ග‍්‍රීසිය පිලිබඳ ෂෝබල්ගේ උද්ධච්ඡකම හා ජරමනියේ පන්ති බෙදීම

Schauble’s arrogance towards Greece and the class divide in Germany

පීටර් ෂ්වාස් විසිනි , 2015 පෙබරවාරි 21

මූල්‍ය ආධාර සඳහා ඇතන්ස්හි ඉල්ලීම ජර්මානු මුදල් ඇමති වුල්ෆ්ගෑන්ග් ෂෝබල් විසින් ප‍්‍රතික්ෂේප කිරීම, ග‍්‍රීසිය බංකොලොත් වීමේ හා යුරෝ කලාපයෙන් ඉවත්විමේ අවදානම මතුකරයි.

යුරෝපීය සංගමයේ මුදල් ඇමතිවරු ග‍්‍රීක ආන්ඩුව සමග අන්තර්වාර ගිවිසුමක් ඇතිකරගෙන තිබෙන නමුත් ෂෝබල්ගේ උද්ධච්ඡ ආස්ථානය නිසා තරමක කාලයක් තුල මෙය කල හැකි ද යන්න පැහැදිලි නැතිව තිබුනි. එහෙත් ජර්මානු මාධ්‍යයේ වැඩි කොටසක් හා යුරෝපියානු ආන්ඩු ගනනාවක්, ග‍්‍රීක ආන්ඩුව කොන්දේසි විරහිතව යටත් විය යුතු බව කියා සිටි ෂෝබල්ගේ දැඩි ප‍්‍රවිෂ්ටයට සහාය දුන්හ.

ෆ‍්‍රෑන්ක්ෆර්ටර් ඇල්ජෙමින් සේටුං පත‍්‍රය උද්දාමයෙන් නිවේදනය කලේ, “බුම්මාගත් වෙරෝෆකිස්, ෂෝබල් තුල තම ස්වාමියා සොයාගෙන තිබේ. යුරෝපීය සංගමය ගිවිසගත් කොන්දේසි වලට යටත් වන ලෙස ඔවුන්ට බල කල යුතුය.” යනුවෙනි. ඩි වෙල්ට් පත‍්‍රය, “ඇතන්ස් (පාලනයට) තේරෙන්නේ කුමන භාෂාවදැයි ෂෝබල් දනී!” යන ශීර්ෂය සහිත කතුවැකියක් පල කලේය. බිල්ට් පත‍්‍රය මෙසේ ලිවීය. “ජර්මනිය කියන්නේ වෙල්ෆ්ගෑන්ග් ෂෝබල්, ඔබට ස්තුතියි. අවසානයේදී යමෙක්, බංකොලොත් ග‍්‍රීකයින්ට නැත යයි පවසයි.”

නිරන්තර ගැටුමේ තත්වය මගින් අවදානම් මතුකර ඇති බව පවසන හඬවල් ද ඇත. ඔවුන්ට එය, කප්පාදුවේ පස් වසර ග‍්‍රීසියට උදාකල කාලකන්නිකම හා සමාජ ව්‍යසනය පිලිබඳ ප‍්‍රශ්නය නොවේ. ඔවුන් කිසිම ලෙසකින් එවැනි පැමිනිල්ලක් නොකරයි. ඔවුන් බිය වන්නේ, අඩුම තරමින් මූන බේරාගැනීමට හැකි ආකාරයේ උපාමාරු දැරීමට අවශ්‍ය ඉඩක් නව ග‍්‍රීක ආන්ඩුවට නොලැබුනහොත්, ජර්මනිය හා යුරෝපීය සංගමයට අත්වන අවාසිදායක තත්වය ගැනය. ෂෝබල්ගේ ආස්ථානය කෙරෙහි පලවන විරෝධය, වර්ධනය වන ජාතික නය හා පසුබෑමේ දුෂ්ඨ චක‍්‍රයෙන් ගැලවීගත නොහැකිකමේ සිට, ග‍්‍රීක රාජ්‍ය නය පැහැරහැරීමක් සිදුවුවහොත් ඉන් ජර්මනිය මත පැටවෙන බිලියන ගනන් අලාභ හා ග‍්‍රීසිය (යුරෝපීය සංගමයෙන්) පිටවුනොත්, යුරෝවේ අවසානය වෙනුවෙන් පෙලඹවීම් සිදුකරනු ඇති එකක් පසුපස එන ප‍්‍රතිවිපාක පිලිබඳ අන්තරාය දක්වා පරාසයකට ගැනේ. ග‍්‍රීසිය නේටෝවෙන් පිටමං වීමේ හැකියාව හා මධ්‍යධරනී රට මත රුසියානු හා චීන අනුහස වැඩී යාම මගින් ඇතිකල හැකි භූ දේශපාලන ප‍්‍රතිවිපාක ද සැලකිල්ලට ගැනේ.

මෙම බරපතල විරුද්ධත්වය තිබියදීම ෂෝබල් හා ඔහු පිටුපස පෙලගැසී සිටින අය සම්මුති විරහිත ආස්ථානයක් ගන්නේ කුමක් නිසා ද? මෙය, හිතුවක්කාරකම හෝ සිය ග‍්‍රීක සහචර වැරොව්ෆකිස් සමග ඇති ෂෝබල්ගේ අඩු පෞද්ගලික සම්බන්ධය මගින් තේරුම් කල නොහැකිය. 74 වන වියේ පසුවන ක‍්‍රිස්තියානි ඩිමොක‍්‍රටිකයා, යුරෝපයේ සිටින වඩාත්ම අත්දැකීම් සහිත දේශපාලඥයින්ගෙන් කෙනෙකි. ඔහු වසර 42ක් පාර්ලිමේන්තුවේ සිටිමින්, 1984 පටන් විවිධ ඇමති තනතුරු දරා ඇත. 1990 නැගෙනහිර ජර්මනිය සමග ඒකාබද්ධ වීමේ ගිවිසුම පිලිබඳ සාකච්ඡාවන්ට ඔහු සම්බන්ධ විය. දිගු කාලයක් තිස්සේ ඔහු චාන්සලර් තනතුරට පත්වන, හෙල්මුට් කෝල්ගේ ඔටුන්න හිමි කුමාරයා ලෙස සලකන ලදී.

ෂෝබල්ගේ සැබෑ අරමුනු වටහා ගැනීමට නම් යමෙක්, ග‍්‍රීක දේශසීමාවනට ඔබ්බෙහි යුරෝපය හා ජර්මනිය වෙත අවධානය යොමුකල යුතුය. ෂෝබල්, ඇතන්ස්හි ඉල්ලීම සහිත ලිපිය එක එල්ලේ ප‍්‍රතික්ෂේප කල එම දිනයේම, ශුභසාධන සංවිධානවල මවු සංගමය වන පැරිටාටිෂේ වුල්ෆ්හර්ට්ස්වරබෑන්ඩ් සංවිධානය, ජර්මනියේ දරිද්‍රතාවය පිලිබඳ නව වාර්තාවක් ප‍්‍රසිද්ධියට පත් කලේය. එය නිගමනය කරන්නේ, පෙර නොවූ විරූ ආකාරයකින් රට සමාජීය වශයෙන් බෙදී ඇති බවය.

2006 වසරේ පටන් එක දිගට ඉහල ගිය දරිද්‍රතා අනුපාතය දැන් සියයට 15.5ක් හෙවත් ජනගහනයෙන් මිලියන 12.5දක්වා වැඩිවි ඇත. රටේ නැගෙනහිර කොටසේදී එය අඛන්ඩව සියයට 18ට ඉහලින් පවතියි. එය බර්ලින් අගනුවරදි සියයට 21.4ක්ව පවතී. සමාජයේ අනෙක් ධ‍්‍රැවයේ, ධනය ඉමහත් ලෙස වැඩිවී තිබේ. මෑත අධ්‍යයනයක් පෙන්වා ඇත්තේ, ජර්මනියේ පෞද්ගලික ධනයෙන් තුනෙන් එකක් සතු වන්නේ ජනගහනයෙන් පොහොසත්ම සියයට එකට බවය.

ජර්මනිය යුරෝපීය සංගමයේ පොහොසත්ම රටවලින් එකක් වන අතර මෑත වසරවල ආර්ථිකය සුලු වශයෙන් වර්ධනයවූ රටවලින් එකකි. අනෙකුත් යුරෝපීය රටවල හා සමස්ත යුරෝපීය සංගමයේම සමාජ අසමානතාවය ජර්මනියටත් වඩා කැපී පෙනෙයි.

මෙය සිතාමතා ගෙන යන පිලිවෙතක ප‍්‍රතිපලයයි. 2008 මූල්‍ය බිඳ වැටීමේ තැන් පටන් යුරෝපීය ආන්ඩු හා මධ්‍යම බැංකුව එහි වන්දිය, වැටුප් පහත වැටීම හා සමාජ සහන කප්පාදුව තුලින් යුරෝපය පුරා කම්කරු පන්තිය මත පටවමින්, ටි‍්‍රලියන ගනන් මුදල් බැංකු වලට පොම්ප කරන ලදී. මෙහි ප‍්‍රතිපලය ජර්මනියේ ප‍්‍රධාන කොටස් දර්ශකය වන ඩැක්ස්හි නැගීීම තුල දැකගත හැක. අර්බුදය ආරම්භයේ පැවති ඒකක 4000 පහල මට්ටමේ සිට එය දැන් 11000 දක්වා සියයට 275න් ඉහල නැගී ඇත.

ආදායමේ හා ධනයේ මෙම නාටකාකාර යලි බෙදාහැරීම පිනිස ග‍්‍රීසිය අත්හදා බැලීමේ ක්ෂේත‍්‍රය ලෙස යොදාගෙන තිබේ. යුරෝපීය මූල්‍ය ප‍්‍රභූවේ දෘෂ්ටි ආස්ථානයෙන් රටේ ඊනියා “ගලවාගැනීමේ” පැකේජය, හුදෙක්ම බැංකු වලට ඇප දීමේ වැඩසටහනෙහිම දිගුවක් විය. කියනු ලබන “මූල්‍යාධාර” ග‍්‍රීක භාන්ඩාගාරයේ වාසිය සඳහා නොව, සිය අවදානම් මගහරවා ගනිමින් දැවැන්ත ලාභ පොදිගසාගත් බැංකු ගිනුම් තුලට ගලා ගියේය.

චිලියේ පිනෝෂේ තන්ත‍්‍රය වැනි ම්ලේච්ඡ ආඥාදායකත්වයන් සිහිගන්වන ආර්ථික පිලිවෙත් අනුගමනය කරන ට්‍රොයිකාව විසින් පනවන ලද ව්‍යසනකාරී සමාජ කප්පාදු තුලින් වියදම ග‍්‍රීක ජනතාවගේ කරපිට පටවන ලදී.

ෂෝබල්ගේ මහන්තත්වය හා උද්ධච්ඡකම ඉලක්ක කරන්නේ, සියල්ලටත් වඩා, ජර්මනියේ හා යුරෝපයේ කම්කරු පන්තියයයි. සමාජ ව්‍යසනයේ පිලිවෙතට විරුද්ධ වන කවරෙකු හෝ බියගැන්වීමට ඔහු උත්සාහ කරයි.

දේශපාලඥයෙකුගේ විදග්ධභාවයෙන් නමුත් උද්ධච්ඡ කම සහිතව ෂෝබල්, බිල්ඩ් පත‍්‍රය විසින් හුවාදැක්වීය. ස්ප‍්‍රින්ගර් ප‍්‍රකාශන ආයතනය තුලින් පල කෙරෙන මෙම හීන නොවන බුද්ධිමය පරිහානිය, කානු කටේ කුපිතකාරී බසකින් පිලිබිඹු කරයි. ග‍්‍රීසිය පිලිබඳ බිල්ඞ් ලිපි වර්ගවාදී වැකි වලින් පිරී ඇත. “බංකොලොත් ග‍්‍රීකයෝ, ග‍්‍රීක ලාභ ගරන්නෝ, ග‍්‍රීසියේ අන්තවාදියෝ” වැනි දෑය.

පුවත්පත ෂෝබල් වටා පරම නායක කල්ලියක් ගොඩනගයි. “මම මේ මුහුන විශ්වාස කරමි. මම මේ මිනිසා විශ්වාස කරමි. දැඩි කිසිවක් පවතින්නේ නැත.” යනුවෙන් තීරු රචක ෆ‍්‍රෑන්ස් වැග්නර් ලිවීය.

ග‍්‍රීසිය සම්බන්ධයෙන් ජර්මානු ආන්ඩුවේ අශමනීය ආකල්පය හා යුරෝපය තුල වර්ධනය වන සමාජ ආතතිය අතර සම්බන්ධය ගැන මාධ්‍ය සංවේදීය. හැන්ඩන්බ්ලාට් දිනපතා ෆිනෑන්ෂල් පත‍්‍රය මෙසේ ලියමින් ෂෝබල්ගේ ආස්ථානය ආරක්ෂා කරයි. “තමන්ගේ කප්පාදු වසංගතයක් හා තරමට වඩා නයවී ඇති ස්පාඤ්ඤය තවදුරටත් ප‍්‍රතිසංස්කරනය කල යුතු බව රජෝයි මහතාට පැහැදිලි කල හැක්කේ කෙසේ ද?” ග‍්‍රීක ආන්ඩුව ජයග‍්‍රහනයක් ලබා ඇතැයි පෙනී ගියහොත් සිරිසාව “සතුටෙන් අනුගමනය කරන” අය බිහිවිය හැකි බවට ඩි වෙල්ට් අනතුරු අඟවයි.

ස්ලෝවාකියා හා ලිතුවේනියා වැනි සමාජ වියදම් වල දැවැන්ත කප්පාදු සිදුකල හා කම්කරු පන්තියේ ප‍්‍රතික‍්‍රියා ගැන බියපත් යුරෝපයේ දුප්පත්ම රටවල සමහර ආන්ඩු ෂෝබල්ට දැඩි ලෙස සහාය දැක්වීම අහම්බයක් නොවේ.

මෙම පිලිවෙතට විරුද්ධ වීමට සිරිසාවට කිසිදු බලාපොරොත්තුවක් ඇත්තේ නැත. මේ සතිය මුල ලෝසවෙඅ සඳහන්කල පරිදි සිරිසාව “පෙරලිකාරී ජනතාව” නියෝජනය නොකරන අතර “අසාර්ථකවූ ග‍්‍රීක ධනපතියන් වෙනුවෙන් බ‍්‍රසල්ස් හා බර්ලිනය වෙත ආයාචනා මුඛයෙන් කථාකරන” අයයි. ඔවුන් හැරී සිටින්නේ විශේෂයෙන්ම දේශපාලනයේ හා ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රභූ පැලැන්තිය වෙතය. කිසිදු අවස්ථාවක ඔවුන් යුරෝපීය කම්කරු පන්තිය වෙත ආයාචනා කර නැත. ඔවුන් කිසි විටෙකත් ධනේශ්වර ක‍්‍රමය ප‍්‍රශ්නයට භාජනය නොකරන අතර යුරෝපීය සංගමයට සහාය පල කරයි. යුරෝපීය කම්කරු පන්තියට එරෙහිව බැංකුවල ප‍්‍රහාරයේ දේශපාලන හා සංවිධානාත්මක ව්‍යුහය යුරෝපීය සංගමයයි. පාලක පන්තියේ ප‍්‍රහාරය පරාජය කල හැක්කේ විප්ලවවාදී මාධ්‍යයන් මගිනි; ධනවාදයට එරෙහිව යුරෝපීය කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව බලමුලු ගැන්වීමෙනි.

Share this article: