චීන කොටස් වෙලඳපොල කඩා වැටීමේ අර්ථභාරය

The significance of the Chinese stock market rout

2015 ජූලි 08

ආන්ඩුව හා මූල්‍ය බලධාරීන් සිදුවෙමින් ඇති චීන කොටස් වෙලඳපොලේ කඩාවැටීම නතර කිරීම පිනිස දැරූ දැඩි වෙහෙස නොතකා එය, චීනය තුලත් ගෝලීයවත් ප්‍රමුඛ දේශපාලන ඇඟවුම් ගැබ්කර ගනියි.

07දා ද චීන කොටස් මිල පහත වැටුනි. ෂැන්හයි සංයුක්ත දර්ශකය සියයට 1.3න් හා ෂෙන්සෙන් දර්ශකය 5.3න් පහත වැටුනි. අද දිනයේ ෂැන්හයි දර්ශකය උදෑසන ආරම්භ කලේ සියයට 8ක් පහත අගයකිනි. දහවල් වන විට එය සියයට 4.7ක් ව තිබුනි. ෂැන්සෙන් දර්ශකය ද සියයට 3.3න් පහත වැටුනි. ඊටත් වඩා වැදගත් වන්නේ, චීනයේ ප්‍රධාන හුවමාරු දෙකේ ලේඛනගත සමාගම් 1476කම එනම් සියයට 50ත් වඩා වැඩි සංඛ්‍යාවක් ඩොලර් ට්‍රිලියන 2.6ක අගයක් කැටි කරමින් ඇනහිටවනු ලැබීමයි.

සති අන්තයේ චීන අගමැති කීකුවෑන් හා බැංකු නිලධාරීන් ද මූල්‍ය නියාමකයින් ද අතර පැවති හදිසි රැස්වීමෙන් පසුව මේ සතිය තුල තවදුරටත් පහත වැටීම සිදු විය. ඔවුන් ඉදිරිපත්කල විසඳුමේ ප්‍රතිපලය වශයෙන්, තැරැව්කාර ආයතන වලට මූල්‍ය පහසුකම් සැපයීමටත්, “වෙලඳපොලේ ස්ථාවරත්වය” පවත්වා ගැනීමටත් රාජ්‍ය ව්‍යවසායක් වන චීන සුරැකුම් මූල්‍ය ආයතනයට, අසීමිත ප්‍රමානයකින් ද්‍රවශීලතාව සැපයීමට මහ බැංකුවට බලය පැවරුනි. මේ දක්වා පෙනීගොස් තිබෙන්නේ, හදිසි පියවර පලදායී වී නැති බවයි.

සමහර ගනන් බැලීම් වලට අනුව දැනට ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස සැලකෙන, ලෝකයේ දෙවන ලොකුම ආර්ථිකය මෙන්ම ගෝලීය ආර්ථික වර්ධනයෙන් අඩුම තරමින් සියයට 30කට වගකියන චීනයේ කොටස් වෙලඳපොලෙහි බිඳ වැටීම, ආර්ථිකයේ අනෙකුත් ක්ෂේත්‍රයන්ට ද පැතිර යමින් පුලුල් වශයෙන් ලෝකයටම බලපානු ඇති බවට වැඩෙන කනස්සල්ලක් පවතියි. පසුගිය දින දෙක තුල සියයට 8.4න් පහත වැටුනු අනාගත තඹ මිල, 2009 වසරින් පසුව පහතම අගය කරා තවදුරටත් වැටී යාම අර්ථභාරීය.

මූල්‍ය කවයන් තුල සමහරවිට “ඩොක්ටර් කොපර්” ලෙස සැලකෙන තඹ මිල, ප්‍රධාන ආර්ථික දර්ශකයක් ලෙස සැලකේ. ලෝකයේ විශාලතම නිෂ්පාදන මධ්‍යස්ථානය ලෙස චීනය එම ලෝහය ප්‍රයෝජනයට ගන්නා ප්‍රමුඛයාය. කොටස් වෙලඳපොලේ කඩා වැටීම පිටුපසින් යපස් හා තෙල් මිල ගනන් ද පහත වැටුනි.

කොටස් වෙලඳපොල කඩාවැටීමේ මූලයන් පවතින්නේ චීන ආර්ථිකය තුලම නොව, 2008 මූල්‍ය උනුවීම සමඟ ආරම්භවූ ගෝලීය මූල්‍ය පද්ධතියේ බිඳවැටීම තුලය.

චීනය කෙරෙහි එහි බලපෑම ක්ෂනික විය. එක් අවස්ථාවකදී පහත වැටීමේ අනුපාතය 1930 ගනන්වල මුල අත්දුටුවාටත් වඩා දුර ගියේය. 2008 අවසන් භාගයේ හා 2009 මුල් මාසවල ලෝක වෙලඳාමේ කඩා වැටීමත් සමඟ, චීන අපනයන කඩා වැටුනු අතර එය, රැකියා මිලියන 23ක් අතුගෑවී යාමට තුඩු දුන්නේය.

පුපුරන සුලු විභවයක් සහිත සමාජ අර්බුදයකට මුහන දෙන චීන රෙජිමය, ඩොලර් බිලියන 500ක උත්තේජක පැකේජයක් සහිතව ඊට ප්‍රතිචාර දැක්විය. ඊට අමතරව යටිතල ව්‍යුහ හා දේපල සංවර්ධන ව්‍යාපෘතීන් ඇඹීම පිනිස ප්‍රදේශීය ආන්ඩුවලට දැවැන්ත ලෙස නය ප්‍රසාරනය කිරීමට ද පියවර ගත්තේය. එක රැයකින්ම වාගේ නව නාගරික නිවාස සංකීර්න හා සමහර අවස්ථාවල සම්පූර්න නගරම පවා පැනනැඟුනි. චීන රෙජිමය බලාපොරොත්තු වූයේ, ලෝක ආර්ථිකය යලිත් පෙර ප්‍රසාරනය අත්කර ගැනීමේ ප්‍රවනතාව සහිත චක්‍රීය පහත වැටීමක් අත්විඳිමින් සිටින බවයි.

එහෙත් චීන ආර්ථිකයට ජවය සැපයූ යුරෝපයේ හා එක්සත් ජනපදයේ වෙලඳපොල වලට අඛන්ඩව ප්‍රසාරනය වන අපනයන හැකියාවන් ඇති කල, පූර්ව දශක දෙක පුරා පැවති තත්වයේ අවසානය 2008 සිදුවීම් මඟින් සලකුනු කලේය.

කාලයක් යන තෙක්, යටිතල ව්‍යුහ හා දේපොල සංවර්ධනයට සැපයුනු නය ප්‍රසාරනය මඟින් චීන ආර්ථිකයේ වර්ධනය ඉහල නැංවූ අතර එය, 2008ට පූර්වයෙන් පැවති හෝ ඊට ආසන්න මට්ටමක් තිරසාර කලේය. ගෝලීය වර්ධනයට නව පදනමක් සපයමින් ඊනියා අනෙකුත් නැඟී එන ආර්ථිකයන් සමඟ චීනයේ පැවැත්ම නිසා, මූල්‍ය කඩාවැටීම තිබියදීත් ධනවාදය එහි නෛසර්ගික නම්‍යතාව යලි වතාවක් පෙන්නුම් කරනු ඇතැයි දුර දිග නොබලන ආර්ථික පන්ඩිතයෝ කියා සිටියහ. මෙම අනාවැකිය වේගයෙන් හෙලිදරව් විය. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ගෝලීය ආර්ථික අධිකාරයන් නිල වශයෙන් පිලිගෙන ඇති පරිදි එය මිරිඟුවක් වී ඇත.

නය මගින් තල්ලුව දෙන ආයෝජන මත පදනම්වූ ආර්ථිකයේ ව්‍යුහය, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 50ක් තරම් ප්‍රමානයකට වග කියන අතර පාරිභෝගික වියදම් දායක වන්නේ යන්තම් සියයට 35ට පමනක් වන තතු හමුවේ, එය අවසාන වශයෙන් ශක්‍ය නොවන බව චීන ආන්ඩුව හඳුනාගෙන ඇත.

එසේම, මෙතැන් පටන් වෙලඳපොල බලවේග වඩාත් “තීරනාත්මක ක්‍රියාකලාපයක්” ඉටුකරනු ඇතැයි ප්‍රකාශ කරමින් ආන්ඩුව 2013 දී, නව ආර්ථික දිශානතියකට මුල පිරීය. 2013 නොවැම්බරයේ පැවති කොමියුනිස්ට් පක්ෂ නායකත්වයේ ප්‍රධාන රැස්වීමකදී සිය න්‍යායපත්‍රය ගෙනහැර දක්වමින්, ඊට පෙර වසරේ මාර්තුවේ බලයට පත්වූ ජනාධිපති සී ජින්පින් පැවසුවේ, “සම්පත් යෙදවීමේදී වෙලඳපොලේ තීරක ක්‍රියාකලාපය මාධ්‍ය කර ගෙන අපි, ආර්ථික ක්‍රමයේ ප්‍රතිසංස්කරන ගැඹුරු කල යුතුව ඇත” යනුවෙනි.

නව දිශානතිය මූලික අංඟ දෙකකින් සමන්විත විය. 1. රාජ්‍ය මැදිහත්වීම හා ජාත්‍යන්තර ප්‍රාග්ධන සංචලනයට වඩ වඩාත් විවෘත කෙරෙනු ඇති මූල්‍ය ක්‍රමයේ පාලනය ලිහිල් කිරීම 2. දේශීය චීන ආර්ථිකයේ පාරිභෝගික වියදම් මට්ටම ඉහල නැංවීම, ඒ දෙකය. බහු මිලියන චීන කම්කරු පන්තියේ වැටුප් වැඩි කිරීම දේශීය පාරිභෝගික වියදම් නංවාලීමේ නොවරදින මග විය. එහෙත් මේ මාවත, ගෝලීය ධනපති වෙලඳපොලවල තරඟකාරී අරගලය මගින් වැසී ගියේය.

කම්කරු වැටුප්වල කුමන හෝ සැලකිය යුතු වැඩිවීමක අර්ථය, ප්‍රධාන ඇමරිකානු හා යුරෝපීය අන්තර්ජාතික සංගත සඳහා කොන්ත්‍රාත්කරුවන්ව සිටින, අඩු ලාභ අනුපාත සහිතව ක්‍රියාත්මක වන චීනයේ නිෂ්පාදන සමාගම්, වියට්නාමය වැනි ගිනිකොනදිග ආසියාවේ ලාභදායී ආයෝජන මධ්‍යස්ථානවල මිල තරඟය හමුවේ පසු බසින බවයි. ඔබාමා පාලනය යටතේ ඇමරිකානු වැටුප් මිරිකීම හමුවේ චීන සමාගම්, දැනටමත් ලාභ ශ්‍රම මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති ඇමරිකාවෙන්ම එල්ල වන තරඟයට ද නිරාවරනය වී ඇත. (දැනට ඇමරිකාව හා චීනය අතර නිෂ්පාදන වියදමේ වෙනස සියයට 5ක් දක්වා අඩුවී ඇති බව වාර්තාවේ.)

මේ කාරනය නිසා, චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහල ස්ථරයන්හි අධිකාරය දරන කතිපයාධිකාරයේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන පාලන තන්ත්‍රය, පාරිභෝගික වියදම් නංවාලීම වෙනත් මාවතකින් ගෙනයාමට උත්සාහ කරයි. මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්, කොටස් වෙලඳපොලේ ආයෝජනය කිරීමට දිරිගැන්වීම මඟින්, “ධනයේ බලපෑමක්” නිර්මානය කිරීමට ඔවුන් පියවර ගත්තේය. මූල්‍ය ක්‍රමයේ ලීවරයන් දැඩි ලෙස පාලනය කරන චීන ආන්ඩුවේ සහතිකය ලැබෙන නිසා ඔවුන්ගේ ආයෝජන වලට සුරක්ෂිත භාවයක් සැලසෙනු ඇති බව ඇඟවුම් කරමින් ආන්ඩුව, කුඩා ආයෝජකයින් පොලඹවා ගත්හ.

එහි ප්‍රතිපල වශයෙන් කොටස් වෙලඳපොලට මුදල් ගලා ආවේය. ෂැන්හයි කොටස් මිල දර්ශකය ජූනි 12දා එහි මුදුනට ලඟාවීම තෙක් ගතවූ වසරක කාලය තුල සියයට 150කටත් වඩා නැඟුනි. මෙම ආයෝජන වලින් වැඩි කොටසක් ගලා ආවේ පර්යන්ත නය හරහාය. එහිදී ආයෝජකයින් මිලට ගන්නා කොටස්, තමන් ගත් නය සඳහා ඇපයට තැබේ. කොටස් මිල නිශ්චිත අගයකට වඩා පහත වැටුනහොත් නයෙන් කොටසක් ආපසු ගෙවීමේ පොරොන්දුවක් ද ඊට ඇතුලත් විය.

කොටස් වෙලඳපොල ඉහල නගින අවධියකදී මෙම නය ප්‍රසාරනය වන නමුත්, පර්යන්ත කැඳවුම් වලට මුහුන දෙන ආයෝජකයින් නය ගෙවා දැමීම පිනිස සිය කොටස් වලින් පංඟුවක් විකුනා දැමීමට පටන් ගන්නා කල පහත වැටෙන සර්පිලයක් නිර්මානය කරමින් තත්වය නරක අතට පත් කරයි.

පසුගිය අප්‍රේල් මාසයේදී පර්යන්ත නය වේගයෙන් නැඟී යාමට තුඩු දෙමින්, එක් අවස්ථාවකදී වෙලඳපොල ප්‍රාග්ධනයෙන් සියයට 17කට වග කියමින්, ජූනි දක්වාවූ වසර තුල නය සැපයුම පස් ගුනයකින් ඉහල ගියේය. පුද්ගලික ආයෝජකයෙකුට කොටස් වෙලඳ ගිනුම් 20ක් තරම් විවෘත කිරීමට ඉඩ සලසමින් ආන්ඩුව මෙයට තව තවත් පැට්‍රල් වක්කලේය.

ප්‍රතිපලය වූයේ කොටස් අගය තවත් වටයකින් ඉහල නැඟීමයි. දැවැන්ත මූල්‍ය බුබුලකට මුහුන දෙමින් ආන්ඩුව, ජූනි 13දා පර්යන්ත නය දීමට එරෙහිව කඩාපැනීම් ආරම්භ කල අතර වර්තමාන විකුනා දැමීමට එයින් මුල පිරුනි. පර්යන්ත නයදීම් අඩාල කිරීමේ තීරනය, තමන් සතු පුලුල් බලතල යොදාගනිමින් ආන්ඩුවට, තත්වය පාලනය කල හැකි යයි ද අනුක්‍රමයෙන් මූල්‍ය බුබුලේ හුලං ඇරිය හැකි යයි ද සිතාගැනීම මත පදනම් විය.

එහෙත් ධනපති වෙලඳපොල නියාම, අතිශය බලගතු රෙජිමයට පවා වැඩියෙන් ශක්තිමත් බව ඔප්පු කෙරුනි. චීන ආන්ඩුව දැන් මුහුනපා ඇත්තේ, ධාවන පථය ගිලා බැසීමකටය. එය නයෙන් මිරිකී සිටින සමස්ත මූල්‍ය ක්‍රමය අස්ථාවර කිරීමට තර්ජනය කරයි. ප්‍රාදේශීය ආන්ඩු පමනක් ඩොලර් ට්‍රිලියන 4ක කල්පසුවූ නයකට අසුවී ඇති බවට ගනන් බලා තිබේ.

මෙම උනුවී යාම තුල පුපුරන සුලු ප්‍රතිවිපාක අන්තර්ගතව තිබේ. සමාජවාදය පසෙක තිබුනාවේ, සමාජ සමානතාවය වෙනුවෙන් පෙනී සිටින්නේය යන කයිවාරු පවා පුහුවී ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ “රතු ධනවාදීන්” ජීවත් වන්නේ, චීන කම්කරු පන්තියේ සමාජ හා දේශපාලන අරගල පුපුරා යාම පිලිබඳ මාරාන්තික බියකිනි.

දදේනි නිල ඉලක්කය වන සියයට හතෙන් පහලට, සමහර විට සියයට 4 පමන දක්වා, පහත වැටීමේ හැකියාව සහිතව දැන් චීන ආර්ථික වර්ධනය මන්දගාමී වෙද්දී, ඉහතකී හැකියාව කවරදාකටත් වඩා විශාල වේ. තමන් පදනම් වීමට උත්සාහ කරන සමාජ පදනම පවා වඩ වඩාත් පසමිතුරු වෙද්දී රෙජිමයේ “නොවරදිනසුලු” භාවයේ මූනත්තහඩුව කුඩුපට්ටම් වේ.

චීනයේ මූල්‍ය අර්බුදය ගෝලීය ආර්ථිකයේ වර්ධනය තවදුර පිරිහීමට තුඩු දෙනවා පමනක් නොව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල උත්සන්න කෙරෙනු ද ඇත. එම අරගල ඒවායේ වඩාත් බලගතු සේනාංක ඇද ගැනීමට ද තත්වය නිර්මානය කරනු ඇත.

නික් බීම්ස්

Share this article: