විරෝධතාවයේ නියුතු විවෘත විශ්ව විද්‍යාල සිසුන් සසජාතශි සමග කතා කරයි

අපේ වාර්තාකරුවන් විසිනි. 2015 ජනවාරි 21

නාවල, විවෘත විශ්ව විද්‍යාලයේ වැඩිකල පාඨමාලා ගාස්තු වහා පහල දමන ලෙස ඉල්ලමින් එහි සිසුන් ආරම්භ කල විරෝධතා “සත්‍යග‍්‍රහයට” පසුගිය ජනවාරි 17 වන විට මාසයක් සපිරුනි.

පසුගිය දෙසැම්බර් 3 වන දා නාවල සිට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව (යූජීසී) තෙක් පාගමනකින් ගිය සිසුහු තම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා එහි පාලනාධිකාරියෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියහ. දවස් 14 ක් තුල සාකච්ඡාවක් ලබා දෙන බවට යූජීසීයෙන් පොරොන්දු වූව ද එය ඉටු නොවුන බැවින් දෙසැම්බර් 17 වන දා විශ්ව විද්‍යාලය ඉදිරිපිට අට්ටාලයක් ඉදිකර “සත්‍යග‍්‍රහය” ආරම්භ කල බව විරෝධතාවයේ යෙදෙන සිසුහු සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සමග පැවසූහ. මෙම විරෝධතාවට පේරාදෙනිය විශ්ව විද්‍යාලය ඇතුලු විශ්ව විද්‍යාල කිහිපයකම සහායද ලැබී තිබුනි.

“සත්‍යග‍්‍රහය” ආරම්භවී දින කීපයකට පසු යූජීසීයෙන් ලැබුනු සාකච්ඡාවට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ද සහභාගි වී ඇත. එම සාකච්ඡාවේදී සිසුන්ට පනවා ඇති පන්ති තහනම් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය එකඟ නොවූ බවත් පාඨමාලා ගාස්තු සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට කමිටුවක් පත්කල බවත් සිසුහු තවදුරටත් පැවසූහ. එහෙත් එම කමිටුව මගින් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කවර හෝ පියවරක් ගෙන නොමැත.

1980 දී ආරම්භ කරන ලද විවෘත විශ්ව විද්‍යාලයේ නාවල ප‍්‍රධාන මධ්‍යස්ථානය තුල සහ දිවයින පුරා පිහිටි එහි ප‍්‍රාදේශීය මධ්‍යස්ථාන 8 ක සිසුහු 35,000 කට අධික පිරිසක් ඉගෙනුම ලබති. අනෙකුත් විශ්ව විද්‍යාල තුල ඇති ඉඩකඩ සීමා කෙරී ඇති තතු යටතේ උසස් පෙල සමත්ව සරසවි වරම් නොලබන දහස් සංඛ්‍යාත සිසුන්, විවෘත විශ්ව විද්‍යාලය හරහා තම උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට යොමුව සිටී. විශේෂයෙන්ම ලක්ෂ ගනනින් මුදල් අයකෙරෙන පුද්ගලික පාඨමාලා සඳහා වියදම් කිරීමට අතමිට නැති පවුල්වල දරුවනට මෙම විවෘත විශ්ව විද්‍යාලය යම් අස්වැසිල්ලක් විය.

එහෙත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශ්ව විද්‍යාල වලට ලබා දෙන ප‍්‍රතිපාදන විශාල වශයෙන් කපා දැමෙන තතු යටතේ විවෘත විශ්ව විද්‍යාලය වඩාත් බරපතල මූල්‍ය අර්බුදයකට මුහුන දී ඇත. මෙම තතු තුල ආන්ඩුව සහ විශ්ව විද්‍යාල පරිපාලනය එක්ව පාඨමාලා ගාස්තු දැවැන්තව ඉහල නංවමින් එම අර්බුදයේ බර සිසුන් සහ ඔවුනගේ දෙමාපියන් මත පටවමින් සිටී.

විරෝධතාවයේ යෙදී සිටින සිසුන්ගේ සහායට පැමින සිටි විවෘත විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙක් ඉහත තත්වය පැහැදිලි කරමින් සසජාතශි සාමාජිකයින්ට මෙසේ පැවසීය: “විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමාලා ගාස්තු සාමාන්‍ය පටිපාටියට අනුව වසරකට වැඩිකරනු ලබන්නේ 10%-15% වැනි ප‍්‍රමානයකින්. සිසුන්ට ලබාදෙන ඉගෙනුම් අධාරක (learning material) වලට තමයි අයකිරීම කරන්නේ. 2007 වසරේදී මෙම ගාස්තුව මුදලින් රුපියල් 3000ක් පමන වුනා. 2011 දී එය රු: 15000 ක් දක්වා ඉහල ගියා. දැන් (2014) එය රුපියල් 60,000ක් වෙනවා. ඉංජිනේරු පාඨමාලාව සඳහා ගාස්තු ඉහල දැමුවේ 120%ක් වැනි අධික අගයකින්.”

කලින් පැවති රාජපක්ෂ ආන්ඩුව සිසුන්ට එරෙහිව ගෙනගිය බලගතු මර්දනය යටතේ උපකුලපතිවරයා තම ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට පහර පිට පහර එල්ල කල ආකාරය සිසුහු විස්තර කලහ. “සිසුන්ට රැස්වීමට ඇති ඉඩකඩ සම්පූර්නයෙන් නැතිකර දැම්මා. සිසුන්ට වාඩි වීමට තිබූ බංකු සහ හට් කඩා ඉවත් කලා. අධ්‍යාපනය පෞද්ගලිකරනය කිරීමේ වැඩකටයුතු තිව‍්‍ර කිරීමේ වැඩ කටයුතු විදියට තමයි මේවා කලේ. අපි මේවට මානව හිමිකම් නඩු පවා දැම්මා. වැඩක් වුනේ නැහැ” යනුවෙන් ශිෂ්‍යයෙකු පැවසීය.

සිසුන්ට ක‍්‍රීඩාපිටිය තහනම් කෙරී ඇත. එයට විරෝධය දක්වනු වස් උපකුලපති අන නොතකා ක‍්‍රීඩාපිටියට ගිය ශිෂ්‍යයන් අතරින් පස්දෙනෙකුගේ පන්ති තහනම් කෙරුනු බවත්, විශ්වවිද්‍යාල භූමියේ සවස 5න් පසු රැඳී සිටීම වාරනය කෙරුනු බවත් සිසුහු පැවසූහ.

තවත් ශිෂ්‍යයෙකු මෙසේ පැවසීය: “2011 දී ශිෂ්‍ය සංගම් තහනම් කලා. ඉන්පසු ඡන්දයක් කැඳවුවෙත් නැහැ. මේවා සම්පුර්නයෙන්ම පාඨමාලා ගාස්තු වැඩිකරද්දී මතුවිය හැකි ශිෂ්‍ය විරෝධය මැඩපවත්වා ගැනීමේ මූලික පියවරක් වශයෙන් තමයි කලේ.”

පාඨමාලා ගාස්තු ඉහල නැංවීම සම්බන්ධයෙන් උපකුලපතිවරයා දැක්වූ ප‍්‍රතිචාරය සිසුන් විසින් හෙලා දැක්කේ දැඩි කෝපයකිනි: “මේ ගැන ඔහු පල කලේ තුච්ඡ අදහසක්. ඔහු කීවා ගාස්තු 200%කින් හරි ඉහල දාන්න ඕනෙ කියල. අධ්‍යාපනය නිකං දෙන්න ගියාම තමයි ඒකේ අගයක් නැති වෙන්නෙ කියලත් ආයතනය පාඩු ලබන නිසා ගාස්තු වැඩිකරන්නේ නැතුව මේක කරගෙන යන්න බෑ කියලත් ඔහු අපට කිව්ව”.

රාජපක්ෂ ආන්ඩුව විශ්ව විද්‍යාල පරිපාලනය සමග එක්ව විශ්ව විද්‍යාල ලාභ උපදවන ආයතනයන් බවට පත් කිරීමට දැරූ උත්සාහය සිසුහු පැහැදිලි කලහ. “ඊසොෆ්ට් (esoft) හා ඇක්වයිනාස් (aquainas) වැනි පෞද්ගලික අධ්‍යාපන ආයතන වලට දේශන ශාලා, විද්‍යාගාර කුලියට දෙනවා. විදෙස් සිසුන්ට අධික මිල ගනන් වලට පාඨමාලා ආරම්භ කරල අර්ධ කාලීන පාඨමාලා (parttime courses) ගොඩක් පටන් අරන් ඒවායිනුත් මුදල් උපයනවා. මේවා උපකුලපතිගේ තනි මතයට කෙරෙන දේවල් නොවෙන බවත් ඉහලින් එන අන පිලිපැදීමක් බවත් අපි දන්නවා.”

සිරිසේන‐වික‍්‍රමසිංහ ආන්ඩුවේ නව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් විරෝධතාවයේ යෙදෙන සිසුන් හමුවීමට පැමින ඇති අතර ගාස්තු පිලිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීම අවශ්‍ය බව පවසා නික්ම ගොස් ඇත. ශිෂ්‍යයෙකු මෙසේ පැවසීය: “ශිෂ්‍ය සංගම් යලි ලබාදෙන්නත්, පන්ති තහනම් අයින් කරන්නත් ඇමතිවරයා පොරොන්දු වුනා. ඒත් මූලික ප‍්‍රශ්නයෙන් ඔහු ලිස්සා ගියා. ඔහුගේ පැමිනීම සංදර්ශනයක් විතරයි කියලයි අපටනම් හිතෙන්නේ.”

සිසුන් ආන්ඩුවලට බලපෑම් දැමීමේ විරෝධතාවන් තුල කොටු කොට ඔවුන්ගේ විරෝධය වාෂ්ප කර දැමීමේ කාර්යයෙහි නිරතව සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම), විවෘත විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයට ද නායකත්වය සපයයි. විශ්ව විද්‍යාල පරිපාලනයන් විසින් ලබා දෙන ව්‍යාජ පොරොන්දු මත සිසු අරගල පාවාදීමේ දිගු ඉතිහාසයක් සහිත අවිශිබම මෙම අරගලය ද එවන් පොරොන්දුවකට යටත් කිරීම සඳහා අර අඳී. මෙය ප‍්‍රකාශයට පත් කරමින් එක් ශිෂ්‍ය නායකයෙකු පැවසුවේ “ගාස්තු සම්බන්ධයෙන් සනාතන සභාවෙන් සම්මත වුනු ලියවිල්ලක් ලබා ගන්නා තෙක් සටන ඉදිරියට ගෙනයන” බවයි.

සිරිසේන‐වික‍්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් අනුව 2016 වන විට අයවැය පරතරය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.8ට කප්පාදු කිරීමත් සමග ම අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය සේවාවන් ද තවදුරටත් විනාශ කිරීමට නියමිත බව සසජාතශි සාමාජිකයන් පෙන්වා දුන් විට නව ආන්ඩුව පිලිබඳව විශ්වාසය පල කරමින් ඔහු මෙසේ පැවසීය. “ආන්ඩු වෙනස සිද්ධ වුන ගමන් නිසා තාම මේ ආන්ඩුව ගැන අදහසක් නැහැ. මේ ආන්ඩුවටත් දිගටම දැනුවත් කිරීම් කරනවා. වෙනසක් නොවුනොත් දැවැන්ත අරගල වලට යනවා.”

අතීතයේ කම්කරු පන්තිය සටන් වැද ස්ථාපිත කල, සටන් ක‍්‍රමවේදයන්ගෙන් වඩවඩාත් ඉවත් වෙමින්, සත්‍යග‍්‍රහ වැනි සාමවාදී සහ ගාන්ධිවාදී ක‍්‍රමවේදයන්හි සිසුන් නිරත කරමින් අවිශිබම සහ එයට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිසුන්ගේ සටන්කාමිත්වය මොට කරන අයුරු සහ ඔවුන් දේශපාලනිකව නිරායුධ කරන අයුරු සසජාතශි සමාජිකයෝ සිසුන්ට පෙන්වා දුන්හ.

ලාභය මත පදනම්වූ ධනවාදය ලෝක පරිමානව පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදය ස්ථාපිත කිරීමට කෙරෙන අරගලයෙන් පමනක් අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් ද මූලික ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ද රැකගත හැකි බව සසජාතශි පැහැදිලි කලවිට එක් ශිෂ්‍යයෙකු මෙසේ පැවසීය:

“අරගල කරන ක‍්‍රමවේදයන් ගැන අපිටත් සංවාදයක් තියෙනවා. මේ ක‍්‍රමවල වෙනසක් අවශ්‍යයි. නියම විසඳුමකට නම් සමාජවාදය වෙනුවෙන් සටන් කල යුතුයි කියලා අපි පිලිගන්නවා. දේශපාලනික වැඩපිලිිවෙලක් තමයි අවශ්‍ය. අවිශිබමය ජාත්‍යන්තර තත්වය ගැන ශිෂ්‍යයන් දැනුවත් කරන්නෙ නෑ.”

Share this article: