ලෝක වෙලඳ සංවිධානය ඩෝහා වටය වල දැමීම: පශ්චාත් යුද්ධ පර්යායේ තවත් විභේදනයකි

WTO buries Doha Round: Another rupture in the post-war order

2015 දෙසැම්බර් 22

ලෝක වෙලඳ සංවිධානය (ලෝවෙසං) හෙවත් WTO, කෙන්යාවේ නයිරෝබි නුවර සති අන්තයේ පැවැත්වූ රැස්වීමේදී, වෙලඳාම පිලිබඳ ඊනියා ඩෝහා සාකච්ඡා වටය කටුගා දැමීමට ගෙන ඇති තීන්දුව, පශ්චාත් දෙවන ලෝක යුද්ධ ආර්ථික පර්යාය බිඳ විසුරුවා ලීමේ තවත් පියවරකි.

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය වැනි කෘෂිකාර්මික අපනයන රටවල මාධ්‍ය විසින් උලුප්පා දක්වනු ලැබ ඇති පරිදි, කාලයක් තිස්සේ කෙරීගෙන ගිය සාකච්ඡා මාලාවක ප්‍රතිපලය වශයෙන්, කෘෂි නිෂ්පාදන වලට දී තිබුනු අපනයන සහනාධාර අවසන් කිරීමට රැස්වීමේදී තීරනය වුව ද වඩා වැදගත් ප්‍රතිපලය වූයේ, ඩෝහා වරපත්‍රය යලි සලකා නොබැලීමේ තීරනයයි.

“සංවර්ධනයේ” වටයක් ලෙස, සැලකිය යුතු ඝෝෂාවක් සහිතව 2001දී ආරම්භ කෙරුනු ඩෝහා සාකච්ඡා වටය, දශකයක් තරම් කාලයක් තිස්සේ යටපත්වී තිබුනි. එහෙත් එය අවසන් කිරීමට ගත් තීරනයේ ඓතිහාසික වැදගත්කම එමඟින් බාල නොකරයි. එය සලකුනු කරන්නේ, හැමෝටම බලපාන පරිදි ඇතිකරගත් බහුපාර්ශවීය ගිවිසුම් අවසන් වීම හා ඒවා, තවත් රටවල් බැහැර කරමින්, රටවල් කිහිපයක් අතර ඇතිකරගත් දෙපැත්තට යන වෙලඳ එකඟතා හෝ ගිවිසුම් මඟින් විස්ථාපනය කිරීමයි.

මෙම ව්‍යායාමයේ ප්‍රමුඛත්වය ගත්තේ, ජපානය හා යුරෝපීය සංඟමය ඇතුලු ප්‍රධාන ආර්ථිකයන්ගේ පිටුබලය ලත් ඇමරිකාවයි. ඔස්ට්‍රේලියාව වැනි ඊට අඩු මට්ටමේ බලවතුන් ද ඊට සහාය දැක්වූ නමුත් අනෙකුත් වඩා දුප්පත් ආර්ථිකයන් සමඟ එක්ව චීනය හා ඉන්දියාව එහි ප්‍රධාන විරුද්ධවාදීන් විය.

නයිරෝබි තීරනය “ලෝවෙසං සඳහා නව යුගයක් කරා මාවතක්” හෙලිකල බව කියමින් ඇමරිකාව එය වර්නනා කල අතර ඩෝහා ආකෘතිය පවත්වාගෙන යා යුතු බව කියා සිටි ඉන්දියාව, නම් සඳහන් නොකර පැවසුවේ “සමහර සාමාජිකයින්” එය පවත්වාගෙන යාමට අවහිර කල බවය. එය වනාහි, “සාකච්ඡා මත පදනම්ව තීන්දු ගැනීමේ ලෝවෙසං මූලික සංකල්පයෙන් කැපී පෙනෙන අයුරින් බිඳී වෙන්වීමකි.”

සාකච්ඡා වලින් පසුව එහි අභාවය ගැන නිවේදනය නිකුත් වුනේ, ඝෝෂාවක් ලෙස නොව හීං කෙඳිරියක් ලෙසිනි. “බොහෝ සාමාජිකයින් ඩෝහා වරපත්‍රය යලි අවධාරනය කල අතර අනෙකුත් අය විරුද්ධ වූහ. සාමාජිකයින් අතර සාකච්ඡා වලට යොමු වන්නේ කෙසේ ද යන්න ගැන විවිධ අදහස් තිබුනි. සමහරු සාකච්ඡාවන්ට කැමැත්ත පල කල අතර අනෙකුත් ප්‍රශ්න හඳුනා ගැනීමට කැමැත්ත දැක්වූහ. අනෙක් අය එසේ නොවීය.”

බිඳවැටීමේ වැදගත්කම වටහා ගත හැක්කේ එය ඓතිහාසික සන්දර්භයක තබා විමසූ කලය. ලෝවෙසං 1995 පිහිටුවනු ලැබුවේ, 1948 පිහිටුවන ලද තීරුබදු හා වෙලඳාම සම්බන්ධ පොදු සම්මුතිය හෙවත් ගැට් (GATT) සංවිධානය විස්ථාපනය කරමිනි. ගැට් පිහිටුවන ලද්දේ, දෙවන ලෝක යුද්ධයට කොන්දේසි නිර්මානය කල තරඟකාරී වෙලඳ පෙරමුනු ලෙස ලෝකය බෙදී ගිය, 1930 ගනන් වල අත්දැකීම් යලි සිදුවීම වැලැක්වීමේ විශේෂ අරමුන ඇතිවය.

ගැට් පදනම් වූයේ, වෙලඳ සහන පරිමාවෙන්, බහුපාර්ශවික විය යුතුය හා කිසියම් රටක් ගනු ලබන තීරන එරටට හෝ රටවල් කාන්ඬයකට පමනක් සීමා නොවිය යුතු අතර සෑම රටකටම අදාල විය යුතුය යන මූලධර්මය මතය.

ගැට්හි ප්‍රමුඛයා වූ ඇමරිකාව “නිදහස් වෙලඳාම” කෙරෙහි දැක්වූ නැඹුරුව ගලා ආවේ එවන් මූලධර්මයක් වෙනුවෙන් වූ කැපවීමකින් නොවේ. එරට පදනම් වූයේ, ඇමරිකානු ධනවාදයේ අඛන්ඩ ප්‍රසාරනයට එහි වෙලඳාමට හා ගනුදෙනු වලට ලෝකය විවෘත කර ගැනීමේ අවශ්‍යතාවය පෙන්නුම් කල, 1930 ගනන්වල අත්දැකීම් වලින් උකහාගත් පාඩම් මතය. ආර්ථික වශයෙන් ලෝක ආධිපත්‍යය ඉසුලු, 19 වන සියවසේ නිදහස් වෙලඳ ධර්මතාව දරා සිටි බ්‍රිතාන්‍ය ධනවාදය මෙන් ඇමරිකාවේ ආස්ථානය ද පදනම් වූයේ, එරට ඉහවහා ගිය සුපිරි ආර්ථික ශක්තිය මතය. පශ්චාත් ලෝක යුද්ධයෙන් ක්ෂනික ඉක්බිත්තෙහි ඇමරිකාව ලෝක කාර්මික නිමැවුමෙන් සියයට 50කට වග කිවූ බවට ගනන් බලා ඇත.

ලෝක ධනවාදයේ පශ්චාත් යුද්ධ ප්‍රසාරනය සඳහා කොන්දේසි නිර්මානය කල ජාත්‍යන්තර ආර්ථික ආකෘතියේ කොටසකි ගැට්. එහෙත් එම ප්‍රසාරනයම ප්‍රගාඪ ප්‍රතිවිරෝධතා ගැබ්කර ගත්තේය. ලෝක වෙලඳපොලේ වර්ධනය ද ඇමරිකාවේ ආර්ථික වාසනාවට නැතුවම බැරි සාධකයක් වූ අනෙකුත් ධනපති බලවතුන්ගේ යලි නැඟී ඒම ද එක විටම, එරට ආර්ථික අධිකාරයට වල කැපීය.

එම ප්‍රතිවිරෝධයේ පලමු පුපුරන සුලු ප්‍රකාශනය වූයේ, ඇමරිකාවේ ඩොලරය පිටුබලය සැපයූ රත්රන් පදනම ලෙස පැවති 1944 බ්‍රෙට්න් වුඩ්ස් මූල්‍ය ගිවිසුම, 1971දී අවලංඟු කිරීමයි. එතැන් සිට ඇමරිකාව, වෙලඳ ගනුදෙනු වලදී බහුපාර්ශවිකත්ව මූලධර්මයේ මුඛ්‍ය ක්‍රියාකලාපය ඉවත දමමින් සිටියේය.

තීරනය හුදෙක් ඩෝහා සාකච්ඡා වටයේ අසාර්ථකත්වයෙහි ප්‍රතිපලයම නොවීය. එය වඩාත් ගැඹුරු ක්‍රියාවලියක් පිලිඹිඹු කරයි. මෙම ප්‍රශ්න සමහරක්, සාකච්ඡාවලදී ඇමරිකාවේ ප්‍රධාන වෙලඳ නියෝජිතයා ලෙස කටයුතු කල මයිකල් ෆ්‍රොමන් විසින්, නයිරෝබි සාකච්ඡා පටන් ගැනීමට සතියකට පෙර ෆිනෑන්ෂල් ටයිම්ස්හි පල කල ප්‍රකාශයක උපුටා දක්වා තිබුනි.

ඩෝහා වටය “පහසු” දෙයක් නොවීය, එහි “හිරවීමෙන්” නිදහස් වීමට ලෝකයට කාලය එලඹ ඇත. දෙපැත්තට යන ගනුදෙනු සාර්ථකය, කලාපීය ගිවිසුම් සාර්ථකය, ගෝලීය එකඟත්වයක් ඇතිකර ගැනීමේ උත්සාහය, එනම්, “බහුපාර්ශවිකත්වය පමනක් අසාර්ථකවී”, තිබේ යයි ඔහු සඳහන් කලේය.

මෙම වැකි පදනම් වූයේ, ප්‍රමුඛ ඇමරිකානු විදෙස් පිලිවෙත් සඟරාවක් වන ෆොරීන් එෆෙයාස්හි, 2014 නොවැම්බර්-දෙසැම්බර් කලාපය තුල ෆ්‍රෝමන් විසින් පූර්වයෙන් පලකරන ලද ලිපියක පැහැදිලිව ගෙනහැර දක්වා තිබුනු නිශ්චිත න්‍යායපත්‍රයක් මතය.

ලිපිය තුල ඔහු, යුද්ධයෙන් පසුව ඇමරිකානු දේශපාලඥයින් ප්‍රධාන ක්‍රියාකලාපයක් ඉටු කල ගෝලීය වෙලඳ ක්‍රමයෙන්, දශක හතක පමන කාලයක් තිස්සේ, “ඇමරිකාවට රැකියා ද ලොව පුරා රටවලට සාමය හා සෞභාග්‍ය ද ගෙන ආවේය.” එහෙත් මෑත වසර වලදී ලෝක ආර්ථිකය තුල සිදුව තිබෙන “පද්ධතිමය මාරුවීම්වල” අර්ථය, මෙම ව්‍යුහය වෙනස් විය යුතුය යන්න යයි පැවසීය. ක්ෂනිකවම මතු වන ප්‍රශ්නය නම් මන් ද? යන්නයි.

ෆ්‍රෝමන්ම පිලිතුර සපයා ඇත. “වොෂින්ටනය වෙලඳ ප්‍රතිපත්ති සකස් කිරීමේදී පෙර නොවූ විරූ බාධකයන්ට මුහුනපා ඇත. එක්සත් ජනපදය‍ දෙවන ලෝක යුද්ධය අවසානයේදී ගෝලීය ආර්ථිකය තුල දැරූ අධිකාරවත් තැන තවදුරටත් දරන්නේ නැත. ඒ අනුව සහයෝගයෙන් කටයුතු කිරීමට ඇලුම් කරන වෙලඳ හවුල් ගොඩනඟාගත යුතුය.”

එවන් ප්‍රධාන වෙලඳ හවුල් දෙකක් නම්, අන්තර් ශාන්තිකර හවුල්කාරිත්වය (ටීපීපී) යන සාමාජිකයින් 12කගෙන් සමන්විත, ඔක්තෝබර් මුල නිල වශයෙන් ඇති කර ගත් ගිවිසුම හා ඇමරිකාව ද යුරෝපය ද අතර ආර්ථික සම්බන්ධතා ආවරනය කරන, යෝජිත අන්තර් අත්ලාන්තික් වෙලඳ හා ආයෝජන හවුල්කාරිත්වය (ටීටීඅයිපී) යි.

බහුපාර්ශවික මූලධර්ම ප්‍රතික්ෂේප කරන මෙම ගිවිසුම්, ඇමරිකාවේ ඉල්ලීම් වලට එකඟව අත්සන් තබන ජාතීන්ට පමනක් එරට වෙලඳපොලට පිවිසීමේ ඉඩ කඩ සලසනු ලැබේ. ෆ්‍රෝමන් සිය ෆොරීන් එෆෙයාස් හි ලිපියේ පැහැදිලි කර ඇති පරිදි, මෙම ගිවිසුම්වල අරමුන, “ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් දෙකකට ආසන්න පංඟුවක් කරා පිවිසීම සඳහා ඇමරිකාවට ඉඩ සැලසෙන පරිදි, ගිවිසුම් මාලාවක් මධ්‍යයේ එරට පිහිටුවා ලීමය.”

වෙනත් වචන වලින් කිවහොත්, බහුපාර්ශවිකත්ව ක්‍රමය යටතේ සිය අධිකාරවත් අනභියෝගී ආර්ථික තත්වය අහිමිවීමේ තතු හමුවේ ඇමරිකාව, වෙනත් මාධ්‍ය හරහා එය යලි අත්කර ගැනීමට යොමුවී සිටින බවයි. ලෝක යුද්ධය සඳහා මඟ විවෘත කිරීමට දායක වෙමින්, ඒ සා විනාශකාරී ප්‍රතිවිපාක ජනනය කල, 1930 ගනන්වල පැවති වෙලඳ පෙරමුනු වර්ගයේ ආකෘතියක් කරා යලි ලඟාවීම ද එම මාධ්‍යයන්ට අන්තර්ගතය.

සැබවින්ම, අද දිනයේ පවතින තත්වය 1930 ගනන් වලට වඩා බෙහෙවින් වෙනස් හා ඇතිකරගන්නා සුවිශේෂී ගිවිසුම් මීට වසර 80ටත් පෙරාතුව ගනු ලැබූ ආකෘතියම ගනු නැත. එහෙත් ඒවායේ ප්‍රතිගාමී හා මිලිටරිවාදී අන්තර්ගතය එලෙසම පවතියි. ෆ්‍රෝමන් මෙය තම ෆොරීන් එෆෙයාස් ලිපිය තුල පැහැදිලිව සඳහන් කර තිබේ. “වෙලඳාමේ මූලෝපායික තර්කනය හා රටවල් ගනන් බලන හා බලය ක්‍රියාත්මක කරන්නේ” කුමන මාධ්‍යයන් තුලින් ද යන තීරනාත්මක ක්‍රියාකලාපය එය පෙන්වා දෙයි.

ෆෝමන් ඉදිරි මාවත ලෙස සුවිශේෂිතව සඳහන් කරන මෙම සැඟවුනු මිලිටරිවාදී හා ආක්‍රමනික න්‍යායපත්‍රය, ටීපීපීය තුල සංයුක්ත ප්‍රකාශනය අත්කර ගනියි. එය, ඇමරිකාවේ මිලිටරි හා ආර්ථික අධිකාරය අවධාරන කිරීම හා චීනය යටත් කිරීමේ අරමුන සහිත, යුද්ධය කරා යොමු කෙරුනු න්‍යායපත්‍රයක් වන, ඔබාමා පාලනයේ “ආසියාවට හැරීම” ලෙස නිවැරදිව විස්තර කර තිබුනි.

නිදහස් වෙලඳාම හා බහුපාර්ශවිකත්වය මඟින් පහසුකම් සලසන ලද, නිෂ්පාදන බලවේගයන්ගේ ගෝලීය වර්ධනය, ලාභ පද්ධතිය මුල්බැසගත්, ලෝක ආර්ථිකය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප්‍රතිවිරුද්ධතා, තීව්ර නව ඉහලකට ඔසවා තිබේ. ඇමරිකාව මූලික ක්‍රියාකලාපය ඉටුකරන ධනේශ්වර මහ බලවතුන් සෑම අයෙක්ම, මෙම ප්‍රතිවිරෝධය විසඳීමට උත්සාහ කරන්නේ, 1930 ගනන්වල ආර්ථික සුවිශේෂතාවාදය සිදු කල ආකාරයෙන්ම, යුද්ධය සඳහා කොන්දේසි සකසන, ලෝකය තුල තමන්ගේම තැන සහතික කර ගැනීම පිනිස සිය ආර්ථික හා මිලිටරි බලය පුබුදුවා ගැනීමට උත්සාහ කරන, තමන්ගේම අවශ්‍යතා පෙරට ගෙන යාමෙනි.

මෙම ප්‍රතිවිරෝධය ප්‍රගතිශීලී ආකාරයකට විසඳිය හැක්කේ, ලෝක සමාජවාදී විප්ලවය සඳහා කම්කරු පන්තියේ අරගලය තුලින් පමනි. ඒ අනුව ගෝලීයව වර්ධනය කල නිෂ්පාදන බලවේග, මානව අවශ්‍යතා සන්තර්පනය කිරීම පිනිස යොදාගැනීමට, යල් පිනූ ලාභ හා ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කරනු ඇත.

නික් බීම්ස්

Share this article: