බි‍්‍රතාන්‍ය කම්කරු ව්‍යාපාරය ඇමරිකාවේ වහල් සේවය අවසන් කිරීමට සහාය දැක්වූයේ කෙසේ ද - දෙවැනි කොටස

How the British workers’ movement helped end slavery in America- Part two

ජෝ මවුන්ට් විසිනි, 2015 ජනවාරි 7

මෙය ඇමරිකානු සිවිල් යුද්ධය තුල දී උතුරු ජනපද හමුදාවේ විජයග‍්‍රහනය හා එක්සත් ජනපදය තුල වහල්භාවය අහෝසි කිරීමේදී බි‍්‍රතාන්‍ය කම්කරු පන්තියේ කාර්යභාරය පිලිබඳ කොටස් දෙකකින් යුත් ලිපියක දෙවැනි කොටස යි. පලමු කොටස පෙබරවාරි 9 දින පලකෙරුනි.

ධනවාදයට එරෙහිව කම්කරුවන්ගේ සටන, වහල්භාවය අහෝසි කිරීම සඳහා අරගලය සමග බැඳී තිබුනි. වහලුන්ගේ හා කම්කරුවන්ගේ පොදු දුර්දශාව පිලිගනිමින් ලන්ඩනයේ වෘත්තීය සමිති රැස්වීමක් “කම්කරුවන්ගේ දිශාව හා නිදහස ලෝකය පුරා ම එකකි” යි ප‍්‍රකාශ කල අතර “මානව වහල්භාවය මත පාදකව ඇති” ඕනෑම ආන්ඩුවක් රාජ්‍යතාන්ත‍්‍රිකව පිලිගැනීමට විරුද්ධ විය.

“වහල්භාවය සමූහාන්ඩුවේ කොටසක් විකෘති කල තාක් දුරට, උතුරු ඇමරිකා එක්සත් ජනපදය තුල, කම්කරුවන්ගේ සෑම ස්වාධීන ව්‍යාපාරයක් ම අඩ පන කෙරුනි. කලු හම හංවඩු ගැසී ඇති තැනක ශ‍්‍රමයට සුදු හම තුල විමුක්තිය ලැබිය නො හැක” යි මාක්ස් ප‍්‍රාග්ධනය තුල සඳහන් කලේ ය.

අත්ලන්තික් සාගරයට එතෙර සටන්බිම්වල කෙරෙමින් පැවතුන ශ්‍රේෂ්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය තුල ඔවුන් ඉටු කල යුතු කොටස පිලිබඳව බි‍්‍රතාන්‍ය කම්කරුවෝ දැනුවත් ව සිටියහ. තවත් රැස්වීමකදී, “හරියට ම මේ අවස්ථාවේ දී, ඇමරිකානු ජනරජයට එරෙහිව කැරලි ගසන අත්තනෝමතික කල්ලිය (දකුනු සන්ධානය- සියලුම රටවල කම්කරු පන්තියේ සමාජ හා දේශපාලන අයිතීන්ගේ අත්‍යන්ත හතුරා” ලෙස හෙලා දුටුවේ ය.

ඇමරිකානු සිවිල් යුද්ධයේ ජයග‍්‍රහනයෙන් වසර දෙකකට පසුව, බි‍්‍රතාන්‍ය තුල දෙවැනි ප‍්‍රතිසංස්කරන පනත පලමු වරට, කම්කරුවන් යම් ප‍්‍රමානයකට ඡන්ද අයිතිය ලබා දුන් අතර මැතිවරන කොට්ඨාස දෙගුන කලේ ය. විප්ලවය පිලිබඳ ධනේශ්වරයේ භීතිය මෙල වූ ඇමරිකානු සිවිල් යුද්ධයේ හා එය ජනිත කල ව්‍යාපාරයේ බලපෑම නොමැතිව පනතේ එම ඡේදය ගැන සිතා ගැනීමටවත් නො හැකි දෙයක් විය. ට්‍රොට්ස්කි පසුව නිරීක්ෂනය කල පරිදි, “ඇමරිකානු දේශසීමාවේ විප්ලවවාදී ජයග‍්‍රහනය, බි‍්‍රතාන්‍ය කම්කරු පන්තියේ කොටසකට ඡන්ද අයිතිය (1867 පනත) දිනා දුන්නේ ය.”

සිවිල් යුද්ධය තුල කම්කරුවන්ගේ මැදිහත්වීම, කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය ප‍්‍රදර්ශනය කලේ ය. “අත්ලාන්තික් සාගරයේ අනෙක් පැත්තේ පැවතියාක් වැනි, වහල්භාවය චිරස්ථායි කිරීම හා පැතිරවීම සඳහා කුප‍්‍රකට කුරුස යුද්ධයකට ඇද වැටීමෙන් බටහිර යුරෝපය වලක්වන ලද්දේ පාලක පන්තීන්ගේ ප‍්‍රඥාව මගින් නො ව ඔවුන්ගේ සාපරාධී මෝඩකමට එරෙහිව එංගලන්තයේ කම්කරු පන්තිය දක්වන ලද වීරෝදාර ප‍්‍රතිරෝධය මගින්” බව මාක්ස් පැහැදිලි කලේ ය. ඔහු ව්‍යාපාරය හැඳින් වූයේ, “ඉංග‍්‍රීසි පොදු ජනතාවගේ විනාස කල නො හැකි දෘඪතර භාවය පිලිබඳ දීප්තිමත් සාක්ෂියක්” ලෙසට යි.

වහල් විරෝධී ව්‍යාපාරය ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය සඳහා ඓතිහාසික ඉදිරි පියවරක් විය. “ඇමරිකානු නිදහස් යුද්ධය මධ්‍යම පන්තිය සඳහා ප‍්‍රබල තත්වයක නව යුගයක් ආරම්භ කල ආකාරයටම ඇමරිකානු වහල් විරෝධී යුද්ධය, කම්කරු පන්තියට එවැනි යුගයක් උදා කර දෙනු ඇතැයි යුරෝපීය කම්කරුවෝ දැඩි ලෙස විශ්වාස කරති. ඔවුන් එය සලකන්නේ, බන්ධන ගත ජන වර්ගයක් ආරක්ෂා කිරීම හා සමාජ ලෝකය නැවත ගොඩනැගීම සඳහා අසමාන අරගලයක් හරහා තම රට මෙහෙය වූ කම්කරු පන්තියේ ඒකාභිප‍්‍රායික පුත‍්‍රයා වන ඒබ‍්‍රහම් ලින්කන්ට බොහෝ නය ගැති යුගයක අත්තිවාරම ලෙස ය” යි මාක්ස් පැවසී ය.

කම්කරු පන්තිය ලෝක ඉතිහාසයේ වේදිකාවට පිවිසෙමින් සිටියහ. පසු ගිය වසරේ යෙදුනු නිදහසේ ප‍්‍රකාශනයෙහි 150 වැනි සංවත්සරය ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කල පරිදි: “සංගමය හා වහලුන් සමග කම්කරු පන්ති සහයෝගිත්වයේ බලගතු ප‍්‍රදර්ශනය ඉතාමත් දියුනු ඉංග‍්‍රීසි කම්කරුවන් අතර වර්ධනය වෙමින් පැවති ජාත්‍යන්තරවාදයේ ජීවගුනය පෝෂනය කල අතර ඊලඟ වසරේ දී ලන්ඩනයේ දී පලමු ජාත්‍යන්තරය (නැතහොත් ජාත්‍යන්තර වැඩකරන ජනතාවගේ සංවිධානය- අයිඩබ්ලිව්ඒ) සඳහා වේදිකාව සැකසී ය.”

චාටිස්ට්වාදයේ හා වහල්-විරෝධී ව්‍යාපාරයේ බලපෑම ලෝකය පුරා ගිගුම් දුන්නේ ය. ව්‍යාපාර දෙක ම ලෝක ඉතිහාසයේ නව යුගයක් සලකුනු කලේ ය. අඩ සියවසකට පසු රුසියානු විප්ලවයේ ජයග‍්‍රහනයත් සමග ඒවායේ විභවයන් මුදුන් පත් කෙරුනි.

ලින්කන් මැන්චෙස්ටර් නගරයේ

මෙම වීරෝදාර සම්ප‍්‍රදාය අද සිහිපත් කරනු ලබන්නේ මැන්චෙස්ටර් නගරයේ පිහිටුවා ඇති ඒබ‍්‍රහම් ලින්කන්ගේ ප‍්‍රතිමාවෙනි. ලින්කන් කවර දා වත් ලන්ඩනයේ පා නො තැබූ නමුත් වහල්භාවයේ විනාසය සඳහා වූ බි‍්‍රතාන්‍ය කම්කරුවන්ගේ කාර්යභාරය ඔවුන් හා “ශ්‍රේෂ්ඨ විමුක්තිදායකයා” එකට එක් කලේ ය.

1862දී මැන්චෙස්ටර් හි නිදහස් වෙලඳ ශාලාවේ පැවත් වුනු රැස්වීමක්, ලින්කන්ට පනිවුඩයක් යැවූ අතර එය අද නගරයේ ලින්කන් ප‍්‍රතිමාවේ පහල දාරයේ කොටා ඇත. එය මෙසේ පවස යි, “මාස විස්සක කෙටි අවකාශයක දී ඔබ සිදුකර ඇති අති විශාල ප‍්‍රගතිය ඔබ ලබාදුන් නිදහස මත සෑම පැල්ලමක් ම ඉතා ඉක්මනින් ඉවත් කරනවා ඇතැ යි ද, ඔබගේ ජනාධිපති කාලය අතරතුර ශිෂ්ටාචාරය හා ක‍්‍රිස්තියානිය මත අපිරිසිදු පැල්ලම - පුද්ගලික වහල්භාවය - මකා දැමීම, මතු පරපුර විසින් ඒබ‍්‍රහම් ලින්කන් නාමයට ගෞරව දැක්වීමට හා පූජ්‍යත්වයනේ සැලකීමට හේතු වනවා ඇතැ යි ද යන බලාපොරොත්තුවලින් අප සියලු දෙනා තෘප්තිමත් කර යි. එවන් උත්කෘෂ්ඨ අවබෝධයක්, මහා බි‍්‍රතාන්‍ය හා එක්සත් ජනපදය, සමීප හා කල් පවත්නා බැම්මකින් එක් කරනු ඇති බව අපට නිශ්චිතය.”

මෙම පිටි බැරලය [දැනට රොෂ්ඬේල් කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත] නිව් යෝර්ක් සහ ෆිලඩෙල්ෆියා හි සිට යැවූ සහනාධාරවල කොටසක් විය.

විපතට පත් බි‍්‍රතාන්‍ය කම්කරුවන් වෙනුවෙන් හිතපක්ෂපාතිත්වය දැක්වීමක් ලෙස ඇමරිකාව, මහජන දායකත්වය මගින් සපයන ලද සහන ආහාර නෞකා තුනක් පිටත් කර යැවී ය. ජෝජ් ග‍්‍රිස්වෝල්ඩ් නම් පලමු සහන නෞකාව පිලිගත් විශාල ජනකායට, ඔවුන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ලින්කන් පනිවුඩයක් මගින් ස්තුති කලේ ය:

“මෙම අර්බුදයේ දී මැන්චෙස්ටර් හා සමස්ත යුරෝපය තුල වැඩකරන ජනතාවට විඳදරාගැනීමට නියම කෙරුනු පීඩනය මම හොඳින් දන්නා අතර ඒ ගැන ගැඹුරින්ම කනගාටු වෙමි. එය හැමවිට ම හා ධෛර්යසම්පන්නව නියෝජනය කරනු ලැබුනේ, මානව හිමිකම් පදනම මත ගොඩනගන ලද මෙම ආන්ඩුව පෙරලා දැමීමේ උත්සාහයට ද ඒ වෙනුවට වහල්භාවයේ පදනම මත තනිකරම වාරු විය යුතු එකක් (ආන්ඩුවක්) ආදේශ කිරීමට ද යුරෝපයේ පක්ෂපාතිත්වය බලාපොරොත්තු විය හැකි වූ බව යි.

“එම උත්සාහයට, වංක පුරවැසියන්ගේ කටයුතු මගින් ඔවුන්ගේ සම්බාධක බලෙන් පැටවීමේ අරමුන වෙනුවෙන් යුරෝපයේ වැඩකරන ජනතාව බරපතල පරීක්ෂාවකට යටත් කරන ලදී. මෙම වාතාවරනය යටතේ, කිසිම යුගයක දී හෝ කිසි ම රටක දී හෝ පරදවා නැති උතුම් ක‍්‍රිස්තියානි වීරත්වයේ නිදර්ශනයක් ලෙස, මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඔබගේ තීරනාත්මක භාෂනය නො සලකා සිටීමට මට නො හැකි ය. එය සැබවින් ම ආවේනික සත්‍යයේ සහ යුක්තියේ, මනුෂ්‍යත්වයේ හා නිදහසේ අවසාන හා විශ්වසනීය ජයග‍්‍රහනය පිලිබඳ ප‍්‍රබල හා ආවේශදායි සහතිකයකි.

“එබැවින් මනෝභාවයන්ගේ මෙම පරස්පරානුගමනයට මම ආචාර කරමි, පෙර නිමිත්තක් වශයෙන් කොහේ හරි වන්නේ කුමක් ද, ඔබගේ රටට හෝ මගේ රටට මොන යම් හෝ අභාග්‍යයක් පතිත වීමට ඉඩ තිබුනත්, ජාතීන් දෙක අතර පවතින සාමය හා මිත‍්‍රත්වය ඒවා ඇති කිරීමේ මගේ අභිප‍්‍රාය මෙන්, සදාකාලික වනු ඇත.”

සියවසකට පෙර ප‍්‍රතිමාව නිර්මානය කිරීම පැවරුනේ ඇමරිකානු මූර්ති ශිල්පි ජී. බර්නාඩ් ට ය (1863-1938). වසර ගනනාවක් කැපකිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඔහු භාවපූර්න සමානත්වයන් ගනනාවක් නිර්මානයන් කලේ ය. ප‍්‍රතිපල විශේෂයෙන්ම, මැන්චෙස්ටර් හි දැන් නැගී සිටින අඩි හයක් උසැති ප‍්‍රතිමාව සිත් සසල කරයි.

මෙම පාඨය ද මැන්චෙස්ටර් ලින්කන් ප‍්‍රතිමාව පාමුල කොටා ඇත.

ජෝර්ජ් ගේ‍්‍ර බර්නාඞ්, ඒබ‍්‍රහම් ලින්කන් (කිරි ගරුඬ), මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය

“මම අනාගත පරම්පරාවට සැබෑ ලින්කන් ප‍්‍රදානය කරමි” යි නිවේදනය කරමින් බර්නාඩ්, ලින්කන්ගේ පුද්ගලත්වය ග‍්‍රහනය කර ගැනීමට පරිශ‍්‍රම දැරී ය. බලයට පත්වීමට පෙර ඔහු සිටි ආකාරයට ලින්කන් ඉදිරිපත් කිරීමට ඔහු අධිෂ්ඨාන සහගත විය. පරන, සාමාන්‍ය ඇඳුම් අඳින “මහජනයා වෙනුවෙන් ලින්කන්” කෙනෙක්. ඔහු ලින්කන්ගේ දේහය ඇඹුවේ, ලින්කන් උපන් ස්ථානයෙන් වැඩි ඈතක නො වන කෙන්ටකී හි ජීවත් වූ රැකියා විරහිත දුම්රිය කම්කරුවෙකු ඇසුරිනි.” යුරෝපයේ ― ග‍්‍රීසියේ හා ඉතාලියේ පිරිමින්ගේ― සම්භාව්‍ය ආකාරයක සමමිතික එමෙන් ම ලස්සන හැඩරුව මම දැක ඇත්තෙමි, නමුත් කිසිවෙක් මෙම කෙන්ටකී වැසියාගේ හැඩරුව තරම් මට හැඟීමක් ඇති නො කලේ ය” යි බර්නාඩ් පැවසී ය.

කලාත්මක ශ්‍රේෂ්ට කෘතියක් නිර්මානය කිරීමට බර්නාඩ් වසර පහක් තිස්සේ, දීර්ග පැය ගනන් වැඩ කලේ ය. මීටර් 3.5ක් උස මෙම ස්මාරකය, 1917දී අවසන් කෙරුනු අතර එය නරඹන්නන් වශී කලේ ය. ”ප‍්‍රවේශමෙන් අධ්‍යයනය කරන ලද හා හසුරුවන ලද එහි සෑම කොටසක් ම චිත්තාකර්ෂනීය චරිත නිරූපනයේ සමස්තයට දායක වෙයි: බොහෝ විශාල පාද, දනහිස ලඟ පිම්බෙන කලිසම් තුල දිග ගාත‍්‍රා, පැතලි උදරය හරහා අත වලලුකර වෙලාගන්නා සුවපහසු අභිනය, තියුනු ලෙස පහත් වෙන උරහිස්, දිගු බෙල්ල මත රඳන, ශක්තියේ, ප‍්‍රඥාවේ, ආචාරශීලිත්වයේ හා විනීත අභිමානයේ ගුනයන් සමග කාවැද්දුනු සුපැහදිලි හිස.

මැන්චෙස්ටර්හි ලින්කන් චතුරස‍්‍රයේ පිහිටි ඒබ‍්‍රහම් ලින්කන් ප‍්‍රතිමාව

“කෙලින් ම හා තීව‍්‍ර ලෙස තාත්වික, මනෝහරත්වය හා අතාත්වික මහානුභාවය මවා පෑමෙන් තොර, බර්නාඩ්ගේ යෝධ මිනිසා, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වීරයා හා සංකේතය ලෙස වැඞී ආවේ මහපොලොව මත එහි පැතිර පැවති දුක් පීඩා තුලිනි. සියල්ලටත් වඩා එය, පිලිරුවේ නිර්මාපකයා, ‘ලින්කන්ගේ හදවත තුල මගේ සංචාරය’ ලෙස සරලව හා සත්‍යවාදීව නම් කල ක‍්‍රියාදාමය තුල සොයාගන්නා ලද දෘශ්‍ය වාර්තාවකි.”

බර්නාඩ් ඔහුගේ හාම්පුතුන් විසින් පාවා දෙන ලදී. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් පලමු ලෝක යුද්ධයට සූදානම් වීමත් සමග, ඔවුන්ගේ අධිරාජ්‍යවාදී අභිලාශයන් දීප්තිමත් වර්නයන්ගෙන් පින්තාරු කිරීමට, ඇමරිකානු ධනේශ්වරය ගෙන ගිය ව්‍යාපාරයේ කොටසක් ලෙස, “ප‍්‍රජාතන්ත‍්‍රවාදය” සඳහා සටනේ සංකේතයක් ලෙස යුරෝපීය නගරවලට යැවීමට ලින්කන් නිරූපනය කිරීම සඳහා හඬ නැගුනි.

ඇමරිකානු සමාජ ප‍්‍රභූව බර්නාඩ්ගේ “සියලු නරක දේ ඇතුලත්” ප‍්‍රවේශය පිලිකුල් කලහ. ඔවුන් ප‍්‍රතිමාව තුල දුටුවේ “වැරහැලි තුල පෙරලිකාරිත්වය”, “අශෝභන පුද්ගලයෙකු”, “නිකමෙකු” හා “සංචාරක ගොවියෙකු” පමනි.

ඔවුන් මාධ්‍ය තුල බර්නාඩ්ගේ ලින්කන් හෙලා දුටු අතර එය ප‍්‍රචන්ඩ විවාදයක් ඇවිලවීය. බර්නාඩ් නො සැලුනි. මතභේදය අතරතුර ඔහු සිය බිරිඳට පැවසුවේ, “ලින්කන් ප‍්‍රතිමාව ගැන සාකච්ඡා ගැන කරදර නොවන්න. එය ශ්‍රේෂ්ට නිර්මානයක් වගේ ම කිසිදෙයකට එය වෙනස් කල නොහැකි” බවය.

උනුසුම අඩුවීමෙන් පසුව, “රාජ්‍යතාන්ත‍්‍රිකයෙකු බඳු” ජීවයෙන් තොර හා ගොරහැඩි ප‍්‍රතිමාවක් ඔවුන් එංගලන්තයට යවන ලද අතර එකී ප‍්‍රතිමාව ලන්ඩනයේ පාර්ලිමේන්තු සංකීර්නයේ සිටුවන ලදී.

ටයිම්ස් සඟරාව බර්නාඩ්ගේ ප‍්‍රතිමාව “බඩරුජාව හැදුනු පාදඩයෙකුට” සමානකම් දක්වන්නේ යැයි විස්තර කිරීම නො තකා, පැරනි “ලෝකයේ වැඩබිම” වූ මැන්චෙස්ටර් හි එය තැනක් සොයා ගත්තේ ය. 1919දී එය ප්ලැට් ෆීල්ඩ් පාර්ක් හි සිටුවන ලදී. 1986දී එය නගර මධ්‍යයේ ලින්කන් චතුරශ‍්‍රයේ නැවත පිහිටුවන ලද අතර බි‍්‍රතාන්‍යයේ පැවති, වහල්භාවය අහෝසි කිරීමේ 200වැනි සංවත්සරය සඳහා 2007දී කැටයම නැවත පිලිසකර කරන ලදී.

මැන්චෙස්ටර් හි ලින්කන් සිහිවටනය බි‍්‍රතාන්‍ය කම්කරුවන් අතර වූ බලගතු, පුලුල් ව පැතුරුනු වහල් විරෝධී මනෝගතීන් හා ආරම්භක ජාත්‍යන්තරවාදය පිලිබඳ සාක්ෂියක් ලෙස නැගී සිටී.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලේඛන

⋆ මැන්චෙස්ටර් කලා මන්දිරය, “ඒබ‍්‍රහම් ලින්කන්

⋆ හැරල්ඩ් ඊ. ඩික්සන්, “ජෝජ් ගේ‍්‍ර බර්නාඩ්ගේ විවාදිත ලින්කන්”, Art Journal, කලා සඟරාව, 27වැනි වෙළුම-අංක 1, 1967, සරත් කාලය

⋆ ලියොන් ට්‍රොට්ස්කි, Where is Britain Going? 1925, බි‍්‍රතාන්‍ය යන්නේ කොයිබට ද? 1925

⋆(ඬේවිඩ් ජී. සූර්ඩම්, “කපු රජ: රජා ද නැතහොත් බොරුකාරයා ද? අමු කපු සඳහා වෙලඳපොල තත්වය හා ඇමරිකානු සිවිල් යුද්ධයේ සැඳෑ කල, The Economic History Review: New Series ආර්ථික ඉතිහාස පුනරීක්ෂන, නව පෙල, 51වැනි වෙලුම, අංක.1 (1998 පෙබ- පිටු.113-132)

⋆බීබීසී මැන්චෙස්ටර්, “Why Stalybridge was put to the sword by the police” “පොලීසිය විසින් ස්ටැලිපාලම විනාස කරන ලද්දේ මන්ද”, 2010 ජනවාරී 15

⋆ The Guardian ද ගාඩියන්, “Lincoln’s great debt to Manchester” “මැන්චෙස්ටර් නගරයට ලින්කන්ගේ මහා නය,” 2013 පෙබරවාරි 4

⋆ (ටොම් මැකමන්, “The British working class and the American Civil War: 150 years since London’s St. James’ Hall meeting” බි‍්‍රතාන්‍ය කම්කරු පන්තිය හා ඇමරිකානු සිවිල් යුද්ධය: ලන්ඩනයේ ජේම්ස් ශාලාවේ රැස්වීමේ සිට වසර 150ක්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2013 මාර්තු 26)

⋆ (ජේම්ස් හාට්ෆීල්ඩ්, British Workers & the US Civil War: How Karl Marx and the Lancashire Weavers Joined Abraham Lincoln’s Fight Against Slavery, බි‍්‍රතාන්‍ය කම්කරුවන් හා එක්සත් ජනපද සිවිල් යුද්ධය: කාල් මාක්ස් හා ලැන්කෂයර් රෙදි වියන්නන් වහල්භාවයට එරෙහි ඒබ‍්‍රහම් ලින්කන්ගේ සටනට එක් වූයේ කෙසේ ද, 2012

⋆ ටෙරී වයික් හා හැරී කොක්ස්, Public Sculpture of Greater Manchester, මහා මැන්චෙස්ටර් හි ප‍්‍රසිද්ධ ප‍්‍රතිමාකරුවා

⋆ The American civil war and the Lancashire cotton famile, revealinghistories.org.uk (ඇමරිකානු සිවිල් යුද්ධය හා ලැන්කෂයර් කපු සාගතය, )

⋆ (කාල් මාක්ස්, Capital ප‍්‍රාග්ධනය වෙළුම 1, 1887

⋆ (කාල් මාක්ස්, “A London Workers’ Meeting,” 1862 “ලන්ඩන් කම්කරුවන්ගේ රැස්වීම,” 1862

⋆ (කාල් මාක්ස් “Address of the International Working Men’s Association to Abraham Lincoln, 1865” “ජාත්‍යන්තර වැඩ කරන මිනිසුන්ගේ සංවිධානය ඒබ‍්‍රහම් ලින්කන් ඇමතීම,” 1865

Share this article: