සරසවි සිසු පා ගමන: සසජාතශි ඉදිරිපත් කල සමාජවාදී වැඩපිලිවෙලට අවිශිබම එරෙහි වෙයි

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2015 දෙසැම්බර් 5

‘රාජ්‍ය අධ්‍යාපනය විකිනීම නතර කරනු!’ සහ ‘සියලුම පුද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරනු!’ යන ඉල්ලීම් මුල් කර ගෙන, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) සංවිධානයෙන්, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිට කොලඹ දක්වා ගමන් ගත් පස්දින පාගමන පසුගිය 27 දා පාර්ලිමේන්තු වටරවුම අසලින් නිමා කෙරුනි.

“අධ්‍යාපන කප්පාදුව නතර කිරීමට සමාජවාදී ප‍්‍රතිපත්තිවලට සටන් වදිනු!”යන ප‍්‍රකාශය සිසුන් සහ මහජනතාව අතර බෙදා හරිමින්, පාගමන පුරා සිසුන් සමග තම වැඩපිලිවෙල පිලිබඳව සාකච්ඡාවේ යෙදී සිටි සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ශිෂ්‍ය සහ තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ සාමාජිකයන්ට මුල සිටම අකුල් හෙලූ අවිශිබම කි‍්‍රයාකාරීහු, පා ගමනේ අවසන් අදියරේදී සසජාතශි උද්ඝෝෂනය නතර කරන ලෙස තර්ජනය කරමින් ඔවුන් අත තිබූ පති‍්‍රකා උදුරා ගැනීමට තැත් කලහ. ඔවුන් සසජාතශි ට එරෙහිව කඩා පැන්නේ “ශිෂ්‍ය ව්‍යාපාරය සමාජවාදය ගැන කතා කිරීමට වේදිකාව නොවේ” යයි ප‍්‍රකාශ කරමිනි.

ශිෂ්‍යයන් අතර දේශපාලනය කිරීමට සහ අවිශිබම විසින් සංවිධානය කරන ලද පා ගමනක් තුල ‘අවිශිබමයෙන් බිඳී වෙන්වනු’ යනුවෙන් සටන් පාඨ ඉදිරිපත් කිරීමට ඉඩදිය නොහැකි බව තර්ජනය මධ්‍යයේ අවිශිබම කි‍්‍රයාකාරීහු කියා සිටියහ. කෙසේ නමුත්, ධනේශ්වර පක්ෂ වලින් හා වෘත්තීය සමිතිවලින් බිඳී ජාත්‍යන්තර සමාජවාදය මත ස්වාධීනව සංවිධානය වන ලෙස කම්කරුවන් අතර සසප උද්ඝෝෂනය කරන්නාසේම, අවිශිබමයෙන් සහ එහි දේශපාලනයෙන් බිඳී කම්කරු පන්ති නායකත්වය යටතේ ඉහත සමාජවාදී වැඩපිලිවෙල සඳහා බලමුලු ගැන්වෙන ලෙස සිසුන් සහ තරුනයන් අතර සසජාතශි උද්ඝෝෂනයේ යෙදෙන බවත් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් බවත් සසජාතශි උද්ඝෝෂකයන් අවශේෂ සිසුන්ට පැහැදිලි කල තත්වය හමුවේ අවිශිබම මැරයන්ට පසුබෑමට සිදු විය.

අවිශිබම සහ එයට නායකත්වය දෙන ව්‍යාජ වාම පක්ෂය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විරුද්ධ වන, සසජාතශි ප‍්‍රකාශයෙන් ඉදිරිපත් කල සමාජවාදී වැඩපිලිවෙල මෙයයි: “මහා වතු, ව්‍යාපාර හා බැංකු කම්කරු පාලනය යටතේ ජනසතු කරන, විදේශ නය නිෂ්ප‍්‍රභා කරන සමාජවාදී වැඩපිලිවෙල කි‍්‍රයාවට දැමීම සඳහා කම්කරුවන්ගේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට ශිෂ්‍යයන්ද තම දායකත්වය සපයමින් ඉදිරිපත් විය යුතුය. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, ධනපති පන්ති පාලනය පෙරලා දමා ලංකාව තුල කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවකට සටන් කරමු. ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙතට හැරී විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමට එක් වනු!”

සසජාතශි ප‍්‍රකාශය අවිශිබමයේ විරෝධතා දේශපාලනය සම්බන්ධව මෙසේ අනතුරු ඇඟවුවේ ය: “ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ උවමනාකම්වලින් තීන්දුවී ඇති ධනපති පන්තියේ ප‍්‍රතිපත්ති හුදු විරෝධය පෑම මගින් අහෝසි කරගත හැකිය යන අවිශිබම කි‍්‍රයාමාර්ගය සිසුන් හා කම්කරුවන් අතර වැඩෙන විරුද්ධත්වය නොමග යැවීමට සූදානම් කල එකකි.”

2008 දී පුපුරා ගිය මූල්‍ය කලබගෑනියක් මත අවපාතයක් දිසාවට වර්ධනය වන ලෝක ධනවාදයේ අර්බූදය හමුවේ පරපුටු මූල්‍ය ප‍්‍රාග්ධනයේ නියෝග මත ලොව පුරා පාලක පන්තීන් කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව කි‍්‍රයාවට නංවා ඇති කප්පාදු පිලිවෙත් වලට සමගාමීව ලංකාව තුල අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කල ආර්ථික ප‍්‍රතිව්‍යූහකරන වැඩපිලිවෙල හා මුදල් ඇමති රවී කරුනායක ඉදිරිපත් කල අය-වැය මගින් මෙම කප්පාදු වැඩපිලිවෙල කි‍්‍රයාත්මක වන රුදුරු ආකාරය සසජාතශි තම ප‍්‍රකාශයෙන් පෙන්වා දුනි.

සරසවි පාඨමාලා මිල දී ගැනීමට හැකිවන පරිදි වවුචර් ක‍්‍රමයක් හඳුන්වා දීම සහ සංගත, සුලු හා මධ්‍යම පරිමාන කර්මාන්තවලට සේවකයන් සම්පාදනය කෙරෙන ආයතන බවට සරසවි පත් කිරීම ඇතුලු ප‍්‍රතිසංස්කරන හඳුන්වාදීමට මෙවර අය-වැය මගින් පියවර ගෙන තිබේ. මෙම ප‍්‍රතිසංස්කරන වනාහි, උපාධි සඳහා මිලියන ගනන් අය කරන මාලබේ සයිටෙම් වැනි පුද්ගලික ආයතන දිරිගන්වමින් අධ්‍යාපනය තවදුරටත් දෙස් විදෙස් ආයෝජකයන්ගේ ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීමේ ඉදිරි පියවරයන් ය. ආන්ඩුව යෝජනා කරන ශිෂ්‍ය නය ක‍්‍රමය ලොව පුරා කි‍්‍රයාවට නැගී ඇත්තේ රාජ්‍ය අධ්‍යාපන වියදම් කප්පාදුවට වන අතර, ඉහල යන විරැකියාව හේතුවෙන් අර්ධ කාලීන රැකියා තුල දරුනු ශ‍්‍රම සූරා කෑමකට ලක්වන තරුන තරුනියෝ, ශිෂ්‍ය අවධියේදී ලබාගත් නය ගෙවාගත නොහැකිව, දැවැන්ත නයගැතිභාවයකට පත්ව සිටිති.

සසජාතශි තම ප‍්‍රකාශයෙන් පෙන්වා දුන් පරිදි, අධ්‍යාපනයට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව සිසුන් අතර වැඩෙන විරෝධය සහ සටන්කාමිත්වය, ආන්ඩු වලට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය තුල දියකර හරිනුවස් අවිශිබම අඛන්ඩව ගෙනයන වැඩකටයුතුවල කොටසක් ලෙස කැඳවා තිබූ මෙම පා ගමන අවසන් කෙරුනේ, අවිශිබම වැනිම ද්‍රෝහී කි‍්‍රයාකාරිත්වයක් කම්කරු පන්තිය තුල ඉටු කිරීම හේතුවෙන් පාරාජිකාවට පත්ව සිටින වෘත්තීය සමිති නිලධරය සහභාගි කරවාගත් රැස්වීමකිනි.

මෙම රැස්වීමේදී සිසුන් ඇමතූ අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර, “අපට අරගලය තියෙන්නේ මේ රටේ ගොවියා, කම්කරුවා, ධීවරයා එක්ක. ඒ නිසා තමයි මේ වෘත්තීය සමිති නායකයෝ අපිත් එක්ක ඉන්නේ” යයි පැවසීය. කම්කරු අරගල පාවාදීමටත් ධනපති ආන්ඩු බලයට ගෙන ඒමටත් සහයෝගය දුන් ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මහින්ද ජයසිංහ සහ නව සම සමාජ පක්ෂයේ (නසසප) ලීනස් ජයතිලක වැනි සමිති නිලධරයන් “ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් ඇත්තට අරගල කරන නායකයන්” ලෙස හුවා දැක්කු වීරසේකර, “අපිට පාර්ලිමේන්තුවේ සිටින අයත් සමග සාකච්ඡාවක්, අරගලයක් නැත” යි කියා සිටියේය. නමුත් විරෝධතාවය පාර්ලිමේතුව දක්වා පැමිනියේ කුමන අරමුනකින් ද යන්න ඔහු පැහැදිලි කලේ නැත.

කෙසේ නමුත්, අවිශිබමයේ පෙර විරෝධතාවන්හි පැවති සිසු සහභාගිත්වය මෙම පාගමන තුල පෙන්නුම් නොකෙරින. මෙම අඩු සහභාගිත්වය වනාහි, ශිෂ්‍ය සටන් වීරත්වයට සහ උත්කර්ෂයට නංවමින් පොලීසියේ දරුනු ප‍්‍රහාරයන්ට සිසුන් ගොදුරු කෙරෙන, පෙසපයේ සහ අවිශිබමයේ බංකොලොත් විරෝධතා දේශපාලනයෙන් සිසුන් ඈත්වෙමින් සිටින බව පෙන්නුම් කෙරෙන දර්ශකයකි.

අවිශිබමයේ හා පෙසපයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මැදිහත්වීමට විරුද්ධව සිසුන් හට තම ඉදිරිදර්ශනය මුන ගැස්වීම සඳහා සසජාතශි දැරූ ප‍්‍රයත්නයේ දී පෙසප සහ අවිශිබම ශිෂ්‍ය කි‍්‍රයාකාරීහු, සමාජවාදයට එරෙහි තම ධනේශ්වර ගැති පිලිවෙත වඩාත් විශදව එලිමහනට ගෙන ආහ. පෙසප හා අවිශිබමය, ධනේශ්වර සංස්ථාපිතයේ පක්ෂයක් වන සිංහල ස්වෝතමවාදී ජවිපෙන් 2012 දී කැඩී වෙන් වූයේ සංවිධානාත්මක මිස දේශපාලනිකව නොවන බව යලි යලිත් සනාථ වෙමින් පවතී.

අවිශිබම ශිෂ්‍ය කි‍්‍රයාකාරිකයෙක් මෙසේ ප‍්‍රකාශ කලේ ය: “ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ සමාජවාදය ගැන කතා කෙරුවොත් අපිට තවත් කෙල වෙනවා. බාහිර සමාජයටත් සමාජවාදය ගැන කිව්වාට තේරෙන්නේ නෑ. මේ වගේ උද්ඝෝෂන මගින් ආන්ඩුවට විරුද්ධත්වය ගොනු කරලා තමයි ටිකෙන් ටික සමාජවාදයට යන්න ඕනා.”

“අපි පවත්නා තත්වයෙන් පටන් ගන්න ඕනා. මහජනයා සිසුන් මේ කව්රුත් පවත්නා පද්ධතියට යටත් වෙලා ඉන්නේ. ඒ තත්වය උඩ සමාජවාදය ගැන කියලා හරි යන්නේ නෑ” යි පෙසප ට සම්බන්ධ තවත් සිසුවෙක් පැවසීය.

පෙසප සහ අවිශිබම කි‍්‍රයාකාරීන්ගේ ප‍්‍රලාපයන්ට විපරීතව, වැඩෙන සිසු විරෝධයෙන් සහ පාගමනට මහජනයාගෙන් ලැබුනු සහයෝගයෙන් පෙන්නුම් කෙරුනේ පවත්නා පද්ධතියට යටතවීම නොව එම පද්ධතිය යටතේ එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට මහජනතාවගේ සහ සිසුන්ගේ සූදානමයි. අරගලයට ඇදෙන කම්කරුවන් තරුනයන් පවත්නා පද්ධතියට බැඳ තැබීම මගින් ධනපති ක‍්‍රමයේ රැකවලූන් වී සිටින්නේ ලොව පුරා සිටින පෙසප, අවිශිබමය වැනි ව්‍යාජ-වාම සංවිධාන හා වෘත්තීය සමිති නිලධරයයි.

ධනපති ආන්ඩු බලයට ගෙන ඒමටත්, කම්කරු පන්තිය භේද කිරීම සඳහා ආරම්භ කල ලංකාවේ වර්ගවාදී යුද්ධයටත් කරබදු වී ඇති මෙම ව්‍යාජ-වාම පක්ෂ, සමිති නිලධරය හා අවිශිබමය සිසුන් හා කම්කරුවන් ඉදිරියේ දැන් එල්ලවන ප‍්‍රහාර සම්බන්ධයෙන් දේශපාලනිකව වගකීම දරයි.

අවිශිබමය පමනක් නොව කම්කරු පන්තියේ වැටුප්, රැකියා හා ජීවන කොන්දේසි ධනවාදය තුල දිනා ගත හැකිය යන මිථ්‍යාව වගාදිගා කරන වෘත්තීය සමිතිවල මෙවැනි ප්‍රෝඩාකාරී විරෝධතා තිබියදීම ධනපති ආන්ඩු විසින් සමස්ත ප‍්‍රහාරය කිසිදු සැර බාල කිරීමකින් තොරව මහජනයා මත පාත් කර ඇති ආකාරය පසුගිය දශක කිහිපයේ අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශවල ඛාදනය මගින් සනාථ කරයි. මෙබදු විරෝධතාවල නිශ්චිත එල්ලය වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලකට මංඅහුරමින් මහජන වෛරය ධනපති පන්තියේ ඒ හෝ මේ පක්ෂවලට, කන්ඩායම්වලට ගැට ගැසීමයි.

පසුගිය ජනාධිපතිවරනය හා ආසන්න කාලපරිච්ඡේදය පමනක් සලකා බැලූවද, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය බලයට ගෙනඒම සඳහා ඍජුව සම්බන්ධවූ නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම පක්ෂ හා ධනපති ජවිපෙ සමග හවුල්ව, රාජපක්ෂට එරෙහිව වැඩුන මහජන වෛරය සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව වටා රැලි කිරීමට අවිශිබමය හා පෙසප වක‍්‍රව වැඩට බැසගත්තේ ය.

”ඔබ තුමාගේ තාවකාලික ආන්ඩුව මගින් යම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු” යයි සිරිසේනට ලිපි යවමින් සිසුන් ඉදිරියේ ආන්ඩුව කෙරෙහි මිථ්‍යාවන් වගා දිගා කිරීමට අවිශිබම වැඩ කල අතර වික‍්‍රමසිංහ අගමැතිවීමෙන් පසු නව ආන්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය දැන ගැනීම සඳහා සාකච්ඡාවක් ද ඉල්ලා සිටියේ ය.

අවිශිබමයේ හා පෙසප රැඩිකල් මවාපෑම් මගින් අධ්‍යාපන කප්පාදුවේ මූලය වන අර්බූද ග‍්‍රස්ථ ධනපති ක‍්‍රමයට එරෙහි විකල්පයක් සම්පාදනය නො කෙරෙයි. මෙම පා ගමන පුරා අවිශිබම සහ පෙසප විසින් පෙන්නුම් කරනු ලැබුවේ, සිසුන් හා කම්කරුවන් ධනපති ක‍්‍රමයට ගැට ගැසීම සඳහා ඔවුනගේ කැපවීම සහ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල සම්බන්ධයෙන් දක්වන මාරක සතුරු බවයි.

Share this article: