ජනතා විමුක්ති පෙරමුන ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරනයේ දී ඇමරිකන්-ගැති විපක්ෂ අපේක්ෂකයාට කත් අදියි

JVP campaigns for pro-US opposition candidate in Sri Lankan presidential election

නන්ද වික‍්‍රමසිංහ විසිනි , 2015 ජනවාරි 6

ජනතා විමුක්ති පෙරමුන බ‍්‍රහස්පතින්දා ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරනයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහයෝගය දෙන විපාක්ෂික හවුලේ කොටසකි.

ජනතා විමුක්ති පෙරමුන 1960 ගනන්වල දී ආරම්භ කෙරුනේ මාඕ වාදයේ, කස්ත්‍රෝ වාදයේ සහ සිංහල ජනතාවාදයේ අච්චාරුවක් මත පදනම් වූ “සන්නද්ධ අරගලයක්” තොරොම්බල් කල සුලුධනේශ්වර ව්‍යාපාරයක් ලෙස ය. මෙම සංවිධානය සමාජවාදී සහ අධිරාජ්‍ය විරෝධී වචන හරඹය හැරදමා කොලඹ දේශපාලන සංස්ථාපිතයට ගාල් වී දිගු කලක් ගත වී තිබේ.

රාජපක්ෂ ජනාධිපතිවරනය ප‍්‍රකාශ කිරීමට පෙර, ඔහුට තුන්වන වරටත් ජනාධිපති තරගයට ඉදිරිපත් වීමට අයිතියක් නැති යයි අභියෝග කරමින් ජවිපෙ, ශ්‍රේෂ්ඨාධිකරනයේ නඩු පැවරිය. කෙනෙකුට ජනාධිපති ධුරය දැරිය හැක්කේ වාර දෙකක් පමනක් යයි තිබුනු සීමාව ඉවත් කරමින් ද, ජනාධිපතිවරයාගේ බලය ශක්තිමත් කරමින් ද ආන්ඩුව ව්‍යවස්ථා සංශෝධනයක් අටවාගෙන තිබුනි. උසාවිය එම අභියෝගය ඉවත ලූ විට ජනාධිපතිවරනය “නීතිවිරෝධී” යයි ප‍්‍රකාශ කල ජවිපෙ තමන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බව කීවේය.

ජනාධිපතිවරනය නිලවශයෙන් ප‍්‍රකාශකල විට, කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ අමාත්‍යයෙකු සහ පාලක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශී‍්‍රලනිප) මහ ලේකම් වූ සිරිසේන, විපක්ෂයට පැනයමින් තමා රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් වන බව ප‍්‍රකාශ කලේ ය. මෙම අංචිය සති ගනනාවක් තිස්සේ සූදානම් කරන ලද්දකි. ඊට එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ද තවත් විපක්ෂ පක්ෂ ගනනාවක් ද එලිපිටම සහය දුනි.

ජවිපෙ විවෘතවම එජාපය සහ එහි හවුල් කරුවන් සමග එක් නොවූ නමුත්. සිරිසේනට සහය දෙමින් රාජපක්ෂ ඉවත් කිරීමට වැඩ කරන බව ප‍්‍රකාශ කලේ ය. ගතවූ කාලපරිච්චේදය තුල දී ජවිපෙ රැස්වීම් තබමින් ද, ගෙන්ගෙට යමින් ද, පෝස්ටර් ගසමින් ද වැඩට බැස ගෙන රාජපක්ෂ පාලනය පරාජය කිරීමට වෙන මොනම පක්ෂයකටත් වඩා කි‍්‍රයාශීලීව වැඩට බැස ඉන්නේ තමන් බවට මැත දොඩවයි.

අලුත් ඉඩකඩ වලට ජවිපෙ ඉව අල්ලා සිටී. සිරිසේන දිනුවොත් තමන් ද ජාතික සමගි ආන්ඩුවකට එක්වීමට සුදානම් බව ජවිපෙ දැනටම අඟවා තිබේ. දෙසැම්බර් 1 දා ඬේලි මිරර් පුවත් පතට දුන් සම්මුඛ සාකච්චාවකදී ජවිප නායක අනුර කුමාර දිසානායක මෙසේ කීවේ ය. “මෙම ඒකාධිපතිත්වය පරාජය කිරීමට කවුරුකවුරුත් එකතු විය යුතු ය (අප එසේ කරනු ඇත්තේ) විපක්ෂය දිනා පිහිටු වන ආන්ඩුවක අප සුලුතරයක් වන බව නොතකාය.

සිරිසේනට ආධාර දීමේ දී, ජවිපෙ එකතුවී සිටින්නේ රාජපක්ෂ වෙනුවට කලාපය තුල සිය මුලෝපායික ආසක්තයන්ට වඩාත් නමාගත හැකි ජනාධිපතියෙකු පත් කර ගැනීමටය. සිරිසේනගේ අපේක්ෂකත්වය අටවාගැනීම ට මූලිකත්වය ගත් ප‍්‍රමුඛයන් වූයේ රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ය. එක්සත් ජාතික පක්ෂය ඇමරිකානු ගැති පක්ෂයක් බව කවුරුත් දනිති. කුමාරතුංග එක්සත් ජනපදයේ හිටපු - ජනාධිපති බිල් ක්ලින්ටන් සමග ද හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සමග ද ක්ලින්ටන් පදනම හරහා සමීප සම්බන්ධකම් ඇති කර ගෙන තිබේ.

චීනය සමග රාජපක්ෂ පවත්වාගෙන යන දේශපාලන, ආර්ථික සහ යුදමය සහයෝගය ට සහ චීනය අතර තුලනය වීමට ඔහු දරන උත්සාහයට වොෂිංටනය විරුද්ධය. ඇමරිකා එක්සත් ජනපදයේ පාලනයට උවමනා වී තිබෙන්නේ තමන් චීනය යුදමය වශයෙන් වටකොට ආසියානු කලාපය තුල එහි බලපෑම කපාදැමීම සඳහා දැන් කරගෙන යන “ආසියාවට හැරීමට” තිරසාර ලෙස සහය දෙන තත්වයකට ලංකාව පත් කිරීමට ය. එකසත් ජනපදයට පක්ෂපාති විදෙස් පිලිවෙතක් ගෙනයන බවට සිරිසේන තම මැතිවරන ප‍්‍රකාශනයේ දක්වා තිබේ. සිරිසේන “රාජපක්ෂගේ ඒකාධිපතිත්වයට එරෙහිව” කරන්නේයැයි කියාගන්නා සටන එක්සත් ජනපදය “මානව හිමිකම්” නාමයෙන් තම කුමන්ත‍්‍රන වසන් කිරීමට යත්න දරන කපටි ප‍්‍රයත්නයට සමාන ය.

ජවිපෙ සිරිසේනගේ නඩයට එක්වී ඇත්තේ එහි හෑල්ල වන “ඒකාධිපති පාලනය පරාජය කරනු! අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පෙල ගැසෙමු!” යන්න ජපකරමිනි. ඬේලි මිරර් පුවත්පතට දුන් සම්මුඛ සාකච්චාවකදී ජවිපෙ නායක දිසානයක කියා සිටියේ සිය පක්ෂය රාජපක්ෂට විරුද්ධ වන්නේ “ලංකාව ප‍්‍රධාන වශයෙන් අර්බුදයන් පහකට, ආර්ථිකයේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ද ජනවාර්ගික සමගිතාවය පිලිබඳ ප‍්‍රශ්න වලදී ද, යහ පාලනය තහවුරු කිරීමේදී, සහ ජාත්‍යන්තර ක්ෂේත‍්‍රය තුල තනි වීමේදී ද මුහුන දී ඇති බවයි.

රාජපක්ෂ ආන්ඩුව සහතිකෙන්ම විවේචනයන්ට සහ විරෝධයන්ට, විශේෂයෙන්ම කම්කරු පන්තියට එරෙහිව පොලිස් රාජ්‍ය පියවර ගන්න බව සැබැවි. කෙසේ වෙතත් මීට මාස දෙකකට අඩු තරම් ලඟක් වන තුරු එම ආන්ඩුවේ ම ඇමති කමක් දරා සිටි සිරිසේන ද ඔහුට ආධාර කරන සියලුම පක්ෂද ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩකටයුතු වල දීර්ගවාර්තාවක් දරන්නෝ ය. ජවිපෙ 2005 ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ ට පක්ෂව උද්ඝෝෂනයේ යෙදුනු අතර දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව යුද්ධය යලි ආරම්භ කිරීමට ද විශේෂයෙන් දෙමල සුලුතරයේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රුදුරු ලෙස මර්දනය කිරීමට ද පූර්න සහය දුනි.

ඇමරිකා එක්සත් ජනපදය ද ලංකාවේ දේශපාලන සංස්ථාපිතයට ඇතුලත් සියලුම විරුද්ධ පක්ෂද එල්ටීටීඊ සංවිධානයට එරෙහි යුද්ධයට සහය දෙමින් හමුදාවේ මුර්ග ක‍්‍රියා වලට ඇස් පියාගත්හ. 2009 එල්ටීටීඊයේ පරාජයෙන් පසු, කෙසේ වෙතත්, වොශිංටනය යුද්ධ අපරාධයන් පිලිබඳ ප‍්‍රශ්නය ඒ ඔසොවාගත්තේ බෙයිජිනයෙන් ඈත් වන ලෙස රාජපක්ෂට බලකිරීම සඳහා ය. ප‍්‍රජාතන්ත‍්‍රය, “ජනවර්ග අතර සබැඳියාව” සහ “යහපාලනය” උවමනා යැයි ජවිපෙ කියන කතා සියල්ල ම, අරගෙන ඇත්තේ වොශිංටනයේ “මානව අයිතිවාසිකම්” උද්ඝෝෂනයෙනි.

ජවිපෙට ද දුෂ්ට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩසටහන් පිලිබඳ තමන්ගේ ම වාර්තාවක් තිබේ. 1987 ඉන්දු-ලංකා ගිවිසුමට ද එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා ඉන්දියානු “සාම සාධක හමුදාවන්” ලංකාවට ගෙන ඒමට ද එරෙහිව 1980 ගනන්වල අගදී, “දේශ මාමක” ව්‍යායාමයක යෙදුනු ජවිපෙ සියගනන් කම්කරුවන් ද දිලින්දන් ද දේශපාලන විරුද්ධවාදීන් ද ඝාතනය කරමින් ද ෆැසිස්ට් වර්ගයේ ප‍්‍රහාරයක් එල්ල කලේ ය.

කම්කරු පන්තිය බෙදා මර්දනය කිරීමට ජවිපෙ යොදාගත් එජාප ආන්ඩුව ඉක්බිති ජවිපෙ ද එහි සමාජ පදනම වූ ගම්බද දිලින්දන් මතට ද කඩාපැන මහ මර්දනයක් සිදු කලේය. 1989 සහ 1991 සමයේ මිලිටරියේ සහයලත් ඝාතක කන්ඩායම් 60,000 ක් ගම්බද තරුනයන් මරාදැමූහ.

“ජාත්‍යන්තර ක්ෂේත‍්‍රය තුල, හුදකලා වීමේ අනතුර’’ ගැන ජවිපෙ නායක දිසානායකගේ අනතුරු හැඟවීම සිරිසේනගේ සහ එජාපයේ චීන විරෝධී ප‍්‍රකාශ සමග මුලුමනින් ම පෙල ගැසෙයි. ශී‍්‍ර ලංකාව චීනය වටේ යන උප ග‍්‍රහයෙකු බවට පත් කිරීම ගැන රාජපක්ෂට චෝදනා කරන එජාපය, චීන ආයෝජනවලින් අරඹා ඇති සමහර ව්‍යාපෘති අහෝසි කිරීමට දිවුරුම් දී සිටී. මේ අතර සිරිසේන, රාජපක්ෂ ආන්ඩුවේ දූෂනය ශී‍්‍ර ලංකාව තුල චීන ආයෝජනවලට සම්බන්ධ කරයි.

චීනයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පස්සේ පෙලගැසීමේ දී ජවිපෙය යලිත් වරක් ප‍්‍රදර්ශනය කරන්නේ ඇටුවන් බැහැපු අවස්ථාවාදය යි.

ජවිපෙ චීන කොමියුනිස්ට් පක්ෂය සමග සහෝදරාත්මක සම්බන්ධකම් පවත්වා ගෙන ගිය පක්ෂයකි. ඒ අතර ගෝලීය සංගත සඳහා ලාබ ශ‍්‍රම වේදිකාවක් බවට පරිවර්තනය වීමේ දී ලංකාව ද චීනය ආදර්ශයට ගත යුතු බව නැවත නැවතත් කියා පායි. එහෙත්, ජවිපෙය එක්සත් ජනපදයට වඩ වඩාත් සමීප වෙද්දී චීනය සමග සබඳතා ලිහිල් වී ඇත.

2001 වසරේ දී, සිය අධිරාජ්‍ය විරෝධී වචන හරඹය ඉවත ලූ ජවිපෙ ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් ට කෙලින්ම ලියමින් ඇමෙරිකාව මෙහෙයූ “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයට ද” ඇෆ්ගනිස්තානය ආක‍්‍රමනයට ද සහය පිදී ය. ඒ සමගම එල්ටීටීඊයට එරෙහි යලි අරඹන ලද යුද්ධයට සහය දෙන ලෙස වොශිංටනයට පින්සෙන්ඩු විය.

සිරිසේන රාජපක්ෂට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍ර විකල්පයක්ය යන ජවිපෙ කියාපෑම පුර්න මගඩියකි. පාලක පන්තියේ මොනම කොටසකින් හෝ වැඩෙන ලෝක යුද්ධ තර්ජනයට කුමන හෝ විසඳුමක් ලැබෙන්නේ නැත. එපමනක් නොව ඔවුන් දෙදෙනාම උග‍්‍රවන ආර්ථික අර්බුදයේ බරබද්දල් වැඩකරන ජනතාව මතට පැටවීමට ඇති අධිෂ්ඨානයෙන් එකට බැඳී සිටිති. මොවුන් දෙදෙනාම ප‍්‍රතික්ෂේප කොට, යුද්ධයට සහ කප්පාදුවට එරෙහි සමාජවාදී විකල්පය සඳහා සටන් වදින එකම සමාජවාදී අපේක්ෂක පානිනි විජේසිරිවර්දනට සහයෝගය දෙන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් සහ තරුනයන් ගෙන් ඉල්ලා සිටී.

Share this article: