ජර්මානු ප්‍රශ්නය යලි මතුවෙයි

The return of the “German question”

පීටර් ස්වාස් විසිනි ,2015 ජූලි 22

යුරෝපයේ ආධිපත්‍යය දැරීමෙන් ජර්මනිය වලක්වන්නේ කෙසේ ද හා එරට හසුරුවා ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය යලි වතාවක් ජාත්‍යන්තර මාධ්‍යය තුල ප්‍රමුඛස්ථානයට පැමින ඇත.

“ජර්මානු ප්‍රශ්නය යලි මතුව ඇත” පසුගිය සතියේ මුල නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය පැවසීය.මෙයින් අදහස් කරන්නේ, ජර්මනිය පාලනයක් යටතේ තබා ගන්නේ කෙසේ ද, එරට යුරෝපයේ ආධිපත්‍යය දැරීම වලක්වන්නේ කෙසේ ද හා දෙවන ලෝක යුද්ධයේදී කලාක් මෙන් එරට විනාශ කරන්නේ කෙසේ ද? යන්නයි. ප්‍රන්ස, ඉතාලියානු, බ්‍රිතාන්‍ය හා ඇමරිකානු මාධ්‍ය තුල සතිය පුරාම පලවූ විවිධ ලිපි වලින්, ජර්මානු ආන්ඩුව යුරෝපයේ ආධිපත්‍ය ඉසිලීමට උත්සාහ දරන බවට චෝදනා නඟමින්, බර්ලිනය විනයගත කිරීම පිලිබඳව අවධාරනය කෙරුනි.

තත්වාරක්ෂක පුවත්පතක් වන ප්‍රන්සයේ ලේ ෆිගරෝ "කැලඹීමේ ජර්මන් විරෝධී කලාපය" ප්‍රන්සය පුරා පැතිරෙමින් ඇතැයි ලිවීය. "වාම පෙරමුනේ සවෛරිත්වවාදීන්ගේ සිට ගෝල්වාදී රිපබ්ලිකානු පක්ෂය දක්වා වන, ප්‍රන්ස දේශපාලන පන්තියේ කොටසක්, යුරෝපීය සංඟමය (යුසං) කෙරෙහි ජර්මනියේ ආකල්පයට පහර දෙති.”

වම හා දකුන, ජර්මානු අත්තනෝමතිකත්වයට දරුනු ලෙස පහර දෙන බව සඳහන් කරමින් ලේ ෆිගරෝම ද කලින් නම් ආයුධ අවශ්‍ය කෙරී තිබුන කුඩා සාමාජික රටකට කොන්දේසි පනවන්නේ යයි ජර්මානු ආන්ඩුවට චෝදනා නඟයි.

ඉතාලියානු මාධ්‍ය, රාජ්‍යය සංවිධානය කල වධදීම් හා ජර්මානු උද්ධත්ව-උන්මාදයක් පිලිබඳව දොස් නඟයි.

ලංඩනයේ පලවන ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ වොල්ෆ්ගෑන්ග් මුන්චාඋ, "අප දන්නා හඳුනන යුරෝ කලාපය හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංඟමයක් දෙසට තැබූ පියවරක් වන මූල්‍ය සංඟමය පිලිබඳ අදහස විනාශකිරීම" ගැන ග්‍රීසියේ නයහිමියන්ට චෝදනා කරයි. "එහිදී ඔවුන්, 19 හා 20වන සියවස මුල ජාතිකවාදී යුරෝපීය බල අරගලය කරා ආපසු හැරී ඇති" බව ද ඔහු සඳහන් කරයි.

ටෙලිග්‍රාෆ් පත්‍රයට අනුව, ලන්ඩනයේ නගරාධිපති බෝරිස් ජොන්සන්, ටෝරි දක්ෂිනාංශිකයන් හමුවේ කථාකරමින් චෝදනා කලේ, "ජර්මානුවන්, එහි කර්කෂ හා නිර්දය භාවය අතින් තැතිගන්වන සුලු ලියවිල්ලක්" ඉදිරිපත්කර ඇති බව හා "ග්‍රීසියට තනි යුරෝපීය මුදලක් තුල සිටීමට අවශ්‍ය නම් ඇතන්ස් පාලනය, බිම දිගාවී බල්ලෙකු මෙන් සිටිය යුතුය. ෂෝබල්ගේ මෙම යෝජනා අත්තනෝමතිකය. ඒවාට තරයේම විරුද්ධ විය යුතුය" යනුවෙනි.

සමාජ විද්‍යඥ ජර්ජන් හැබමාස් බ්‍රිතාන්‍යයේ ගාඩියන් පත්‍රයට පැවසුවේ, "ජර්මානු ආන්ඩුව යහපත් ජර්මනියක් වෙනුවෙන් සියවස් භාගයක් තිස්සේ රැස්කරගෙන තිබෙන දේශපාලන ප්‍රාග්ධනය, එක රැයකින් සූදුවට යොදාගත්" බවයි. "'යහපත්' යනුවෙන් මා අදහස් කරන්නේ, විශාල දේශපාලන සංවේදි හා පශ්චාත් ජාතික මනෝ භාවයකින් ජර්මනිය සංලක්ෂිතව තිබීමය."

ග්‍රීසිය පිටමංවීමේ තර්ජනය

මෙම විවේචනයන්ට හේතු වූයේ, ජර්මනිය ග්‍රීසියේ ආන්ඩුව මත පටවනු ලබන නින්දිත කොන්දේසිය. ඇතන්ස් පාලනය පැරිසිය සමඟ සහයෝගයෙන් සකස් කර ඉදිරිපත් කරන ලද, යුරෝ බිලියන 13ටත් වැඩි රුදුරු කප්පාදු පියවරයන් පිලිගැනීමට බර්ලිනය සූදානම් නැත. යුරෝ බිලියන 50ක් වටිනා රාජ්‍ය වත්කම්, ජර්මනිය විසින් පාලනය කරනු ලබන භාරකාර අරමුදලකට මාරු කිරීම ද ඇතුලු තවත් ඉල්ලීම් මර්කෙල් ආන්ඩුව ඉදිරිපත්කොට ඇති අතර, ග්‍රීසිය යුරෝවෙන් තාවකාලිකව පිටමං කිරීමට තර්ජනය කරයි.

මේ සතියේ ඩර් ස්පීගල් සඟරාව වාර්තා කරන්නේ, ග්‍රීසියේ දොට්ට වැටීම නොවැලැක්විය හැකි වන පරිදි, ග්‍රීක ආන්ඩුවට පිලිගත නොහැකි වන එතරම් දැඩි කොන්දේසි සකස් කලේ, ජර්මානු මුදල් ඇමති වොල්ෆ්ගෑන්ග් ෂෝබල් විසින් සිතාමතාම බවය. එහෙත් ඔහු, සිරිසාවේ නායක ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස්, කෙසේ වුවත් ඊට යටත්වනු ඇතැයි යන කාරනය සැලකිල්ලට ගෙන නැත.

ග්‍රීසිය යුසං පිටත සිටුවීම, පැරිසියට හා රෝමයට ද දැරිය නොහැකි තහංචියක් වී ඇත. ග්‍රීසියේ පිටමං වීම, යුසං හා යුරෝ කලාපයේ ස්වභාවය මුලුමනින්ම වෙනස් කරන පූර්වාදර්ශයක් වනු ඇත. අඩුම තරමින් ඒකච්ඡන්දයෙන් හෝ බහුතරයේ තීන්දු මත පදනම්වන, ජාතීන්ගේ ප්‍රජාවක් වන එය, ජර්මනිය විසින් ආධිපත්‍යය දරන ලිහිල් සන්ධානයක් බවට පත් කරනු ඇත.

ඒ අනුව බර්ලිනයට, යුරෝ කලාපයට අයත් වන්නේ කව් ද හා අයත් නොවන්නේ කව් ද යන්න තීරනය කල හැකිවනු ඇත. ජර්මනියේ රෙගුලාසි වලට අනුකූලව අයවැය සකස්කිරීමේදී, වැඩෙන සමාජ ආතතීන් හමුවේ දේශපාලන උපාමාරු දැමීමට ඇති ඉඩ කඩ මුලුමනින්ම අහුරා දැමෙන, ප්‍රන්ස, ඉතාලි හා අනෙකුත් ආන්ඩු වලට යෙදෙන පීඩනය ඒ අනුව උග්‍ර කෙරෙනු ඇත.

මේ හේතුව මත යුරෝ සමුලුවෙන් අනතුරුව ප්‍රන්ස ජනාධිපති ප්‍රන්සුවා ඔලන්ද්, ග්‍රීසිය පිටමං වීම වලක්වා, යුරෝපයේ එක්සත්කම ආරක්ෂා කිරීමේ නියමුවා තමා බව පෙන්නුම් කල ද ජර්මනියේ කටුක කප්පාදු පියවර ග්‍රීක ජනාධිපති වෙත පිලිගැන්න විය හැකි පරිදි සකස් කිරීම පිනිස ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා යුරෝපීය සංඟමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් සමඟ රෑ එලිවන තෙක් වැඩෙහි යෙදී සිටියේය.

ජර්මනිය යලිත් මහ බලවතුන්ගේ දේශපාලනයට අවතීර්න වීම

ජර්මානු පාලක පන්තිය සිය ආක්‍රමනික හා මිලිටරිවාදී සම්ප්‍රධායන් කරා යලි අවතීර්නව සිටින බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය අනතුරු අඟවා තිබේ.

2014 සැප්තැම්බරයේදි සසප සමුලු යෝජනාව තුල මෙසේ සඳහන් විය. "මීට පෙර දෙවතාවක් ලෝකය අගාධයක් තුලට ඇද දැමූ රටේ පාලක පන්තිය, යලි වතාවක් 'ජර්මානු නායකත්වය' (ෆියුරන්ග්) සඳහා කැඳවුම් කරමින් හා තම අධිරාජ්‍යවාදී ආසක්තයන් මිලිටරි ප්‍රච්න්ඩත්වය තුලින් ජයගැනීමට සූදානම් වෙමින් සිටිති. නාසි අපරාධයන්ගෙන් හා දෙවන ලෝක යුද්ධයේ පරාජයෙන් වසර 70කට තරම් පසුව ජර්මානු පාලක පන්තිය, කයිසර් අධිරාජ්‍යයේ හා හිට්ලර්ගේ මහ බලවතන්ගේ දේශපාලනය යලිත් හරඹ කිරීමට පටන්ගෙන ඇත."

සසප හා එහි සමාජ සමානත්වය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ දරුනු ප්‍රහාරයකට ලක්ව ඇත්තේ, මෙම පිලිවෙත හා එය ද්‍රෘෂ්ඨිමය වශයෙන් යුක්තිසහගත කිරීම වෙනුවෙන් පෙනී සිටින, දේශපාලඥයින්, මාධ්‍යවේදීන් හා මහාචාර්යවරු ප්‍රසිද්ධියේ විවේචනය කරන බැවින්ය. මෑත සති වලදී සසජාතශී හා "මුන්ක්ලර් වොච්" වෙබ් පිටුවට එරෙහිව මාධ්‍ය විසින් විවිධාකාරයේ දඩයම් මෙහෙයවා ඇත්තේ, ජර්මානු මහ බලවතුන්ගේ දේශපාලනයේ දැනමුත්තන් ලෙද හර්ෆ්‍රීඩ් මුන්ක්ලර් හා ජෝර්ග් බාබරොව්ස්කි යන හම්බෝල්ට් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් හෙලිදරව් කිරීම නිසාය. එවන් විවේචන, කිසිදු සැබෑ පදනමක් නොමැති කුමන්ත්‍රන න්‍යාය හා ෆැන්ටසිය ලෙස බැහැර කරන, ජර්මානු මහ බලවතුන්ගේ දේශපාලනයට හා එහි ද්‍රෘෂ්ටිමය දැනමුත්තන්ට විරුද්ධ වීමට ඉදිරිපත්වන ඕනෑම අයෙකු බියගැන්වීම, මෙම මඩ ව්‍යාපාරයේ අරමුනයි.

එහෙත් දැන් "ජර්මානු ප්‍රශ්නය" යලි මතුව තිබීම, ජාත්‍යන්තර මාධ්‍යයේ හරි මැදට පැමින ඇත. මෑත සිදුවීම් වලින් පසුව, කයිසර් විල්හෙල්ම් හා ඇඩොල්ෆ් හිට්ලර් යටතේ සිදුවූ පරිදි, ජර්මානු අධිරාජ්‍යවාදයට ලෝක බලවතෙකුගේ ක්‍රියාකලාපය ඉටුකල හැකි වන පරිදි, රටේ පාලක පන්තිය යුරෝපයේ අධිපත්‍යය දැරීමට සූදානම් වන්නේය යන්න තවදුරටත් කිසිවෙකුට හෝ ප්‍රතික්ෂේප කල නොහැකිය.

මෙම දිශානතියේ ප්‍රමුඛයින් දෙදෙනා මුදල් ඇමති ෂෝබල් හා දේශපාලන විද්‍යාඥ මුන්ක්ලර්ය. එමඟින් ආන්ඩුව හා දේශපාලන පක්ෂ තුල සැලකියයුතු ආතතියක් නිර්මානය කර ඇත.

බුන්ඩස්ටැග් හෙවත් ජර්මානු පාර්ලිමේන්තුව තුල ග්‍රීසියට ඇපදීමේ පැකේජය පිලිබඳව ඡන්දය විමසූ කල, මෙතෙක් හටගෙන තිබෙන ලොකුම කැරැල්ල සලකුනු කරමින් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන් 65 දෙනෙක්ම චාන්සලර් අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කලහ. ඔවුන්ගේ ඡන්දය ග්‍රීසිය පිටමං කිරීමට පක්ෂව දුන් ඡන්දයක් විය. මෙය ෂෝබල් දිගටම අනුගමනය කරන පිලිවෙතයි. කෙසේ වෙතත් මේ වෙලාවේදී එවන් පියවරක් ප්‍රතික්ෂේප කරන මර්කෙල්ට, ඔහු නිල වශයෙන් පිටුබලය දෙයි.

ජර්මානු අගනුවර ඉහල සමඟ සම්බන්ධකම් ඇති මාධ්‍යෙව්දීන්ට අනුව, ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රයේ පාර්ලිමේන්තු කන්ඩායම් බහුතරය ෂෝබල් පිටුපස සිටිති. බොහෝ දෙනෙක් යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇත්තේ, මේ අවස්ථාවේ මර්කෙල්ගේ චාන්සලර් තනතුරට තර්ජනයක් වීමට අකමැති නිසාය. සුඩෙයෙත්ෂෙ සේතුං පුවත්පත කියන්නේ, ඡන්දයෙන් “මර්කෙල්ගේ බලයෙහි අවසානය” සලකුනු කෙරෙන බවයි. දැන් ෂෝබල්, “තමන්ගේ පැතතෙන් දෙවන චාන්සලර් ලෙස සිටින” බව දැන්වීමකි.

ෂෝබල්ට අවශ්‍යව ඇත්තේ, “වෙනස්වූ, වඩාත් බලපෑම් සහගත, වඩා විනයගත යුරෝපයකි.” යනුවෙන් හරිබර්ට් ප්‍රැන්ට්ල් එම පුවත්පතෙහිම ලියයි. ග්‍රීසිය පිටමං කිරීමට කරන තර්ජනයේ අරමුන වන්නේ, “යුරෝ කලාපය ස්ථාවර කිරීමයි, ග්‍රීසිය නිදසුනක් ලෙස ඉදිරිපත් කරන අතරවාරයේ, පවත්නා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කිරීමට අකමැති රටවලට, නිදසුනක් ලෙස ඉතාලියට, පාඩමක් උගැන්වීමය.”

මුදල් ඇමති කාලයක් තිස්සේ, “ජාතික අයවැය මත දැඩි පාලනයක් පවත්වාගෙන යන, යුසං අයවැය කොමසාරිස් කෙනෙකු” පත්කිරීම වෙනුවෙන් කථා කරයි. ඒ අනුව ප්‍රැන්ට්ල් පැහැදිලි කරන්නේ, එම යෝජනාව “යම් ආකාරයක ප්‍රජාතන්ත්‍ර ආඥාදායකත්වයක්” ලෙසයි. “දැන් යුරෝපය තුල ප්‍රජාතන්ත්‍රවාදය දුබල වනු ඇති නමුත් එය යුසං වඩාත් විනයගත කරනු ඇත.”

ෂෝබල් ද දේශපාලනය හා මාධ්‍ය තුල ඔහුගේ ආධාරකරුවෝ ද මේ අනුව, ජර්මනිය විසින් විනයගතකර, එහි ආධිපත්‍යය යටතේ හා බර්ලිනයේ බල දේශපාලනය සඳහා වේදිකාවක් ලෙස සේවය කරන තැනක් බවට යුරෝපය පත්කිරීමට බලපෑම් කරති. ෂෝබල් මේ සංකල්පය 1994 සිටම ඊනියා ෂෝබල්-ලැමර්ස් ලේඛනය තුල වර්ධනය කර ඇත. “මධ්‍ය යුරෝපය” යන සිරස්තලය යටතේ එය පලකරන ලදී. එවකදී ඔහු යෝජනා කලේ, ජර්මනියේ මූලිකත්වය යටතේ අනෙකුත් රටවල් ලිහිල් කන්ඩායමක් ලෙස කටයුතු කරන දැඩි අරටුවක් සහිත යුරෝපීය සංඟමයකි.

මුන්ක්ලර් ද මේ අරමුන වෙනුවෙන් පෙනී සිටියි. Power in the Middle (මධ්‍යයේ බලය ) නමැති සිය මෑත කෘතිය තුලින් ඔහු, ෂෝබල්ගේ දිශානතිය සමඟ සම්පාතවන ජර්මනිය, යුරෝපය තුල “විනයපාලකගේ” භූමිකාව ඉටුකල යුතු බව අවධාරනය කරයි. එම සංකල්පය දේශපාලන කවයන් හා මාධ්‍ය තුල එන්ට එන්ටම වැඩිවන ජනප්‍රියත්වයක් ලබාගෙන ඇත.

දෙවන හා තුන්වන කවයන් [රටවල්] “අඩු අයිතීන් සහිතව වුවත් ප්‍රශ්න අඩු කරන” පරිදි “මධ්‍ය යුරෝපය” වටා රැලිවිය යුතු බව ඔහු මෑතකදී පැවැත්වූ හමුවීම් ගනනාවකදීම වාද කර ඇත. මධ්‍යයට ඔහු ඇතුල් කරන්නේ, ජර්මනිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය ලක්සම්බර්ග් වැනි බෙනිලක්ස් රටවල් ද ප්‍රන්සය හා සමහරවිට ඉතාලියයි.

ජර්මනිය අධිකාරය උසුලන යුරෝපයක් සඳහා උපදෙස් දෙන්නන් සලකන්නේ, ග්‍රීසිය හා යුරෝපය විනයගතකිරීම, ලෝක බලවතෙකු ලෙස ජර්මනියේ භූමිකාව සඳහා පූර්ව කොන්දේසියක් ලෙසය. ජොකෙන් බිට්නර් මෙය සතිපතා ඩයි සේට් සඟරාව තුල පැහැදිලිව ප්‍රකාශ කර තිබේ. යුරෝපීය සංඟමය “යලි කවර කලෙකවත්” ග්‍රීසිය වැනි “සාපේක්ෂව කුඩා ගැටලුවක් වෙනුවෙන් ඒ සා දේශපාලන ශක්තියක්” වැය නොකල යුතුය. “එයට කරන්නට ඊට වඩා වැදගත් දේ ඇත. විශාල අභියෝග සඳහා ඉඩකඩ හා කාලය අවශ්‍යය. ඊට අයත් වන්නේ, මධ්‍යධරනී ප්‍රදේශයේ බිඳ වැටෙන රාජ්‍ය ව්‍යුහයන්, ඓතිහාසික පරිමාවකින් ගලා එන සරනාගතයින්, “සම්මතධාරී රුසියානු ආන්ඩුව ....හා ආසියාව සමඟ ඇති තරඟයයි.“

ෆ්‍රෑන්ක්ෆර්ටර් ඇල්ජිමින් සේතුං පුවත්පත තුල හොල්ගර් ස්ටෙල්ට්ස්නර් ද තර්ක කරන්නේ ඒ ආකාරයටමය. “ග්‍රීක අර්බුදය පිලිබඳ ප්‍රශ්නය විසඳීමට යුරෝපය දක්වන අසමත්කම, ඇපදීමේ ප්‍රධාන තර්කයට පටහැනිව පිහිටයි. එනම්, ලෝකය තුල යුරෝපයේ දේශපාලන බලය ප්‍රකාශයට පත්කිරීමයි.”

එක්සත් ජනපදය සමඟ ගැටුම

“ලෝකය තුල දේශපාලන බලය ප්‍රකාශයට පත්කිරීම,” අනෙකුත් යුරෝපීය බලවතුන් සමඟ පමනක් නොව එක්සත් ජනපදය සමඟ ද ගැටුමට යයි. ජනාධිපති ඔබාමා හා එම පාලනයේ පරිපාලන නියෝජිතයින් ද ජර්මනියේ කප්පාදු පියවර යලි යලිත් විවේචනය කර ඇතුවාක් මෙන්ම ග්‍රීසිය සම්බන්ධයෙන් වඩාත් සහයෝගිතා ආකල්පයක් බර්ලිනය විසින් ගත යුතුව ඇති බව ද පවසා ඇත. ඔවුන් එසේ කලේ ප්‍රධානකොටම භූ-මූලෝපායික කාරනා මුල්කර ගෙනය. ග්‍රීසියේ සමාජ නොසංසුන්තා, නේටෝවේ නැඟෙනහිර පෙරමුන අස්ථාවර කල හැකි හා ග්‍රීසිය රුසියාවේ හෝ චීනයේ අනසක යටතට පත්කරනු ඇති තත්වයක් උදාකරනු ඇතැයි ඔවුහු බියවෙති.

කෙසේ වෙතත් ජර්මනිය හා ඇමරිකාව අතර ඇති ආතතීන්ට වඩා ප්‍රාථමික හේතු පවතී. ඔවුන් ගොලීය ආර්ථික ප්‍රතිවාදීන් ලෙස එකිනෙකා සමඟ තරඟ කරයි. ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුමක් ඇතිකරගැනීමෙන් සතියක් ගතවන්නටත් පෙර ජර්මනියේ ආර්ථික ඇමති සිග්මා ගේබ්‍රියල්, ඇනවුම් ලබාගැනීමේ ඉඩප්‍රස්ථා නිසා ලාභ උපයාගැනීමේ බලාපොරොත්තුව ඇති ව්‍යාපාරික නායකයින් සමූහයක් පෙරටුකොටගෙන ටෙහෙරානය වෙත දිවගිය වේගය, සිය ගෝලීය අවශ්‍යතා හඹායාමේදී ජර්මනිය දක්වන ආක්‍රමනිකත්වය යස රඟේට පෙන්නුම් කරයි.

හරිත පක්ෂය, වාම පක්ෂය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොටසක් හා ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ සුලුතරයක් වැනි, ජර්මනිය තුල ෂෝබල්ගේ විවේචකයින්ට, මුදල් ඇමති සමඟ ඇත්තේ හුදු උපායික මතභේද පමනි. ප්‍රන්සය, ඉතාලිය, බ්‍රිතාන්‍ය හා අනෙකුත් යුරෝපීය බලවතුන් සමඟ තියුනු ගැටුමක්, ජර්මනිය යුරෝපය තුල හා එනිසාම ලෝක පරිමානව, හුදෙකලාවේය යන බිය ඔවුන්ට ඇත. ඔවුන් සලකන්නේ, ගෝලීය වශයෙන් මහ බලවතෙකුගේ ක්‍රියාකලාපය ඉටුකිරීම පිනිස පූර්ව කොන්දේසියක් ලෙස, යුසං ක්‍රියාත්මක විය යුතු බවය. එබැවින් ඔවුන් තර්ක කරන්නේ, යුරෝපය තුල ජර්මානු අධිකාරය පවත්වාගෙන යාමට සෑම විටම දේශපාලන සම්මුතීන් හෝ මූල්‍ය සහන තුලින් උත්සාහ දැරූ හෙල්මුට් කෝල්ගේ යුරෝපීය ප්‍රතිපත්තිය කරා යලි ගමන් කල යුතු බවටයි.

කෙසේ වෙතත් එවන් ප්‍රතිපත්තියක් සඳහා ආර්ථික පූර්වාවශ්‍යතා තවදුරටත් නොපවතියි. මුලදී අදහස් කලේ පොදු මුදල ජර්මනිය යුරෝපයට බැඳ තබනු ඇති බව නමුත් සිදුව ඇත්තේ එහි ප්‍රතිවිරුද්ධයයි. එය ජර්මනියේ ආර්ථික අධිකාරය ශක්තිමත් කර ඇත. ජංඟම ගිනුමේ අතිරික්තය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.5ක්ව ඇති අතර තවත් වැඩි වෙමින් ඇත. එය යුරෝපීය සංඟමයේ පැරනි රූපාකාරය පුපුරවා හැරිය හැකි සුපිරි සවියක් බර්ලිනයට අත්කරදී තිබේ. මෙය 2008 ගෝලීය මූල්‍ය අර්බුදයේ තැන් පටන් වඩාත් පැහැදිලි තැනකට පැමින ඇත.

ජර්මනියේ යුරෝපීය ප්‍රතිවාදීන් මීට ප්‍රතිචාර දක්වන්නේ සිය කඩු ලෙලවමිනි. ජර්මානු ආන්ඩුව පිලිබඳ ඔවුන්ගේ විවේචන බෙහෙවින්ම ප්‍රතිගාමීය. මෙය අදාල වන්නේ බෝරිස් ජොන්සන් හා මැරින් ලේ පෙන් වැනි දක්ෂිනාංශිකයින්ට පමනක් නොවේ. ප්‍රන්ස වාම පෙරමුනේ නායක ජීන් ලුක් මෙලන්කන් වැනි ව්‍යාජ වම්මුන්ට ද මෙය එකසේ අදාල වන්නේය.

මෙම ප්‍රෝඩාකාරී වම්මු කම්කරු පන්තියේ ජාත්‍යන්තර සහයෝගිතාවය වෙනුවෙන් කැඳවුම් නොකරති. ඒ වෙනුවට ඔවුහු, ජර්මානු විරෝධී ස්වෝත්තමවාදය අවුස්සති. ඒ ආකාරයට ඔවුහු, තමන්ගේම අධිරාජ්‍යවාදී ධනේශ්වරයේ අවශ්‍යතා ආරක්ෂා කරන අතර විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම තුලින් යුරෝපීය කම්කරුවන් එක්සත් කිරීමෙන් පමනක් වැලැක්විය හැකිව තිබූ, 20 වන සියවසේ මුල් භාගය තුල මහාද්වීපය වෙලාගත් වර්ගයේ යුද්ධ හා තියුනු ගැටුම් තුලට යුරෝපය නොවැලැක්විය හැකි පරිදි ඇද දමන ජාතිකවාදී ආතතීන් අවුලුවති.

Share this article: