ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරනය තුල එසප ව්‍යාජ වම්මු දෙපිටකාට්ටු පිලිවෙතක් අනුගමනය කරති

Pseudo-left USP plays double game in Sri Lankan presidential election

විලානි පීරිස් විසිනි , 2015 ජනවාරි 05

කම්කරු ජාත්‍යන්තරයේ ව්‍යාජ වාම කමිටුවට අනුබද්ධ මෙරට එක්සත් සමාජවාදී පක්ෂය (එසප), ජනවාරි 08දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනයේදී තරයේම දෙපිටකාට්ටු පිලිවෙතක් අනුගමනය කරයි.

එසප සිය නායකයා වන සිරිතුංග ජයසූරිය පක්ෂයේ ස්වාධීන අපේක්ෂකයා ලෙස ඉදිරිපත්කර ඇති නමුත් යථාර්තයේදී, පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනට වහෙන් ඔරෝ ක‍්‍රමයට සහාය දෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ “ආඥාදායක තන්ත‍්‍රය” හෙලා දකින ගමන් ඔවුහු, මාසයකට පෙර එම “දූෂිත” ආන්ඩුවේම ලැග සිටි සිරිසේනට ඉදිරිපත් කරන්නේ සැර බාල විවේචනය.

රට තුල වැඩකරන ජනතාව අතර වැඩෙමින් ඇති විරුද්ධත්වය ද ආන්ඩුවේ “මානව අයිතීන්” පිලිබඳ වාර්තාව කෙරෙහි පල වන ජාත්‍යන්තර විවේචන ද හමුවේ රාජපක්ෂ, දෙවසරකට පෙරාතුව ජනාධිපතිවරනය ප‍්‍රකාශ කලේය. අවසානය දක්වාම යුද්ධයට සහාය දැක්වූ වොෂින්ටනය, එල්ටීටීඊයට එරෙහි යුද්ධය අවධියේ මිලිටරිය විසින් සිදුකරන ලද යුද අපරාධ මුල්කරගෙන නරුම ව්‍යාපාරයක් දැන් දියත් කර ඇත්තේ චීනයෙන් දුරස්ත වන ලෙසට රාජපක්ෂ මත පීඩනය යෙදීමටය.

රාජපක්ෂ මැතිවරනය නිවේදනය කල විගසම ආන්ඩුවෙන් ඉවත්වූ සිරිසේන, එක්සත් ජාතික පක්ෂයේ ද පිටුබලය සහිතව තමා තරග වදින බව කියා සිටියේය. එක් හෝ තවත් මගකින් විපක්ෂයේ සියලු පක්ෂ පොදු අපේක්ෂකයාගේ මෙම මැතිවරන ව්‍යාපාරයට ඒකාබද්ධව සිටිති. එය දියත් වන්නේ වොෂින්ටනයෙන් නිකුත් කල කොල එලිය ද ඇතිවය. කොලඹ පාලන තන්ත‍්‍ර වෙනසක් සඳහා ඇමරිකාවේ තල්ලුව, ආර්ථික හා මූලෝපායිකව කලාපය තුල චීනයට වල කැපීම එල්ල කරගත් “ආසියාවට හැරීම” සමග බැඳී ඇත.

වසර ගනනක් තිස්සේ එසප, එවැනිම ව්‍යාජ වාම සංවිධානයක් වන නව සමසමාජ පක්ෂය (නසසප) සමග, රාජපක්ෂට ඇති “ප‍්‍රජාත්නත‍්‍රවාදී” විකල්පය ලෙස ඇමරිකානු ගැති යොමුවක් පිලිබඳව ප‍්‍රකට දක්ෂිනාංශික එජාපය පිම්බීමට වැඩ කලේය. බලයේ සිටියදී එජාප, වර්ගවාදී යුද්ධයේදී ද වැඩකරන ජනතාවගේ විරෝධය මැඬීමේදී ද රාජපක්ෂගේ ශ‍්‍රීලනිප මෙන්ම නිර්දය විය.

පසුගිය වසරේ නිකුත් කල සිය ඉදිරිදර්ශන ලිපිය තුල එසප, මෙසේ කියමින් එජාපය සමග ගෙන යන තම අවස්ථාවාදී සන්ධානය යුක්තිසහගත කලේය: “ආන්ඩුවේ මර්දනය පිලිබඳ මේ වාතාවරනය තුල අපට එක්සත් උද්ඝෝෂන වලට යාමට සිදුව තිබේ. රාජපක්ෂ තන්ත‍්‍රයේ මර්දනකාරී පියවරයන්ට එරෙහිව සමහර විට ධනපති පක්ෂ සමග ද එකතුවීමට සිදුවනු ඇත. අධිරාජ්‍යවාදයේ හෙංචයියෙක් වන එජාප සමග එක වේදිකාවේ පෙනී සිටීමට අපට සිදුවිය හැක. එසේම ආඥාදායක තන්ත‍්‍රයේ මර්දනයට එරෙහිව වීදිවල උද්ඝෝෂනය කිරීමට සිදුවනු ඇත.”

දැන් එජාපය සිරිසේනට පිටුබලය දෙන විට නසසප හා එසප ද පොදු අපේක්ෂකයා පිටුපස පෙල ගැසී ඇත. එහි වැඩ බෙදාගැනීමක් තිබේ. නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න විවෘතවම සිරිසේන වෙනුවෙන් උද්ඝෝෂනය කරන අතර “ස්වාධීන” එසප, තම ප‍්‍රධාන ප‍්‍රහාරය රාජපක්ෂට එරෙහිව එල්ල කරමින් සිරිසේන ගැන සීමිත විවේචන එල්ල කරයි.

එසප සිරිසේන වෙතින් තරමක් දුරස්තව සිටින්නේ, ඔහුගේ මැතිවරන ව්‍යාපාරය ගැන වැඩකරන ජනතාව අතර සැලකිය යුතු සැකයක් හා විරුද්ධත්වයක් පැවතීමේ තතු තුලය. රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රබල ඇමතියෙක් හා ශ‍්‍රීලනිප ලේකම්ව සිටිමින්, ඔහු රාජපක්ෂ තන්ත‍්‍රයේ සියලු අපරාධ හා කම්කරු පන්තියට එල්ල කල ප‍්‍රහාරයන්ගේ පූර්න වගකීම දරා සිටියි. විපක්ෂයේ එජාපය හා අනෙකුත් පක්ෂ වහාම සිරිසේන වටේ රැලිවීම, ඔවුන්ට ආන්ඩුව සමග මූලික මතභේද නොපවතින බව ඇඟවුම් කරයි.

රාජපක්ෂ සමග සසඳන කල සිරිසේන “අඩු නපුර” නියෝජනය කරන බව කියමින් එසප උත්සාහ කරන්නේ, විරෝධය ඔහු පිටුපස පෙලගැස්වීමටය. තමා ස්වාධීනව ඉදිරිපත්ව සිටින්නේ, “වත්මන් තන්ත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීමේ අවස්ථාව හා අප සියල්ලන්ට යහපතක් වන හොඳ ආර්ථික හා දේශපාලන ක‍්‍රමයක් නිර්මානය කිරීමේ ඉල්ලීම වෙනුවෙන් හඬක් නැගීමේ අවස්ථාව ජනතාවට ලබා දීමටය” යි එසපයේ වෙබ් අඩවියට දුන් සම්මුඛ සාකච්ඡාවකදී එහි අපේක්ෂක ජයසූරිය කියා සිටියේ ය.

එසප පොදු විපක්ෂය සමග එක් නොවන්නේ මන්දැයි විමසූ විට ජයසූරිය, සිය ආන්ඩු විරෝධී අක්ත පත‍්‍ර ඉදිරිපත් කරමින් රාජපක්ෂ පරාජය කිරීම සඳහා එක්වීමට ඇති මනාපය වහාම එලි දැක්වීය. ඔහු මෙසේ පැවසීය. එසප, “බලයේ සිටින, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා කුරිරු තන්ත‍්‍රයට එරෙහිව විරෝධතාවන්හි හා සියලු වර්ගයේ කටයුතු වලට දිගටම සහභාගී වනු ඇත. ආඥදායක තන්ත‍්‍රයෙන් අත් මිදීම සඳහා තියුනු වෙනස්කම් තිබිය දී අප, විවිධ පක්ෂ හා සංවිධාන සමග වැඩ කිරීමට සූදානම්ය.”

සැබවින්ම එසප මානාප වන්නේ, සිරිසේන සමග වඩාත් සමීපව කටයුතු කිරීම ගැන සිය කනස්සල්ල බෙදා ගන්නා අනෙකුත් ව්‍යාජ වාම සංවිධාන සමග දේශපාලන සන්ධානයක් අටවා ගැනීමටය. ඔවුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය හා නසසපයෙන් බිඳී ගිය කොටසක් සමග පොදු මැතිවරන වේදිකාවක් මත “විකල්ප වමේ අපේක්ෂකයෙක්” ඉදිරිපත් කිරීම පිලිබඳව සාකච්ඡා පවත්වා ඇත. එසප ජයසූරිය ඉදිරිපත් කලේ උපායික නොඑකඟතා මුල්කරගෙන එම උපාමාරුව බිඳ වැටීමෙන් අනතුරුව පමනි.

එසප සිරිසේන ගැන කරන විවේචන, “නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති වලට ඇති ඔහුගේ කැපවීමට” හා ඔහු ජනාධිපති වුවහොත් සිදුවිය හැකි දේ පිලිබඳ කනස්සල්ලට පමනක් සීමාවෙයි. බලයේ සිටි සිරිසේනගේ වාර්තාව ගැන ජයසූරිය මුලුමනින්ම නිහඬය. සියල්ලටත් වඩා, ඔහු පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේදී තිරයට පිටුපසින් පැවති වොෂින්ටනයේ අතපෙවීම ගැන නිහඬය.

එම නිහඬතාවය අහම්බයක් නොවේ. ලොව පුරා ඇති ව්‍යාජ වාම සංවිධාන මෙන්ම එසප ද චීනයට එරෙහිව කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කුමන්ත‍්‍රන, මැදිහත්වීම් හා මිලිටරි තරකිරීම් සමග පෙලගැසී සිටියි. පසුගිය නොවැම්බරයේ පලවූ එහි රතු තරුව පත‍්‍රයේ එසප, “වර්තමානයේ ශ‍්‍රී ලංකාව, ඇමරිකාව, චීනය හා ඉන්දියාව වැනි රටවල අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ගේ ගොදුරක් බවට වේගයෙන් පත්වෙමින් තිබෙන”බව පවසමින්, චීනය මෙන්ම ඉන්දියාව ද එක්සත් ජනපදය සමග සම තැනෙහි තැබීය.

චීනය හා ඉන්දියාව “අධිරාජ්‍යවාදී බලවතුන්ය” යන මෙම සදොස් ගුනාංගීකරනය, එම රටවල් ඒවායේ ජාත්‍යන්තර හා ඓතිහාසික සන්දර්භයෙන් වෙන් කරයි. පසුගිය දශක දෙක පුරා ඒවායේ ආර්ථික ප‍්‍රසාරනය සිදුවූයේ, ආයෝජන හා තාක්ෂනය සඳහා චීනය හා ඉන්දියාව යැපුනු ප‍්‍රමුඛ ගෝලීය සංගතයන්හි ලාභ ශ‍්‍රම මූලාශ‍්‍රයන් වීමේ පදනම මතය. තව ද චීනය අධිරාජ්‍යවාදී යයි සැලකීම ඉතා නිශ්චිත දේශපාලන අරමුනක් වෙනුවෙන් සේවය කරයි. චීනය හා ඇමරිකාව සමාන කිරීම මගින් ව්‍යාජ වම්මු, කෙලින්ම හෝ වක‍්‍ර ලෙස පෙල ගැසෙන්නේ, “ආක‍්‍රමනික, ප‍්‍රකෝපකාරී, නැගීඑන” චීනයට එරෙහි යුද සූදානමේදී ඇමරිකානු ප‍්‍රචාරනයට උදව් කිරීමට ය.

එසප හා නසසපය පූර්න පිටුබලය දෙන මෙරට “මානව අයිතීන්” පිලිබඳ වොෂින්ටනයේ උද්ඝෝෂනයෙහි එල්ලය වන්නේ, මූලෝපායිකව වැදගත් ස්ථානයක පිහිටි දිවයින තම යුද සූදානම තුලට ඒකාග‍්‍ර කිරීමය. එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සලය තුල මෙරට යුද අපරාධ ගැන පරීක්ෂනයක් සඳහා ඇමරිකාව යොදන බලපෑම, රාජපක්ෂ චීනය සමග පවත්වන බැඳීම් අවසන් කරන්නේ නැත්නම් ජාත්‍යන්තර යුද අධිකරනයකදී චෝදනා ගොනු කිරීමේ තත්වයට මුහුන දෙන ලෙසට කෙරෙන තර්ජනයකි. බුරුමය සම්බන්ධ කාරනයේදී මෙන්, කොලඹ, වොෂින්ටනය සමග පෙල ගැසෙන්නේ නම්, මිලිටරියේ අපරාධ ඉක්මනින්ම අමතක කෙරෙනු ඇත.

“ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයක” ගොදුරක් බවට පත්ව ඇතැයි යන රාජපක්ෂගේ වාචාල කථාව තිබියදී ම ඔහු උත්සාහ කරන්නේ, චීනය හා ඇමරිකාව අතර තුලනය වීමටය. බීජිනයෙන් ආර්ථික ආධාර හා ආයෝජන අඛන්ඩව ලබාගැනීමට බලාපොරොත්තු වන අතර ඔහු, වොෂින්ටනය තම ආන්ඩුවට එල්ල කරන තියුනු විවේචන ඉවත්කර ගැනීමේ ද එහි සහයෝගය දිනා ගැනීමේ ද උත්සාහයක නිරතව සිටියි. රාජපක්ෂ හා සිරිසේන යන දෙදෙනාම, වැඩකරන ජනතාවට එරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු නියෝග ක‍්‍රියාත්මක කිරීමට අධිෂ්ඨානවත්ය.

“නව ලිබරල් ආර්ථිකයේ නියෝජිතයන් ලෙස රාජපක්ෂ මෙන්ම පොදු අපේක්ෂකයා ද මෙම මැතිවරනයට ඉදිරිපත්ව සිටින” බව කියා සිටිමින් එසප “ස්වාධීන” ලෙස පෙනී සිටීමට උත්සාහ කරයි. කෙසේ වෙතත් ඔහු “නව-ලිබරල්වාදයට” විරුද්ධ වන්නේ සමාජවාදී ආස්ථානයක සිට නොවේ. ඔවුන් පෙනී සිටින්නේ, නිෂ්පාදනයේ ගෝලීයකරනය මගින් මුලුමනින්ම වල කපා ඇති 1950 හා 60 ගනන්වල ජාතික ආර්ථික වැඩසටහන පිලිබඳ ඉදිරිදර්ශනය කරා යලි එලඹීම වෙනුවෙනි.

එසප ස්වාධීන යයි පෙන්වමින් “රාජපක්ෂ හා ප‍්‍රධාන විරුද්ධ පක්ෂ අපේක්ෂක නව ලිබරල් ආර්ථිකයේ නියෝජිතයන් ලෙස පෙනී සිටී” යනුවෙන් ප‍්‍රකාශ කරයි. කොහොම උනත් “නව ලිබරල්වාදයට” විරුද්ධව සමාජවාදය ඉදිරිපත් කරන්නේ නැත. නමුත් නිෂ්පාදනයේ භූගෝලීය කරනය මගින් අහෝසි කර ඇති 1950 සහ 1960 ගනන් වල ජාතික ආර්ථික ප‍්‍රතිපත්තිය කෙරේ යලිත් හැරීමක් ඉල්ලා සිටියි.

එසප ක‍්‍රියාමාර්ගය ජාතිකවාදය තුල මුලුමනින්ම එරී ඇත. ඔවුන්ගේ මැතිවරන ප‍්‍රකාශනයක් තුල පැහැදිලි කරන පරිදි, “නව රටක් තුල, ජාතික අවශ්‍යතා පදනම් කරගත් ආර්ථික ක‍්‍රමයක් ලෙස ආර්ථිකය වෙනස් කරන සංක‍්‍රමනීය අවධියක් සඳහා අප” පෙනී සිටින්නෙමු. “ජාතික අවශ්‍යතා මත පදනම්වූ” ආර්ථික ප‍්‍රතිව්‍යුහකරනයක් වෙනුවෙන් කථා කිරීම යනු අන් කිසිවක් නොව, මධ්‍යම පන්තික කොටස් වලටත් වැඩෙන ජාත්‍යන්තර තරගයෙන් පහර වදින ව්‍යාපාරිකයන්ටත් ආයාචනය කිරීමයි. මෙරට කම්කරුවන්ට තමන් මුහුන දෙන සමාජ අර්බුදය හෝ වැඩෙන යුද තර්ජනය ජාතික රාජ්‍යයේ ආකෘතිය තුල විසඳාගත නොහැකිය. එය කල හැක්කේ, ධනවාදය පෙරලා දැමීම සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් ලෙස පමනි.

කම්කරු පන්තිය, ධනේශ්වරයේ සියලු කොටස් වලින් දේශපාලනිකව ස්වාධීන කරගැනීමේ අරගලයෙහි එකම පදනම, සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලයයි. සියලු වර්ගයේ පන්ති සහයෝගිතාවය ප‍්‍රතික්ෂේප කරමින්, කම්කරු පන්තිය හා පීඩිත ජනතාව, යුද්ධයට හා සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහි ජාත්‍යන්තර අරගලයක කොටසක් ලෙස ස්වාධීනව මෙහෙයවීම වෙනුවෙන් පෙනී සිටින, මෙම ජනාධිපතිවරනයට ඉදිරිපත්ව සිටින එකම පක්ෂය සසප ය. අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ, පානි විජේසිරිවර්දනට ඡන්දය දෙන ලෙසත් සසප ගොඩනැගීමට එක්වන ලෙසත්ය.

Share this article: