මින්ස්ක් විරාමය: උග‍්‍රවන යුද්ධයක කෙටි අවසරයක් පමනි

The Minsk truce: A hiatus in an escalating war

2015 පෙබරවාරි 13

ජර්මන් අගමැති ද, රුසියාවේ, ප‍්‍රන්සයේ සහ යුකේ‍්‍රනයේ ජනාධිපතියන්ද අතර පැය 16ක සාකච්චා වලින් පසු එකඟවනු ලැබූ යුකේ‍්‍රන සටන් විරාමය වනාහි එන්න එන්නම උග‍්‍රවන්නාවූ යුද්ධයක හුදු ඉසුඹුවක් පමනි. මෙම එකඟතාවේ විස්තරවලින් එලිව ඇත්තේ ඉතාසුලු කොටසක් පමනක් නමුත්, බටහිර මාධ්‍ය ඒකමතිකව ම මෙන් ප‍්‍රකාශ කරඇත්තේ මෙම විරාමය අනිවාර්යයෙන්ම බිඳවැටෙන බවත් - ඊට වරද පැවැරිය යුත්තේ රුසියානු ජාධිපතිවරයාට බවත් ය.

ඇත්ත වශයෙන්ම, මින්ස්ක් සම්මුතිය ඇටැවුනේ, අවුරුද්දකට පෙර, බටහිර සහය ලත් කුමන්ත‍්‍රනයකින් බලය ගත් කියෙව් පාලනයට ඉස්පාසුවක් නැතිව බැරි වූ හෙයිනි.

යුකේ‍්‍රනියානු හමුදාව භටයින් පලා යාම ද එකපිට එක පරාජයන් මාලාවකින් ද නිසා දුබල ව ඇත. දිලිඳු බව, සහ විරැකියාව් පමනක් ම හැර අන් කිසිදෙයක් දෙන්නට බැරි පාලන තන්ත‍්‍රයක් වෙනුවෙන්, තම රටවැස්සන්ට වෙඩි තබන්නට ද, තමන්ට මැරුම්කන්නට ද එරට තරුනයින්ගෙන් වැඩිදෙනා සූදානම් නැත. සටන් කිරීමට කැමති එකම කොටස අන්ත දක්ෂිනාංශික ස්වෙච්චා භටයන් ය. එහෙත් කියෙව් පාලනයට උන් පාලනය කරගත නොහැකිය.

මූල්‍ය වශයෙන්, යුකේ‍්‍රනය බංකොලොත් ය. ආර්ථික නිෂ්පාදනය සියයට අටකින් වැටී තිබෙන එහි විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 6.6 ක් දක්වා - යාන්තම් මාසයක ආනයනවලට සෑහෙන තරමට පහත වැටී තිබේ. මින්ස්ක් සම්මුතිය අත්සන්කොට ඉක්බිති වහාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක් අතකට දිලිඳු, යුද්ධය එපාවූ ජනකාය ද අනෙක් අතට පාලන තන්ත‍්‍රය තුලම ඉන්නා අන්ත දක්ෂිනාංශික බලකන්ඩායම් අතද පුපුරායාමට ඔන්න මෙන්න කියා තිබෙන පෙද්රෝ පොරශෙන්කෝ ගේ පාලනයට ඩොලර් බිලියන 40 ක ආධාර පැකේජයක් පොරොන්දු විය.

මින්ස්ක් සාකච්චාවලට පෙරාතුව වොෂිංටනය පොරශෙන්කෝ ගේ අත සවි කිරීමට හැකි සෑම දෙයක් ම කලේය. අවි සැපයිය යුතු යයි ද යුක්රේනියානු සොල්දාදුවන් පුහුනු කර දියයුතු යයි ද එක්සත් ජනපද මූලාශ‍්‍ර කියා සිටියෝ ය. ඉන් නොනැවතුනු ජනාධිපති ඔබාමා පුටින් ට පුද්ගලික පනිවුඩයක් යවමින්, රුසියාව “යුකේ‍්‍රනයේ තවත් ආක‍්‍රමනික පියවර ගත්තොත් විපාක උග‍්‍ර වනු ඇතිය” යි තර්ජනය කලේ ය.

මින්ස්ක් සාකච්චා වල දී, රුසියානු නියෝජිත කන්ඩායම විශාල සහන දුන්නේ ය. ඒවාට යුකේ‍්‍රනයේ ස්වෛරීත්වය සහ ඒකාග‍්‍ර භාවය කෙරේ පුර්න ගෞරවය දීම පටන් රුසියානු දේශ සීමාවේ පාලනය කියෙව් වලට භාර දීම දක්වා සහන මාලාවක් ඇතුලත් විය. මර්කල් හොලන්දේ දෙදෙනාගේ ප‍්‍රකාශ අනුව, රුසියානු-හිත බෙදුම් වාදීන් ද මෙම ගනුදෙනුවට එකඟ විය යුතු යයි පුටින් අවධාරනය කලේ ය. අනෙක් අතට, එකඟ තාවය බිඳදැමීමට පොරශෙන්කෝ යලි යලිත් තර්ජනය කර සිටියේය.

උද්ගතව පවතින්නේ මූලිකවශයෙන්ම යුකේ‍්‍රනය පිලිබඳ අභ්‍යන්තර කාරනයක් නොවේ. මොස්කව් සහ කියෙව් අතර ඝට්ටනය ද නොවේ. මෙය ඊට වඩා ඉමහත් සේ පුලුල් භූ දේශපාලන ඝට්ටනයකි.

වොෂිංටනය රුසියාව තනි කොට බිඳහෙලීම සඳහා 2004 යුකේ‍්‍රනයේ ඔරෙන්ජ් විප්ලවයට මුදල් සම්පාදනය කොට, 2014 දී යුක්රේනියානු ජනාධිපති වික්ටර් යනුකොවිච් ට එරෙහි කුමන්ත‍්‍රනයට සහය දුන්නේ ය. වොෂිංටනයට මෙය හුදෙක් යුකේ‍්‍රනය පාලනය කිරීම පිලිබඳ ප‍්‍රශ්නයක් නොවේ. මැද පෙරදිග දී සිරියානු ආන්ඩුවට රුසියාව වොෂිංටනයට එරෙහිව සහය දෙන හෙයින් මැදපෙරදිග සිය ආධිපාත්‍යය තහවුරු කිරීම සමග ද බැඳි ඇති ප‍්‍රශ්නයකි. එසේම ඈත පෙරදිගදී රුසියන්-චීන සන්ධානයක් පිලිබඳ තර්ජනයට ද එක්සත් ජනපදය මුහුන දී සිටී.

ඒ හේතු නිසාම, වොෂිංටනය යුකේ‍්‍රනයේ ද යුදගින්නට තෙල් දමමින් සිටී. අලුත් අවි යැවීමේ යෝජනාවේ ඉලක්කය මෙයයි. මේවා යුද්ධය දිනීමට කියෙව් පාලනයට ඉඩ දෙනු නැත. එහෙත් මෙම පෙරමුනේ දිග්ගැසුනු යුද්ධයකට පටලවා තබන ගමන් වෙනත් පැතිවල ද, උදාහරනයක් ලෙස කලහකාරී උතුරු කොකේෂියාවේ ද මධ්‍යම ආසියාවේ ද දිග්ගැසුනු යුද්ධ වලට රුසියාව පටලවා තැබුව හොත් යුද විශේෂඥයින් ෆිනෑන්ශල් ටයිම්ස් පුවත් පතට කී පරිදි, යුකේ‍්‍රනයේ ද එවන් දිග්ගැසුන විනාශකාරී යුද්ධයකට අවශ්‍ය තරම් සොල්දාදුවන් රුසියාවට ඇත්තේ නැත.

ජර්මනු ජනාධිපති ජෝකිම් ගෝක් පසුගිය අවුරුද්ද මුලදී කි පරිදි ජර්මනිය කියෙව් නගරයේ කුමන්ත‍්‍රනයට ද පොරශෙන්කෝ පාලනයට ද සහාය දුන්නේ, දෙවන ලෝක යුද්ධයෙන් පසු තමන් පවත්වා ගෙන ගිය යුද්ධ - සංයම පිලිවෙත හලා දමා ලෝක දේශපාලනයේ වැඩි භූමිකාවක් තමන්ට දිනාගැනීමට ය. පසුගිය ලෝක යුද්ධ දෙකේ දීම ජර්මනිය අල්ලා ගත් ප‍්‍රදේශයක් වන යුකේ‍්‍රනයට කරන ක‍්‍රියාත්මක අත ගැසීමක් මගින් ජර්මානු පාලක පන්තිය ඉදිරියට ගෙන යන්නේ පෙරදිගට පැතිර ගැනීම සිය සාම්ප‍්‍රදායික පිලිවෙත මය.

මෙම ගැටුම ආරම්භයේ දී වොෂිංටනය සහ බර්ලිනය සමමතිකව වැඩ කලහ. ඔවුහු යුකේ‍්‍රනියානු විපාර්ශවය ගොඩ නැගීමට, 2014 පෙබරවාරි කුමන්ත‍්‍රනය සුදානම් කිරීමට සහ පොරශෙන්කෝ ගේ පාලන තන්ත‍්‍රය ශක්තිමත් කිරීමට ඉතා සමීපව වැඩ කලහ. එහෙත් යුද්ධය උග‍්‍ර කිරීමට දැන් ඇමරිකාව කරන ඉල්ලීම් මගින් බර්ලිනයේ අනතුරු සීනු හඬවා තිබේ.

යුරෝපිය සංගමය යුකේ‍්‍රනය අත් කර ගැනීමට සහ ආර්ථික බාධා මගින් රුසියාව දුබල කිරීමට ජර්මන් අධිරාජ්‍ය වාදය උනන්දුය: එහෙත් ඒ අතරම යුද්ධය තව දුරටත් උග‍්‍ර වීම වලකාලීම ද එයට උවමනා ය.

එවැන්නක් රුසියාව සමග සමීප ආර්ථික සම්බන්ධතා පවත්වා ගෙන යන්නා වූ ද , රුසියානු තෙල් හා ගෑස් සම්පාදනය මත රැඳී පවත්නා වූ ද ජර්මනියට හා මුලු යුරෝපයට ම විනාශකාරී බලපෑමක් වනු ඇත. දිග්ගැසුනු යුද්ධයක් අනිවාර්යයෙන්ම යුරෝපිය රටවලට උතුරා යනු ඇත. සරනාගතයන් රැලි පිටින් යුරෝපයට ඇතුලුවී, මුලුමහත් යුරෝපිය සංගමය අස්ථාවර කරනු ඇත. මින්ස්ක් නුවරදී මර්කල් සහ හොලන්දේ සටන් විරාමයක් සඳහා ව්‍යායාමයක යෙදුනේ මේ නිසා ය.

මියුනික් ආරක්ෂක සමුලුවේ දී , මර්කෙල් එක්සත් ජනපද නිලධාරීන්ගේ දරුනු විවේචනයට ලක් වුවා ය. ඩර් සේයීට්ට් සතිපතා පුවත් පතේ, ගිය බ‍්‍රහස්පතින්දා කතුවැකිය මෙසේ චෝදනා කලේ ය: “එක්සත් ජනපදයේ නොඉවසිල්ල යොමු වූයේ පුටින් වෙත ට නොවේ. චාන්සලර් මර්කල් වෙතටය. යුරෝපීය සංගමය පවත්වාගෙන යන තහන්චි පිලිවෙතට පල දැරීමට ඇති තරම් කල් නොදෙන ඕනෑම කෙනෙක් කරන්නේ ක්‍රෙම්ලිනය ට උඩගෙඩි දීමකි. තවදුරටත් තද කිරීමක් උවමනා නම් එය කල යුත්තේ තහන්චි මගිනි.”

ලිපිය මෙසේ සමාප්ත වෙයි, “සත්තකින්ම බටහිර බෙදී ගත යුතු නැත. ඒ හේතුවෙන් මෙවර සිදුවිය යුත්තේ එක්සත් ජනපදය යුරෝපිය නායකයන්ට ඇහුම්කන් දීමය.”

වොෂිංටනය එවන් අනුගත වීමකට තිබෙන ඉඩකඩ ඇත්තේ ම නැති තරම් ය.

පලමුවන ලෝක මහා යුද්ධය 1914 දී බෝල්කන් ප‍්‍රදේශයෙන් පැනනැංගේ ය යන්න අහඹුවක් නොවේ. එම ප‍්‍රදේශය අධිරාජ්‍ය බලවතුන්ගේ ආසක්තතාවන් එකිනෙකට ඝට්ටනය වන මං සපෙයීයකි. එම යුද්ධය හමාර වුයේ අවුරුදු හතරක දී ජීවිත මිලියනයක් බිලි ගෙනය. යුකේ‍්‍රනයේ වත්මන් අර්බුදයට යටින් පවතින්නේ මානව ශිෂ්ඨාචාරයේ අවසානය කැඳවන තුන්වන මහා යුද්ධ ප‍්‍රලයක රුධිර සාගරයකට උපත දෙන ආතතීන් හා ප‍්‍රතිඝතිතාවන්ය.

රුසියාව අධිරාජ්‍යවාදීන්ගේ යුකේ‍්‍රන ආක‍්‍රමනයේ අපරාධ කාරකයා නොව ගොදුර වේ. නමුත් යුද්ධ තර්ජනය වලක්වාලීමට පුටින් තන්ත‍්‍රය මුලුමනින්ම අසමත් ය. සෝවියට් සංගමය විනාශ කිරීම තුලින් පැනනැගී ගත්, යුකේ‍්‍රන රාජ්‍යය දේහගත කර සිටින්නේ රුසියානු සමාජයේ උපරිම ප‍්‍රතිගාමී ස්තරයන් ය. ජාතිවාදය ට තෙල් දමින්, යුද්ධමය පලිගැනීමකට තර්ජනය කරමින්, මොස්කව් පාලනය ලෝක මහා න්‍යෂ්ටික යුද්ධයක අනතුරට අත වනා සිටී.

මෑත සිද්ධීන් තහවුරුකර සිටින්නේ පසු ගිය වසරේ ජුනි මස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කලාවූ අනතුරු හැඟවුම ය. “නව ලෝක යුද්ධයක තර්ජනය මතුවන්නේ, නිෂ්පාදන බලවේගයන්ගේ පෞද්ගලික අයිතිය මුල් බැස තිබෙන එකිනෙකට ගැටෙන ජාතික රාජ්‍ය ලෙස ලෝකය බෙදී තිබීම හා ගෝලීය ආර්ථිකයක වර්ධනය අතර මූලික පරස්පර විරෝධයන් තුලිනි.”

යුද්ධයේ අන්තරාය අවසන් කිරීමට සමත් එකම සමාජ බලවේගය වනාහි ජාත්‍යන්තර කම්කරු පන්තියයි. එය සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත එක්සත් කොට ධනවාදය පෙරලා දමීම සඳහා බල මුලු ගැන්විය යුතු වේ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ විසින් සටන් කරනු ලබන ක‍්‍රියාමාර්ගය නම් මෙයයි.

පීටර් ශ්වාස්

Share this article: