ඇමරිකාවේ තත්වය පිලිබඳ ඔබාමාගේ මිත්‍යාව

Race, class and police violence in America

2015 ජනවාරි 22

ඇමරිකාවේ ඉහල නගින ජීවන තත්වයන් හා මල්පල දරන ආර්ථිකයක් ගැන 20දා පවත්වන ලද ඔබාමාගේ රාජ්‍ය තත්ව වාර්තාවට ඇතුලත් මිත්‍යා විශ්වාසයේ ස්වභාවය “අර්බුදයේ සෙවනැල්ල පහව ගොස් ඇත” යන ඔහුගේ කථාව මගින් වසං කරන ලද නමුත් ඔහු එය ඉදිරිපත්කල ආකාරයට අනුව සමහරවිට එය සමාන වන්නේ මාධ්‍ය, හා ඩිමොක‍්‍රටික් පක්ෂයේ ආධාරකරුවන්ට පමනක් ය.

එහි පොදු මානය සකස් කලේ 21දා නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රයේ පලවූ ප‍්‍රධාන කතුවැකියෙනි. එය කථාව විස්තර කලේ, “සාර්ථක වූවන් - ඉහල ආදායම් ලාභීන්, මහා බැංකු, සිලිකන් වැලි (පරිගනක ක්ෂේත‍්‍රය ස්ථානගතවී ඇති ප‍්‍රදේශය) - බෙහෙවින් සාර්ථකවූ අතර මධ්‍යම හා වැඩකරන පන්තීන් දියේ ගිලී සිටින ආකාරයේ, ආර්ථික සාධාරනත්වය පිලිබඳ සරල, නාටකාකාර පනිවිඩයක් ලෙසය.

සමාජ අසමානතාවයට එරෙහිව සටන් වැදීමට කැඳවන කාහල නාදයක් ලෙස ඔබාමාගේ කථාව ඉදිරිපත් කිරීමේ උත්සාහය, මෙම කැඳවුම කල පුද්ගලයා පසුගිය සය වසර තිස්සේ රාජ්‍ය නායකයාව සිටියේය යන අපහසු කාරනයට මුහන පාන්නේය. ටයිම්ස් පත‍්‍රය ලියන්නේ, බැංකු වලට ඩොලර් ටි‍්‍රලියන ගනනින් ඇප දීම, වැටුප් පතට එල්ල කල සම්බන්ධීකරනය කල ප‍්‍රහාර, සමාජ වැඩසටහන් නිමක් නැතිව කපා හැරීම හා ඔබාමා කෙයාර් යනුවෙන් හඳුන්වන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සමාජ ප‍්‍රතිවිප්ලවය වැනි ඔබාමා පාලනයේ ප‍්‍රතිපත්ති, රට තුල පවත්නා සමාජ අසමානතාවයේ වාර්තාගත මට්ටම් සමග කිසිදු සම්බන්ධයක් නැතුවා සේය.

ටයිම්ස් පත‍්‍රය, කථාව ආරම්භයේදීම මතුකල ප‍්‍රශ්නය සඳහන් කරයි: “අපගෙන් අතලොස්සක් දෙනා පමනක් සුවිශේෂී සාර්ථකත්වයක් අත්කර ගන්නා ආර්ථිකයක් අප පිලිගන්නේ ද? නැතහොත් උත්සාහ දරන සියල්ලන් සඳහා අවස්ථා හා ඉහල යන ආදායම් ජනනය කරන ආර්ථිකයකට අප කැප වන්නේ ද?”

එම කථාවට ඇහුන් කන් දුන්, ඔහුගේ පාලන කාලය ගැන සුලු හෝ දැනුමක් ඇති අයෙක් පවා වහාම කියනු ඇත්තේ, ඔබාමා හා ඔහු ධුරය උසුලන සමස්ත දේශපාලන සංස්ථාපිතය සඳහා නම් උත්තරය, පැහැදිලිවම පලමු එක බවය.

කොමියුනිටි විද්‍යාල සඳහා ටියුෂන් ගාස්තු ගෙවීමේ පහසුකම්, ලමා සුරැකුම් හා පාසැල් අධ්‍යාපනය සඳහා බදු සහන, අවම වැටුප ඉහල නැංවීම හා ගෙවීම් සහිත ගර්භනී නිවාඩු වැනි යෝජනා ඒ හැටියට ගත් විට පවා, වංක හා සොච්චම් පියවරයන්ය. මහ ව්‍යාපාරිකයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි ගැටගසන ලද, අනුමත වේ යයි, කොහොමටත් ඔබාමා හෝ අන් කිසිවෙක් බලාපොරොත්තු නොවන දේය.

“සිය යෝජනා කොන්ග‍්‍රසයෙන් අනුමත වේ යයි ඔබාමා මහතාට ඇති බලාපොරොත්තුව බින්දුවට වඩා අඩු” යයි ටයිම්ස් පත‍්‍රය පවා පිලිගනියි. කථාවට පූර්වයෙන් ධවල මන්දිරයේ නිලධාරීන් ද පැවසුවේ ඔහු ඉදිරිපත් කිරීමට යන යෝජනා කැපිටල් හිල් (ව්‍යවස්ථාදායක සභා පිහිටි ප‍්‍රදේශය) විසින් පිලිගනු ඇති බවට ඔහු තුල විශ්වාසයක් නොමැති බවය. කථාවට පෙර මාධ්‍ය ඇමතූ ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඩෑන් ෆීෆර් “අපි මෙම කොන්ග‍්‍රසය අනුමත කරන දේ මගින් සීමා නොවන්නෙමු, මක්නිසා ද යත්, එය එපාමකරපු දෙවසරක් වන නිසාය” යනුවෙන් පැවසීය.

මීට පෙර පැවති රාජ්‍ය තත්ව වාර්තාව ගෙනහැර දැක්වූ කථා ද ඔබාමා “ප‍්‍රගතිශීලී” න්‍යායපත‍්‍රයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්නේය යන මිත්‍යාව වැපිරීමේ අරමුන සහිත පොරොන්දු ලැයිස්තු ඉදිරිපත්කර තිබුනි. එම යෝජනා, විශ්ව විද්‍යාල වෙත සංචාරය කරමින් කථා පැවැත්වීමේ ජනාධිපතිගේ නියමිත ඡායාරූප සංදර්ශන නිමාවීමත් සමග මුලුමනින්ම අතහැර දමන ලදී.

කාන්තාවන්ට සමාන වැටුප් සහතික කිරීම, පවුලේ ආදායම නොසලකා වසර හතර පිරුනු සෑම දරුවෙකුටම ලදරු පාසැල් පහසුකම් සැලසීම, රැකියා සම්පාදනය සඳහා ඩොලර් බිලියන ගනනින් යටිතල පහසුකම් ව්‍යාපාතීන් සඳහා මුදල් ආයෝජනය කිරීම, රැකියාවන් පිටරට පටවන ව්‍යාපාරවල බදු පැහැර හැරීමේ අවස්ථා අවසන් කිරීම සඳහා 2014 කථාවේදී ඔබාමා පොරොන්දු දුන්නේය. ඒ වෙනුවට සිදුවූයේ මිලියනයක් මිනිසුන්ගේ ආහාර මුද්දර කපා හැරීම, දිගු කාලීන විරැකියාව ඉහල මට්ටමක පැවතීම, දුප්පත්කම ඉහල නැගීම හා වැටුප් කැටිකිරීමය.

අනෙක් අතට, 2009 උත්තේජක වැඩසටහන, 2010 සෞඛ්‍ය ප‍්‍රතිසංස්කරන නීතිය, 2010 මූල්‍ය නියාමන ප‍්‍රතිසංස්කරන, කොන්ග‍්‍රසයේ රිපබ්ලිකානුවන් සමග නිමක් නැති අයවැය ගනුදෙනු, සංක‍්‍රමන පිලිබඳ පසුගිය මාසයේ නිකුත්කල විධායක නියෝගය වැනි ඔබාමාගේ දේශීය පිලිවෙතෙහි සෑම මූලික පියවරක්ම නියම කෙරුනේ ව්‍යාපාරික ඇමරිකාවේ අවශ්‍යතාවන්ට අනුව හා බොහෝ විට කෙටුම්පත් කරන ලද්දේ ද ව්‍යාපාරික බලපෑම් කරන්නන් විසින්ය.

වාර්තාගත දිගුකාලින විරැකියාව, නිවාස අත්පත් කර ගැනීමේ උදම් රැලි, මූලික කර්මාන්තයන්හි වැටුප් කප්පාදු, සෑම අයෙකුගේම ජීවන තත්වය නොකඩවා පහත වැටීම වැනි වැඩකරන ජනතාවට කටුක ප‍්‍රතිවිපාක ගෙනදුන් තත්වය අහම්බයක් නොවීය. ඒවා ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් යන දෙගොල්ලන්ගේම ආන්ඩු ප‍්‍රතිපත්තියේ දැනුවත් ඉලක්කයන් විය. මූල්‍ය පැලැන්තිය ඇපදී බේරා ගැනීමට අවශ්‍ය සම්පත් ලබාගැනීමට, කම්කරු පන්තියට දුක් ගැහැට පැමිනවීම අවශ්‍යව තිබූ බැවිනි.

ඔබාමාගේ ප‍්‍රකාශයන්හි ප‍්‍රධාන අරමුන, ඩිමොක‍්‍රටික් පක්ෂය වටා රැලිවී සිටින, ටයිම්ස්, නේෂන් සඟරාව, වෘත්තීය සමිතිහා තමන් “සමාජවාදීන්” ලෙස පෙනී සිටින ව්‍යාජ වාම සංවිධාන ජාලයට, 2016 මැතිවරනයේදී ඩිමොක‍්‍රටික් පක්ෂය හුවා දැක්වීම සඳහා මස්කට්ටක් විසි කිරීමය. නේෂන්හි රචකයෙක් වන ජෝන් නිකොලස් ඔබාමාගේ කථාව විස්තර කලේ, “ආදායම් විෂමතාවයට පිලිතුරු දීමේ බරපතල ව්‍යායාමයක්” ලෙසය.

එබැවින් ඔබාමාගේ කථාව අනන්‍යතා දේශපාලනයේ නියුතු විවිධාකාර ඉහල මධ්‍යම පන්තික ක‍්‍රියාධරයින් ඉලක්ක කරගත් සැඳහුම් සමග තෙම්පරාදු කර ඇත. නිදසුනක් ලෙස ටයිම් සඟරාව, මෙසේ උද්දාමයට පත්වෙයි. තම කථාව තුල “අන්තර්ලිංගිකත්වය” යන තනි වචනය යොදාගැනීම මගින් “20දා රාත‍්‍රිය ඉතිහාසයට” එක් කලේය.

ඩිමොක‍්‍රටික් පක්ෂය ප‍්‍රගතිශීලී පැහැ ගන්වන්නේ කෙසේදැයි ඔහු ඔවුන්ට පැවසුවේ එසේය. විදේශයේදී නිමක් නැති යුද්ධ ද රට තුල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පහර දීම ද එකට ගනිමින් එලඹෙන දෙවසර තුලදී වඩාත් දක්ෂිනාංශික ප‍්‍රතිපත්ති බලගැන්වීමට රිපබ්ලිකානුවන් ද සමග සහයෝගීව කටයුතු කරමින් ඩිමොක‍්‍රටික් පක්ෂය ඇමරිකානු ජනතාව ගොනාට ඇන්දීමට උත්සාහ කරන්නේ ද මෙසේය.

කෙසේ වෙතත් ඔබාමාගේ මිත්‍යාවන්, ස්වයං මිත්‍යාවන් හා මුසාවාදවලට ඇමරිකානු දේශපාලන ජීවිතයේ සලකුනු වන යථාර්තය වෙනස් කල නොහැකිය: සමස්ත රාජ්‍ය පර්යාය හා ජනතාවගේ ඉමහත් බහුතරය අතර නොපෑහිය හැකි පරතරය. මධ්‍ය වාරික මැතිවරන පැවැත්වීමෙන් තෙමසකටත් අඩු කාලයකට පසුව සිදුකෙරුනු ඔබාමාගේ කථාවේදී, මැතිවරනය තුල ඩිමොක‍්‍රටික් පක්ෂය මුහුනපෑ ආවෘත අන්තරය ගැන සඳහන් නොකිරීම කැපී පෙනෙයි. එයට මූලිකවම හේතු වූයේ ”වෙනසේ අපේක්ෂකයාගේ දක්ෂිනාංශික ප‍්‍රතිපත්ති වලින් ඡන්දදායකයා හුදෙකලා වීමය.

සමහර විට සියලු මිත්‍යාවන්ගේ කැපී පෙනෙන කාරනය නම්, සීනි තැවරූ හා මුසා වැකි කිහිපයකින්, ක්ෂිතිජයේ දිස්වන සමාජ විරෝධයේ උදම් රැල්ල නතර කල හැකි යයි පාලක පන්තිය හා එහි නියෝජිතයින් තබා ඇති විශ්වාසයයි.

ජෝසෆ් කිෂෝර් හා පැටි‍්‍රක් මාටින්

Share this article: