සෞදි අරාබිය, 9/11 හා ”ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය”

Saudi Arabia, 9/11 and the “war on terror”

2015 පෙබරවාරි 06

9/11 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් අවුරුදු 13කට වැඩි කාලයකට පසුව විපතට පත්වූවන්ගේ ඥාතීන් ගොනුකල ෆෙඩරල් නඩුවක සාක්ෂි, මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය විසින් දීර්ග කාලයක් තිස්සේ වංස කර යටපත් කරන ලද සිදුවීම් හා සම්බන්ධතා පිලිබඳ විනාසකාරී හෙලිදරව්වකි. අල්කයිඩාවට හා 9/11 ගුවන් යානා පැහරගත් අයට අරමුදල් සපයා ඇත්තේ ඇමරිකානු ඔත්තු සේවාවට පුලුල් සම්බන්ධකම් ඇති එරට ප‍්‍රමුඛ සහචරයෙකු වන සෞදි රාජාන්ඩුව විසිනි.

ෆෙඩරල් දිස්ත‍්‍රික් විනිශ්චයකාර ජෝජ් පී. ඩැනියල්ස් වෙත ගොනු කරන ලද දිව්රුම් පෙත්සම, වර්තමාන සෞදි රජු වන සල්මාන්ගේ බෑනනුවෙකු මෙන් ම වොෂින්ටනයේ දීර්ගකාලීන තානාපතියෙකු වූ බන්දාර් බින් සුල්තාන් ඇතුලු සෞදි රාජාන්ඩුවේ ප‍්‍රමුඛ පුද්ගලයන් අල් කයිඩාවට මූල්‍යමය වශයෙන් උදව් කරන ලදැ යි යන කාරනා තහවුරු කරයි.

ගුවන් යානා පැහැර ගැනීමට, ඒවා ලෝක වෙලඳ මධ්‍යස්ථානයට හා 2001 සැප්තැම්බර් ප‍්‍රහාරයේ අනෙකුත් ඉලක්ක වෙත පියාසර කරවීමට කුමන්ත‍්‍රනය කිරීම යන ඍජු සහභාගිත්වය වෙනුවෙන් වරදකරු කෙරුනු එක ම තනි පුද්ගලයා වන සකාරියස් මෝසායෝයිගේ සාක්ෂියක් ද වාර්තාවට ඇතුලත් වේ.

1990 ගනන්වල ඇෆ්ගනිස්තානය තුල අල් කයිඩාව වෙනුවෙන් වැඩ කරමින් සිටිය දී, බන්දාර් හා සෞදියේ තවත් ඉහල පෙලේ කුමාරවරු දෙදෙනෙකු ද ඇතුලත් කන්ඩායමේ මූල්‍ය අනුග‍්‍රාහයකයින් පිලිබඳව මොසායෝයි ඩිජිටල් දත්ත බැංකුවක් සකස් කල බව ඔහුගේ සාක්ෂියෙහි ඇතුලත් වේ. සෞදි ඔත්තුසේවාවේ දීර්ගකාලීන ප‍්‍රධානියා වූ තවුකි අල් ෆයිසාල් හා කිංඩම් හෝල්ඩින්ග් සමාගමේ සභාපති මෙන් ම රාජකීය පවුලේ ධනවත් ම සාමාජිකායා වූ අල්වලීඩ් බින් තලාල් ද එයට ඇතුලත් වුනි.

එවකට රියාද් හි ආන්ඩුකාරයා වූ ද, පසු ගිය මාසයේ ඔටුන්න හිමි කර ගැනීමෙන් පසු සල්මාන් රජු බවට පත්වූ ද සල්මන් ඇතුලු සෞදි රාජකීය පවුලේ සාමාජිකයින්ට පනිවුඩ රැගෙන එමින් බින් ලාඩන්ගේ දූතයෙකු ලෙස වැඩ කල බව ද ඔහු විස්තර කලේ ය.

9/11 ප‍්‍රහාරය සඳහා සෞදි අනුග‍්‍රහ පිලිබඳ නව චෝදනා උපුටා දක්වමින් 05 හා 6 යන දිනවල නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය මුල් ලිපි පල කලේ ය. කෙසේ නමුත්, 9/11 විපතට පත් පවුල්වල නඩුවේ ප‍්‍රතිඵලයක් ලෙස නිකුත් කෙරෙන ලිපිවල බලපෑම ලඝු කිරීමේ නිල උත්සාහයකටත් වඩා මෙම ලිපි, හෙලිදරව්වේ ස්වභාවය හෑල්ලු කර ඇත.

දේශපාලන සංස්ථාපිතය විසින් වඩා පහසුවෙන් ඉවත ලිය හැකි සාක්ෂිකරුවෙකු වන මෝසායෝයි ගැන ලිපිය දක්වා ඇති බොහෝ සීමිත අවධානය සඳහා පැහදිලිව පෙනෙන හේතුව මෙය යි. ෆෙඩරල් දිස්ත‍්‍රික් උසාවිය වෙත ගොනු කරන ලද නීති ලියවිලි වලට මෝසායෝයිගේ සාක්ෂිය ද සමග තවත් කරුනු ඇතුලත් විය. සෞදි ආන්ඩුවේ නිහඬතාවය පිලිබඳව චෝදනා නැගු වොෂින්ටන් සංස්ථාපිතයේ කුලුන්නක් වන හිටපු සෙනේට් සභික ෆ්ලොරිඩාවේ රොබට් ග‍්‍රෑහැම්ගේ සාක්ෂි සම්බන්ධයෙන් ද එසේය. ඔහු මෙසේ ලිවී ය: “සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සිදුකල ත‍්‍රස්තවාදීන්ගෙන් සමහරෙකු හා සෞදි ආන්ඩුව අතර ඍජු සම්බන්ධයක් වී යැයි මට වැටහේ.”

ග‍්‍රෑහැම් වගකිව හැකි තත්වයක සිටී. 9/11 ප‍්‍රහාරය ගැන දීර්ග වාර්තාවක් සැකසූ අවස්ථාවේ ග‍්‍රෑහැම් 2002සෙනේට් ඔත්තු සේවා කමිටුවේ සභාපති විය. 9/11 යානා පැහරගත් අයට සෞදිය දෙන ලද සහාය පිලිබඳව පිටු 28ක කොටසක් මෙයට ඇතුලත් වූ නමුත් බුෂ් පාලනාධිකාරිය විසින් ඒවා රාජ්‍ය රහස් ලෙස නම් කර යටපත් කරන ලදී. මෙම වාරන පියවර ඔබාමා පාලනාධිකාරිය විසින් ද අනුමත කර ඉදිරියට ගෙන යන ලදී. මෙම ලේඛන ප‍්‍රසිද්ධ කිරීමට පක්ෂ සෙනේට් සභික ග‍්‍රෑහැම් මෙසේ සඳහන් කලේ ය, “9/11ට කවුරු අරමුදල් සැපයූවා ද යන්න සමග පිටු 28 වාර්තාව මූලික වසයෙන් සම්බන්ධය. ප‍්‍රධාන මූදල් සපයන්නා වී යැයි ඔවුන් දැඩි ලෙස චෝදනා එල්ල කරන්නේ සෞදි අරාබියට ය.”

9/11 ප‍්‍රහාරයන් පිලිබඳව සෞදියේ නිහඬතාවය ගැන සාක්ෂි, අවුරුදු 13කට වැඩි කාලයක් ඇමරිකාවේ ආරක්ෂක ප‍්‍රතිපත්තියේ අක්ෂය වූ “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” වංචාකාරී ස්වභාවය පිලිබඳ විනාසකාරී හෙලිදරව්කි.

බුෂ් පාලනාධිකාරය 9/11 ප‍්‍රහාරයන් යොදා ගත්තේ, ඔසමා බිල් ලාඩන්ට නවාතැන් දී තිබූ නමුත් 9/11ට සම්බන්ධයක් නො තිබූ ඇෆ්ගනිස්තානයට එරෙහිව හා 9/11ට හෝ අල් කයිඩාවට සම්බන්ධකම් නො තිබූ ඉරාකයට එරෙහිව යුද්ධය සඳහා කඩතුරාව ලෙස ය. එහෙත් අල් කයිඩාවට අරමුදල් හා එහි ප‍්‍රධාන නායකයා ද කොල්ලකරුවන් 19දෙනාගෙන් 15 දෙනෙකු ද සැපයූ සෞදි අරාබිය ප‍්‍රමුඛ මිතුරෙක් ලෙස සලකන ලදී.

9/11 ප‍්‍රහාරයන් පිලිබඳ සෑම නිල පරීක්ෂනයකට ම සෞදි අරාබියට සුදුහුනු ගෑ යුතුව තිබුනි. නැතහොත් සෙනේට් ඔත්තුසේවා වාර්තාව මෙන් වාරනය කල යුතුව තිබුනි. ප‍්‍රශ්නය වන්නේ හුදෙක්, අල් කයිඩාවට සහාය දී අරමුදල් සැපයූ සෞදි රාජාන්ඩුවේ ප‍්‍රතිගාමී කාර්යභාරය නො ව, ඇමරිකාවේ ඔත්තු සේවා හා පෙනී යන පරිදි, ඇමරිකානු විරෝධී ත‍්‍රස්තවාදී කන්ඩායමක් අතර පැවති කිට්ටු සම්බන්ධය යි. මෑත ම ටයිම්ස් ලිපිය මෙම සම්බන්ධය පිලිබඳව සම්පූර්නයෙන් ම නිහඬ ය.

ඇමරිකාවේ මිලිටරි - ඔත්තු සංවිධානවල ක‍්‍රියාකාරී හෝ නිහඬතාවය මධ්‍යයේ 2001 සැප්තැම්බර් 11වැනිදා, ආසන්න වශයෙන් ඇමරිකානුවන් 3,000ක් ඝාතනය කරන ලදැ යි විශ්වාස කිරීමට සෑම හේතුවක් ම තිබේ. එයට සම්බන්ධ පුද්ගලයන්ගෙන් බොහෝ දෙනා ඇමරිකාවේ ආරක්ෂක ඒජන්සි ගැන දැන සිටි අතර ඔවුන් එකවර ජෙට් යානා හතරක් පැහැරගැනීමට සැලසුම් කිරීම හා ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉන් කීපදෙනෙකු සෝදිසියට හා නිරීක්ෂනයට යටත්ව සිටියදී පවා සීඅයිඒ, එෆ්බීඅයි හා අනෙකුත් ඒජන්සි, ත‍්‍රස්තවාදීන්ගේ මෙහෙයුම් කඩාකප්පල් කිරීමට පියවර නො ගත්හ.

ලෝක වෙලඳ මධ්‍යස්ථානය විනාස කිරීමෙන් සති කීපයක් ඇතුලත 9/11 ප‍්‍රහාරය පිලිබඳ ඇමරිකානු ඔත්තුසේවා ඒජන්සිවල නිහඬතාවය ගැන බොහේ ප‍්‍රශ්න මතු කරන ලදී. වසර 13කට පෙර ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි ගනනාවක් තුල ඒවායින් සමහරක් විස්තර කරන ලදී. කියවන්න: එක්සත් ජනපද ආන්ඩුව සැප්තැම්බර් 11ප‍්‍රහාරයන් අපේක්ෂාවෙන් සිටියේ ද?

*වසර දහතුනකට පසු, තවමත් මෙම ප‍්‍රශ්නවලට උත්තර දී නැත:

*අල් කයිඩා සම්බන්ධකම් හේතුවෙන් සෝදිසිය යටතේ සිටිය දී පවා මොහමඞ් අතා වැනි 9/11 කොල්ලකරුවන්ට එක්සත් ජනපදයට හා ඉන් පිටත නිදහසේ එහා මෙහා යාමට අවසර දුන්නේ මන් ද?

*2001 වසර මුල දී අල් කයිඩා සංවිධායකයින් දෙදෙනෙකු එක්සත් ජනපදයට ඇතුලුවීම එෆ්බීඅයි සංවිධානයට දැන්වීමට සීඅයිඒ සංවිධානය අසමත් වූයේ මන්ද? මෙම දෙදෙනා සැන්ඩියාගෝ හි එෆ්බීඅයි ඔත්තුකරුවෙකුගේ නිවසේ පදිංචි වී, පියාසැරි පුහුනුව ලබා ගැනීමට උත්සාහ කල අතර වොෂින්ටනය තුල සෞදි අනුග‍්‍රාහයකයින්ගෙන් අරමුදල් ලබා ගත්හ. එක් අයෙක් දුරකතන නාම ලේඛනයේ ලැයිස්තු ගත කෙරුනි. 2001 සැප්තැම්බර් 11ට සම්බන්ධ 19දෙනා අතර ඔවුන් දෙදෙනා ද වූහ.

*ගුවනට නැංවීමට හෝ ගොඩ බෑමට නො ව ජම්බෝ යානයක් හසුරුවන්නේ කෙසේ දැයි ඉගෙන ගැනීමට කැමති බව පෙන්වූ මෝසායෝයි ඇතුලු අනාගතයේ යානා පැහරගැනීමට නියමිතව සිටි අයට පියාසර පුහුනුවට අවසර දුන්නේ මන් ද? 9/11 ප‍්‍රහාරයට මසකට පෙර, මිනසෝටා එෆ්බීඅයි ඒජන්තයින් මෝසායෝයිගෙ ක‍්‍රියා හා අභිලාශයන් පරීක්ෂා කිරීමට උත්සාහ ගත් විට, එෆ්බීඅයි මූලස්ථානය ඔහුගේ පරිඝනකය පරීක්ෂා කිරීමේ ඉල්ලීම ඉවත දැමී ය.

*ඇමරිකානු ගුවන් යානා පැහරගෙන ඒවා ගොඩනැගිලි තුලට පියාසර කරවීමට ත‍්‍රස්තවාදීන් සැලසුම් කිරීම පිලිබඳව රුසියාව, ඊස්රායලය හා ජර්මනිය ඇතුලු විදේශ ඔත්තු සේවා නැවත නැවතත් අනතුරු අඟවද්දී ඒවාට ප‍්‍රතිචාර දැක්වීමට උත්සාහ නො ගත්තේ මන්ද?

9/11 සිදු කෙරුනු අපරාධ ජීවිත 3,000ක් බිලි ගත්තේ ය. 9/11 කඩතුරාවක් ලෙස යොදා ගනිමින් ඉරාකය, ඇෆ්ගනිස්තානය, යේමනය, සිරියාව, ලිබියාව හා තවත් දුසිමක් පමන රටවල සිදු කරන ලද අපරාධ, ලක්ෂ ගනනකගේ නො වේ නම් සිය දහස් ගනනකගේ ජීවිත බිලි ගත්තේ ය. තවත් “9/11ක්” වැලැක්වීමේ නාමයෙන් පොලිස් රාජ්‍යයකට රාමුව සකසා ඇති එක්සත් ජනපදය හා අනෙකුත් අධිරාජ්‍යවාදී රටවල සමූහ වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් විනාස කිරීම සදහා 9/11 සර්වකාර්ය යුක්තිකරනයක් ලෙස යොදාගෙන ඇත.

සෞදි සම්බන්ධය වසං කිරීම තීරනාත්මක වූයේ 2001 සැප්තැම්බර් 11 සිදුවීම් තුල ඇමරිකානු ඔත්තුසේවා ඒජන්සිවල කාර්යභාරය වසන්කිරීම සඳහා පමනක් නොවේ. මැද පෙරදිග පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉදිරියට යන මෙහෙයුම්වලට ද එය තීරනාත්මක වන්නේ ය. එහි දී වොෂින්ටනය එහි එක් ප‍්‍රධාන ඒජන්සියක් ලෙස වාරුවන්නේ සෞදි රාජාන්ඩුව මත ය. බින් ලාඩන්ගේ එක් මූල්‍ය අනුග‍්‍රාහයකයෙකු ලෙස නම් කෙරුනු අයෙකු වන නව සල්මාන් රජු වෙත ශුභාසිංසන පිරිනැමීමට පසු ගිය මාසයේ රියාද්වලට ගිය ඔබාමාගේ ගමන පෙන්නුම් කලේ මෙය යි.

අල් කයිඩා හා අනෙකුත් ඉස්ලාමීය මූලධර්මාවාදී කන්ඩායම සමග ඇමරිකානු අධිරාජ්‍යවාදවයට පවත්නා සම්බන්ධකම්වලට සෞදි සම්බන්ධය තීරනාත්මක වී ඇත. සෝවියට් සංගමයේ අනුග‍්‍රහ ලත් ඇෆ්ගනිස්තාන තන්ත‍්‍රය යටපත් කිරීමේ හා සෝවියට් සංගමය බිඳ දැමීමේ කොටසක් ලෙස 1980 ගනන්වල මෙම කන්ඩායම් පලමුව බලමුලූ ගන්වන ලද්දේ, කාටර් හා රීගන් පාලනාධිකාරයන් විසිනි. ඔසාමා බින් ලාඩන් ඇතුලූ මුජහෙද්දීන් සංවිධානය සන්නද්ධ කර පුහුනු කරන ලද්දේ සීඅයිඒ සංවිධානය විසින් වන අතර අරමුදල් සපයන ලද්දේ සෞදි අරාබිය විසිනි. වඩාත් මෑත දී මුවම්මර් අල් ගඩාෆිගේ ලිබියානු තන්ත‍්‍රය පෙරලා දැමීමට හා බෂාර් අල් - අසාද්ගේ සිරියානු ආන්ඩුව වල පල්ලට යැවීම සඳහා ඔවුන් ප‍්‍රයෝජනයට ගෙන ඇත.

අයිසිස් සංවිධානය ම ද මෙම ගුප්ත සම්බන්ධතාවේ ඵලයකි. එය ඇරඹෙන්නේ 2003 ඇමරිකාවේ ඉරාක ආක‍්‍රමනය කෙරෙහි පලවූ සුන්නි විරුද්ධත්වය සමග ය. ඇමරිකානු ආක‍්‍රමනයට පෙර ඉරාකය තුල අල් කයිඩාවක් දක්නට නො තිබුනි. ඉරාකය තුල අල් කයිඩාව යලි මතුවූයේ ඉරාකය හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (අයිසිස්) සංවිධානය හැටියට ය. එය ඇමරිකාව, සෞදි අරාබිය හා කටාර්හි ආධාර හා පුහුනු කිරීම් සහිතව සිරියාවේ අසාද් ආන්ඩුවට එරෙහිව සටන් කරන කන්ඩායම්වලින් එකක් විය. අයිසිස් සටන් කරුවන් ඉරාකයට ආපසු පැමින බැග්ඩෑඩයේ ඇමරිකානු අනුග‍්‍රහය සහිත රූකඩ තන්ත‍්‍රයට පහරදීම ඇරඹූ විටයි, එම කන්ඩායම ඇමරිකාවේ බෝම්බවල හා ප‍්‍රචාරයේ ඉලක්ක වූයේ.

“තවමත් ත‍්‍රස්තවාදයට එරෙහි (සමස්ත) යුද්ධයේ” කේන්ද්‍රයෙහි පවතින්නේ, සුවිසල් හා නිර්ලජ්ජිත බොරුවකි. සූදානම් කරමින් සිටියේ කුමක් දැ යි ඇමරිකාවේ දැවැන්ත මිලිටරි හා ඔත්තු සේවා සංවිධාන තුල කිසිවෙකුත් නොදැන, යානා පැහැරගත් 19දෙනෙක් නිව් යෝක් සිටි හා වොෂින්ටන් ඩී.සී මත ප‍්‍රධාන ප‍්‍රහාරයක් එල්ල කලේය යන ප‍්‍රකාශය ඒ බොරුව යි. 9/11 තුල සෞදි කාර්යභාරය පිලිබඳ මෑත හෙලිදරව්ව මෙම බොරු ගෙතීමේ හා වසන් කිරීමේ ජාලයට එල්ලවූ තවත් ප‍්‍රහාරයකි.

පැටි‍්‍රක් මාටින්

Share this article: