ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරන ප්‍රතිපලය හා එහි ජාත්‍යන්තර ඇඟවුම්

The outcome of the Sri Lankan election and its international implications

2015 ජනවාරි 12

මහින්ද රාජපක්ෂ පරාජයට පත් කරමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරනය ජය ගැනීම, දකුනු ආසියාවේ ද ලොව පුරා ද කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය.

පලමුව එය පෙන්නුම් කරන්නේ, චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා මිලිටරි ගැටුමකට ආසියාවේ සෑම රටක්ම ඇදගන්නා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අනවරත යුද ධාවනය හා යුද සූදානමයි. දෙවැනුව එය සලකුනු කරන්නේ, “ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතීන්” පිලිබඳ ප්‍රෝඩාකාරී සටන්පාඨය යටතේ, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ න්‍යායපත්‍රයට සෘජුවම දායක වෙමින් ව්‍යාජ වාම ප්‍රවනතා ඉටුකරන දේශපාලන භූමිකාවයි.

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) හා තවත් දේශපාලන පක්ෂවල සහාය ඇතිව සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ තැන් පටන් දිගහැරී ඇත්තේ, ඇමරිකාව අනුග්‍රහය දැක්වූ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමයි. එය මෙහෙයවන ලද්දේ, ක්ලින්ටන් පදනම හරහා ඇමරිකානු විදේශ ප්‍රතිපත්ති ආයතන හා ඔබාමා පාලනය සමඟ සමීප බැඳීම් ඇතිකරගෙන සිටින හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසිනි.

වොෂින්ටනය දැකගන්නා පරිදි රාජපක්ෂ සිදුකල අපරාධය, එල්ටීටීඊයට එරෙහි සිවිල් යුද්ධය අවධියේ දෙමල වැසියන් තොග පිටින් මරා දැමීම නොව, ඔහුගේ ආන්ඩුව චීනය සමඟ ගොඩනඟාගෙන ඇති සමීප සම්බන්ධකම්ය.

ඇමරිකාවේ හා ඉන්දියාවේ විරෝධය නොතකා ඔහු, චීන සබ්මැරීන හා යුද නැව් වලට මෙරට වරායන් වෙත පිවිසීමේ ඉඩ ලබාදීම මඟින් ඉන්දියානු සාගරයේ චීන නාවික කටයුතු වලට ඉඩ සැලසීය.

තිරයට පිටුපසින් ක්‍රියාත්මකවූ රාජපක්ෂ ඉවත් කිරීමේ ඇමරිකානු මෙහෙයුම්, ඡන්දය පැවැත්වූ දිනය තුල එලිමහනට පැමිනියේය. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රාජපක්ෂ අමතා ඡන්දය “නිදහස්, ප්‍රචන්ඬත්වයෙන් හා බියගැන්වීමෙන් තොරව” පැවැත්විය යුතු බව හා ඔහු පරාජය වුවහොත් “සාමකාමී ලෙස බලය පැවරීමට වග බලාගතයුතු” බව කියා සිටියේය. මෙරට රාජ්‍ය සංස්ථාපිතයට හා මිලිටරියට මෙම පනිවිඩය පැහැදිලිය. සිරිසේනගේ ජයග්‍රහනය වැලැක්වීමට දරන ඕනෑම උත්සාහයක් අධිරාජ්‍යවාදී මැදිහත්වීමක තර්ජනය එල්ල කරන බව ඒ පනිවිඩයයි.

සාර්ථක ලෙස පාලන තන්ත්‍රය වෙනස් කිරීම ගැන ශුභපැතුම් සහිත ප්‍රකාශයක් ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් 09දා නිකුත් කලේය. “ශ්‍රී ලාංකිකයින්ට සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍යය උදාකිරීම සඳහා සිරිසේන සමඟ එක්ව කටයුතු කිරීමට එක්සත් ජනපදය බලාපොරොත්තු වන බව” ඔහු අවධාරනය කලේය.

සිරිසේන බලයට පත්වීමෙන් මෙරට කම්කරු හා පීඩිත ජනතාවට කිසිදාක නොලැබෙනු ඇත්තේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා සෞභාග්‍යයයි. චීනයට එරෙහි ඇමරිකානු කුමන්ත්‍රනයේ තවත් තෝතැන්නක් බවට මෙරට පත්වනු ඇත. නරක අතට හැරෙන ගෝලීය ආර්ථික පසුබෑමේ කොන්දේසි හමුවේ රට, රාජපක්ෂ විසින් පුලුල් කරන ලද, සිවිල් යුද්ධයේ 26 වසරක කාලය තුල පනවන ලද මර්දනකාරී නීති පවත්වාගෙන යනු ඇති අතර ජනතාවගේ ජීවන තත්වයන්ට තව තවත් පහර ගැසීම සඳහා යොදාගනු ඇත.

ජනාධිපති ලෙස දිව්රුම් දීමේදී සිරිසේන, වොෂින්ටනය සමඟ පෙල ගැසීමේ සිය සූදානම ඇඟවුම් කලේය. “ලෝකයේ සෑම රටක් සමඟම මිත්‍රශීලී සම්බන්ධතා ගොඩනැඟීමට යොමුවන පරිදි විදෙස් පිලිවෙත වෙනස්කිරීමට” ඔහු දිව්රුම් දුන්නේය. ඇමරිකාවේ හැරීමෙහි සන්දර්භය තුල මෙහි අර්ථය, බීජිනයෙන් ඉවතට, වොෂින්ටනය හා කලාපය තුල එහි සහචරයින් වන ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව වෙත හැරීමය.

ආසියාව තුල හා ජාත්‍යන්තර වශයෙන් සිදුකල එවැනිම මෙහෙයුම් වලින් පසුව ඇමරිකාවේ මෙම මැදිහත්වීම සිදුව තිබේ. 2010 වසරේදී වොෂින්ටනය, චීනය සමඟ ගැටුම්කාරී නොවන ලිහිල් පිලිවෙතක් අනුගමනය කිරීමේ හේතුව මත ජපාන අගමැති යුකියෝ හටයාමා හා ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ් ඉවත් කිරීමේදී ක්‍රියාකලාපයක් ඉටුකර තිබේ. ඒ දෙරටම දැන් ඇමරිකාව මූලිකත්වය ගෙන ඇති යුද සූදානමේ ඉදිරියෙන්ම සිටී. චීන ආයෝජන අත්හිටුවීමටත්, චීනය සමඟ මිලිටරි බැඳීම් ලිහිල් කිරීමටත් තුඩු දුන්, තර්ජන හා මූල්‍ය උත්තේජක ලබාදීම හරහා ඇමරිකාව, බුරුමයේ මිලිටරි ජුන්ටාව තමන් සමඟ පෙලගස්වාගෙන තිබේ.

පසුගිය පෙබරවාරියේදී ජර්මනියේ ද සහාය ඇතිව එක්සත් ජනපදය, අධිරාජ්‍ය ගැති රූකඩ ආන්ඩුවක් ඇටවීම සඳහා යුක්‍රේනය තුල ෆැසිස්ට්වාදීන් මෙහෙයවූ කුමන්ත්‍රනයක් උසිගැන්වීය. කුමන්ත්‍රනයේ ඉලක්කය වූයේ, මොස්කෝව තුල තමන්ට ගැති තන්ත්‍රයක් සකසා ගැනීම අවසන් අරමුන කරගත් රුසියාව සමඟ ගැටුමක් ඇවිලවීමය. පැහැදිලිවම චීනයේ විභවාත්මක මිලිටරි අනුචරයා වන රුසියාව දනගැස්වීමේ මෙහෙයුම, හැරීමේ නොවෙන්කල හැකි කොටසකි. ආසියාව තුල ඇමරිකානු ආධිපත්‍යයට අභියෝගයක් ද ගෝලීය ආධිපත්‍යය සඳහා වන වොෂින්ටනයේ අභිලාෂයට වල කැපීමක් ද විය හැකි වන පරිදි චීන සන්ධානයන් හා භූදේශපාලනික අනුහස පැතිරවීමේ හැකියාවට පවා ඉඩ හැරීමට ඇමරිකාව සූදානම් නැත.

සියලු පෙරමුනු වලදී තමන් වැටලීමකට හසුව ඇති බවට චීන ආන්ඩුවේ හා මිලිටරියේ තක්සේරුව මෙරට ජනාධිපතිවරනයේ ප්‍රතිපල මඟින් වඩාත් සංකීර්න කරයි. එසේම, සුලු සිදුවීමක් පවා පූර්න පරිමානයේ යුද්ධයක් ඇවිලීමේ අන්තරාය ද තීව්ර කරයි.

ඇමරිකාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමට, ව්‍යාජ වාම නව සමසමාජ පක්ෂය (නසසප) එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ද දේශපාලනිකව වගකිව යුතුය. ජාත්‍යන්තර ව්‍යාජ වම්මු, යුක්‍රේනයේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනය “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්” ලෙස පින්තාරු කලාක් මෙන් මෙරට තුල ද රාජපක්ෂගේ “ආඥාදායකත්වයට” එරෙහි “ප්‍රජාතන්ත්‍රවාදයේ” අපේක්ෂකයා ලෙස සිරිසේන හුවා දැක්වූහ.

පක්ෂ තුනම තමන්ගේ අපේක්ෂකයින් ජනාධිපතිවරනයට ඉදිරිපත්කොට තිබුන ද සිරිසේනගේ ඇමරිකානු ගැති න්‍යායපත්‍රය ගැන කට පියාගෙන සිටිමින් ඔහුගේ දේශපාලන ඉතිහාසය ගැන ඉදිරිපත් කලේ ලිහිල් විවේචන පමනි. රාජපක්ෂට නොඅඩු පරිදි සිරිසේන ද සිවිල් යුද්ධය අවධියේ සිදු කල අපරාධ පිලිබඳව මෙන්ම වැඩකරන ජනතාවගේ සමාජ තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කල කුරිරු ප්‍රහාරයන්ට වගකිව යුතුය. දෙමල හා මුස්ලිම් සුලුතරය මුහුනපෑ හිංසනය වෙනුවෙන් ජනාධිපති සිරිසේන යටතේ සහන සැලසෙනු ඇතැයි යන මිත්‍යාව වැපිරවීමට, දෙමල හා මුස්ලිම් ධනපතියන් සමඟ ව්‍යාජ වම්මු ද එක්වූහ. වෘත්තීය සමිති සමඟ එක්ව ඔවුහු කම්කරු පන්තියේ හා ගම්බද පීඩිත ජනතාවගේ ජීවන තත්වයන් නඟාසිටුවීමට පියවර ගනු ඇතැයි යන මුසාවාදය තොරොම්බල් කලහ. වැඩකරන ජනතාව, තරුනයින් හා පීඩිත ජනතාව අතර රාජපක්ෂ ආන්ඩුව කෙරේ පුලුල්ව පැතිර පැවති කෝපය, සිරිසේන හා ඔහුට පිටුබලය දෙන දක්ෂිනාංශික, අධිරාජ්‍ය ගැති පක්ෂ පිටුපස පෙලගැස්වීමට මෙම සුලු ධනපති බලවේගයෝ උදව් කලහ.

මෙරට “විජිතයක්” බවට පත්කිරීමට වෑයම් කරන “අධිරාජ්‍යවාදී බලවතෙක්” ලෙස චීනය ගුනාංඟීකරනය තුල ව්‍යාජ වම්මු, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ කොතෙක් දුරට පෙලගැසීමට සූදනම්ව සිටී ද යන්න පෙන්නුම් කලහ. යථාර්තය කනපිට හරවමින් ඔවුහු, ජාත්‍යන්තර ප්‍රාග්ධනය සඳහා ලාභ ශ්‍රම වේදිකාවක් හා ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන චීනය, ඇමරිකාව සමඟ සමාන කරති. ඒ අනුව ඔවුන් චීන “ව්‍යාප්තවාදය හා ආක්‍රමනකාරීත්වය” හෙලාදකිමින් ඇමරිකාවේ න්‍යායපත්‍රය සමඟ පෙලගැසෙයි.

ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වෙමින් සිය අපේක්ෂකයා ලෙස පානි විජේසිරිවර්ධන ඉදිරිපත්කල සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන උද්ඝෝෂනයෙහි වැදගත්කම පවතින්නේ මෙහිය. ජීවන තත්වයන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව ගෙන යන සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහිව සටන් වදින ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කලේ හා යුද්ධයේ වැඩෙන අන්තරාය පිලිබඳව කම්කරු පන්තිය හා පීඩිත ජනතාව අවදි කිරීමට පෙරමුන ගත්තේ සසප පමනි. සිරිසේන හා රාජපක්ෂ යන දෙදෙනාගේ කඳවුරෙන් ද ව්‍යාජ වාම ප්‍රවනතාවන්ගෙන් ද වශයෙන් ධනේශ්වරයේ සියලු කොටස් වලින් කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීන කර ගැනීම සඳහා පක්ෂය සටන් වැදුනි.

එලඹෙන කාලපරිච්ඡේදයේ තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, ආසියාව හා ලෝකය පුරා සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැඟීම හා කම්කරු පන්තිය තුල සමාජවාදී ජාත්‍යන්තරවාදය පිලිබඳ සවිඥානකත්වය වර්ධනය කිරීමයි. ධනවාදය හා එය මුල්බැස තිබෙන ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප්‍රතිවිරෝධතා තුලින් මතුව එන යුද්ධය හා අධිරාජ්‍යවාදී ප්‍රචන්ඬත්වය අවසන්කර දමන බලගතු ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීමේ එකම පදනම එයයි.

දීපාල් ජයසේකර

Share this article: