීමට අපි සටන් වදින්නෙමු. එම අරගලයට මඟ පෙන්වන සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් වර්ධනය කිරීමට අපි සටන් වදින්නෙමු.

පැට්‍රික් මාටින්

Share this article: