සිරිසා ග්‍රීක මැතිවරනය ජය ගනියි

Syriza wins Greek elections

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2015 ජනවාරි 26

යුරෝපීය සංගමයේ හා කොන්සර්වටිව් අගමැති අන්තෝනිස් සමරාස්ගේ ඉවත් ව යන ආන්ඩුවේ ප්‍රතිපත්ති පුලුල් ලෙස ප්‍රතික්ෂේප වීම හමුවේ, රැඩිකල් වාම හවුලක් වන සිරිසා, ග්‍රීසියේ ව්‍යවස්ථාදයක මැතිවරනයේ දී පලමු තැන දිනා ගත්තේ ය.

සිරිසා ඡන්දවලින් සියයට 36.34ක් ලබාගත් බව ග්‍රීක අභ්‍යන්තර අමාත්‍යංශය වාර්තා කලේය. එය මුල් පුරෝකතනයට වඩා වැඩිය. එය සමරාස්ගේ නව ප්‍රජාතන්ත්‍රවාදී (එන්ඩී) පක්ෂයේ සියයට 27.84 බොහෝ සෙයින් ඉක්මවා යාමකි. විශාල ම ඡන්ද සංඛ්‍යාව සමග පක්ෂයට ලැබුනු 50කට වඩා බෝනස් ආසනවලට ස්තුති වන්නට එන්ඩී හි ආසන 76 හා සසඳන විට සිරිසා පාර්ලිමේන්තු ආසන 149ක් බලාපොරොත්තු වේ. මෙය ආසන 300ක පාර්ලිමේන්තුවේ අත්‍යන්ත බහුතරය වීමට අවශ්‍ය ආසන 151ට වඩා ආසන දෙකක අඩුවකි, එබවින් සිරිසා සභාග ආන්ඩුවක් පිහිටුවීමට හවුල් කරුවන් සොයනු ඇත.

නව - නාසි ස්වර්නමය උදෑසන ( ගෝල්ඩන් ඩෝන්) ඡන්දලින් සියයට 6.30ක් (ආසන 17) සමග තුන්වැන තැන ද, පොටාමි (ගංගාව) පක්ෂය සියයට 6.03ක් ද (ආසන16) , හා ස්ටැලින්වාදී ග්‍රීක කොමියුනිස්ට් පක්ෂය සියයට 5.47ක් ද (ආසන 15) ලබා ගත්තේය. සමාජ -ප්‍රජාතන්ත්‍රවාදී පැසොක් පක්ෂය ලැබුවේ සියයට 4.72ක් (ආසන13ක්) පමනක් වන අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් බිඳුනු ස්වාධීන ග්‍රීකයෝ සියයට 4.68 ( ආසන 13ක්) ද ලැබූහ.

මැතිවරනයේ දී ඡන්දදායකයෝ යුරෝපා සංගමයේ කප්පාදු පියවර ප්‍රතික්ෂේප කලහ. 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු යුරෝපයේ නො දුටු පරිමානයක ආර්ථික ඇදවැටීමකට එම පියවර තුඩු දුන්නේය. රැකියා හා අයවැය කප්පාදු 2009 සිට මිලියන ගනනක් ග්‍රීකයන් විරැකියාවට ඇද දමා ඇත. ඔවුන්ගේ සෞඛ්‍ය රැකවරනය ඉවත් කෙරුනි, ග්‍රීක ආර්ථික නිමවුම සියයට 25කින් හා වැටුප් ඊටත් වඩා වැඩියෙන් කපා දැමුනු අතර තරුන විරැකියාව සියයට 60 දක්වා ඉහල ගියේය.

පැසොක් හා එන්ඩී වැනි ග්‍රීක ධනේශ්වර පාලනයේ සම්ප්‍රදායානුකූල පක්ෂ මැතිවරනයේ දී ප්‍රතික්ෂේපවීම පෙන්නුම් කරන්නේ, බැංකු විසින් අන කරන ලද කප්පාදු කෙරෙහි ජනතාව අතර පවතින වෛරය යි. කෙසේ නමුත්, සිරිසා යනු යුරෝපා සංගමයට, යුරෝවට හා ධනවාදයේ ආරක්ෂාවට කැපවුනු ධනේශ්වර පක්ෂයකි. ග්‍රීක ජීවිතය වර්ධනය කිරීම සම්බන්ධයෙන් එය නොපැහැදිලි පොරොන්දු කීපයක් දී ඇති අතර මූල්‍ය නය ලබා ගැනීමේ එල්ලය ඇතිව එය යුරෝපීය බැංකුව සමග තිරය පිටුපස බලවත් සකච්ඡා පවත්වා ඇත.

ජයග්‍රාහී කතාවක් පවත්වමින් සිරිසා නායක ඇලෙක්සිස් සිප්‍රාස් පැවසුවේ ග්‍රීසිය හා යුරෝපය සඳහා ඔහු “නව ශක්‍ය විසඳුමක්” සොයා ගන්නා බව යි. “ට්‍රොයිකාව, එය අතීත ය” යි සිප්‍රාස් පැවසුවේ යුරෝපා සංගමය, යුරෝපා මහබැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන සඳහන් කරමිනි. ඇතැන්ස් හි ආන්ඩුව සමග එක්ව කප්පාදු පියවර ක්‍රියාත්මක කලේ මේවා විසිනි.

කෙසේ නමුත්, සිප්‍රාස් එකෙනෙහි ම ග්‍රීක නය දෙන්නන් සමග වැඩ කිරීමට පොරොන්දු විය, මේවා අතර ඉතා වැදගත් වන්නේ “ට්‍රොයිකාව” විසින් පිහිටුවා ඇති ඒජන්සි ය. ග්‍රීක ආන්ඩුව “අපගේ නය දෙන්නන් සමග එකිනෙකාට පිලිගත හැකි විසඳුමක් සාකච්ඡා කිරීමට සූදානම්” වනු ඇති බව මෙන් ම “අශුභ අනාවැකි කියන්නන් සියල්ලන්ම වැරදි බව ඔප්පු කෙරනු ඇත. හවුල් කරුවන් සමග ගැටුම් නො පවතිනු ඇත”යි ද ඔහු පැවසී ය.

මෙම අදහස් දෝංකාර නැංවූයේ සිරිසා ආන්ඩුව “ තුලන අයවැයක් පවත්වා ගෙන යන අතර ප්‍රමානාත්මක ඉලක්කයන්ට කැප වෙනු ඇත” යි යන මීට පෙර දී ඇති පොරොන්දු ය.

සිප්‍රාස්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ ග්‍රීක නය ආපසු ගෙවීමේ කොන්දේසිවල සංශෝධන ඇතුලු යුරෝපා බැංකුව සමග ඇති කර ගැනෙන සමහර ගනුදෙනු යි. සැබවින් ම, ග්‍රීක බැඳුම්කර ආපසු ගෙවිය හැකි යයි සහතික කරනු පිනිස එවැනි සංශෝධනයක් අත්‍යාවශය බව කියන පාලක පන්තියේ කන්ඩායම් ඇමරිකාව තුල මෙන්ම යුරෝපය තුල ද සිටිති.

කප්පාදු පියවරයන් පිලිබඳ මොන යම් හෝ කට වරද්දාගැනීමකට එරෙහිව උද්ඝෝෂනය මෙහෙය වූ ජර්මනියේ නිලධාරීන් අවධාරනය කලේ ග්‍රීක කම්කරුවන් මත ප්‍රහාරයෙහි කිසිදු අඩු කිරීමක් තිබිය නො හැකි බව යි. ජර්මනියේ බලගතු මහබැංකුව වන බුන්ඩෙස් බැංකුවේ සභාපති ජෙන්ස් වේයිඩ්මාන් අවධාරනය කලේ ආන්ඩුව “රටට දැරිය නො හැකි පොරොන්දු නොදිය” යුතු බව යි.

ප්‍රතිපත්ති පිලිවෙත පිලිබඳ සියලු ම සාකච්ඡා සිදු වන්නේ ග්‍රීසිය හා යුරෝපය පුරා ධනවාදය ආරක්ෂා කිරීමේ රාමුව තුල ය. සිප්‍රාස් ජයග්‍රහනයක් ලෙස පෙන්විය හැකිවන ලෙස යම් සහන බලාපොරොත්තුවෙන් සිටින්නේ, කම්කරු පන්තිය මත වැඩි දුර ප්‍රහාරයක් සදහා වෙලාව එන තෙක් හා එය සූදානම් කිරීමට ය.

ග්‍රීසියේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය මුහුන දෙන ප්‍රධාන අභියෝගය වන්නේ, තමන් ඉදිරියේ විවෘත වන දේශපාලන අරගලයේ සම්පූර්න පරිමාව ග්‍රහනය කර ගැනීම යි. සිරිසා ආන්ඩුව තුල කම්කරුවෝ අධිෂ්ඨාන සහගත හතුරෙකුට මුහුන දෙති. යුරෝපීය “හවුල්කරුවන්” සමග සාකච්ඡාවල ඉක්මන් පසුබැසීම වැලක්වීමට, සූදානම් කරමින් පවතින සිරිසාවේ ම තෙසාලොනිකි නම් වැඩසටහන පවා, නව සමාජ වියදම් සඳහා පොරොන්දු වන්නේ යුරෝ බිලියන 2ක් පමනී. යුරෝපා සංගමය 2009 සිට ග්‍රීක අයවැය තුල යුරෝ බිලියන 60ට වඩා සමාජ වියදම් කප්පාදු කර ඇත.

මැතිවරනයට සූදානම්වීමේ දී සිරිසා නිලධාරීන්, තිරයට පිටුපස සිට වැඩ කලේ, මැතිවරන ජයග්‍රහනය බැංකුවලට තර්ජනයක් එල්ල නො කරන බව මාධ්‍යවේදීන්, ආර්ථික විද්‍යාඥයින් හා දේශපාලකයන්ට යලි සහතික කිරීමට ය. යූර්ඇක්ටිව් නම් යුරෝපා පුවත්පත මෙසේ සඳහන් කලේ ය: “පක්ෂ නිලධාරීන් රහසේ කියන පරිදි, සිරිසාවේ නැගීමට ප්‍රධාන වන්නේ, 2012දී යුරෝපය තුල ඉතා භයානක මිනිසුන් අතරට සිප්‍රාස් නම් කිරීමට ඩර් ස්පීගල් පත්‍රය පෙලඹ වූ රැඩිකල් වාම කයිවාරු මධ්‍යස්ථ කිරීමට ගනන් බැලෙන උත්සාහය යි.”

හිටපු සිරිසා නායක අලෙකෝස් අලවනෝස් දින දෙකකට පෙර ලන්ඩනයේ ෆිනෑන්ෂල් ටම්යිස් පත්‍රය සමග සම්මුඛ සාකච්ඡාවක දී අවධාරනය කලේ, පක්ෂය බැංකුවලට තර්ජනයක් එල්ල නො කරනු ඇති බව යි. පක්ෂයේ වාගාලාප එහි අභිප්‍රායන්ට ගැලපේ දැ යි ඇසූ විට, හිටපු නායක අලෙකෝස් අලවනෝස්, සිරිසා “දැන් මධ්‍යස්ථ පක්ෂයක්” බව සඳහන් කල බව ටයිම්ස් පත්‍රය සඳහන් කලේ ය.

සිරිසා දීර්ගකාලීන ලෙස ඉසුරුමත් හා සුපිරි පොහොසතුන්ගේ කොටස් ආයෝජනයන්ට හානියක් නො කරනු ඇත යි ආර්ථික විද්‍යාඥ ජීන්-මාක් ඩැනියල් ප්‍රන්සයේ මිනිත්තු විස්ස (20 මිනිට්ස්) නම් නොමිලේ බෙදා හරින දිනපතා පත්‍රයට නැවත සහතික කලේ ය.“සාමාන්‍යයෙන් කොටස් වෙලඳපොල 'වාම' ආන්ඩුවල ආරම්භයට කැමති නැති නමුත් ඔවුන්ගේ වැඩසටහන අතහැර දැමීමත් සමග එය වේගවත් වෙයි. ඇලෙක්සිස් සිප්‍රාස් සම්බන්ධයෙන් වඩාත් සිත් කාවදින දෙය නම්, ඔහු මේ වන විටත් ඔහුගේ වැඩසටහන බාල කරමින් සිටිති යි” යන්න යි.

සිරිසා ඔවුන්ට තර්ජනයක් නො වේ යයි මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝජතයින් එතරම් විවෘතව හා එවැනි විශ්වාසයකින් යුතුව ප්‍රකාශ කරන්නේ නම්, ඒ බැංකු හා ඔත්තු සේවා ඒජන්සි විසින් දැඩි ලෙස සිරිසා සෝදිසි කෙරෙමින් පැවතුනු නිසා ය. 2012දී ග්‍රීසිය තුල සිරිසා ප්‍රධාන මැතිවරන බලවේගයක් ලෙස මතුවීමේ තැන් සිට සිප්‍රාස්, ප්‍රසිද්ධියේ ග්‍රීක හමුදාව හමු වී ඇති අතර, බරක් ඔබාමාගේ ආර්ථික ප්‍රතිපත්ති උතුම් කොට සලකන බව ඔහු විසින් ම ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු නැවත නැවතත් යුරෝ කලාපයේ ප්‍රධාන නගරවලට හා වොෂින්ටනයට සංචාරය කලේ ය.

ග්‍රීසියේ කම්කරු පන්තිය මුහුන දී සිටින අර්බුදයට සිරිසා ධනේශ්වර ගැති හා ජාතිකවාදී වැඩසටහන් රාමුව තුල විසඳුමක් සොයා ගත නො හැක. අවශ්‍ය වන්නේ ජාත්‍යන්තරවාදී හා සමාජවාදී ඉදිරිදර්ශනය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම යි.

Share this article: