ග‍්‍රීක ආන්ඩුවේ බිඳවැටීම

The collapse of the Greek government

2014 දෙසැම්බර් 31

දෙසැම්බර් 29දා අගමැති අන්තෝනි සමරාස්ගේ සභාග ආන්ඩුව ඇද වැටීම, ග‍්‍රීසිය තුල පන්ති පාලනයේ නව අවධියක් සලකුනු කර යි.

පාර්ලිමේන්තුව සමරාස්ගේ ජනාධිපති අපේක්ෂක ස්ටාව්රොස් ඩිමාස් පිලිගැනීම ප‍්‍රතික්ෂේප කිරීම, ආන්ඩුව ඇද වැටීම හා නව මහ මැතිවරනයකට බල කිරීම බැඳී පවතින්නේ, ග‍්‍රීසිය හා යුරෝපය තුල කප්පාදු සමග ඉදිරියට යාමට පාලක පන්තියට ඉඩ දීම සඳහා නව දේශපාලන වාතාවරනයක් නිර්මානය කිරීමේ උත්සාහයක් සමග ය.

යුරෝපා සංගමය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා යුරෝපා මහබැංකුවේ ට්‍රොයිකාව විසින් බල කරන ලද වසර ගනනාවක ම්ලේච්ඡ කප්පාදු පියවරයන් ග‍්‍රීක කම්කරුවන් දරිද්‍රතාවට හා විරැකියාවයට ඇද දමා ඇත. රට විනාස කර ඇති ආර්ථික අර්බුදය ගැඹුරු වෙයි. ආර්ථිකය සියයට 25කින් හැකිලී ඇත, මිලියන ගනනාවකට සෞඛ්‍ය රැකවරනය අහිමි කර ඇත. සියයට 30කින් හෝ ඊට වැඩි ප‍්‍රමානයකින් වැටුප් කප්පාදු කෙරී ඇත. නිවාස හිඟය හා වලකාලිය හැකි රෝග වේගයෙන් පැතිරෙමින් පවතින අතර තරුන ග‍්‍රීකයන් දහදෙනෙකුගෙන් හයදෙනෙකුට රැකියා නොමැත.

සිය රැකියා හා ජීවන තත්වයන් මත ප‍්‍රහාරයන්ට විරුද්ධවීමට කම්කරුවන් හා තැරුනයන් විසින් ගන්නා ලද සෑම උත්සාහයක් ම පාවා දී හෝ මර්දනය කෙරී ඇත. ධනේශ්වර පාලනයේ පාරම්පරික පක්ෂ බරපතල ලෙස අපකීර්තියට ලක්ව තිබේ. සමරාස්ගේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හා සමාජ ප‍්‍රජාත‍්‍රන්තවාදී පැසොක් පක්ෂය කම්කරුවන් බහුතරය හමුවේ ගර්හාවට ලක්ව ඇත.

විප්ලවවාදී අර්බුදයක් අවමංගත කිරීමේ උත්සාහයක් ලෙස “රැඩිකල් වමේ සභාගයක්” වන සිරසා දෙසට පාලක පන්තිය හැරෙමින් සිටින්නේ මෙම කොන්දේසි යටතේ ය.

“යුද විරෝධී” පමනක් නො ව “සමාජවාදී” යැයි ප‍්‍රචාරය කෙරී ඇති හා එය විසින් ම ප‍්‍රචාරය කර ගන්නා සිරිසා මොන යම් හෝ ගැලවීමේ මගක් ඉදිරිපත් කරනු ඇත යි ග‍්‍රීක කම්කරුවන් හා තරුනයන් අතර පැහදිලි ව ම අපේක්ෂාවක් ඇත. එම පක්ෂය මැයි මාසයේ පැවති යුරෝපා මැතිවරන ජය ගත් අතර මේ වන විට ලබන මාසයේ පැවත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරනයේ මත විමසුම තුල පෙරමුන ගනිමින් සිටී. සිප‍්‍රාස්, ආන්ඩුවේ වැටීමට ප‍්‍රතිචාර දැක්වූයේ “ටික දිනකින් කප්පාදු ඇපදීම් අතීතයට අයිති දෙයක් වනු ඇති” බවට පොරොන්දු වෙමිනි.

ජාත්‍යන්තරව සිප‍්‍රාස්ගේ සහචරයන්ගේ පුවත්පත් කියවීමෙන් යමෙකු විනිශ්චය කරනු ඇත්තේ සිප‍්‍රාස් අගමැති වීමේ අපේක්ෂාව ලෙනින්ගේ පුනරාගමනයට සමාන වනු ඇති බව යි. ප‍්‍රන්ස ස්ටැලින්වාදීන්ගේ දිනපතා පත‍්‍රය වන ල‘හියුමනිටේ, “ග‍්‍රීක ඡන්දදායකයන් කප්පාදු විරෝධී හැරීමකට ආසන්න” යැයි උද්දාම වූ අතර ජර්මනියේ ජුන්ග් මෙසේ සඳහන් කලේ ය: “දැන් ප‍්‍රථම වතාවට, සැබවින් ම ‘දේශපාලනිකව වම’ යන ලේබලයට සුදුසු පක්ෂයක් ආන්ඩුවේ මුදුනට පත් කර ගැනීමට ග‍්‍රීක ජාතිකයන්ට හැකි ය.”

මීටත් වඩා සත්‍යයෙන් ඈත දෙයක් තිබිය නො හැක. ග‍්‍රීසිය තුල ධනවාදය ආරක්ෂා කිරීමේදී ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට, සිරිසාව ප‍්‍රවේශමෙන් ඇති දැඩි කෙරී ඇත්තේ, ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අන ප‍්‍රවේශමෙන් ක‍්‍රියාත්මත කිරීම හා යුරෝපය පුරා පැතිර යාමට තර්ජනය කරන මහජන විරෝධතා රැල්ල පිටුදැකීම සහතික කිරීමට ය.

යුරෝ අර්බුදය පිපිරීමෙන් පසු වසර පහ තුල, සිරිසා පාලනය කරන බලගතු මධ්‍යම පන්තික කන්ඩායම් ග‍්‍රීක ධනේශ්වර දේශපාලනයට ඒකාබද්ධ කෙරී ඇත්තේ ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් ඇතැමෙකු ආන්ඩුව තුල ප‍්‍රමුඛ තනතුරුවලට එසවීම සමගිනි. එම පක්ෂය යුරෝපා සංගමයට සිය කැපවීම පුනපුනා අවධාරනය කල අතර එහි “ව්‍යාපාර හිතවත්” හා ධනේශ්වර ගැති වැඩසටහන අවධාරනය කිරීමට උත්සාහ ගත්තේ ය.

මෙම වසර මුල දී, “රැඩිකල් වාම පක්ෂය” සමග “ක‍්‍රියාකාරී ආයතනමය සම්බන්ධතාවක්” වර්ධනය කර ගැනීමට සිප‍්‍රාස් ග‍්‍රීක ව්‍යාපාර ෆෙඩරේෂනයට ආයාචනා කලේ ය. දෙසැම්බරයේ දී, රොයිටර් ප‍්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවක දී සිප‍්‍රාස්, සිරිසා බලාපොරොත්තු වන රැඩිකල් වැඩසටහන පිලිබඳ “බියට පත්වීම” අනවශ්‍ය යයි ප‍්‍රතික්ෂේප කලේය. “සිරිසා ජයග‍්‍රහනය, හූනියම බිඳ දමා වෙලඳපොල නිදහස් කරනු ඇත. එය ආරක්ෂාව පිලිබඳ හැඟීමක් ඇති කරනු ඇතැ” යි ඔහු ප‍්‍රකාශ කලේය. ට්‍රොයිකාව සමග සාකච්ඡා කිරීමට හා යුරෝපා බැංකු සමග සම්මුතියකට පැමිනීමට ඔහු පොරොන්දු විය.

ජාත්‍යන්තර ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගත් විට, එක්සත් ජනපදය තුල බැරැක් ඔබාමා විසින් අධීක්ෂනය කරනු ලබන බැංකු ඇපදීම් පිලිගන්නෙකු වන සිප‍්‍රාස් 2013 ජූනි මාසයේ බෲකින්ග්ස් ආයතනය නම් බුද්ධි මන්ඩලයේ රැස්වීමක් සඳහා වොෂින්ටනයට ගියේ ය. බර්ලිනයේ, ලන්ඩනයේ හා පැරීසියේ දේශපාලන හා මූල්‍ය නායකයින්ගේ උපදෙස් ලබා ගැනීමට ද ඔහු සංචාරයක නිරත විය.

“ග‍්‍රීසිය ගලවා ගත හැක්කේ සිරිසාට පමනකි”යි නිව් යෝක් ටයිම්ස් පත‍්‍රය අදහස් දැක්වී ය. “සිරිසා පාලන බලය ගත හොත් එජ සම්බන්ධයෙන් වැදගත් වෙනසක් සිදු නො වෙනු ඇත. නේටෝවෙන් ඉවත් වීමට හෝ ඇමරිකානු මිලිටරි කඳවුරු වසා දැමීමට හෝ සිරිසා බලාපොරොත්තු නො වෙයි.”

ග‍්‍රීක නය ප‍්‍රතිව්‍යුහගත කිරීමට සිරිසා කරන යෝජනා බැංකුවලට යහපත් වනු ඇතැ යි නිගමනය කරමින් ටයිම්ස් පත‍්‍රය මෙසේ පැවසී ය: “ග‍්‍රීක නය බොහොමයක් යුරෝපීය බදු ගෙවන්නන් විසින් හා යුරෝපා මහබැංකුව විසින් උසුලනු ලබන බව හා ඉතුරුවෙන යමක් ඇත්නම්, එය ආපසු ගෙවන බව දන්නා ආයෝජකයන් ආශාවෙන් ඩැහැගනු ඇත. බැංකු හා ආරක්ෂක අරමුදල් මේ බව දැන සිටියි.”

යුරෝපීය කම්කරු පන්තිය මුහුන දෙන කේන්ද්‍රීය අභියෝගය වන්නේ තමන් මුහුන දෙන දේශපාලන කර්තව්‍යයන්ගේ පරිමානය වටහා ගැනීම යි. පිපිරෙනුසුලු දේශපාලන කලකිරීමක් පවතින අතර බලගතු අවශ්‍යතාව වන්නේ විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම් වූ නව දේශපාලන නායකත්වයක් ගොඩනැගීම යි.

යුරෝපීය ධනේශ්වරයේ උමතු ප‍්‍රතිපත්තිය හා පැරනි දේශපාලන සමතුලිතතාව බිඳවැටීම, යුරෝපීය ධනවාදයේ ඓතිහාසික පරිහානිය මගින් දහනය කරයි. කම්කරු පන්තිය වෙතින් සංගත හා මූල්‍ය ප‍්‍රභූවට දැවන්ත ලෙස ධනය නැවත බෙදා හැරීම හරහා මෙම අර්බුදය විසඳීමට පාලක පන්තිය අධිෂ්ඨාන සහගත ය.

ග‍්‍රීසිය යුරෝපියානු පුලුල් සමාජ ප‍්‍රතිවිප්ලවයේ තුඩ යි. ස්පාඤ්ඤයේ සිට අයර්ලන්තය දක්වා ඒ ආකාරයේ ම වැඩසටහන් පනවා තිබීම හමුවේ, පාලක පන්තියේ දේශපාලන ආයතන ඔප්පු කර ඇත්තේ, ආන්ඩුවල ප‍්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ දැරීමට ඒවා මුලුමනින් ම අසමත් බව යි.

ගෝලීය ආර්ථික පද්ධතිය තුල කිසි දෙයක් විසඳිය නො හැක, එය තුල සෑම තීරනයක් ම මෙන් ම සෑම ආන්ඩුවක් ම යෝධ බැංකු හා සංගතවල උත්සුකයන්ට යට කර දැමේ. සිරිසා මෙන් ම, ඊට නො අඩු ලෙස නව ඩිමොක‍්‍රසි හා පැසොක් පක්ෂ කොන්දේසි විරහිතව මෙම පද්ධතිය ආරක්ෂා කරති.

ඉදිරියට ඇති මාවත වන්නේ යුරෝපා සංගමය ඇතුලුව පවතින ආයතන කම්කරු සමූහාන්ඩුවකින්, එනම් එක්සත් යුරෝපා සමාජවාදී සමූහාන්ඩුවකින් විස්ථාපනය කිරීම සඳහා තමන් අතට බලය ගැනීමේ ක‍්‍රියාමාර්ගයක් වටා යුරෝපය පුරා කම්කරුවන් එක්සත් කිරීම යි. මෙම ප‍්‍රතිපත්තිය ධනේශ්වරයේ සියලු ම ආරක්ෂකයින්ට එරෙහිව පෙරට ගෙන යා යුතු ය.

එවැනි අරගලයක් ගෙන යාම ග‍්‍රීසිය හා යුරෝපය පුරා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ගොඩනැගීමෙන් වෙන් කල නො හැක.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: