ශ‍්‍රී ලංකාවේ පොදු අපේක්ෂකයා එක්සත් ජනපදයට පක්ෂපාතී හා ව්‍යාපාර ගැති මැතිවරන ප‍්‍රකාශනයක් ඉදිරිපත් කරයි

Sri Lankan opposition candidate issues pro-US, pro-business manifesto

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2014 දෙසැම්බර් 31

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන ජනවාරි 8 වෙනිදා පැවැත් වීමට නියමිත ජනාධිපතිවරනය සඳහා එක්සත් ජනපදයට පක්ෂපාතී හා මහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට පොරොන්දු වන පිටු 64 මැතිවරන ප‍්‍රකාශයක් ඉදිරිපත් කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇමති මංඩලයෙන් ඉවත් වූ සිරිසේන දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප), ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හා සිංහල අන්තවාදී ජාතික හෙල උරුමය ඇතුලු විපක්ෂ සන්ධානයක සහයෝගය ඇතිව තමා ජනාධිපතිවරනයට ඉදිරිපත්වන බව ප‍්‍රකාශයට පත් කලේය.

ක්ලින්ටන් පදනම හරහා වොෂින්ටනය සමග සිය සමීප සබඳතා වර්ධනය කරගත්, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, විපක්ෂ සන්ධානය නිර්මානය කිරීමේදී මූලික ක‍්‍රියාකලාපයක් ඉටුකල බව, රාජපක්ෂට විරුද්ධව ප‍්‍රහාරාත්මක “මානව හිමිකම්” උද්ඝෝෂනයක් ගෙන යන එක්සත් ජනපදය සහසුද්දෙන් ම දැන සිටියි.

සිරිසේන විසින්, විපක්ෂයේ උද්ඝෝෂනය රාජපක්ෂගේ “තනි පවුලේ ආඥාදායකත්වයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පයක් ලෙස හුවා දැක්වීම ප්‍රෝඩාවකි. ඔහු නිර්දය ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ලෙස උල්ලංඝනය කිරීමට වගකිව යුතු ආන්ඩුවේ කොටස් කරුවෙක්ව සිටියේය. එමෙන් ම සිරිසේනට සහයෝගය දෙන සියලුම පක්ෂ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව රාජපක්ෂ යලි ආරම්භ කල වර්ගවාදී යුද්ධයට ද සහයෝගය දුන්නේ ය.

සිරිසේනගේ මැතිවරන ප‍්‍රකාශනය, විසිපස් වසරක සිවිල් යුද්ධය තුල කම්කරු පන්තියට එරෙහිව ගොඩ නගා ඇති පොලිස් රාජ්‍ය මෙවලම විසුරුවා හැරීමට එල්ල කෙරුනක් නොවේ. එය, පාර්ලිමේන්තු මිත්‍යාවන්ට යලි පන දීමේ උත්සාහයක කොටසක් ලෙස ජනාධිපති බලතල අඩු කිරීමේ රාජ්‍ය ව්‍යුහයක් සඳහා වන මතුපිට වෙනස්කම් යෝජනා කරයි. විශේෂයෙන් ම ඔහු උත්සාහ කරන්නේ, අධිකරනයේ ද මැතිවරන කොමසාරිස්ගේ තනතුර ද ඇතුලු ඉහල රාජ්‍ය නිලධරයේ පත් කිරීම් සඳහා ජනාධිපතිට බලතල පවරමින් රාජපක්ෂ ඉදිරිපත් කල 18 ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ය.

සිරිසේනගේ සැබැ න්‍යාය පත‍්‍රයට චොක්ලට් කවරයක් යෙදීම සඳහා මැතිවරන ප‍්‍රකාශනයෙන් හිස් පොරොන්දු ගනනාවක් දී ඇත. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, කෘෂිකාර්මික සහනාධාර වැඩි කිරීම, නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය සඳහා අරමුදල් වැඩි කිරීම මෙන්ම රාජපක්ෂගේ නගර අලංකරන සැලසුම්වල කොටසක් ලෙස, කොලඹ නගරයේ නිවාස වලින් පලවා හරින ලද සිය ගනනක් දුගී පවුල්වලට මූල්‍ය සහන සැලසීමට ද පොරොන්දු වෙයි. මෙම සියලු පොරොන්දුවල අරමුන, හුදෙක් චන්දදායකයන් රැවටීම පමනි.

රටේ ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීම සඳහා සිරිසේන රාජපක්ෂට වඩා ලිහිල්ව කටයුතු නොකරනු ඇත. ජාතික ආන්ඩුවක් පිහිටුවීම සඳහා රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද එකතුකර ගැනීමට කරන ආයාචනය සැබවින් ම පෙන්නුම් කරන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඉල්ලා සිටින කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරු පන්තිය තුල වැඩෙන විරුද්ධත්වය පිලිබඳ පාලක කවයන් අතර පවතින භීතියයි. සිරිසේනගේ මැතිවරන ප‍්‍රකාශනයෙහි මුලික අරමුනක් වන්නේ, රටේ විදේශ පිලිවෙත බටහිර අධිරාජ්‍යවාදී බලයන් දෙසට තීරනාත්මක ව මාරු කරන බව ජාත්‍යන්තර ක්ෂේත‍්‍රයට පැහැදිලිව ඇඟවුම් කිරීමයි. එහි (ආන්ඩුවේ) සාවද්‍ය සහ නිස්සාර විදේශ පිලිවෙත හා මුලෝපායන් නිසා රටේ "ප‍්‍රතිරූපය” විනාශ කරනු ලැබ ඇතැයි මැතිවරන ප‍්‍රකාශනයේ පූර්විකාව තුල සඳහන් කර ඇත. එහි ප‍්‍රතිපලයක් ලෙස, "ජාත්‍යන්තර ප‍්‍රජාව වෙතින් ශ‍්‍රී ලංකාව වේගයෙන් හුදකලා වෙමින් තිබේ. ආසියාවේ ආශ්චර්ය වෙනුවට ශ‍්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ සටන් බිමක් බවට පත් වෙමින් ඇත”.

එල්ටීටීඊයට එරෙහි යුද්ධය අවධියේ සිවිල් ජනතාවට විරුද්ධව කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් ඇමරිකාව හා එහි සගයන් රාජපක්ෂ ආන්ඩුව මත සැලකිය යුතු පීඩනයක් යොදනු ලබයි. යුද්ධයට මුලුමනින් ම සහය දුන් එක්සත් ජනපදය, හමුදාවේ ම්ලේච්ච ක‍්‍රියා නොදුටුවාක් සේ සිටියේය. එක්සත් ජනපදයේ බොරු "මානව හිමිකම්” උද්ඝෝෂනයේ අරමුන, චීනය සමග පවත්වාගෙන යන සම්බන්ධකම්වලින් රාජපක්ෂ දුරස්ත කිරීම සහ බීජිනයට එරෙහි ඔබාමාගේ "ආසියාවට හැරීම” සමග ඔහු පෙලගස්වා ගැනීමයි.

සිරිසේන කිරීමට අදහස් කරන්නේ ද එයමය. ඔහුගේ මැතිවරන ප‍්‍රකාශනය මෙසේ සඳහන් කරයි. ඉන්දියාව, චීනය, පකිස්ථානය හා ජපානය සමග "සමාන සම්බන්ධතා” පැවැත්වීම හා "විශේෂත්වයකින් තොරව තායිලන්තය, ඉන්දුනීසියාව හා කොරියාව වැනි නැගී එන ආසියානු ජාතීන් සමග සබඳතා වැඩි වර්ධනය කිරීම.” වෙනත් වචන වලින් කිවහොත් සිරිසේන, රාජපක්ෂ විසින් පවත්වාගෙන යන දේශපාලනිකව, ආර්ථිකව හා මිලිටරි වශයෙන් දැඩි ලෙස චීනය මත රැඳී සිටීමේ තත්වය අවසන් කර, කලාපය තුල විශේෂයෙන්ම ජපානය, දකුනු කොරියාව හා ඉන්දියාව යන වොෂින්ටනයේ ප‍්‍රමුඛ සහචරයින් ඇතුලු හිතවත් රටවල් සමග "සමාන සම්බන්ධතා” පිහිටුවාගනු ඇත.

මෙරට සිදුවූ යුද අපරාධ හා මානව අයිතීන් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් "දේශීය පරීක්ෂනයක්” සඳහා කැඳවුමක් ද ප‍්‍රකාශනයට ඇතුලත් ය. මෙය සිරිසේන ඇමරිකාවේ ඉල්ලීම් ඉටුකරන බවට නිකුත් කල තවත් පැහැදිලි ඇඟවුමකි. තමන් වොෂින්ටනයේ විදෙස් පිලිවෙත සමග පෙලගැසුනු වහාම ඇමරිකාව මූලිකත්වය ගෙන ඇති "මානව අයිතීන්” පිලිබඳ උද්ඝෝෂනය ඉක්මනින්ම වියැකී යන බව සිරිසේන හොඳින්ම දැන සිටියි. ඒ සමගම සිරිසේන, "දෙමල බෙදුම්වාදී කොටි සංවිධානය පරාජය කිරීමට දායකවූ” සියල්ලන්ම ආරක්ෂා කරන තතු හමුවේ පරීක්ෂනයක් පිලිබඳ බියක් ඇතිකරගත යුතු නැතැයි මිලිටරිය වෙත නිහඬ ප‍්‍රතිඥාවක් ද ලබා දෙයි.

ප‍්‍රකාශනය නිකුත් කිරීමෙන් පසුව සිරිසේන හා එජාප නායක වික‍්‍රමසිංහ, මෙරට ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට තම ප‍්‍රතිපත්ති පැහැදිලි කිරීමේ අවශ්‍යතාවය ද දැකගත්හ. සිරිසේන යටතේ අගමැති වීමට නියමිත වික‍්‍රමසිංහ කෙලින්ම පැවසුවේ මෙසේය. "විදෙස් පිලිවෙතේදී රාජපක්ෂගේ නැඹුරුව, මෙරට ගෝලීය ආර්ථික අවශ්‍යතා වලට සෘජුවම හරස්ව පිහිටයි. ඇමරිකාව හා යුරෝපීය සංගමය මෙරට අපනයන්ගෙන් තුනෙන් දෙකකටම වගකියයි. ඉන්දියාව සමග සමීප ආර්ථික සබඳතා පවත්වා ගැනීමෙන් මෙරටට සෑම දෙයක්ම අත්කරගත හැකිය.”

මෙසේ කියමින් වික‍්‍රමසිංහ, දෙවන ලෝක යුද්ධය අවධියේ මෙරට පාලක පැලැන්තිය ඉටුකල ක‍්‍රියාමාර්ගය පැහැදිලි කලේය: "බටහිර සමග අපේ සම්බන්ධය ඉතා පුලුල් එකකි. දෙවන ලෝක යුද සමයේ මිත‍්‍රපාර්ශවය සමග සිටියේ ශ‍්‍රී ලංකාව මිස වෙන කිසිවෙකුත් නොවන බව මිනිසුන්ට අමතකවී ඇත. ඇමරිකාවට, බි‍්‍රතාන්‍යයට හා අනෙක් අයට අමතකවී ඇත්තේ මෙයයි.”

ආසියාව තුල භූ දේශපාලනික ආතතීන් උග‍්‍රවන තතු තුල වික‍්‍රමසිංහ පැහැදිලිව පෙන්නුම් කරන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ හා එහි සහචරයින් සමග වූ මෙම යුද කාලීන බැඳීම් ඊලඟ ආන්ඩුව විසින් යලි ගොඩනගාගත යුතු බවය. ඒවා යෙදවෙනු ඇත්තේ චීනයට එරෙහිවය. දෙවන ලෝක යුද සමයේ මෙරට, ආසියාව තුල බි‍්‍රතාන්‍ය යුද මෙහෙයුම් වල අනදෙන මධ්‍යස්ථානය බවට පත්කර තිබුනි. චීනය විසින් අප‍්‍රිකාවෙන් හා මැද පෙරදිගින් කරන ඉන්ධන හා අමුද්‍රව්‍ය ආනයනය අවහිර කිරීමේ සිය සැලසුම් සඳහා ඉන්දියානු සාගරයේ නාවික මාර්ග වලට සමීපව පිහිටි දිවයිනේ මූලෝපායික වැදගත්කම පෙන්ටගනය විසින් ද නිරීක්ෂනය කර ඇත.

මහ ව්‍යාපාරිකයන්ට හා විදෙස් ආයෝජකයින් සඳහා ගැලපෙන වාතාවරනය නිර්මානය කිරීමට ද වික‍්‍රමසිංහ කැපවී සිටියි. 2013-14 ගෝලීය තරගකාරී දර්ශකය තුල මෙරට, රුවන්ඩාවට වඩා එක් අංකයක් පමනක් ඉහලින් සිටීම ගැන ඔහු වැලපුනේය. "ඔබට අභ්‍යන්තර වෙලඳාම හා ආයෝජන සඳහා වාසි සහගත විදෙස් පිලිවෙතක් අවශ්‍ය නම්, ඔබ වෙලඳපොලට විවෘත විය යුතුය.”

දැඩි "තරගකාරිත්වයක” අර්ථය වන්නේ, වැඩකරන ජනතාවගේ සේවා කොන්දේසි හා ජීවන තත්වයන් රුදුරු ලෙස කප්පාදු කිරීමය.

ජනාධිපතිවරනය තුල රාජපක්ෂ මෙන්ම සිරිසේනට හා ඔවුන්ගේ සියලු ධනපති නියෝජිත කොටස්වලට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය හා එහි ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දන පමනි. ඉන් එක් අපේක්ෂකයෙකුටවත් යුද්ධය වෙත එක්සත් ජනපදයේ තල්ලුව පිලිබඳව පිලිතුරක් ඇත්තේ නැත.

රාජපක්ෂ චීනය හා ඇමරිකාව අතර තුලනය වීමේ වෑයමක නිරතවන අතර සිරිසේන වොෂින්ටනය සමග මුලුමනින්ම පෙලගැසීම වෙනුවෙන් පෙනී සිටියි. දෙදෙනාම වැඩකරන ජනතාවට එරෙහිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු න්‍යායපත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා ද ඕනෑම විරෝධයක් තලා දැමීමට ද කැපවී සිටිති.

සසප මැතිවරන ව්‍යාපාරයට සහාය දෙමින් ඊට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු. අප සටන් වදින්නේ සමාජවාදී විකල්පයක් සඳහා ය: දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද ගොඩනගන සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපයෙන් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා ය.

Share this article: