ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිවරන පරාජය බාරගනියි

Sri Lanka: President Mahinda Rajapakse concedes defeat in election

වසන්ත රූපසිංහ හා කේ. රත්නායක විසිනි , 2015 ජනවාරි 09

ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ උදෑසන අකමැත්තෙන් නමුත් එක්සත් ජනපද ගැති පොදු අපේක්ෂක මෛත්‍රිපාල හමුවේ පරාජය බාරගත්තේය. රාජපක්ෂ සිය නිල නිවසවූ අරලියගහ මන්දිරයෙන් ඉවත්වූ බව වාර්තාවන අතර ප්‍රකාශකයෙකු මඟින් ඔහු පැවසුවේ බලය සාමකාමී ලෙස පවරන බවය.

අද දහවල් වන විට සමස්ත ප්‍රතිපලය නිවේදනය කරනු ඇති නමුත් ආරම්භක ප්‍රතිපල පෙන්නුම් කලේ, ගනන් ගත් ඡන්ද වලින් සියයට 51.25ක් සිරිසේනට හිමිව ඇති බවය. මිලියන 15කට වැඩි ඡන්දදායකයින් ගෙන් සියයට 75ක් ඡන්දය පාවිච්චි කර තිබුනි.

තමා තෙවන වතාවටත් ජනාධිපති තනතුරට පත්වනු ඇතැයි යන දැඩි විශ්වාසයෙන් යුතුව රාජපක්ෂ මැතිවරනය කැඳවීය. ඒ වෙනුවට ඔහුට මුහුනපෑමට සිදුවූයේ, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙකුව සිටි සිරිසේන ඉවත්ව යාමටය. සිරිසේන ජනාධිපතිවරනයට තරඟ කරන බව කියා සිටි අතර ඇමරිකානු ගැති එක්සත් ජාතික පක්ෂය වහාම ඔහුට සහාය පලකලේය.

සිරිසේන විසින් රාජපක්ෂ අතහැර දැමීම, වොෂින්ටනය සමඟ සමීප සම්බන්ධතා ගොඩනඟාගෙන සිටි, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් කල්තියා සූදානම් කරනු ලැබුනි. සිරිසේනට පිටුබලය දෙන ඊනියා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනට එජාපය හා සිංහල අන්තවාදී ජාතික හෙල උරුමය ද ඇතුලත්ය. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය (එස්එල්එම්සී) හා සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුලු රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රධාන සාමාජිකයින් ගනනාවක්ම විපක්ෂ පොදු අපේක්ෂකයාට එක් විය. වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන ද ප්‍රධාන දෙමල ධනපති පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), වෘත්තීය සමිති, කලාකරුවන් හා විවිධ ව්‍යාජ වාම මධ්‍යම පන්තික සංවිධාන ද සිරිසේන වටා රොක් විය.

සිරිසේන වටා පෙලගැසීම් ද මැතිවරන ප්‍රතිපලම ද ඔබාමා පාලනය තිරයට පිටුපස සිට කරන ලද මැදිහත්වීමේ ප්‍රතිපල විය. රාජපක්ෂ ආන්ඩුව චීනය සමඟ ගොඩනඟාගෙන තිබූ සමීප සම්බන්ධතා සහිත මෙරට විදෙස් පිලිවෙත වෙනස් කිරීමේ අටියෙන්, ඔහු ඉවත් කිරීමේ තීරනය, වොෂින්ටනය විසින් ගෙන තිබුනි. එම විදෙස් පිලිවෙතට මිලිටරි බැඳීම් ප්‍රසාරනය කිරීම ද ඇතුලත් විය.

චීනයට එරෙහි යුද සූදානම හා ආසියා-ශාන්තිකර කලාපය පුරා බීජිනයේ අනුහස වල දැමීම සඳහා ඇමරිකාවේ සැලසුම් සහගත ආක්‍රමනකාරී රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා මිලිටරිමය “ආසියාවට හැරීම” යටතේ මෙම මැදිහත්වීම සෘජුවම ගලා ආවේය.

රාජපක්ෂ පාලනයේ අත්තනෝමතික හා ආඥාදායක ස්වභාවය ගැන අවධාරනය කරමින් සිරිසේන හා ඔහුගේ හවුල, ඔවුන්ගේ ඇමරිකානු ගැති න්‍යායපත්‍රය වසංකලහ. ඔවුන්ගේ ප්‍රධාන සටන්පාඨය වූයේ “ප්‍රජාතන්ත්‍රවාදය හා ආඥාදායකත්වයට එරෙහිව සටන් කිරීම” ය. එසේම සිරිසේන වොෂින්ටනය සමඟ සිය බැඳීම පෙන්නුම් කරමින් චීන ආයෝජනයන්ගේ මට්ටම ගැන දොස් නැඟූ අතර එජාපය, මෙරට චීන “පරිවාර ග්‍රහයෙක්” බවට පත්කරන්නේ යයි රාජපක්ෂ හෙලා දුටුවේය.

එසේම පෙනී යන කරුනක් නම්, තමා බලයෙන් පහවීම රාජපක්ෂ විසින් කීකරු ලෙස පිලිගැනීම සලකුනු කරන්නේ, මැතිවරනය ඉදිරියට ගොස් ඇත්තේ, වොෂින්ටනයේ කෙතරම් සමීප නිරීක්ෂනයක් යටතේ ද යන්නයි. ඡන්දය පටන් ගැනීමට පැය කිහිපයකට පෙර ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, “ජනවාරි 08 මැතිවරනය නිදහස් සහ ප්‍රචන්ඩත්වයෙන් ද බියගැන්වීමෙන් ද තොර විය යුතු බවටත්, ඡන්ද ගනන් කිරීම විශ්වාසනීය හා විනිවිද පෙනෙන පරිදි සිදුවිය යුතු බවටත් සහතික කිරීම හා ඒ පිලිබඳව ආන්ඩුවේ වගකීමත් පෙන්වාදීම සඳහා, ප්‍රසිද්ධියේම රාජපක්ෂට කථා කලේය.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක් වන ජෙන් ප්සාකි මාධ්‍ය වෙත පැවසුවේ, ඔබාමා පාලනය “දිගටම තත්වය නිරීක්ෂනය කරන” බවය. ඇය මෙරට ආන්ඩුවට පැවසුවේ, “වංචා හා ප්‍රචන්ඩ ක්‍රියා පිලිබඳ කුමන හෝ චෝදනාවක් විශ්වාසනීය හා විනිවිද භාවයකින් ප්‍රකාශ කෙරෙන බව සහතික කරන” ලෙසය.

රාජපක්ෂටත්, ඔහුගේ ආධාරකරුවන්ටත්, මෙරට පාලක පැලැන්තියට මෙන්ම මිලිටරි හා රාජ්‍ය සංස්ථාපිතයටත් ෙමම පනිවිඩය ඕනෑවටත් වඩා පැහැදිලිය: පරාජය පිලිගැනුම, නැත්නම් සොරකම් කල මැතිවරනයක් බවට ඇමරිකාවේ මූලිකත්වයෙන් දියත්වන සැලසුම්සහගත ව්‍යාපාරයකට සූදානම් වෙනු, යන්නයි. මෙරට ඇති ඇමරිකානු ගැති විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්යසෝති සරවනමුත්තු නිව් යොර්ක් ටයිම්ස් පත්‍රයට මෙසේ පැවසීය. “මම හිතන්නේ ඔහු (රාජපක්ෂ), පනිවිඩය වටහා ගන්නට ඇති බවය. රාජ්‍ය හමුදාවල ඔහුගේ නියෝජිතයින් ඔහුට මෙසේ පවසන්නට ඇත. ‘මේ බලන්න අප මහජන මතයට හරස් කැපීමට යන්නේ නෑ'.”

ලන්ඩනයේ පලවූ ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය 08දා මෙසේ කියා තිබුනි. මැතිවරනයෙන් කවුරු ජයගත්ත ද “ජයග්‍රහනයේ ඉම පටු වනු ඇත, ඡන්ද වංචා හා අනෙකුත් අක්‍රමිකතා පිලිබඳ වේදනාකාරී ප්‍රකාශ නිකුත්වීමේ හැකියාව ඇත. එය ආන්ඩුව හා විපක්ෂය අතර තවත් ප්‍රචන්ඩ ගැටුම් පිලිබඳ තර්ජනය මතු කරනු ඇත.” මෙම ප්‍රකාශයේ ඉලක්කය වූයේ, සිරිසේන ජය නො ගතහොත් මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා හා ඡන්ද මගඩි මුල්කරගත් විපක්ෂයේ උද්ඝෝෂනයක් සඳහා පසුබිම සැකසීමය.

එක්සත් ජනපද-චීන ආතතීන්ට සම්බන්ධව ශ්‍රී ලංකාවේ තත්වය පිලිබඳව ඇමරිකානු මූල්‍ය පැලැන්තියේ හොරනෑවක් වන බ්ලූම්බර්ග් 08දා විවෘතව පෙන්වා දුන්නේය. “ ඉන්දියානු සාගරය මත අනුහස ශ්‍රී ලංකාවේ මැතිවරනය තුල අවදානමට ලක්ව ඇත” යන මාතෘකාව යටතේ එය සඳහන් කරන්නේ, “හෙට පැවැත්වෙන ශ්‍රීලංකාවේ ජනාධිපතිවරනය දෙස සියලු ලෝක නායකයින් බලා සිටින අතර, බොහෝ දේ පරදුවට තැබී ඇත්තේ චීන ජනාධිපති සී ජින්පින්ටය.

බ්ලූම්බර්ග් වාර්තා කරන්නේ, පසුගිය දශකය තුල එක්සත් ජනපදය හා එහි යුරෝපීය මිතුරන් එකතුව යන්තම් ඩොලර් මිලියන 211ක් මෙරටට නය දී තිබියදී චීන ආන්ඩුව, මෙරටට දෙන නය ප්‍රමානය දස ගුනයකින් වැඩිවී ඩොලර් මිලියන 490ක් වී ඇති බවයි. ඒ කාලය තුල මෙරට අනෙකුත් චීන ආයෝජන බිලියන 4ටත් වඩා වැඩියෙන් ගලාවිත් ඇත.

ජනාධිපතිවරන කාලය තුල ඉන්දියාව විවෘතව යමක් කියා නැත ද එය මෙරට තම අනුහස් වැයික්කිය තුල තිබිය යුතු බව සලකන අතර චීනයේ වැඩෙන බලපෑම ගැන නැවත නැවතත් කනස්සල්ල පලකොට තිබේ. චීන ජනාධිපතිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ද පසුගිය සැප්තැම්බරයේ ද චීන සබ්මැරීන් යානා කොලඹ වරායට පැමිනීම ගැන ඉන්දීය විදේශ අමාත්‍යාංශය විරෝධය පල කලේය. කොලඹ හා බීජිනය පැවසුවේ එය සාමාන්‍ය දෙයක් බවත් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත්ය.

වසරකට තෙල් නැව් 4000ක් ගමන් ගන්නා, ඉන්දියානු සාගරයේ නාවික මාර්ග වලට ආසන්නව මූලෝපායික වැදගත් තැනක ශ්‍රී ලංකාව පිහිටා ඇත. ඇමරිකාව හා ඉන්දියාව වැනි එහි සහචරයින්, එම මුහුදු මාර්ග පාලනය කල යුතු බව වොෂින්ටනය සලකනු ලබයි. එමඟින් ඔවුන්ට, මැද පෙරදිගින් හා අප්‍රිකාවෙන් තෙල් හා අනෙකුත් බල ශක්ති සැපයුම් ආනයනය කිරීමේ චීන හැකියාවන් අවහිර කිරීමට පුලුවන් බව සැලකේ.

මෙරට ජනාධිපතිවරනයේදී පාලන තන්ත්‍ර වෙනසක් සඳහා ඇමරිකාවේ මැදිහත්වීම, මෙම සලකා බැලීම් සමඟ බැඳී ඇති අතර එම තත්වය, මේ දිවයිනේ පමනක් නොව දකුනු ආසියාවේ ද ලෝකය පුරා ද කම්කරු පන්තියට බරපතල අන්තරායන් ගෙන එයි. ඇමරිකාවේ “හැරීම” සමග ජනාධිපති සිරිසේනගේ පෙලගැසීම, ආසියාවේ භූදේශපාලනික ආතතීන් උත්සන්න කරනු ඇති අතර යුද්ධය කරා ධාවනය ද වේගවත් කරනු ඇත.

සිරිසේන සමග පෙලගැසෙමින් ඔහුගේ මැතිවරන ව්‍යාපාරය ඔසවා තබන, ව්‍යාජ වාම නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඇතුලු සියලු බලවේග මෙම තත්වය ඇතිවීම සම්බන්ධයෙන් වගකීම දරයි. ඔවුන් සියල්ලෝම, අධිරාජ්‍යවාදයේ ප්‍රතිගාමී අරමුනු වෙනුවෙන් සේවය කරන න්‍යාය පත්‍රයක් තුලට, රාජපක්ෂ ආන්ඩුවේ ජීවන තත්වයන්ට එරෙහි ප්‍රහාරයන්ට හා පොලිස් රාජ්‍ය ක්‍රමෝපායන්ට එරෙහිව කම්කරුවන්, තරුනයින් හා ගම්බද පීඩිතයින් අතර පැවති අව්‍යාජ කෝපය හරවා යැවීම සඳහා, ඇමරිකානු ගැති විපක්ෂයට උදව් කලහ.

Share this article: