2014-2015 : ප‍්‍රතිඵල සහ ඉදිරි දර්ශන

2014-2015: Results and prospects

2015 ජනවාරි 5

විසි එක් වන ශතවර්ෂය තවදුරටත් නවමු එකක් නොවේ. නව වසරට අප පිවිසෙන්නේ, 2015 දී ද ඉන් ඉක්බිතිව එන අවුරුදු වල ද සිදුවන්නට යන සිද්ධීන් ගේ ස්වභාවය සහ දිශාව නීර්නය කරන ප‍්‍රමුඛ ආර්ථික, භූ-දේශපාලන සහ සමාජ සන්තතීන් සහ ප‍්‍රවනතා අනන්‍ය කර ගැනීමට සෑහෙන දත්ත ගතවූ පහලොස් වසර විසින් සම්පාදනය කර ඇති තත්වයක් තුලය.

ප‍්‍රථමයෙන් ම කිව යුත්තක් නම්, මානව කාර්ය සාධනයේ අද්විතීය මුදුන් මල්කඩ ධනවාදය සහ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් නියෝජනය කරනු ලබන්නේ යයි කියමින්, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු “ඉතිහාසයේ අවසානය” එලඹ ඇතැයි නිවේදනය කල ධනේශ්වර විජයග‍්‍රහනවාදීන් 21 වන සියවසේ වසර 15ක කාල පරාසය තුල, මුලුමනින් ම ඛන්ඩනය කොට නිශ්ප‍්‍රභා කරනු ලැබ ඇති බව ය. 2014 අවසානය වනවිට, වත්මන් ආර්ථික සහ දේශපාලන ව්‍යුහයන් ප‍්‍රගාමීව උත්සන්න වන්නාවූ වේගයකින් අගාධයට ඇද වැටෙමින් පවත්නා බව පැහැදිලි වෙමින් තිබේ.

පලමුවන ලෝක යුද්ධයේ ශත සංවත්සරය වූ පසු ගිය වර්ෂය තුල ධනේශ්වර පර්යායේ ප‍්‍රතිඝතිතා උග‍්‍ර ස්වභාවයක් ගත්තේය. ප‍්‍රධාන භූ-දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුද පුපුරායාම අතරතුර පැවති “සාමකාමී” විරාම කොතරම් කෙටි වුයේදයත්, ඒවා විරාමයන් යයි කිව නොහැකි තරම් ය. අනෙක් අතට අර්බුද පැන නගින්නේ හුදෙකලා “සිද්ධීන්” ලෙස නොවේ. වර්තමාන යථාර්ථයේ අඩු හෝ වැඩි ස්ථිර ලක්ෂනයන් ලෙස ය. 2014 සංලක්ෂනය කල රටාව වනාහි, ගෝලීය ධනේශ්වර අසමතුලිත භාවය කොතරම් මුහුකුරා ගොස් තිබේ දැයි පෙන්නුම් කරන සාරභූත දර්ශකයකි. එය 2015 වසර තුල ඊටත් වැඩි තීව‍්‍රත්වයකින් ඇදී යනු ඇත.

දැන් අපි වත්මන් අර්බුදයේ ප‍්‍රධාන අංග සමාලෝචනය කර බලමු.

1. 2008 දී වෝල් වීදියේ බිඳවැටීම විසින් මුලපුරන ලද ගෝලීය ආර්ථික අර්බුදය දිගින් දිගටම පවතී. ආර්ථික සුවවීමක් සලකුනු කරනවා තබා, දිගින් දිගටම ලෝක කොටස් වෙලඳ පලවල් තුල අන් කුමන රටකටත් වඩා ඇමරිකාව තුල, වියරුලෙසින් උග‍්‍ර වන කොටස් මිල ඉහල යාම තහවුරු කරන්නේ, ප‍්‍රධාන වශයෙන් ම ආර්ථික පරපෝෂනයේ විජයග‍්‍රහනය යි. සංගත සහ මූල්‍ය ප‍්‍රභූව විසින් පුද්ගලික ධන සම්භාරයක් නිර්දය ලෙස පොදිගසා ගැනීම, නිෂ්පාදන ක‍්‍රියාවලියේදී වටිනාකම් නිර්මානය කිරීම, පෙර නුවූ විරූමට්ටමකින් ඓතිහාසිකව වියෝ කරනු ලැබ තිබේ. ඇමරිකානු ෆෙඩර්ල් රිසර්ව් මහ බැංකුව එලිපිටම දිගින් දිගටම මුදාහරින මූල්‍ය ද්‍රවශීලතා ප‍්‍රවාහයට වෝල් වීදිය ඇබ්බැහි වී සිටී.

වෙලඳපොලේ කොටස් මිල ඉහල නගිමින් පවතී; එහෙත් “සැබෑ” ආර්ථීකය පවතින්නේ එකතැන පල්වෙමිනි. Current History (වත්මන් ඉතිහාසය) යන නමින් පලවන සඟරාවේ 2015 ජනවාරි කලාපයේ බැරී අයිකන්ග‍්‍රීන් නම් සුප‍්‍රකට ආර්ථශාස්ත‍්‍රඥයා මෙසේ ලිවී ය: “නවවසර ලෝක ආර්ථිකයේ අපේක්ෂා බිඳින තවත් වර්ෂයක් බවට පත්වීමට සැරසෙමින් සිටී.” ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ක‍්‍රිස්ටිනා ලැගාඩි රක්තහීනතාවෙන් පෙලෙන ගෝලීය ආර්ථිකයේ වර්ධන වේගය “නව සාමාන්‍යය” ලෙස හඳුන්වන බව ඔහු චෝදනා මුඛයෙන් සඳහන් කරන අතර ගෝලීය ආර්ථිකය පිලිබඳ මෙම අර්ථකථනය ඕනෑවට වඩා ශූභවාදී වන බවට අනතුරු අඟවයි. ගෝලීය ආර්ථිකය තුල වේගවත් වර්ධනයක් අත්විඳින ජාතික හෝ කලාපීය ක්ෂේත‍්‍රයක් ඇත්තේ නැත.

2014 ආර්ථික වර්ධනය නොතැකිය හැකි තරම් සුලු ය. එහි ලොකුම ආර්ථිකය වන ජර්මනිය නිල අවපාතයකින් ගැලවී ඇත්තේ යාන්තමිනි. ආසියාවේ දී ජපානය ගිය වසරේ තුන්වන කාර්තුවේ දී අවපාතයකට ඇද වැටුනි. චීන ආර්ථිකය සාරාර්ථයෙන්ම සැරබාල වෙමින් පවතී.

ඇමරිකා එක්සත් ජනපදයේ, ඔබමා පාලනාධිකාරය තප්පු ගසා කියාපෑ “සුව පත් වීම” ජනකායෙන් අති මහත් බහුතරයකට ඇත්තේම නැත. ඔවුහු වැටුප් කප්පාදුව ට ද නොනැවත උග‍්‍රවන මහා විරැකියාවට ද හසුව සිටිති. පොලී අනුපාතිකය බින්දුවට බැස්සුව ද අර්ථවත් වර්ධනයක් දල්වාලීමට එය සමත්ව නැත. ලතින් ඇමෙරිකාවේ ද අනෙකුත් “වර්ධනය වෙමින්” පවත්නේ යයි කියනු ලබන රට වලද ආර්ථිකයෝ අස්ථාවර මූල්‍ය සහ ප‍්‍රාග්ධන වෙලඳපොලවලට බෙහෙවින්ම ගොදුරුව පවතිති.

2014 අගදී සිදු වූ තෙල් මිල තියුනු ලෙස පහත වැටීම යම් දුරකට රුසියාවට වල කැපීමට එක්සත් ජනපදය සහ එහි මිතුරන් දැන දැනම ගන්නා උත්සාහයේ විපාකයක් බව සත්‍ය ය: එසේ වෙතත්, ලෝකය පුරාම භාන්ඩ ඉල්ලුම වැටීම සහ හීන වන වර්ධන අනුපාත සමග බැඳුනු අවධමනකාරී පීඩනයන් ගේ සංරචකයක් ද වේ. අයිකන්ග‍්‍රීන් සලකුනු කරන කරුනක් නම් ගෝලීය ධනවාදය දිගුකාලීන “ප‍්‍රගතිහීනතාවේ” ගැලී පවත්නා බවයි. ඔහුට අනුව: “එය පිලිබිඹු කරන්නේ තාවකාලික ප‍්‍රශ්නයන් නොව ලෝකයේ විශාලතම ආර්ථිකයන් ගනනාවක, ගැඹුරුට මුල් බැසගත් ව්‍යුහාත්මක සාධකයන් ගනනාවක් හේතු කොට ගෙන පැන නැග ඇත්තාවූ ස්ථිර පසුබෑමකි.”

2. එක අතකට ධනේශ්වර මූල්‍යයේ, නිෂ්පාදනයේ සහ වෙලඳපලවල ගෝලීය ස්වාභාවය ද අනෙක් අතට ධනේශ්වර ක‍්‍රමය ඓතිහාසික වශයෙන් හා දේශපාලනිකව මුල් බැස පවත්නා ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර ප‍්‍රතිඝතිතාවය පදනම් කරගත්තාවු ආතතීන් ආර්ථික අර්බුදයේ දිග්ගැසීම මගින් උග‍්‍ර කරනු ලැබ තිබේ. 1914 සහ 1939 දී මෙන්, අධිරාජ්‍ය බලවතුන් ආර්ථික අර්බුදයෙන් එලියට මගක් සොයන්නේ, තම තරගකරුවන්ගේ වියදමෙන් ලෝක කරලිය තුල “ස්ව ජාතියේ” තත්වය ශක්තිමත් කරගැනීමට යත්න දැරීම මගිනි. මෙම මුර්ග සහ භයානක ක‍්‍රියාවලිය තුල ප‍්‍රධාන භූමිකාව ඉටු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ගතවූ දශක එකහමාරකට වැඩි කාලයක් තුල නොනැවත කරගෙන යන “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” ඉලක්කය නම් ඇමරිකා එක්සත් ජනපදය විභව ප‍්‍රතිමල්ලයන් පරයා ගෝලීය සක්විත්තා ලෙස සිය තත්වය පවත්වාගෙන යාමය.

ඇමරිකා එක්සත් ජනපදයේ ගෝලීය මෙහෙයුම් අත්පත්කරගෙන ඇති මෘග ස්වභාවය නාසි ජර්මනියේ ව්‍යාපෘති වලට සමාන බවක් දරා සිටී. එහෙත් ඒ අතර වැදගත් වෙනසක් ද පවතියි. එනම්, නාසි ජර්මනිය යුරෝපය “පමනක්” පාලනය කිරීමේ එල්ලය ප‍්‍රකාශයට පත් කල අතර ඇමරිකානු පාලක පන්තිය අරමුනු කරගෙන සිටින්නේ ලෝකය පාලනය කිරීම ය. 2014 තුල දී, ඔබාමා පාලනාධිකාරය, නොනැවත, යෙදී සිටියේ භූ ගෝලය පුරා සැම තැනක ම යුද්ධ කරමිනි: නැත හොත් යුද්ධ කිරීමට සැරසෙමිනි. එක්සත් ජනපද ආන්ඩුවේ සියලු තීන්දු ගනු ලබන, පෙන්ටගනයේ ද වර්ජිනියා ප‍්‍රාන්තයේ ලැන්ග්ලිහි සීඅයිඒ මධ්‍යස්ථානයේ ද තහවුරුව ඇති මතය නම් ආසියාවේ ද ආසියා-පැසිෆික් ප‍්‍රදේශයේ ද එහෙයින් ලෝක පරිමානව ද ඇමරිකානු ආධිපාත්‍යය ට දැරිය නොහැකි බාධාව නම් චීනය බවයි.

2014 දී යුක්රේනය පිලිබඳව රුසියාව සමග පුපුරා ගිය ඝට්ටනය මෙම ගෝලීය අරගලයේ එක සටන් බිමක් පමනි. යුරේසියානු භූ ස්කන්ධය සිය පාලනයට නතු කර නොගෙන ආසියාවේ දී චීනය සමග දෙකින් එක බේරාගත නොහැකි යයි ඇමරිකානු පාලක ප‍්‍රභූව වටහාගෙන සිටි. යුක්රේනයේ කියෙව්හි ඇමරිකන් ගැති රූකඩ පාලනය ඇටවීම එල්ල කරනු ලැබුවේ රුසියාව භූ-දේශපාලනිකව තීරනාත්මක ලෙස පසුබස්වා, පුටින් පාලනයට හෝ එහි අනුප‍්‍රප්තිකයට ඇමරිකානු ආධිපාත්‍යය පිලිගැනීමට බලකිරීම ය.

එහෙත්, ලෝක අධිරාජ්‍යවාදී දේශපාලන කරලියේ එකම ක‍්‍රියාකාරිකයා එක්සත් ජනපදය නො වේ. අභ්‍යන්තර අර්බුදයකින් ඉරිතලාගොස් තිබෙන බි‍්‍රතාන්‍යය, ඇමරිකාව සමග පවත්වා ගෙන යන “විශේෂ සම්බන්ධතාවය” මගින් අඩුගනනේ සිය පැරනි අධිරාජ්‍යවාදී මහිමයෙන් යම් පංගුවක් හෝ යලි ලබා ගැනීමට මාන බලයි. මෙයට දසකයකට පෙර එක්සත් ජනපදය ඉරාකය ආක‍්‍රමනය කල අවස්ථාවේ දී එහි සුවිශේෂ කඨෝර විවේචකයෙකු ලෙස මතුවූ ප‍්‍රන්සය දැන් වොෂින්ටනයේ දැඩි මිතුරා බවට පරිවර්තනය වී සිටියි. අන්‍යොන්‍ය සහයෝගය හුවමරු කරගැනීමේ පදනමක් මත ප‍්‍රන්සය, බටහිර හා මධ්‍යම අප‍්‍රිකාවේ සිය කොල්ලය සඳහා ඇමරිකානු ආධාර ලබාගැනීමට උත්සාහ කරයි. නැටෝ සංවිධානයේ සෑම සාමාජිකයෙක්ම වැඩ කරන්නේ, කුසගින්නෙන් පෙලෙන වෘක රැලක් මෙන් ඒ හෝ මේ ගොදුර මතට පැනීමටය. යුරෝපයෙන් සැතපුම් දහස්ගානක් දුර බැහැර සිටින ඔස්ටේ‍්‍රලියානු පාලක පන්තිය ද වොෂින්ටනයේ “අසියාව වෙත හැරීමට” උනන්දුවෙන් සහය දෙයි.

ජර්මනිය සහ ජපානය සම්බන්ධයෙන් ගත් කල, 2014 දී සුවිශේෂ වැදගත්කමක් දරන්නාවූ සිද්ධියක් වුයේ තම අධිරාජ්‍යවාදී විජිගීශාවන් අමු අමුවේම යලි මතුව ඒමයි. මේ දෙගොල්ලම හමුදාවන් පුලුල් කරගැනීමටත් ලෝකය පුරා යෙදවීමටත් වැඩසටහන් සකස් කරමින් සිටිති. රුසියාවට සහ චීනයට එරෙහිව එක්සත් ජනපදය සමග මේ දෙරටම පෙලගැසී සිටින නමුත්, බොහෝදුරට සිදුවිය හැක්කක් නම් - ඇත්ත වශයෙන්ම සිදුවීමට හොඳටම ඉඩ තිබෙන දෙයක් නම් - තම අධිරාජ්‍යවාදී න්‍යාය පත‍්‍රයන් පිලිවෙලක් වීමත් සමග බර්ලිනයේ සහ ටෝකියෝවේ ප‍්‍රතිපත්ති හා තීන්දු සම්පාදකයින් වොෂින්ටනය සමග ඝට්ටනයකට පැමින සිටින බව දැකගනු ඇත.

කෝටි ගනන් ජීවිත වනසා දැමූ අන්තර් අධිරාජ්‍ය ඝට්ටනයේ, එනම් දෙවන ලෝක යුද්ධ අවසානයේ 70 වන සංවත්සරය මේ වර්ෂයේදී සලකුනු කෙරෙයි. 1939 සිට 1945 දක්වා, ෆැසිස්ට්වාදී මෙන් ම “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” සියලු අධිරාජ්‍යවාදී පාලක ප‍්‍රභූන් විසින් පෙන්නුම් කරන ලද්දේ, ධනපති ක‍්‍රමයට සිදුකල හැකි මෘගත්වයේ තරමයි. එසේ ද වුවත්, යුක්රේනියානු අර්බුදය තුලදී ඔවුහු - බොහෝවිට මුලපටන්ම න්‍යෂ්ටික අවි වලින් කෙරෙනු ඇති - තුන්වන ලෝක යුද්ධයක ට ඇති ඉඩකඩ එලිපිටම සාකච්චා කලෝය.

ඒ හෝ මේ පාලක ප‍්‍රභූවගේ මූලෝපායන් පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ නිර්ධයත්වය අවතක්සේරු කිරීම මෙන්ම ඔවුන්ගේ බුද්ධිය අඩු තක්සේරු කිරීම ද වැරදිය. එහෙත් තුන්වන ලෝක යුද්ධයක අන්තරාය පැනනගින්නේ ඒ හෝ මේ ධනේශ්වර නායකයාගේ අපේක්ෂාවන්ගෙන් නොවේ. ඒ වෙනුවට ලෝක ධනේශ්වර පර්යාය තුල වාසි සහගත තැනක් හෝ මහාධිපතිත්වය ම දිනා ගැනීමට යත්නදැරීමේ දී අධිරාජ්‍යවාදී බලවතුන් ඇද වැටෙන අනිවාරනීය ඝට්ටනයේ වෛෂයික විපාක හා දේශපාලන තර්කනය තුලිනි. යුද්ධය වැලැක්විය හැකි වන්නේ ජාතික රාජ්‍ය පද්ධතිය පෙරලා දැමීමෙන් පමනි. මේ සඳහා කම්කරු පන්තිය බලය අල්ලාගෙන ජාත්‍යන්තර සමාජවාදී පර්යායක් පිහිටුවා ලීම අත්‍යවශ්‍ය වේ.

මෙය වනාහි අධිරාජවාදී ආක‍්‍රමනයට එරෙහිව පවත්නා එකම ප‍්‍රගතිශීලී පමනක් නොව එකම යථාර්ථවාදී විකල්පය ද වේ. ලෝක සමාජවාදී විප්ලවය වෙනුවට වෙනත් ප‍්‍රගතිශීලී විකල්පයක් ඇත්තේ නැත. පශ්චාත් සෝවියට් රුසියාව, “ආරක්ෂා” කර ගැනීම සඳහා සාර්වාදී පිලිකුල් සහගත මහා රුසියානු ජාත්‍යෝත්තමවාදය පනගන්වා ගැනීමට පුටින්ගේ කැස කැවීම දොර හරිනු ඇත්තේ ව්‍යසනයකටම පමනි. 1917 ඔක්තෝබර් විප්ලවය වනාහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ පෙරටු බලඇනිය ලෙස රුසියානු කම්කරු පන්තිය සාර්වාදී එකාධිපතිත්වයේ අපරාධවලට පමනක් නොව, අන් සියල්ලටමත් වඩා ලෝක අධිරාජ්‍යවාදී පර්්‍යායට ද එහි ජාතික-රාජ්‍ය පදනමට ද දුන් පිලිතුරයි.

1922 වර්ෂයේ දී සෝවියට් සමාජවාදී සමුහාන්ඩු සංගමය (යුක්රේනය ද තීරනාත්මක කොටසක් ලෙස ගනිමින්) නිර්මානය කිරීම පෙන්නුම් කලේ, ප‍්‍රතිගාමී වූ ද ඓතිහාසික වශයෙන් යල්පැන ගියා වු ද ජාතික රාජ්‍ය පද්ධතිය ඉක්මවා යාමට බෝල්ෂෙවික් පාලනය දැරුවා වූ ප‍්‍රාරම්භක ප‍්‍රයත්නයයි. ඉක්බිති සමයේදී - තනි රටක සමාජවාදයේ ජාතිකවාදී ක‍්‍රියාමාර්ගය මත - ස්ටලින්වාදය කල පාවාදීම, ඔක්තෝබර් විප්ලවයේ විජයග‍්‍රහනයන් ගේ සහ සෝවියට් සංගමය පිහිටුවීමේ ඓතිහාසික අර්ථභාරය කිසිසේත්ම අඩුකරන්නේ නැත. ධනේශ්වර රුසියාව සඳහා ධනේශ්වර යුක්රේනයක් තුල, කිසියම් ප‍්‍රමානයක දේශපාලන සහ ආර්ථික බලපෑමක් රැක ගැනීමට යොමු ව පවත්නා පුටින්ගේ ජාතිකවාදී වැඩපිලිවෙලට, සෝවියට් සංගමය පිහිටුවනු ලැබූ ක‍්‍රියාමාර්ගය සහ මුලධර්ම සමග පොදුවූ කිසිදු දෙයක් නැතුවා පමනක් නොව, එබන්දකට මුලුමනින්ම සතුරු ද වෙයි.

ධනවාදය මත පදනම්වු ජාතික රාජ්‍ය පද්ධතියක් තවමත් පැවතීගෙන යාම, - මානව වර්ගයාගේ ගෝලීය වර්ධනයේ වෛෂයික අවශ්‍යතාවන්ට එරෙහිව - ජාත්‍යන්තර යුද්ධයේ පමනක් නොව, යල්පැනගිය ජාතික රාජ්‍ය සීමා තුල ජීවත්වන ජනයා අතර රුධිර ස්නානයට ද උපත දෙයි. 1707 ඒකාබද්ධතා පනත මගින් පිහිටවනු ලැබූ මහා බි‍්‍රතාන්‍යය, එයින් වෙන්වූ ධනේශ්වර ස්කොට්ලන්තයක් පිහිටුවීමේ සාතිශය ප‍්‍රතිගාමී ජාතිකවාදී ව්‍යාපාරයක් හමුවේ, කැබලිවී යාමේ ප‍්‍රතිගාමී තර්ජනයකට ලක්ව ඇත. මෙවන් ව්‍යායාමයක් සාර්ථක වුව හොත් එහි ප‍්‍රතිඵලය විය හැක්කේ දේශසීමාවෙන් උතුරේ සහ දකුනේ කම්කරු පන්තිය දුබල කර දැමීමයි. ජාතිකවාදයේ මෘග ගම්‍යයන් පිලිබඳ තව දුර සාක්කි උවමනානම් යමෙක් බැලිය යුත්තේ ඊස්රායලයේ පරිනාමය දෙසය. ෆැසිස්ට්වදීන් උසිගැන්වූ හොලොකෝස්ටයට ප‍්‍රතිචාරයක් ලෙස යුදෙව් රාජ්‍යයේ පැවැත්ම යුක්තිසහගත කර ඇති අතර සියොන්වාදී ප‍්‍රතිගාමී ක‍්‍රියාමාර්ගයේ හා දෘෂ්ටිවාදයේ පදනම මත ගොඩනගන ලද ඊස්රායලය, තමන් විසින් පලස්තීන ජනයා සහ ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් නිර්දය ලෙස මැඬීම යුක්තිසහගත කිරීමට යොදාගෙන ඇත්තේ ද කඨෝර වර්ග වාදයකි.

3. “දිගින් දිගටම පවතින දේශපාලන ප‍්‍රතිගාමිත්වය වනාහි අධිරාජ්‍යවාදයේ ආවේනික ගති ලක්ෂනය” බව ලෙනින් 1916 දී ලියාතැබී ය. “ප‍්‍රජාතන්ත‍්‍ර - සමුහාන්ඩු හා ප‍්‍රතිගාමී ධනේශ්වර රාජන්ඩු අතර වෙනස මැකී ගොසිනි. මන්ද යත් මේ දෙකම පනපිටින් කුනු වෙමින් ඇති නිසාය.”

ඇමරිකානු පාලන තන්ත‍්‍රයේ ඉහලම ස්ථාන වල සිටින පුද්ගලයින් විසින් දේශීය හා ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම එලිදරව් කිරීම මගින් ලේඛනගතව පවත්නා වූ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයේ මුලික රීතින් බිඳවැටීම, ලෙනින් ගේ විශ්ලේෂනය සනාථ කරයි. රහසිගත වධ බන්ධන පිලිබඳ සෙනේට් මන්ත‍්‍රී මන්ඩල කමිටුවේ වාර්තාව ඔප්පු කර ඇති පරිදි, ජනාධිපති, උප ජනාධිපති, රාජ්‍ය ලේකම්, සීඅයිඒ සංවිධානයේ අධ්‍යක්ෂක ඇතුලු ප‍්‍රධාන නිලධාරීන් අපරාධ සිදුකර තිබෙන බව නිසැකය. එහෙත් මෙයට ඔබාමා පාලනාධිකාරයේ ප‍්‍රතිචාරය නම්, ඇමරිකානු වධක වැඩ පිලිවෙල සැලසුම් කල, අනුමැතිය දී ක‍්‍රියාත්මක කල කිසිවෙකුත් නීතිමය වශයෙන් වග උත්තර කීමට නො කැඳ වීමය.

එක්සත් ජනපදයේ දේශ සීමාවලින් පිටත සිදු කරනලද ප‍්‍රචන්ඩ ක‍්‍රියා, වධ බන්ධන, ඩ්‍රෝන් යානා යොදා කරන මිනීමැරුම් වැනි සාහසික ක‍්‍රියා හා රට තුල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වේගයෙන් වල පල්ලට යැවීම, එම ප‍්‍රතිගාමී ක‍්‍රියාවලියේම අන්තර් බද්ධ කොටස් ය. ඇමරිකා එක්සත් ජනපදය එන්ට එන්ටම පොලිස් රාජ්‍යයක ස්වභාවය ගනිමින් සිටී. ‘පොස්සේ කොමිටාටුස්’ (පොලිස් වැඩකටයුතු සඳහා යුද හමුදාව යෙදවීම තහනම් කරන) නම් මූලික නීතිමය සිද්ධාන්තය නින්දනීය ලෙස උල්ලංඝනය කරන එක්සත් ජනපදයේ නව මිලිටරි ධර්මයට අනුකූලව, ප‍්‍රාදේශීය පොලිස් කන්ඩායම් “සමස්ත හමුදාව (ටෝටල් ආර්මි) යන නමින් බලකායකට ඒකාබද්ධ කරමින් සිටී.

2014 දී “ත‍්‍රස්ත විරෝධී” යුද්ධයේ දී පාලක පන්තිය විසින් වර්ධනය කරනු ලැබූ මර්දන යන්ත‍්‍රය, රට තුල විරුද්ධ පක්ෂයට එරෙහිව යොදාගනු දක්නට ලැබිනි. යුද්ධායුධ වලින් සැදුම් ලත් පොලිසිය 18 වියැති මයිකල් බ‍්‍රව්න් ඝාතනය කිරීමට එරෙහිව පෙලපාලි ඇතිවූ මිසුරි ප‍්‍රාන්තයේ ෆර්ගියුසන් නගරය තත්‍ය වශයෙන්ම යුද නීතියට යටත් කර තිබේ.

ඒකාධිපතිත්වය දෙසට වන මෙම ප‍්‍රවනතාවය හැම රටක් තුලම දක්නට ලැබේ. අභ්‍යන්තර සමාජ ආතතීන්ට ප‍්‍රතිචාරයක් ලෙස පාලක පන්තිය මර්දන යන්ත‍්‍රය සවිමත් කරමින් සිටී. 2014 දී මුල්‍ය ආයෝජකයින්ට වඩාත් ආකර්ෂනීය රටවල් වලින් එකක් බවට ඊජිප්තුව පත්ව ඇති බව අතිශයින්ම අර්ථ භාරි වේ. එහි මෘග මිලිටරි පාලන තන්ත‍්‍රය, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පාගා, සකල විපාර්ශ්වයටම එරෙහි මහා ඝාතනයන්හි යෙදී සිටියේය. තමන්ගේ ධනය සහ ආසක්තයන් පරදුවට තැබී ඇති ලොව පුරා හැම තැනකම පාලක පන්තිය එවන් උපායයන් යොදාගත යුතු බව වටහාගෙන සිටිති.

4. ප්‍රජාතන්ත්‍රවාදයේ වහන්තරාව ගැලවී වැටීම, අති මූලිකව හා නිමක් නැති, පුපුරන සුලු සමාජ අසමානතාවයේ ප්‍රකාශනයකි. 2008 පටන් ම පාලක පන්තියේ ඒකායන පිලිවෙත වි ඇත්තේ, කොටස් වෙලඳපොල තුලට ඩොලර් ට්‍රිලියන ගනන් පොම්ප කරන ගමන්, වැඩකරන ජනතාවගේ රැකියා සහ ජීවන තත්වයන්ට නිර්දය ලෙස පහරදීමය.

මෙම පිලිවෙත් වල ඍජු විපාකය වුයේ, 2014 ලෝකයේ පොහොසත්ම පුද්ගලයන් 400 දෙනා ගේ ඒකාබද්ධ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 92 කින්, ටි‍්‍රලියන 4.1 දක්වා වැඩිකර ගැනීමය. ලෝකයේ බිලියන පතියන් මුලු ගනන වසරක් තුල සියයට 7 කින් වැඩිවී, 2,325 ක් දක්වා ඉහල නැග්ගේ ය. ලෝක ජනගහනයෙන් ඉතා සුලු කොටසක් වන මෙම කන්ඩායමේ ශුද්ධ වටිනාකම ඩොලර් ටි‍්‍රලියන 7.3 දක්වා සියයට 12න් ඉහල නැගුනි.

පොහොසත්ම ඇමරිකානුවන් 400 දෙනාගේ ශුද්ධ වටිනාකම 2014 වර්ෂයේ දී ටි‍්‍රලියන 2.29ක් දක්වා ඉහල නැගුනි. ඒ වනාහි 2009 පැවති මට්ටමට වඩා දෙගුනයකි. 2010 වර්ෂයේදී එක්සත් ජනපදයේ මධ්‍ය ගෘහ ආදායම සියයට 5කින් වැටුනි. මෙම ප‍්‍රවනතා ලෝකයේ සෑම රටකම දක්නට ලැබේ. පසුගිය වසරේ සිය ආදායම ඉහලින්ම වැඩි කරගත් බිලියන පතියන් තිදෙනාගෙන් දෙදෙනෙක් ඉන්නේ චීනයේ ය. ලෝක ජනගහනයෙන් පොහොසත්ම සියයට එකෙහි සමස්ත ගෝලීය ධනය 2014 දී සියයට 48.2 කින් ඉහල නැගුනි. මෙය 2013 ඔවුන් වැඩි කරගත් ප‍්‍රමානයට වඩා සියයයට 46 ඉක්මවයි. ඒ ක්‍රෙඩිට් ස්විස් ට අනුවයි.

5. 2015 වර්ෂය සඳහා පෙරදැක්ම, ආර්ථික, භූදේශපාලනික සහ සමාජ අර්බුදය උත්සන්න වන බව පෙන්නුම් කරයි. එසේ වෙතත්, ධනේශ්වර පද්ධතියේ වෛෂයික ප‍්‍රතිඝතිතාවන් වර්ධනය වන තතු තුල මහජනතාවගේ අති මහත් කොටසකගේ කෝපය සහ අතෘප්තිය එන්ට එන්ටම උග‍්‍ර ස්වභාවයක් ගනු ඇත. ගත වූ 15 වසරේ සිද්ධීහු මහාජන විඥානය මත ඒවායේ අඩයාලම තබා ඇත. නිමක් නැති යුද්ධ, මුල්‍ය ප‍්‍රභූව තුල දුෂනය හෙලිදරව් වීම, යුක්තිය පිලිබඳ ප‍්‍රාරම්භක හැඟීමක් පවා අහෝසි කර දමන පරපීඩක ක‍්‍රියා, වැඩකරන ජනතාවගේ ඇති මහත් වැඩි කොටසකගේ ජීවන තතු නිර්දයව පහත හෙලීම, අනාගතයක් නැති ලෝකයක ජීවත්වන බව දක්නා තරුනයින්ගේ විශ්වාස භංගය, පැතිර පවත්නා දිලිඳුබව, මහධන කුවේර ප‍්‍රදර්ශන සහ අති මහත් සාමාන්‍ය ජනතාව සිය දෛනික ජීවිතයේ දී විඳින්නාවූ කම්කටොලු - යන මේ දේවල් අනිවාර්යයෙන්ම කම්කරු පන්තිය තුල විඥානයේ ද දේශපාලන යොමුවේ ද ප‍්‍රගාඪ පරිවර්තනයන් ජනනය කරනු ඇත.

එහෙත් ධනේශ්වර පර්යායේ අර්බුදය විසින් ඉස්මතු කරනු ලබන මහා ගැටලු විසඳාලීම සඳහා මහජන අතෘප්තිය සහ පන්ති ඝට්ටනයේ විවෘත පිපුරුම පමනක් සෑහෙන්නේ නැත. තීරක කර්තව්‍යය වන්නේ කම්කරු පන්තිය තුල සමාජවාදී දේශපාලන විඥානය වර්ධනය කර ලීමයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ජාතික ශාඛාවෝ 2014 තුල දී, අර්බුදය විසින් රැඩිකලීකරනය කෙරුනු කම්කරුවන් සහ තරුනයන් අතර සිය වැඩ කටයුතුවල සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගත්තාහ. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විශ්ලේෂනය සිද්ධීන් විසින් සනාථ කෙරෙන තතු තුල, අප ලෝක පක්ෂයේ දේශපාලන ආයාමය, වර්ධනය වීම නොකඩවා සිදුවෙමින් තිබේ.

එහෙත් උදාසීනත්වයට අවසර නොදිය යුතු ය. ඉදිරියේ ඇත්තේ දැවැන්ත අභියෝගයන් ය. 2015 තුල අර්බුදයේ උත්සන්න වීම පමනක් නොව මහජන ප‍්‍රතිරෝධයේ සැලකියයුතු ප‍්‍රසාරනයක් ද සිදුවනු අත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවන්නන් ගෙන් අප ඉල්ලා සිටින්නේ අප හා එක්ව සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනගන්නට සටන් වදින ලෙස ය.

ඩේවිඩ් නෝත් සහ ජෝසප් කිෂෝර්

Share this article: