ශී‍්‍ර ලංකාවේ වෘත්තීය සමිති එක් දින වැඩ වර්ජනය නතර කරති

Sri Lankan trade unions call off one-day stoppage

පානි විජේසිරිවර්දන විසිනි, 2015 දෙසැම්බර් 17

අගමැති රනිල් වික‍්‍රමසිංහට හිස නමමින් ද ඔහුගේ වංචනික පොරොන්දු මත පදනම් වෙමින් ද ශී‍්‍ර ලංකාවේ වෘත්තීය සමිති එකමුතුව අඟහරුවාදා පැවැත්වීමට නියම කරගෙන තිබූ එක් දින වැඩ වර්ජනයක් අත්හිටවූහ. එසේ වුව ද, ප‍්‍රතිව්‍යූහකරනයට මුහුන පා සිටින දහස් ගනන් බැංකු සේවකයෝ අධිකරනයෙන් පැනවුනු වාරන නියෝගයකට අවනත නොවෙමින් වර්ජනයේ නිරත වූහ.

රාජ්‍ය, පුද්ගලික හා අර්ධ රාජ්‍ය අංශ ආවරනය කරන වෘත්තීය සමිති 50ක පෙරමුනක් වන වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම පැය 24ක සංකේත වැඩ වර්ජනය යෝජනා කරනු ලැබුනේ යෝජිත අයවැය කප්පාදුවලට එරෙහි ව ය. මුල පටන් ම, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායකත්වයෙන් යුතු ආන්ඩුවේ කප්පාදුවලට එරෙහි විරෝධය කම්කරුවන් අතර වැඩෙමින් තිබිය දී පවා වෘත්තීය සමිති අපේක්ෂා කලේ වර්ජනය ලොප් කොට දැමීමට ය. රාජ්‍ය අංශයේ සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප අහෝසි කිරීම, පුද්ගලිකකරනය වැඩිදුර ගෙනයාම හා සහනාධාර කපා දැමීම මේ කප්පාදු අතර වේ.

පසුගිය සෙනසුරාදා වෘත්තීය සමිති කියා සිටියේ සිය ඉල්ලීම් පිලිබඳ වික‍්‍රමසිංහ සමග කෙරුනු සාකච්ඡා පිලිබඳ තමන් සෑහීමකට පත් නොවන බව ය. වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය, ආන්ඩුවට බල කර සිටියේ “අඩු තරමින් විශ‍්‍රාම වැටුප් අයිතිය පිලිබඳ ඉල්ලීම වත් සලකා බලන බව” ප‍්‍රකාශයට පත් කරන මෙනි.

අගමැති වික‍්‍රමසිංහ සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන “නව ආන්ඩුවේ සුභසිද්ධියට සතුරු කි‍්‍රයාමාර්ගයක් නොගන්නා මෙන්” සෙනසුරාදා පැවැත්වුනු සාකච්ඡාවකින් පසු තමන්ගෙන් ඉල්ලා සිටි බව රත්නපි‍්‍රය අයිලන්ඞ් පුවත්පතට ප‍්‍රකාශ කලේ ය. වෘත්තීය සමිති එකමුතුවේ ඉල්ලීම් පිලිබඳ ප‍්‍රකාශයක් සඳුදා පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට වික‍්‍රමසිංහ පොරොන්දු විය.

වික‍්‍රමසිංහ සිය පාර්ලිමේන්තු ප‍්‍රකාශය සිදු කල වහා ම රත්නපි‍්‍රය නිවේදනය කර සිටියේ “ආන්ඩුව විසින් ප‍්‍රදානය කෙරුනු සහන සලකා බලමින්” වෘත්තීය සමිති “තාවකාලිකව” වර්ජන කි‍්‍රයාමාර්ගය නතර කර දැමීමට තීරනය කල බව යි. වෘත්තීය සමිති එකමුතුව “සාකච්ඡා මගින් සැලකිය යුතු ජයග‍්‍රහනයක්” අත්පත් කරගෙන ඇති බව රත්නපි‍්‍රය අවධාරනය කලේ ය.

මෙය බොරුවකි. වික‍්‍රමසිංහ සහ වෘත්තීය සමිති නිලධරයින් කම්කරු අරගලයක් මග හැර ගැනීමෙහි බලවත් උනන්දුවක් දැක්වූයේ එය සිරිසේනගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය (ශී‍්‍රලනිප) ද ඇතුලත් සන්ධාන ආන්ඩුවට එරෙහි සමාජ පිපිරුමකට උත්පේ‍්‍රරකයක් වනු ඇතැයි බියෙනි.

සුලු සහනයක් වශයෙන් රාජ්‍ය අංශයේ සේවකයින්ට දැනට ගෙවනු ලබන රුපියල් 10,000 (එජ ඩොලර් 72) ක දීමනාව ලබන වසර තුල වාරික තුනකින් මූලික වැටුපට එකතු කරන බව ප‍්‍රකාශ කලේ ය. වාහන ආදායම් බලපත‍්‍ර මත පනවා තිබුනු සියයට 25 ක බදු වැඩි කිරීම සියයට 15 දක්වා අඩු කෙරෙන අතර ඉහල නැංවූ වාහන දුම් පරීක්ෂන ගාස්තු අඩු කෙරෙනු ඇත.

පුද්ලික අංශයේ කම්කරුවන්ගේ මාසික වැටුප රුපියල් 2,500 කින් වැඩි කිරීම සඳහා වූ ඉල්ලීම සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කලේ ආන්ඩුව ලබන මැයි මාසයේ එය කි‍්‍රයාවට දැමීමට අදහස් කරන බව යි. එය පුද්ගලික සේවා යෝජකයන්ගේ තීරන මත මුලුමනින් ම රඳා පවතින්නක් බැවින් මෙය වනාහි හිස් පොරොන්දුවකි. ඔවුන් දැනටමත් ආන්ඩුවේ ඉල්ලීම නොතකා හැර තිබේ.

විශ‍්‍රාම වැටුප් ගෙවීමේ ක‍්‍රමය වෙනුවට සේවකයින් දායකත්වය සපයන නව ක‍්‍රමයක් හඳුන්වා දීම සඳහා කෙරුනු අයවැය යෝජනාවට කිසිදු වෙනසක් සිදු නොවුනු තරම් ය. ආන්ඩුව “දැනට පවත්නා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය සංශෝධනය කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා කමිටුවක්” පත් කරනු ඇති බව වික‍්‍රමසිංහ කියා සිටියේ ය. ආන්ඩුවේ සැලසුම් තුලට ඔවුන් සම්පූර්නයෙන් ඇතුලත් කරගනිමින් මේ කමිටුවට සහභාගී වන මෙන් වෘත්තීය සමිති නිලධාරීන්ට ආරාධනය කෙරෙනු ඇත.

එලෙසින් ම, අනෙකුත් අයවැය යෝජනා කි‍්‍රයාත්මක කිරීමෙහි දී ද ආන්ඩුව වෘත්තීය සමිතිවල අදහස් විමසන බව වික‍්‍රමසිංහ පැවසී ය. රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතින ආයතන පෞද්ගලිකකරනය හා ප‍්‍රතිව්‍යූහගත කිරීම නතර කරන මෙන් කෙරෙන ඉල්ලීම පිලිබඳ ඔහු කිසිවක් සඳහන් කලේ නැත - ආන්ඩුව මෙම පිලිවෙත වෙනස් නොකරන බවට පැහැදිලි ඇඟවුමකි මෙය.

වෘත්තීය සමිති නිලධාරීන් සමග පැවැත්වුනු එක ද සාකච්ඡාවක හෝ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පිලිබඳ ඉල්ලීම ගැන සඳහනක් පවා නොවුනි. වතු සමාගම් මොනම ආකාරයක හෝ වැටුප් වැඩි කිරීම් ප‍්‍රතික්ෂේප කර ඇත. දුගී ගොවීන් සඳහා වූ පොහොර සහනාධාරය කපා දැමීමේ පියවරට ද වෘත්තීය සමිති නායකයෝ විරුද්ධ නොවූහ. හානියට පත් ගොවීන් දැනටමත් විවිධ නගරවල උද්ඝෝෂන ගනනාවක් පවත්වා ඇති අතර අද කොලඹ දී උද්ඝෝෂනයක් පැවැත්වීමට නියමිත ය.

පෞද්ගලිකකරනය නැතහොත් “ප‍්‍රතිව්‍යූහකරනය” පිලිබඳ තර්ජන කෙරෙහි කම්කරුවන්ගේ විරෝධය හේතුවෙන් සීමිත වැඩවර්ජනයක් පැවැත්වීමට ලංකා බැංකු සේවක සංගමයට (ලබැසේස) සිදු විය. ආන්ඩුවේ යෝජනාවෙන් අදහස් වන්නේ රාජ්‍ය බැංකු හා සංස්ථා, වැඩිදුර ප‍්‍රතිව්‍යූහකරනය සඳහා සිංගප්පූරුවේ ටෙමාසෙක් (Temasek) අනුව හැඩගස්වන ලද “රාජ්‍ය පරිපාලන සමාගමක්” අතට පත් කිරීම යි. සන්ධාන ආන්ඩුවට සිය ගමන් මග වෙනස් කරන මෙන් පීඩනය යෙදීමේ නිරර්ථක වෑයමක් තුලට සේවකයින්ගේ විරෝධතාව හරවා යැවීමට සංගමය අදහස් කරයි.

වික‍්‍රමසිංහ සිය ප‍්‍රකාශය තුල කම්කරු පන්තියට ලාවට සැඟවූ තර්ජනයක් එල්ල කලේ ය. “ආන්ඩුව රටේ අනාගතය වෙනුවෙන් ජනපි‍්‍රය නොවන තීරන ගැනීමට පසුබට නොවනු ඇතැ” යි ඔහු අනතුරු ඇඟවී ය. තමන්ට භාවිතයට ගත නොහැකි නම් බලය අතහැරීමට ද තමන් සූදානම් ව සිටි බව ඔහු ප‍්‍රකාශ කලේ ය. දැවැන්ත නය බරට හා පිරිහෙන අපනයන වෙලඳපොලට මුහුන දෙන ආන්ඩුව, දැඩි රාජ්‍ය වැය කප්පාදුවකට බල කරමින් සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් පොරොත්තු නයක් ගැනීමට අදහස් කරයි.

දේශීය හා විදේශීය ආයෝජකයින් සහ මහා ව්‍යාපාර වෙත වැඩි වැඩියෙන් සහන ලබා දෙන අතර ආර්ථික අර්බුදයේ බර කම්කරුවන්ගේ කර මත පැටවීමෙහි දී ආන්ඩුව පැහැදිලි ව ම වෘත්තීය සමිතිවල ආධාරය මත රඳා පවතී. සිය ආන්ඩුව සෑම පියවරක් ගැන ම වෘත්තීය සමිති සහ “සිවිල් කන්ඩායම්” සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටිව බව වික‍්‍රමසිංහ අවස්ථා ගනනාවක දී ම අවධාරනය කලේ ය.v

වෘත්තීය සමිති එකතුවේ කැඳවුම්කරු රත්නපි‍්‍රය සිය කොටස ඉටු කරමින් මෙසේ ප‍්‍රතිරාව නැංවී ය: “ආන්ඩුව සමග සාධනක සංවාදයකට එලඹෙමින් සියලු ප‍්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට අප සූදානම් ය.”v

යම් අන්දමක ශ‍්‍රම විභජනයක් පැවතිය ද සියලු වෘත්තීය සමිති වැඩ කරමින් සිටින්නේ කම්කරුවන් විසින් සිය වාතාවරනය දියුනු කරගැනීම සඳහා සිදු කරනු ලබන මොන ම සටනක් වුව යටපත් කර දමනු පිනිස ය. ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කෙරෙන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සිය රැවටිලිකාර උද්ඝෝෂන සතිය සඳුදා නතර කලේ ය. වතුකරයේ බොහෝ වෘත්තීය සමිති ආන්ඩුව තුල සිටින අතර අයවැය යෝජනාවලට විවෘතව ම සහාය පල කරති.

වර්ජනය අතහැර දැමීම නැවත වතාවක් ඔප්පු කර ඇත්තේ කම්කරුවන්ට සිය අරගලය වෘත්තීය සමිති සීමා තුල පෙරට ගෙන යා නොහැකි බව යි. ඔවුන් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වෙමින් තමන්ගේ ම කි‍්‍රයාකාරී කමිටු පිහිටුවාගැනීම ද කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීම ද කල යුතු ව ඇත.

ශී‍්‍ර ලංකාව: අයවැය කප්පාදුවලට එරෙහිව සටන් වැදීමට සමාජවාදී කි‍්‍රයාමාර්ගයක්” යන හිසින් පල කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ ප‍්‍රකාශය බෙදාහරිමින් සිටි ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන් සමග සම්මුඛ සාකච්ඡාවලට එක් වූ කම්කරුවෝ ගනනාවක් ම වෘත්තීය සමිතිවල අලුත් ම පාවා දීම කෙරෙහි සිය කෝපය පල කලහ.

හලාවත දිස්ති‍්‍රක් රෝහලේ හෙද නිලධාරියෙක් මෙසේ පැවසී ය: “වෘත්තීය සමිති නායකයෝ වර්ජනය පාවලා දෙන බව අපි දැනගෙන හිටියා. සමන් රත්නපි‍්‍රයයි වෘත්තීය සමිති නායකයොයි වැඩියෙන් උනන්දු වෙන්නේ ආන්ඩුවට කරදර නොකර ඉන්නයි. ඒ අය ආන්ඩුව බලයට ගේන්න උදව් වුනා. ඉතින් තමුන්ගේ අයිතීන් ආරක්ෂා කරගන්න ඒ වෘත්තීය සමිති නායකයො එක්ක ආන්ඩුවට විරුද්ධව සටන් කරන්න කම්කරුවන්ට බෑ. ආන්ඩුව අපේ දීමනාව මූලික වැටුපට එකතු කෙරුවා වුනත්, මේ ඉහල නගින ජීවන වියදමට ඔරොත්තු දෙන්න ඒක මදි.”

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවෙක් මෙසේ පැහැදිලි කලේ ය: “ආන්ඩුව පඩි වැඩි කරන්න පොරොන්දු වුනත් ඒක කලේ නෑ. බලයට එන්න කලින් ඒ අය ජනතාවට සහන ගනනාවක් දෙන්න පෙරොන්දු වුනත් එයින් එකක් වත් දීල නෑ. මගේ මාසික මූලික වැටුප රුපියල් 13,000 යි. අතිකාල ගෙවීම් එක්ක මට ගිය මාසෙ ලැබුනෙ රුපියල් 16,000ක් විතරයි. මගේ මුලු පවුලම යැපෙන්නෙ මගෙන්. මට වෘත්තීය සමිති ගැන කිසිම විශ්වාසයක් නෑ. ඒ අය අපි වෙනුවෙන් සටන් කරන්නෙ නෑ. ඒගොල්ලෝ වැඩ කරන්නෙ පරිපාලනයයි ආන්ඩුවයි එක්ක එකටයි.”

මහනුවර දුම්රිය කම්කරුවෙක් මෙසේ පැවසී ය: “වර්ජනය පාවා දීම කල් තියා ගත්තු තීරනයක්. ඒක වෘත්තීය සමිතිත් ආන්ඩුවත් දැනුවත්වම කම්කරුවන්ට විරුද්ධව කරපු කුමන්ත‍්‍රනයක්. ආන්ඩුව පොරොන්දු ඉටු කරාවි කියල අපි නම් විශ්වාස කරන්නෙ නෑ. වෘත්තීය සමිති නායකයෝ කම්කරුවන්ව පීලි පන්නනවා. ඔයගොල්ලෝ කිව්වා වගේ කම්කරුවෝ කරන්න ඕන තමුන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න කි‍්‍රයාකාරී කමිටු පිහිටුවා ගැනීමයි.”

Share this article: