වෘත්තීය සමිති නිලධරය ජනාධිපති සිරිසේනගේ ආන්ඩුව රැකීමට සහතික වෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2015 පෙබරවාරි 09

සාධාරන සමාජයක් සදහා වෘත්තීය සමිති එකමුතුව ජනවාරි 19 දා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ආන්ඩුව ආරක්ෂා කිරීමට කැපවන බව ප‍්‍රකාශ කලේය. දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ව්‍යාජ වම්මුන් සමග පෙල ගැසී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛතී‍්‍රපාල සිරිසේන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයෙකු ලෙස හුවා දක්වමින් ඔහු ව බලයට ගෙන ඒමට දරදිය ඇදි මෙම සංවිධානය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සන්ධානය, ලංකා ගුරු සංගමය සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුලු සමිති 50 ක එකතුවකි.

මහින්ද රාජපක්ෂ ආන්ඩුව පරාජය කර අලුත් ආන්ඩුවක් පිහිටුවීමට තම සංවිධානය කැප වී කටයුතු කල බවත් “එහි ප‍්‍රතිපල දැන් ලැබී ඇති” බවත් සමිති එකමුතුවේ කැඳවුම් කරු සමන් රත්නපි‍්‍රය එම මාධ්‍ය සාකච්ඡාවේ දී ප‍්‍රකාශ කලේය. “විධායක ජනාධිපති පත්වුනා. පාර්ලිමේන්තු බලතල වෙනස් වුනා අලුත් කැබිනට් මන්ඩලයක් පත්වුනා. සාධනීය වෙනසක් දැන් ඇතිවෙලා තියෙනවා” යැයි රත්නපි‍්‍රය මෙහිදී සඳහන් කලේය. ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන තෙක් “අපි හදාපු ආන්ඩුව”ට බල කරන බව පැවසූ රත්නපි‍්‍රය, එසේ කටයුතු නොකරන්නේ නම් ඊලඟට ගත යුතු “පියවර” ගැන තම සාමාජිකත්වය විසින් තීරනය කරනු ඇති බවට බොරු තර්ජනයක් ද කලේය.

කෙසේ නමුදු, නිලධරය විසින් මෙම ආන්ඩුව “අපි හදාපු ආන්ඩුව” ලෙස නම් කිරීම තුල නිශ්චිත පන්ති ඇඟවුම් පවතී. තමා විසින් බලයට ගෙන ආ ආන්ඩුව රැකගනුවස් නිලධරය විසින් සිදු කෙරෙන අවමංගත කිරීම් සහ බාධා නොතකා අරගලයට අවතීර්න වන කම්කරුවන්, කඩාකප්පල්කරුවන් ලෙස නම් කරමින් පාලක පන්තිය සමග එක්ව ඔවුන් දඩයමට ලක් කිරීමේ අන්තරාය මෙහි ගැබ් වෙයි.

පසුගිය දශකය තුල ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් තම ජීවන කොන්දේසිවලට හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කල ප‍්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තිය තුලින් පැන නැගුන විරෝධය පුහු විරෝධතාවලට කොටු කර අපසරනය කිරීමට මෙම වෘත්තීය සමිති නිලධරය දැනුවත් හා ප‍්‍රතිගාමී කි‍්‍රයා කලාපයක් ඉටු කලහ. අනතුරුව රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තියේ විරුද්ධත්වය වඩ වඩා උත්සන්න වන තතු තුල දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සමග ද නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ සමග ද පෙල ගැසෙමින් කම්කරු පන්තිය දක්ෂිනාංශික පක්ෂවලට ගැට ගැසීමට කටයුතු කලහ.

ආන්ඩුවට “උපදෙස්” දීමට පත් කරගෙන ඇති ජාතික උපදේශක සභාවට තම සංවිධානය ඇතුලත් කර නොගැනීම ගැන රත්නපි‍්‍රය පල කරන කනස්සල්ලෙන් මෙම සමිති නිලධරයේ ධනේශ්වර ගැති පන්ති දිශානතිය වඩාත් පැහැදිලි වෙයි. ජාතික උපදේශක සභාව වනාහි ධනපති රාජ්‍යය ශක්තිමත් කෙරෙන දේශපාලන පිලිවෙත් සම්පාදනය කිරීමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට සහ පන්ති අරගල යටපත් කිරීමට ගොඩනගාගෙන ඇති කම්කරු පන්තියට එරෙහි ප‍්‍රතිගාමී සංස්ථාවකි. ජාතික හෙල උරුමය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු සිංහල වර්ගෝත්තමවාදී පක්ෂ, දෙමල ජාතික සන්ධානය, ව්‍යාජ වාම පක්ෂ හා ඊනියා වෘත්තිකයන් සහ බුද්ධිමතුන් අන්තර්ගත සංයුතියෙන් එහි ප‍්‍රතිගාමී ස්වභාවය වඩාත් ඉස්මතු වෙයි.

රත්නපි‍්‍රයලාගේ ආන්ඩුව, නැතහොත් සිරිසේන ආන්ඩුව බලයට දමා ගත්තේ ඇමරිකා එක්සත් ජනපදය තිරයට පිටුපසින් සිටිමින් මෙහෙය වූ දේශපාලන කුමන්ත‍්‍රනයක් මගිනි. රාපක්ෂ ආන්ඩුව වඩ වඩා චීනය මත වාරු වීම කෙරෙහි උරනව සිටි වොෂින්ටනය හිටපු ජනාධිපති චන්ද්‍රිකා කමාරතුංග සහ එජාපය යොදා ගනිමින් තමන්ට පක්ෂපාතී ආකාරයේ පාලන තන්ත‍්‍ර වෙනසක් සඳහා එම දේශපාලන කුමන්ත‍්‍රනය මෙහෙයවින.

සිරිසේන ඇමරිකාවට සහ බටහිර අධිරාජ්‍යවාදයට හිතැති විදේශ පිලිවෙතක් අනුගමනය කරන බව දැනටමත් පෙන්නුම්කර ඇත. මෙම තන්ත‍්‍ර මාරුවත් සමග සිදුව ඇත්තේ ඔබාමා පාලන තන්ත‍්‍රයේ “ආසියාවට හැරීමේ”, එනම් චීනය හුදකලා කිරීමේ හා මිලිටරිමය වසයෙන් වැටලීමේ මුලෝපායත් සමග ශී‍්‍ර ලංකාව ඍජුව පෙල ගැසීමක් හා අධිරාජ්‍යවාදී ලෝක යුද සැලසුම් තුලට ගාල් කර ගැනීමකි.

ඊනියා දින සියයේ වැඩපිලිවෙල යටතේ රුපියල් 5000 කින් කම්කරු පන්තියේ වැටුප් වැඩිකිරීමක් සහ තෙල් සහ ගෑස් මිල අඩු කිරීම ඇතුලු සොච්චම් සහන කිහිපයක් ලබාදීම මගින් වැඩකරන ජනයාගේ ඇස්වලට වැලි ගසා අපේ‍්‍රල් මාසයේ මහා මැතිවරනයක් පවත්වා ජාතික ආන්ඩුවක ස්වරූපයෙන් වඩාත් දක්ෂිනාංශික ආන්ඩුවක් තහවුරු කර ගැනීමට ජනාධිපති සිරිසේන සහ එජාපය අපේක්ෂා කරයි.

ඒ අතර මැතිවරන පොරොන්දු ඉටු කරන ලෙස ඉල්ලමින් ආන්ඩුවට බලපෑම් දැමීමේ බොරු විරෝධතා සංවිධානය කරමින් ධනපති පාලක පන්තියේ සැබෑ ආර්ථික හා දේශපාලන න්‍යාය පත‍්‍රය වසන් කිරීමට රත්නපි‍්‍රයලාගේ සමිති එකතුව, ජවිපෙට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය හා සෙසු වෘත්තීය සමිති දැනුවත් ව්‍යායාමයක යෙදී සිටිති.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී “යහපාලනයක්” සහ ආර්ථික සහන වෙනුවට කම්කරු පන්තිය මුහුන දෙනු ඇත්තේ වඩා විවෘත ලෙස ආයෝජන හිතැතිව කි‍්‍රයා කරන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ නිර්දයව කි‍්‍රයාවට දමමින් කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට පහර දෙන ආන්ඩුවකට ය. මෙම ප‍්‍රහාරවලට එරෙහි ව මතුවන කම්කරු පන්තියේ විරුද්ධත්වය මැඩීම සඳහා රාජපක්ෂ ආන්ඩුව යටතේ වර්ධනය කෙරුන පොලිස් රාජ්‍ය විධික‍්‍රම යොදා ගනිමින් වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට පහර දීම වඩාත් උග‍්‍ර කෙරෙනු ඇත.

රාජ්‍ය වියදම් කැපීම මගින් මේ වසර තුල සියයට 5.2 (දල ජාතික නිශ්පාදිතයෙන්) දක්වා සහ 2016 දී සියයට 3.8 දක්වා අයවැය පරතරය අඩු කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප‍්‍රධාන නිර්දේශයකි. එමෙන් ම දැනට පාඩු ලබන තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මන්ඩලයට ලබා දෙන රාජ්‍ය අරමුදල් නතර කර එකී ආයතන ආදායම් වියදම් සම තත්වයට ගෙන ඒම තවත් එවැනි නිර්දේශයකි. කල් පසුවූ ආර්ථික ප‍්‍රතිව්‍යූහකරනය සිරිසේන ආන්ඩුව විසින් කඩිනම් කල යුතුව ඇත. මේ නිර්දේශ සියල්ල කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට පහර එල්ල කෙරෙන ඒවාය.

සිරිසේන, රාජපක්ෂ ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු ව සිටිය දී එය විසින් කි‍්‍රයාවට දැමූ මූල්‍ය අරමුදල විසින් නිර්දේශිත ආර්ථික පිලිවෙත් කි‍්‍රයාවට දැමීමට මුලුමනින් ම සහය දුන් අතර සෞඛ්‍ය ඇමති ලෙස සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගල මැඩීම සඳහා හමුදාව යෙදවීමට කටයුතු කලේය. දැන් රටේ විධායක ජනාධිපති ලෙස වැඩකරන සිරිසේන ජනතාවට එරෙහිව ධනපති රාජ්‍යයේ හා ධනපති පන්තියේ අවශ්‍යතාවයන් ආරක්ෂා කරනුවස් කවරාකාරයෙන් කි‍්‍රයා කරනු ඇත්ද යන්න පිලිබඳ ඉතා දැනුවත් මෙම සමිති නිලධරය හිතාමතා ම කම්කරු පන්තිය දේශපාලනිකව නොමග යැවීමට වැඩකරමින් සිටින බව තේරුම් ගැනීමට හිතන මතන කම්කරුවෙකුට අපහසු නැත.

වැටුප් ඉල්ලීම් මත 20 දා ලංකා විදුලි බල මන්ඩලයේ කම්කරුවන්ගේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුනි. එහිදී ජවිපෙට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් සේවක ප‍්‍රශ්නවලට විසඳුම් නොලැබුනොත් ආන්ඩුවට විරුද්ධව “මුල්ම රතු එලිය” දල්වන්නේ තමන් යයි බොරු ගර්ජනාවක් කලේය.

කෙසේ වුවත් ඊට පැය කිහිපයකට පසුව තෙල් සංස්ථාවේ නිරීක්ෂන චාරිකාවක යෙදුන විදුලිබල සහ බල ශක්ති ඇමති චම්පික රනවක “අපි තර්ජන ගර්ජන වලට බය නැහැ. අපි හොඳට තෙම්පරාදු වෙච්ච මිනිස්සු. තර්ජන ගර්ජන වලින් අපිව පාලනය කරන්න බැහැ” යයි කල ප‍්‍රකාශයෙන් කම්කරු පන්තිය සම්බන්ධයෙන් සිරිසේන‐වික‍්‍රමසිංහ ආන්ඩුවේ දුෂ්ඨ ආකල්පය වඩාත් එලිමහනට පැමිනෙයි.

දැනටමත් මෝදු වෙමින් පවත්නා පන්ති අරගල රුදුරු ලෙස මර්දනය කිරීමට පාලක පන්තිය ගන්නා පියවර සමග එක පෙලට සිට ගනිමින්, “අපි හදාපු ආන්ඩුව” රැක ගැනීමට රත්නපි‍්‍රය ඇතුලු මෙම නිලධරය ඉදිරියට එනු ඇත.

Share this article: