දේශපාලන අස්ථාවරත්වය හා ගෝලීය පසුබෑම මූල්‍ය කලබැගෑනිය උග‍්‍ර කරයි

Political instability and global slump intensify financial turmoil

නික් බීම්ස් විසිනි , 2015 ජනවාරි 07

නව වසර ඇරඹුනේ, ගැඹුරුවන පසුබෑම, උත්සන්න වන භූ-දේශපාලන ආතතීන් හා සෑම රටකම පාහේ වැඩෙන දේශපාලන අස්ථාවරත්වය අතර අන්තර්ක‍්‍රියාවලිය පෙන්නුම් කරන ලෝක මූල්‍ය වෙලඳපොලවල කලබැගෑනියකිනි.

ගෝලීය මූල්‍ය පද්ධතියේ නැගී එන ගැටලු වඩාත් සෘජු ලෙස ප‍්‍රකාශයට පත් වූවේ වෝල් වීදියෙහිය. ඒ එහි මුදුනටම ලඟාවීමෙන් පසුවය. එක්සත් ජනපදයේ ව්‍යාපාර වස්තු වෙලඳපොල 2008 වසරින් පසුව එහි නරකම ආරම්භය සලකුනු කලේය. එම වසර කුලුගැන්වුනේ සැප්තැම්බරයේ ලේමන් බ‍්‍රදර්ස් ආයෝජන බැංකුව කඩා වැටීමෙන් මුදාහල ගෝලීය මූල්‍ය අර්බුදයකිනි.

06දා ඩව් ජෝන්ස් දර්ශකය සියයට 0.8න් හෙවත් ඒකක 130න් පහත වැටුනි. ඒ 05දා ඒකක 331න් කඩා වැටීමට පසුවය. වඩාත් පුලුල්ව පදනම්ව ඇති ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් 500 දර්ශකය ද පසුගිය දින දෙක තුල එලෙසම පහත වැටුනි. ඒ අතර ආසියාවේ හා යුරෝපයේ කොටස් අගයන් ද පහත ගියේය. 06දා දකිනු ලැබුවේ “ක්ෂේම භූමි සොයා පලායාම” ලෙසය. ඉල්ලුම ඉහල නැගුන පසුව දස වසරේ ඇමරිකානු භාන්ඩාගාර බැඳුම්කරයන්හි ප‍්‍රතිලාභ සියයට 2ටත් වඩා පහත වැටුනි.

වෝල් වීදියේ වැටීම පිටුපස පැවති වඩාත් ක්ෂනික හේතුව වූයේ, තෙල් මිල තවත් පහත වැටීමයි. බටහිර ටෙක්සාස් බ්‍රෙන්ට් බොර තෙල් මිල බැරලයක් ඩොලර් 50ත් වඩා පහත ගියේ ගෝලීය පාදක මිල ඒ මට්ටමට ඇද දමමිනි. ජූනි මාසයේ පටන් තෙල් මිල සියයට 50න් පහත වැටී ඇත.

තෙල් මිල වැටීම ද ක‍්‍රියාවලීන් දෙකක ප‍්‍රතිපලයයි: මොස්කෝව මූල්‍ය වෙලඳපොලවලින් කපා හරින සම්බාධක පැනවීමෙන් ඇමරිකාව, රුසියාව මත ආර්ථික අලාභයන් සිදුකිරීමට උත්සාහ කරන අතර හීන වන තෙල් මිල මුගුරක් ලෙස යොදා ගනියි. අනෙක් ක‍්‍රියාවලිය ලෝක ආර්ථිකයේ ගැඹුරු වන අවධමනාත්මක ප‍්‍රවනතාය.

තත්වය ගෙනහැර දක්වමින් ෆිනෑන්ෂල් ටයිම්ස් තීරු රචක ජෝන් ප්ලෙන්ඩර් මෙසේ ලිවීය. ලෝකය “අවධමනයකට තුඩු දෙමින්, හීන වන ඉල්ලුම පිලිබඳ වැඩෙන ගැටලුවේ ගොදුරක් බවට පත්ව ඇත. එක්සත් ජනපදය ගෝලීය වර්ධනයකට පදනම සැපයීමට තරම් වේගයෙන් වර්ධනය නොවේ. මෙය වනාහි භූදේශපාලනික අවදානම, තරගකාරී අවප‍්‍රමාන හා ව්‍යසනකාරී අවධමනයක් තුලට ඇදී යාමේ හැකියාව ඇති කරන ආරක්ෂනවාදී පීඩනය, ශක්තිමත් ප‍්‍රතිපත්තියක් නොපැවතීමේ තතු තුල, දිගට ඇදෙන බෙලහීන ප‍්‍රතිපල ගෙනෙන බියකරු ලෝකයකි.”

කෙසේ වෙතත් එවන් ප‍්‍රතිපත්තියක් නම් පේනතෙක් මානයේවත් ඇත්තේ නැත.

වැඩිවන අවධමනාත්මක පීඩනයන් හමුවේ යුරෝ කලාපය, 2008න් මෙපිට තුන්වන පසුබෑමක අද්දර සිටියි. අද දිනය තුල නිකුත් කිරීමට නියමිත සංඛ්‍යා, සමහර අනාවැකි වලට අනුව රින අගයක් පවා ගත හැකි, ශුන්‍ය උද්ධමනයක් බලාපොරොත්තු වේ.

අවධමනාත්මක පීඩනය කපා හැරීමට උත්සාහ කරමින්, ආන්ඩු නය මිලට ගැනීමට සම්බන්ධ පුලුල් ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමක් සඳහා පියවර ගනු ඇති බව විශ්වාස කරන, ජනවාරි 22දා පැවැත්වීමට නියමිත යුරෝපීය මහ බැංකුවේ පාලක මන්ඩල රැස්වීම වෙත, මූල්‍ය වෙලඳපොලවල දෑස් යොමුව තිබේ.

එහෙත් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත යුරෝපීය අර්ථශාස්ත‍්‍රඥයින් 32ක් සමග පැවැත්වූ සමීක්ෂනයකට අනුව, බොහෝ දෙනෙක් මහ බැංකුව සිය මැදිහත්වීම සිදුකරනු ඇති බව විශ්වාස කරයි. එහෙත් එම පියවර යුරෝ කලාපයේ ආර්ථිකය පන ගන්වනු ඇති බව විශ්වාස කරන්නේ සුලු සංඛ්‍යාවකි.

2008 මූල්‍ය අර්බුදය හමුවේ චීන ආන්ඩුව ප‍්‍රධාන වියදම් හා නය සැපයුම පුලුල් කිරීමේ වැඩසටහනක් දියත් කල අතර එමගින් ගෝලීය වර්ධනයට උත්තේජකයක් සම්පාදනය කලේය. එහෙත් 2009 පසුබෑමෙන් පසු පලමු වතාවට චීනය දැන් මුහුන දෙන්නේ, රැකියා සම්පාදනය පවත්වාගෙන යාමේ මට්ටම ලෙස සලකන සියයට 7 වර්ධන අගය පහත වැටීමේ තත්වයකටය.

වර්ධන අනුපාතය ඉහල නංවාගැනීම පිනිස චීන ආන්ඩුව තවත් එවැනි උත්තේජක පැකේජයක් පිලිබඳව සලකා බලමින් සිටින බවට වාර්තා පලවේ. එහෙත් එවන් පියවරක් චීනයේ නය මට්ටම පිලිබඳ කනස්සල්ල දැඩි කරනවා පමනි.

යපස් ද ඇතුලූ කාර්මික භාන්ඩ පුලුල් පරාසයක් හරහා ප‍්‍රකාශවන පසුබෑම හමුවේ, තෙල් මිල වැටීම පිලිබිඹු කරන අවධමනාත්මක පීඩනයන්ට අමතරව, ජනවාරි 25දා පැවැත්වීමට නියමිත ග‍්‍රීක මැතිවරනයෙන් පසුව යුරෝපයේ මූල්‍ය හා දේශපාලන අර්බුදයක් පිලිබඳ අදහස ද මූල්‍ය වෙලඳපොලවලට බලපාන තවත් ප‍්‍රධාන කාරනයකි.

මත විමසුම් අනාවරනය කරන්නේ, ග‍්‍රීක නය වෙනුවෙන් ඇප දීමේ පැකේජය “යලිසලකා බැලිය යුතු” බව කියා සිටින, රැඩිකල් වමේ හවුල වන සිරිසා, බහුතර ඡන්ද ලබාගනු ඇති බවත් ඊලඟ ආන්ඩුව පිහිටුවීම සඳහා කැඳවුම් ලබනු ඇති බවත් සැලකේ.

ඩර් ස්පීගල් ප‍්‍රවෘති සඟරාවේ පලවූ ලිපියකට අනුව, ග‍්‍රීක නය යලි සලකා බැලීම පිලිබඳව ඇන්ජිලා මර්කෙල්ගේ ජර්මානු ආන්ඩුව කැමැත්තක් නොදක්වන බව පැහැදිලිය. ග‍්‍රීසිය යුරෝ කලාපයෙන් ඉවත්වීමට එය තුඩු දෙනු ඇත. පුවත්පත ආන්ඩුවේ මූලාශ‍්‍ර පදනම් කර ගනිමින් තවදුරටත් කියන්නේ, ග‍්‍රීසිය ඉවත්වීමේ ප‍්‍රශ්නය ජර්මනියට පොරබැදිය හැකි නමුත් එහි ප‍්‍රතිවිපාක කවරක් වේදැයි කිසිවෙකුත් නොදන්නා බවය.

ග‍්‍රීක මැතිවරනය, පොදු මුදල (යුරෝව) බිඳ වැටීමට තුඩුදිය හැකි පරිදි යුරෝපය හරහා වර්ධනය වන අස්ථාවරත්වයේ එක් ප‍්‍රකාශනයක් පමනි. මෙය ප‍්‍රධාන දේශපාලන ප‍්‍රතිවිපාක දැනවිය හැකිය. මක්නිසා ද යත්, 1950 ගනන් මුල දක්වා දිව යන, පොදු මුදල පිහිටුවීමෙන් කුලුගැන්වුන, යුරෝපීය ඒකාග‍්‍රකරනය සහතික කිරීමට ගත් පියවර, හුදෙක් ආර්ථික විද්‍යාව පිලිබඳ කාරනයක් පමනක් නොවීය. එය ඉලක්ක කලේ, පරම්පරාවකගේ ජීවිත කාලය තුල ලෝක යුද්ධ දෙකකට තුඩු දුන් ප‍්‍රමුඛ බලවතුන් අතර ආතතීන් පැන නැගීම වලක්වා ගැනීම වෙතය.

එම ආතතීන් යලි වතාවක් නැගී එමින් තිබෙන බවට පැහැදිලි සලකුනු ඇත. යුරෝපීය මහ බැංකුවේ පාලක මන්ඩලය ගැඹුරු මතභේද වලින් ඉරිතලා ගොස් තිබේ. ජර්මානු නියෝජිතයෝ ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම් තවත් පුලුල් කිරීමට, විශේෂයෙන්ම රාජ්‍ය නය මිලට ගැනීමට, විරුද්ධ වෙති.

ග‍්‍රීක මැතිවරනයෙන් පසුව ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ මැතිවරන පැවැත්වීමට නියමිතය. එම රටවල, 1930 ගනන්වල මහා අවපාතයෙන් මෙපිට නොපැවති කොන්දේසි නිර්මානය කරමින් ආන්ඩු විසින් ක‍්‍රියාත්මක කල කප්පාදු වැඩසටහන් කෙරේ පෘතුල විරෝධයක් පවතී.

ගැඹුරුවන දේශපාලන ආගාධය, 06දා ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රයේ විදෙස් පිලිවෙත් රචක ගිඩියන් රැක්මන් පල කල ලිපියක පිලිබිඹු වේ. “වෙලඳපොලවල්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ඇමරිකානු බලය යන සීතල යුද්ධ ලෝක පර්යාය ගොඩනගා තිබුනු කුලුනු තුනේ” ශක්තිය පිලිබඳ විශ්වාසය භංගවීම ගැන ඔහු සඳහන් කරයි.

2008 සිදුවීම් ද ඉන් ඉක්බිතිව එලඹුනු පසුබෑම ද මගින් නිදහස් වෙලඳපොල කෙරෙහි විශ්වාසය පලුදු කෙරී ඇත. ඇමරිකානු බලය, පාලන තන්ත‍්‍රයන් පෙරලා දැමීමේ දී එය සතු ශක්තිය පෙන්වා තිබෙන නමුත් ස්ථාවරත්වයක් ඇති කිරීමට අසමත්ව තිබේ.

එසේම සිත් තැවුලට හේතු වන්නේ, “ස්ථාපිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයන්ට නිසි බලය සහතික කරන ආන්ඩු පිහිටුවීමට ඇති හැකියාව පිලිබඳ විශ්වාසය බිඳවැටීමයි. එක්සත් ජනපදයේදී කොන්ග‍්‍රසය කෙරේ ඇති ගරුත්වය පහලම ඉමට පැමින තිබේ. ඡන්දදායකයෝ අන්තවාදී පක්ෂ ගැන විපරම් කරති” රැක්මන් එසේ ලිවීය.

Share this article: