වොෂින්ටනයේ ඝාතක බලකායන්

Washington’s death squads

2015 ජූනි 09

පසුගිය ජූනි 7 වන දා නිව්යෝක් ටයිම්ස් පුවත්පත පලකල දීර්ඝ ලිපියකින්, පෙන්ටගනයේ ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් විධානාධිකාරය යටතේ ක්‍රියාත්මක 6 වන සීල් කන්ඩායම නම් රහස් ඒකකය භාවිතා කරන සාපරාධී මෙන්ම භයංකර ලේ වැකි විධික්‍රම පිලිබඳ දසුනක් සම්පාදනය කලේ ය.v

මෙම ඒකකය ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවේ, නිරායුධ මෙන්ම වයෝවෘද්ධව අබලන් පුද්ගලයකු වූ ඔසාමා බින් ලාඩන් පකිස්ථාන බුද්ධි අංශවල මඟ පෙන්වීම යටතේ අමු අමුවේ ඝාතනය කිරීම පිලිබඳ ව සත්‍යය ආවරනය කිරීම් වස් ඔවුන් ගෙතූ ව්‍යාජ වාර්තා, ප්‍රවීන මාධ්‍ය‍වේදී සේමර් හර්ෂ් විසින් පසු ගිය මස කරන ලද එලිදරව්ව මගින් පුපුරවා හැරීමෙනි.

පුවත් පතෙහි අරමුනු හා සැකයකින් තොරව සිතා ගත හැකි වන පරිදි ධවල මන්දිරය හා පෙන්ටගනය සමග ලිපිය පිරික්සීමෙන් පසුව, තම ගෝලීය අභිලාෂයන් හඹා යෑමේදී එක්සත් ජනපද ආන්ඩුව රහස් ඝාතක කන්ඩායම් මත වඩ වඩාත් යැපෙන බව ටයිම්ස් වාර්තාව මගින් පැහැදිලි වේ.

2001 න් පසු -6 වන සීල් කන්ඩායම සහ වෙනත් විශේෂ මෙහෙයුම් ඒකක මගින් සිදු කරන මෙහෙයුම් දස දහස් ගනන් දක්වා වර්ධනය වී ඇති බව පෙන්ටගන ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් පුවත් පත වාර්තා කරයි. එක්සත් ජනපද මිලිටරිය විසින් එවැන්නක පැවැත්ම පවා පිලි නොගන්නා 6 වන සීල් කන්ඩායම විසින් මරා දැමුනු පුද්ගලයින් සංඛ්‍යාව දහස් ගනනක් වන අතර ඔවුන්ගේ අති මහත් බහුතරය එක්සත් ජනපදය කෙරෙහිම එල්ලවුනු තර්ජනයකට හෝ කුමන්ත්‍රනයකට කිසිම සම්බන්ධයක් නොදැරූ හඳුනා නොගත් අයයි.

මෙම රහස්‍ය ඒකකය පුද්ගලයන් 1800ක් දක්වා වර්ධනය වී ඇති බවද, බැලුනයක් මෙන් පිම්බෙන අය වැයක් ද, නිරන්තරයෙන් වර්ධනය වන විෂය පථයක් ද සහිත බව වාර්තාව පවසයි. බොහෝ විට ඉලක්කය ලෙස හඳුනා ගත හැකි කිසිවකුත් සොයා නො ගනිමින් නිරතුරුවම 25 දෙනෙකු තරම්ද, සාමාන්‍යයෙන් 15ක් පමන ද ඝාතනය කරමින්, අතොරක් නැති රාත්‍රී ප්‍රහාරක මෙහෙයුම් වල 2006 සිට 2008 දක්වා 6වන සීල් කන්ඩායම යෙදී ගත් විස්තර, එය සඳහන් කරයි.

දඩයමට ලක් කලවුන් හෝ ඝාතනය කල විශාල ගනන ,ඇමෙරිකන් ජනතාව කෙරේ කිසියම් තර්ජනයක් එල්ල ක‍ලෝ නොවූහ. මොවුන් ඉලක්ක කරනු ලැබුවේ, එක්සත් ජනපද පිලිවෙත ක්‍රියාත්මක කිරීමේ දී ඔවුන් විභව බාධාවන්, සුවිශේෂ වශයෙන්, එක්සත් ජනපදය විසින් කාබුල් හි ස්ථාපනය කල, හමීඩ් කර්සායිගේ දූෂිත මෙන්ම ජන අප්‍රසාදයට ලක්වූ රෙජිමයට මුක්කු ගැසීමේ වොෂින්ටන් ව්‍යායාමයට බාධාවක් ලෙස හඳුනා ගැනුනු බැවිනි.

v

ඔබාමා පාලනාධිකාරය ඇෆ්ගනිස්ථානයේ දියත් කල සර්ජ් නම් හමුදා මෙහෙයුමේ කොටසක් ලෙස , 2009 දෙසැම්බර් 27 දින ක්‍රියාත්මක කල ප්‍රහාරක වටලෑමකදී , ඇෆ්ගන් ගොවියෙක් ද වයස 12ක් වූ එ‍ඩේර දරු‍වෙක් ද සමග වයස 11 සිට 17 දක්වාවූ පාසල් සිසුන් අට දෙනෙකු ඇමෙරිකන් මිනීමරු භටකාය විසින් ඝාතනය කිරීම පිලිබද සැර බාල වන ලෙස සංස්කරනය කල විස්තරයක් ටයිම්ස් ඉදිරිපත් කරයි.

එම අවස්ථාවේ ප්‍රදේශයේ පාසැලක විදුහල්පතිවරයෙක් ඝාතනය විස්තර කල පරිදි “මුලින්ම විදේශ භටයන් අමුත්තන්ගේ කාමරයට ඇතුලුවෙලා ඔවුන්ගෙන් දෙන්නෙක් මරා දැමුවා. පස්සෙ ඔවුන් තව කාමරයකට ඇතුලුවෙලා සිසුන් හත් දෙනාට මාංචු දැම්මා. ඊට පස්සෙ ඔවුන් මරා දැමුවා. අබ්දුල් ඛලික් (ගොවියා) වෙඩි හඬ ඇහිලා (ගෙදර) පිටත පැත්තට ආවා. ඔහු දැක්කාම ඔවුන් ඔහුටත් වෙඩි තිබ්බා.”

හිටපු 6 වන සීල් කන්ඩායම් නිලධාරියකු නිර්නාමික කොන්දේසි යටතේ පැවැසූ පරිදි “මෙම ඝාතන සැනකෙලි නිත්‍ය චර්යාවක් බවට පත්වී තිබුනා.”

ටයිම්ස් වාර්තා කරන පරිදි 6වන කන්ඩායම් සාමාජිකයන් ඇෆ්ගනිස්ථානයේ දී “කොතරම් ආසන්න ආකාරයේ සටන් වල යෙදී ගත්තෝද යත් ඔවුන් මතු වූයේ තමුන්ගේ නොවන රුධිරයෙන් නැහැවී ගෙන ය.” “සමහර අවස්ථාවන්හි දී ඩී.එන්.ඒ. ( DNA) විශ්ලේෂන සඳහා ඇඟිලි හෝ හිසේ චර්ම කොටස් සීල් භටයන් විසින් කපාගත් ” බව එය වාර්තා කලේය.

මෙහි දී විස්තර කර ඇත්තේ දාමරික සොල්දාදුවන්ගේ හෝ නොපනත් කුලී හේවායන් රැලකගේ ක්‍රියාවන් නොව ඇමෙරිකානු සන්නද්ධ හමුදාවන් අතරින් ඉතාමත් ප්‍රභූ සේ තොරොම්බල් කරනා ඒකකයේ ක්‍රියාවන්ය. එහි විධික්‍රම සහ එහි අපරාධ එක්සත් ජනපද ආන්ඩුවේ, ඔබාමා පාලනාධිකාරයේ සහ ඇමෙරිකාවේ ධනපති පාලක සංස්ථාවේ විධික්‍රම හා අපරාධ ය.

මෙම ඒකකයට ඔවුන්ගේ අපරාධ සඳහා, සර්වත්‍රික මුක්තියක් සේ සැලකිය හැකි තත්වයක් ප්‍රදානය කොට ඇති අතර, ඔවුන්ගේ කටයුතු පිලිබඳව විමර්ශන, නිරන්තරයෙන් යුද අපරාධ බවට පරිවර්තනයට ලක්වන “ප්‍රතිත්‍රස්ත” විධික්‍රම සඳහා කැපවූ රහස්‍ය විධාන අධිකාරියක් වූ ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් විධායකයෙන් (JSOC ) ඔබ්බට නොයයි.

පෙන්ටගනයේ සිවිල් නිලධාරීන් මෙකී මෙහෙයුම් වලින් ඈත්ව සිටීමට කැමති අතර, ඔබාමා පාලනාධිකාරයේ ඩ්‍රෝන් ඝාතන වැඩ සටහන සඳහා ව්‍යාජ-නීති තර්ක කෙටුම්පත් කල, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරී හැරල්ඩ් කෝ ටයිම්ස් පුවත්පතට පැවසූ පරිදි ,“ මෙය කොංග්‍රසය උවමනාවට වඩා දැන ගැනීමට කැමති නැති ක්ෂේත්‍රයක් බව කුප්‍රකටය.”

ඔබාමා පාලනාධිකාරය මෙවැනි මෙහෙයුම් මත යැපීම කෙතරම් පෘථුල ලෙස ව්‍යාප්ත වී ඇති ද යත් නෙබ්‍රස්කා ප්‍රාන්තයේ හිටපු සෙනෙට් සභික රොබට් කෙරී ටයිම්ස් පුවත් පතට පැවසූ පරිදි “යමෙකුට කිසිවක් ඉටු කර ගැනීමට අවශ්‍ය වූ ඕනෑම විටෙක (නොමිලේ) ඇමතිය හැකි 1-800 අංකයක් වැන්නක් බවට ඔවුන් පත්වී ඇත.”අද දින මෙහෙයුම් බෙහෝමයක් පාදක කරගන්නා, පිරිමින් ගැහැනුන් හා ලමුන් දස දහස් ගනනකට මරනය ගෙන දුන්, වධ දීම් සංහාර සහ මහා පරිමාන සැලසුම්ගත ඝාතන ඇතුලත් කරගත්තා වූ, ෆීනික්ස් මෙහෙයුම නම් කුප්‍රකට වැඩ සටහනට සම්බන්ධ වී නාවික සීල් භටයකු ලෙස වියට්නාමයේ යුද අපරාධ වලට සම්බන්ධවීම මගින්, කෙරී ඔහු කතා කරන දේ ගැන හොඳින් දන්නා බව නිසැකය.

ටයිම්ස් ලිපිය 6 වන කන්ඩායම හෝ වෙනත් එවැනි ඒකක ගැන කිසියම් ප්‍රශ්නයක් නොනඟයි නම් ඒ ඔවුන්ගේ ඵලදායිත්වය පිලිබඳවය. මෙම ඝාතන කන්ඩායමේ ක්‍රියාකාරිත්වය වටකර ඇති රහස්‍ය භාවයේ පවුර විසින් “එහි වාර්තාව හා ක්‍රියාකාරකම් වල ප්‍රථිඵල ගැන පූර්න තක්සේරුවක් කිරීම” දුෂ්කර කාර්යයක් කර ඇති බවට පුවත්පත මැසිවිලි නගයි.

විමසුමට ලක් නොවී ඇති වඩාත් සැලකිය යුතු ප්‍රශ්නය වන්නේ, ඝාතන කන්ඩායම්, “ඝාතන ලැයිස්තු”හා සැලසුම්ගත ඝාතන මත වඩ වඩාත් යැපීම මගින් ඇමෙරිකානු ආන්ඩුවේ ස්වභාවය ගැනමත් කුමක් ප්‍රකාශවේද යන්නය. මෙවැනි විධික්‍රම යොදා ගැන්ම අලුත් දෙයක් නොවන අතර වියට්නාමය කෙසේවත් ව්‍යතිරේකයක් (සුවිශේෂයක්) ද නොවිනි.

එක්සත් ජනපදයේ පිටුබලය ලත් එල් සැල්වදෝර් ආඥාදායකත්වය කෙරෙහි වූ ප්‍රතිරෝධය තලා දැමීමේ උත්සාහයේ දී මරා දැමුනු 75,000 ජනයාගෙන් වැඩි කොටසකට වගකියමින්, එරට සිවිල් ජනයාට එරෙහිව භයංකර ප්‍රචන්ඩත්වයක් මුදා හල ඝාතන කන්ඩායම් පුරුදු පුහුනු කොට ආයුධ ආම්පන්න සපයන ලද්දේ වොෂින්ටනය විසිනි. අද දින පෙන්ටගනය තුල මෙම රුධිර ස්නානය ප්‍රති ත්‍රස්තවාදය පිලිබඳ සාර්ථකත්වයේ කථාන්තරයක් සේ සැලකේ.

නමුත් දැන් මෙකී විධික්‍රම කිසිදා නොවූ පරිදි ආයතනගත කෙරී ඇත. ඒවා, ලෝකයේ ඕනෑම තැනක සිටිනා සතුරු යයි ඔවුන් සලකන්නන් නැති භංග කර දැමීම සඳහා ධවල මන්දිරයේ සහ වොෂින්ටනයේ යෝධ මිලිටරි හා බුද්ධි අංශ යන්ත්‍ර‍යේ ප්‍රියතම විධික්‍රමය බවට පත්වී ඇත.

විදේශයන්හි යුද අපරාධ, එක්සත් ජනපදය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව දියත් කර ඇති ප්‍රහාරය සමග අත්වැල් බැඳගනී. සමාජ අසමානතාවයේ කිසි දින අත් නොදුටු විරූ මට්ටම් සහ තමන්ගේ ආර්ථික පරිහානිය කම්කරු පන්තියේ වියදමින් ආපසු කැරකවීමට අදිටන් කරගත් ධනපති කතිපයාධිකාරීත්වයක් , ප්‍රජාතන්ත්‍රවාදී පාලන විධි සමග කිසිසේත්ම නොපෑහේ.

එක්සත් ජනපද පොලීසියේ මිලිටරීකරනය තුලින් හා සමාජයේ අතිශයින් ම පීඩිත ස්ථර කෙරේ නිරන්තරයෙන් එල්ල කරන ප්‍රචන්ඩත්වය හා මාරක බලය යෙදීම මගින් මෙය දැනටමත් ප්‍රකාශිත වේ. ඇෆ්ගනිස්ථානයේ, පකිස්ථානයේ, ඉරාකයේ හෝ යේමනයේ නොව එක්සත් ජනපදය තුලම වැඩපල හා නිවහන් තුලින් දඩයම් කල යුතු රාජ්‍යයේ සතුරන්ගේ “ඝාතන ලැයිස්තු” 6වන සීල් කන්ඩායම වැනි ඒකකයන්ට දීමට තව කොපමන කලක් යාද?

බිල් වෑන් ඕකන්

Share this article: