යුරෝපීය නායකයෝ, ග‍්‍රීක නය ගෙවීම් සංශෝධනය කරන ලෙසට සිරිසාව කල ඉල්ලීමට එරෙහි වෙති

European leaders turn against Syriza’s appeals to alter Greek debt payments

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2015 පෙබරවාරි 05

ග‍්‍රීසියේ අලුතෙන් පත්වූ සිරිසා ආන්ඩුව සිය මැතිවරන ව්‍යාපාරයේදී ඉදිරිපත් කල නය කපා හැරීමේ පොරොන්දුව හමුවේ යුරෝපීය නිලධාරීහු, නය හිමියන්ට ගෙවීම් කිරීම පිනිස අපකීර්තිමත් කප්පාදු පියවර දිගටම ක‍්‍රියාත්මක කරන ලෙස අගමැති ඇලෙක්සිස් සිප්රාස්ට බල කලහ.

සාකච්ඡා හා ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වීම සඳහා 04දා සිප්රාස්, පැරිසියේ එල්සි ජනාධිපති මන්දිරයට පැමිනි කල, ප‍්‍රන්ස ජනාධිපති ප‍්‍රන්සුවා ඔලන්ද් අවධාරනය කලේ, ග‍්‍රීසිය යුරෝපිය සංගමයේ (යුසං) ඉල්ලීම් වලට එකඟ විය යුතු බවය. “ග‍්‍රීසිය හා එහි යුරෝපීය හවුල්කරුවන් අතර සාකච්ඡාව ඉදිරියට යා යුතු අතර එකඟතාවයකට පැමිනිය යුතු ය.” එසේම ඇතන්ස් පාලනය, “ප‍්‍රන්සය ද ඇතුලු සියලු රටවලට අදාල වන යුරෝපීය නීති වලට මෙන්ම, ආන්ඩුවලට වැදගත් වන නය පිලිබඳ එකඟතාවන්ට ද ගරු කල යුතු ය.”

යුරෝපීය ඇප දීමේ යාන්ත‍්‍රනයේ කොටසක් ලෙස, ග‍්‍රීක නයෙන් යුරෝ බිලියන 42කට කරගසා සිටින පැරිසිය, බිලියන 320ක් වන ග‍්‍රීසියේ සමස්ත නය කපා හැරීමට විරුද්ධ වන බවට මෙය ඇඟවුමකි.

සිප්රාස්ගේ සංචාරයට පෙරාතුව ප‍්‍රන්ස නිලධාරීහු, පැරිසිය, බර්ලිනයේ මූලිකත්වය යටතේ යුසං විසින් ග‍්‍රීසිය තුල පනවා ඇති ප‍්‍රතිපත්තීන්ගේ මුලික කොන්දේසි වලට පූර්න සහාය දෙන බව පැහැදිලි කර ඇත. “විශේෂයෙන්ම ප‍්‍රන්සය හා ජර්මනිය ඇතුලු යුරෝ කලාපයේ රටවල්, එකිනෙකාට විරුද්ධව පොර ඇල්ලීමේ අර්ථයක් නැත” යයි ප‍්‍රන්ස මුදල් ඇමති මයිකල් සැපින් 04දා පැවසීය. “ග‍්‍රීසිය සිය පොරොන්දු ඉටුකිරීමට කැපවන අතර එරටට උදව් වන විසඳුමක් ප‍්‍රන්සය හා ජර්මනිය අතර එකඟත්වයකින් යුතුව ඉදිරිපත් විය යුතු ය.”

තමන්ගේ පැත්තෙන් සිප්රාස්, කප්පාදු වැඩසටහන් නිසා දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප‍්‍රන්සයේ අපකීර්තිමත්ම ජනාධිපති බවට පත්ව සිටින ඔලන්ද්ගේ සමාජවාදී පක්ෂ ආන්ඩුවට හුරේ දැමීය. ඔලන්ද් සමග පැවති මාධ්‍ය හමුවකදී සිප්රාස්, "අප යුරෝපයට තර්ජනයක් නොවේ" යයි පවසමින්, ප‍්‍රන්සය, යුරෝපීය පිලිවෙත වෙනස් කිරීම සඳහා "ප‍්‍රමුඛත්වය" ගැනීමේ අවශ්‍යතාවය ගැන සඳහන් කලේය.

ජනවාරි 25දා මැතිවරනය ජයගැනීමෙන් පසුව සිප‍්‍රාස්, ග‍්‍රීසියේ නය ආපසු ගෙවීමේ කොන්දේසි අලුත්කර ගැනීම සඳහා යුරෝපීය බැංකු සමග එකඟතාවක් ඇතිකර ගැනීමේ උත්සාහයක යෙදී සිටියි. ඉහල මධ්‍යම පන්තියේ පුලුල් තට්ටුවක් මත රැඳෙමින්, ග‍්‍රීක ධනේශ්වරයේ කොටසක් වෙනුවෙන් කථා කරන එම පක්ෂය, තමන් යුරෝපීය සංගමයේ සම්පූර්න ආකෘතියම පිලිගන්නා බවත්, කිසියම් ක‍්‍රමයකින් ග‍්‍රීසියේ නය ගෙවාදැමීමට අධිෂ්ඨාන කරගෙන ඇති බවත් යලි යලිත් පවසා ඇත.

විශේෂයෙන්ම සිරිසාව, ග‍්‍රීසියේ, ප‍්‍රන්සයේ හා යුරෝපය පුරා යුසං කප්පාදු වලට එරෙහිව කම්කරුවන් අතර පවතින පුලුල් විරුද්ධත්වයට කිසිදු ආයාචනයක් කිරීම ප‍්‍රතික්ෂේප කරයි. ඔවුන්ගේ ආයාචනා මුලුමනින්ම යොමුවී ඇත්තේ, යුරෝපීය බැංකු හා ඔවුන්ගේ දේශපාලන නියෝජිතයින් වෙත ය.

කෙසේ වෙතත්, මෙම ආයාචනා බීරි අලින්ට වීනා වාදනය කිරීමක් බවට පත්ව තිබේ. සිරිසාවේ ඡන්ද පදනම බවට පත්ව ඇති ග‍්‍රීක ජනතාව අතර කප්පාදු කෙරෙහි දැක්වෙන විරුද්ධත්වය දෙස යුසං බලන්නේ කෝපයෙනි. යුසං මුදල් ඇමතිවරුන්ගේ “යුරෝ කන්ඩායම්” රැස්වීමට පෙරාතුව රොයිටර් වෙත 04දා කාන්දු වූ ජර්මානු ආන්ඩුවේ සටහනකින්, කම්කරුවන්ගේ ජීවන තත්වයන්හි සුලු හෝ වර්ධනයක් බර්ලිනය විසින් ඉවසනු ලබන්නේ නැති බව පැහැදිලි වේ. ඒ වෙනුවට එය කියා ඇත්තේ, පසුගිය සය වසර පුරා ග‍්‍රීසිය රක්ත හීන තත්වයට පත්කල වර්ගයේ රැකියා හා සමාජ වියදම් කප්පාදුවේ වේගවත් නව වටයක් සිරිසාව විසින් ක‍්‍රියාත්මක කල යුතුව ඇති බව යි.

“වැඩසටහන නියමිත පරිදි ඉදිරියට ගෙන යන බවට ග‍්‍රීසිය පැහැදිලි හා ස්ථිර ප‍්‍රතිඥාවක් දිය යුතු බව යුරෝ කන්ඩායමේ මතය යි. එහි අරමුන වන්නේ එකඟවී ඇති න්‍යායපත‍්‍රය අඛන්ඩව ගෙන යාම යි. (එම පියවර ආපසු ගැනීම නොව) ආදායම් පාලනය, බදු පැනවීම, පොදු මූල්‍ය කලමනාකරනය, පුද්ගලීකරනය, පොදු පරිපාලනය, සෞඛ්‍ය සේවා, විශ‍්‍රාම සහන, සමාජ ශුභසාධන, අධ්‍යාපනය හා දූෂනයට එරෙහිව සටන් වැදීම යන ක්ෂේත‍්‍ර ඉන් ආවරනය විය යුතු ය”, එම සටහනෙහි දැක්වේ.

සටහනට අනුව බර්ලිනය ග‍්‍රීසියට කියා ඇත්තේ, එරට අයවැය අතිරික්තය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5ක මට්ටමේ පවත්වාගත යුතු බව ය. මෙහි අර්ථය වන්නේ නය හිමියන්ට ගෙවීම සඳහා දැනටමත් විනාශයකට මුහුනපා ඇති ග‍්‍රීක ආර්ථිකයෙන්, වසරකට යුරෝ බිලියන 10 බැගින් වෙන්කල යුතු බව ය.

“වැඩසටහන විමර්ෂනය කිරීම දැනට සාර්ථක නිමාවකට ගෙන ඒමට සමත්වී නැති” බව කියා සිටිමින් 04දා යුරෝපීය මහ බැංකුව (ඊසීබී), ග‍්‍රීක බැංකු බලාපොරොත්තු වන නය සඳහා එරට ආන්ඩුවේ නය, ඇපකර ලෙස යොදාගැනීම තහනම් කලේ ය.

දිගුකාලීන නය ගිවිසුමක් ඇති කර ගන්නා තෙක්, ඉදිරි මාස තුනක කාලය සඳහා “වියදම් පියවා ගැනීමට” කෙටිකාලීන භාන්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් යුරෝ බිලියන 10ක් ලබාගත යුතු බව ග‍්‍රීක මුදල් ඇමති යානිස් වැරෝෆකිස් යෝජනා කර තිබේ. යම් ආකාරයක මූල්‍ය පියවර ගනු නොලැබුව හොත් ආන්ඩුව ද්‍රවශීලතා අර්බුදයකට මුහුන පානු ඇත.

“ග‍්‍රීසියේ ආන්ඩුවට ඊසීබී වෙතින් නිකුත් වන පැහැදිලි සංඥාව මෙය යි. ඔබ ජාත්‍යන්තර නය දෙන ආයතන වලට කථා කර එකඟත්වයක් ඇතිකර ගත යුතු ය. නොඑසේ නම් අතිශයින්ම කටුක දේ සිදුවීමට ඉඩ තිබේ”, ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව පිලිබඳ පීටර්සන් ආයතනයේ ජැකොබ් කර්කිගාර්ඩ් පැවසීය.

වැරෝෆකිස් 04දා ඊසීබී ප‍්‍රධානියා වන මාරියෝ ඩ‍්‍රැගී හමුවීමට ෆ‍්‍රැන්ෆර්ට් බලා ගියේ ය. ඔහු ඩ‍්‍රැගී හා ග‍්‍රීසියට එරෙහි කප්පාදු පියවරයන්හි ප‍්‍රමුඛ නියෝජිතයෙක් වන ජර්මානු මුදල් ඇමති වොල්ෆ්ගෑං ෂෝබල් ඉදිරියේ දනින් වැටේ.

ග‍්‍රීක මුදල් ඇමති ඊසීබී මූලස්ථානයේදී පැවසුවේ, “අනාගතය සඳහා මට දැවැන්ත ධෛර්යයක් වන අගනා සන්නිවේදන මාර්ගයක් අපි පිහිටුවාගෙන ඇත්තෙමු. මම දැන් බර්ලිනය බලා යන්නෙමි. මම මහත් උනන්දුවෙන් සිටින්නේ එහිදී, හුදෙක් මුදල් අමතිවරයා පමනක් නොව, ෂෝබල් වන, යුරෝපීය මූල්‍ය සංගම් ව්‍යාපෘතිය පිටුපස සිටින පුද්ගල චරිතය ද හමුවීමට ය” යනුවෙනි.

බර්ලිනයේදී වැරෝෆකිස් පැවසුවේ, කලින් පැවති දක්ෂිනාංශික හෝ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩුවලට වඩා දුර සිරිසාව ගමන් කිරීමට සූදානම් බව ඔවුන්ට ඒත්තු යනු ඇති බවයි. "බර්ලිනයේදී මම හැකි තරම් සංසුන් වීමට උත්සාහ කරන්නෙමි. අපි වාමාංශික රස්තියාදුකාරයින් විය හැකි නමුත් අපගේ සිරිසා ව්‍යාපාරය, ග‍්‍රීසියේ සංගත හා කතිපයාධිකාරීන් ශුද්ධ කර, අපට පෙර පැවති ආන්ඩු විසින් ප‍්‍රතික්ෂේප කල, ග‍්‍රීක රාජ්‍යයේ ගැඹුරු ප‍්‍රතිසංස්කරන සිදුකිරීම පිලිබඳව ඔහුට අප කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව මම ෂෝබල් මහතාට පවසන්නෙමි", ඔහු පැවසීය.

“ගැඹුරු ප‍්‍රතිසංස්කරන” යනු, ග‍්‍රීක ආර්ථිකය ජාත්‍යන්තර හා යුරෝපීය ප‍්‍රාග්ධනයට මුලුමනින්ම විවෘත කිරීම අරමුනු කරගත් පියවර හඳුන්වන යෙදුමකි.

ඩි සේට් යන ජර්මානු සතිපතා පත‍්‍රයට කථාකරමින් වැරෝෆකිස්, ග‍්‍රීසිය “බංකොලොත් රටක්” ලෙස නම්කල අතර "ප‍්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් සිරිසාව ඉල්ලා සිටිනු ඇත්තේ, එරට ප‍්‍රතිපත්ති තීරනය කිරීමට සහාය දෙන ලෙස" බව පැවසීය. "අපි ඕඊසීඩී (ආර්ථික සහයෝගිතාවය හා සංවර්ධනය පිලිබඳ සංවිධානය) මහ ලේකම් ජොසී ඇන්ජෙල් ගුරියා සමග කතා කලෙමු. ප‍්‍රතිසංස්කරන වැඩපිලිවෙලක් සැකසීමට ඔහු අපට උදව් කරනු ඇති බව විශ්වාස" යැයි හෙතෙම පැවසීය.

සිරිසාව යුරෝ අර්බුදය සම්බන්ධ එකම ප‍්‍රගතිශීලී විසඳුමට විරුද්ධ ය: ග‍්‍රීසිය තම නය ආපසු ගෙවීම ප‍්‍රතික්ෂේප කිරීම ද යුරෝපීය කම්කරු පන්තිය මහා බැංකු අත්පත්කර ගැනීම ද ඒ අතර වේ. ඒ වෙනුවට ඔවුහු, ග‍්‍රීක මැතිවරනයෙන් පෙන්නුම් කල පරිදි, කම්කරු පන්තිය සූරාකෑම හා උග‍්‍රවන ඔවුන්ගේ කෝපය, යුරෝපය පුරා ඇති ප‍්‍රතිගාමී ආන්ඩු කෙරෙහි මිත්‍යාවන් වපුරති.

Share this article: