ස්පාඤ්ඤ මැතිවරනයේ දේශපාලන ප්‍රශ්න

Political issues in the Spanish election crisis

2015 දෙසැම්බර් 23

ස්පාඤ්ඤයේ 21දා පැවැත්වුන මහ මැතිවරනයේ දී අඩමාන පාර්ලිමේන්තුවක් තේරී පත්වීම සලකුනු කරන්නේ, වසර හතකට පෙර ගෝලීය ආර්ථික අර්බුදය පිපිරී යාමෙන් පසු යුරෝපයේ සම්ප්‍රදායික ධනේශ්වර දේශපාලන සංස්ථාපනයේ බිඳී යැම පිලිබඳ නව සන්ධිස්ථානයකි.

2015 වසර ඇරැඹුනේ ග්‍රීසියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පැසොක් පක්ෂය ඇද වැටීමෙන් හා රැඩිකල් වමේ සභාගයක් ලෙස සිරිසාව බලයට පත්වීමෙනි, සිරිසා වහාම සිය කප්පාදු-විරෝධී පොරොන්දු පසෙකට දමමින්, යුරෝ බිලියන ගනනාවක නව කප්පාදු ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය. වසර අවසන් වෙමින් තිබියදී ස්පාඤ්ඤයේ දශක ගනනාවක් පැරනි පක්ෂ ද ඒ ආකාරයෙන්ම බිඳ වැටෙමින් ඇත.

ග්‍රීසියට පසුව, මූල්‍ය අර්බුදය හා කප්පාදු ප්‍රතිපත්ති මහා ව්‍යසනයක් නිර්මානය කල බටහිර යුරෝපයේ රටකි ස්පාඤ්ඤය. ඉතා පහත් මට්ටමේ වැටුප් මත පාදක ආර්ථික දියුනුව නො තකාම, ස්පාඤ්ඤයේ ධනවාදය අබලන් ය. රාජ්‍ය අයවැයේ හා සමාජ වැඩසටහන්වල දැඩි කප්පාදුවලින් පසු, තරුන කම්කරුවන්ගෙන් අඩකට රැකියා නැතිවීම සමග රැකියා විරහිත සංඛ්‍යාව සියයට 20කි.

සමාජ සහන කප්පාදු හා පාලක පැලැන්තිය කෙරහි ඇත්තේ පුපුරන සුලු මහජන කෝපයකි.

21දා මැතිවරනය පෙන්වා ඇත්තේ, පාලක කොන්සර්වටිව් පොපියුලර් පක්ෂයේ (පීපී) හා 1977 ෆැසිස්ට් ෆ්‍රැන්කෝගේ ඇද වැටීමේ සිට ස්පාඤ්ඤය පාලනය කර තිබූ සමාජවාදී පක්ෂය (පීඑස්ඕඊ) යන දෙපක්ෂයම ප්‍රතික්ෂේප කිරීමකි. 2008 සිට මෙම පක්ෂ දෙකම රුදුරු කප්පාදු වැඩසටහන් ගෙන ගොස් තිබුනි. මැතිවරනයේදී පක්ෂ දෙකට මුලු ඡන්ද වලින් යන්තම් සියයට 50ක් ලැබුනු අතර ඉතුරු ඡන්ද බෙදී ගියේ පොඩෙමොස්, දක්ෂිනාංශික පුරවැසි පක්ෂය, හා බාස්ක් හා කැටලෝනියානු ජාතික පක්ෂය වැනි වඩා කුඩා පක්ෂ අතර ය.

පාර්ලිමේන්තු බහුතරයක් එකතු කර ගැනීමට හැකි පක්ෂයක් හෝ විය හැකි පක්ෂ සභාගයක් නොමැති වීමත් සමග, පෙර නො වූ විරූ හා දිග්ගැස්සෙන අර්බුදයක් හටගෙන ඇති අතර නොයෙකුත් පක්ෂ, නව ආන්ඩුවක් පිහිටුවීමට හෝ නව මැතිවරන වටයක් කැඳවුව හොත් තමන්ට හොඳම ප්‍රතිපල නෙලා ගැනීමට මංමුලා සහගත ව්‍යායාමයක යෙදී සිටිති.

මෙම අර්බුද අවස්ථාවේ දී කම්කරු පන්තිය මුහුන දෙන කේන්ද්‍රීය ප්‍රශ්නය ධනේශ්වර පක්ෂවල මැතිවරන උපක්‍රම නො ව, ස්වාධීනව මැදිහත්වන්නේ කෙසේ ද හා තමන්ගේ උත්සුකයන් තහවුරු කර ගන්නේ කෙසේ ද යන්න යි. ඔවුන් මුහුන දෙන අභියෝගය, පැරනි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල පරිහානිය මගින් ඉතිරි කල හිදස පිරවීමට ඉදිරියට පැමින ඇති පොඩෙමොස් හා සිරිසා වැනි මධ්‍යම පන්තික පක්ෂ යි. යතාර්ථය නම් එම පක්ෂ කප්පාදුවට පක්ෂ සංවිධාන වීමය.

පොඩෙමොස් හා එහි සහචර සිරිසාව පවසන්නේ, පීඑස්ඕඊ- පීපී ද්විපක්ෂ ක්‍රමය ඇදවැටීම හා ස්පාඤ්ඤය තුල අස්ථාවර සිව් පක්ෂ ක්‍රමයක් නිර්මානය කිරීම, දේශපාලන සංස්ථාපිතය හදිසියේ ම ඡන්දදායකයින්ගේ ඉල්ලීම්වලට අනුකූලතාව දක්වන බව ඔප්පු කරන නව අවධියකට මග පාදනු ඇති බව යි. ග්‍රීක අගමැති හා සිරිසා නායක ඇලෙක්සිස් සිප්‍රාස් ට්විටර් මගින් පොඩෙමොස්ට සහාය දක්වමින් නිකුත් කල පනිවුඩයක් මෙසේ පැවසුවේය. “ (ග්‍රීසිය තුල) මෙන් ම ස්පාඤ්ඤය තුල ද දැන් කප්පාදු පිලිවෙත් දේශපාලනිකව පරාජය කෙරී ඇත.”

පොඩෙමොස් නායක පැබ්ලෝ ඉග්ලේසියස්, “දැන් නව ස්පාඤ්ඤයක් බිහිවී ඇතැ” යි පැවසූ අතර පීපී හා පීඑස්ඕඊ විසින් පටවන ලද කප්පාදු පියවරවලට ජර්මනිය හා යුරෝපා සංගමය මත වරද පැටවීමට උත්සාහ දැරීය. “යුරෝපයට අප දෙන පනිවිඩය පැහැදිලි ය, ස්පාඤ්ඤය නැවත කිසි දා ජර්මනියේ පර්යන්තය නොවනු ඇත. අපේ රටට ස්වාධිපත්‍යය යන වචනයේ අරුත තහවුරු කිරීමට අපි සටන් කරන්නෙමු.”

මෙය කම්කරු පන්තිය නිෂ්ක්‍රීය කර නැලවීම සඳහා සැලැසුම් කෙරුනු නරුම ජාතිකවාදී කයිවාරුවකි.

සිරිසාව ග්‍රීසිය තුල කප්පාදු ක්‍රියාවට නඟමින් සිටිනවා මිස ඒවා පරද්දනවා නො වේ. සිරිසාවට තෝරා ගැනීමක් නො වී යයි එහි මැතිවරන ව්‍යාපාරයේ දී සිරිසාට සහයෝගය දුන් හා ග්‍රීසිය තුල සිරිසාවේ කප්පාදු වැඩසටහන් ආරක්ෂා කල පොඩෙමොස් ඔප්පු කරනු ඇත්තේ, ඔවුන් අතර වෙනසක් නැති බව යි. කප්පාදු පියවරවලට එරෙහිව කම්කරු පන්තියේ අරගල අවහිර කිරීම සාර්ථක වන තාක් දුරට, යලි කාන්ඩ ගැසීමට හා නව ප්‍රහාරයක් සූදානම් කිරීමට ධනේශ්වරයට කාලය ලබා දෙන අතර, එම ක්‍රියාවලිය තුල පොඩෙමොස් ම ද ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.

කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන කේන්ද්‍රීය අභියෝගය වන්නේ, පසු ගිය වසර මුල දී පොඩෙමොස් හැඩගැස්වීම සඳහා ආදර්ශයක් ලෙස ක්‍රියා කල සිරිසාව බලයට පැමිනීමේ දේශපාලනික හා මූලෝපායික පාඩම් උකහා ගැනීම යි. කප්පාදුවලට එරෙහිව “වාම” ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේය යන සිරිසාවේ පොරොන්දු, බලය ගැනීමට පමනක් සැලැසුම් කෙරුන බොරු බව ඔප්පු කෙරී ඇත. බලයට පැමිනි වහා ම, එහි ප්‍රතිපත්ති පෙල ගැසුනේ, ග්‍රීක ස්ටැලින්වාදී “යුරෝකොමියුනිස්ට්වාදී” නිලධරයේ සුන්බුන් හා 1974 ග්‍රීසියේ මිලිටරි ජුන්ටාවේ වැටීමට පසු මතුවුන ශිෂ්‍ය ව්‍යාපාරයේ සුළු-ධනේශ්වර කන්ඩායම් ඇතුළු කොටස් නියෝජනය කරන, පොහොසත් මධ්‍යම පන්තියේ උත්සුකයන් සමඟය.

කප්පාදු වෙනුවෙන් යුරෝපා සංගමය යෙදූ බලපෑමට එරෙහිව, යුරෝපීය කම්කරු පන්තියේ සහාය දිනා ගැනීමට සිරිසාව උත්සාහයක් නො දැරී ය. ඊට වෙනස් ව, සති කීපයක් තිස්සේ පැවති සාකච්ඡාවලින් පසුව, කප්පාදු යෝජනා ඉදිරියට ගෙන යාමට සිරිසාව පොරොන්දුවක් අත්සන් කලේ ය. ගිම්හානයේ දී යුරෝ සංඟමය නව කප්පාදු වෙනුවෙන් බල කල අවස්ථාවේ දී සිප්‍රාස්, ඒ පිලිබඳව ජනමත විචාරනයක් කැඳවී ය. එහි දී ඔහු පරාජයක් අපේක්ෂා කලේ බලයෙන් ඉවත්වීමට සහ දක්ෂිනාංශික ආන්ඩුවකට බලයට පැමිනීම සඳහා ඉඩ සැලසීමට මෙන් ම යුරෝපා සංගමයේ ඉල්ලීම් ක්‍රියාවට නැඟීම පිනිස කඩතුරාවක් සැපයීමට ය.

යුරෝපා සංගමයේ හා ග්‍රීක ව්‍යාපාරික මාධ්‍යයේ තර්ජන පරාජය කරමින් කම්කරු පන්තිය කප්පාදුවලට “එපා” යයි ඡන්දය දුන් විට සිප්‍රාස් කලේ ජනමතයට පිටුපස හැරවීමය. බර්ලිනයේ අවශ්‍යතාවය පරිදි, යූරෝ කලාපයෙන් ග්‍රීසිය නෙරපා හැරීම වැලක්වීමට ඔහු නව හා කුරිරු කප්පාදු පැකේජය පිලිගත්තේ ය.

පසුව, වෝල් වීදියට හා ක්ලින්ටන් ග්ලෝබල් ඉනිෂියේටිව් නම් පදනමට ගිය අවස්ථාවක ඔහු සිය ආයෝජන ගැති ප්‍රතිපත්ති ගෙනහැර දැක්වූ අතර “වසර කීපයක දී ග්‍රීසිය විදේශ ආයෝජන සඳහා ප්‍රධාන ගමනාන්තයක් වනු ඇති බවට පොරොන්දුවක් ද දුන්නේය.” එනම්, ඔහුගේ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස උග්‍ර සූරා කෑමට ලක් කෙරෙන ලාභ ග්‍රීක ශ්‍රමයේ වාසිය බැංකු වලට පිලිගැන්වීමයි.

සිරිසාවේ අත්දැකීම් උකහා ගනිමින් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 2015 නොවැම්බර් 13වැනිදා සිය ප්‍රකාශනය තුල මෙසේ සඳහන් කලේ ය: “ඉදිරියට ඇති එකම මාවත වන්නේ අවංක විප්ලවවාදී ප්‍රතිපත්තියක් තුලින් ග්‍රීසියේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය බලමුළු ගැන්වීම යි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ධනේශ්වර පන්තිය මත ඍජු ප්‍රහාරය, ඔවුන්ගේ ධනය අස්වාමික කිරීම, ඒවා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ තැබීම පිනිස ප්‍රධාන බැංකු හා නිෂ්පාදන බලවේග අල්ලා ගැනීම හා යුරෝපය හා ලෝකය පුරා කම්කරු රාජ්‍යයන් ගොඩනැගීම යි. එවැනි අරගලවලට අවශ්‍යවන්නේ, සිරිසා වැනි පක්ෂවලට එරෙහි අනුකම්පා විරහිත අරගලයක් තුල, කම්කරු පන්තියට දේශපාලන නායකත්වයක් ලබා දීම පිනිස මාක්ස්වාදී පක්ෂ ගොඩනැගීම යි.”

ස්පාඤ්ඤයේ මහජනයා වෙනුවෙන් සටන් කරන පක්ෂයක් මතු විය හැක්කේ පොඩෙමොස් විරෝධී අනුකම්පා විරහිත අරගලයක් තුල දී ය. මැඩ්රිඩ් කොම්ප්ලූටෙන්ස් විශ්වවිද්‍යාලයේ ස්ටැලින්වාදී මහාචාර්යවරුන් කන්ඩායමක් විසින් පිහිටුවන ලදුව, සිරිසාවට සහයෝගය පල කල ධනේශ්වර විරෝධී වම වැනි ව්‍යාජ-වාම කන්ඩායම් විසින් සහාය දෙනු ලබන පොඩෙමොස් සංවිධානය, ස්පාඤ්ඤ දේශප්‍රේමයට, හමුදාවට හා නිදහස් වෙලඳපොලට කරන අයාචනා සමඟ පාලක “කල්ලියට” එරෙහිව ජනතාවාදී සටන්පාඨ බද්ධ කර ගෙන ඇත.

පසු ගිය වසරේ නිව් යොක් නගරයට කල සංචාරයකදී පොඩෙමොස් නායක ඉග්ලේසියස්, මූල්‍ය නාලිකාවක් වන සීඑන්බීසී සමග සම්මුඛසාකච්ඡාවක දී ඔහුගේ පක්ෂයට පීඑස්ඕඊ හෝ පීපී සමග වැඩ කල හැකි බව තරයේ ප්‍රකාශ කල අතර, නිදහස් වෙලඳපොල “යතාර්ථයක්” යැයි ප්‍රකාශ කලේ ය. මෙම වසරේ දී හමුදාව තුල බඳවා ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමෙන් පසුව පොඩෙමොස් ආඩම්බරයෙන් නිවේදනය කලේ, 2011 ලිබියාව තුල ගෙන ගිය නේටෝවේ යුද්ධයට සහභාගී වෙමින් ඊට නායකත්වය ස්පාඤ්ඤයේ ජෙනරාල් ජූලියෝ රොද්රිගුවස් ෆර්නෑන්ඩස් සරගෝසා පලාතේ අපේක්ෂකයා ලෙස තරඟ වදිනු ඇති බව යි.

සිරිසාට නො දෙවැනි ලෙස පොඩෙමොස් ඔප්පු කරනු ඇත්තේ ඔහු, යුද්ධයට, කප්පාදු වලට හා යුරෝපා සංගමයට එරෙහිව යුරෝපා කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලයේ කුරිරු විරුද්ධවාදියෙකු වන බව යි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: