2009න් පසුව ගෝලීය ආර්ථික වර්ධනය පහතම අඩියට වැටී ඇති බව ජාමූඅ පවසයි

IMF report: Global growth lowest since 2009

2015 ජූලි 10

ලේමන් බ‍්‍රදර්ස් බැංකුව කඩා වැටීමේ හා පොදු අරමුදල් යොදවා ගෝලීය මූල්‍ය පද්ධතිය ගලවා ගැනීමේ ව්‍යායාමයෙන් සත් වසරකට පමන පසුව දැන්, ඇමරිකානු හා ලෝක ආර්ථීකය, තවත් ආර්ථික බිඳවැටීමක අද්දරට පැමින ඇති බව සලකුනු කරයි. චීනයේ කොටස් වෙලඳපොල කඩා වැටෙමින් ද ග‍්‍රීසියේ බැංකු බංකොලොත්වීමට මුහුන දෙමින් ද ඇමරිකාවේ ආර්ථික වර්ධනය ඇන හිටිමින් ද නැගී එන ආර්ථිකයන් වෙත ප‍්‍රාග්ධනය ගලනය සිඳී යමින් ද ලෝකය පුරා මිලිටරි ගැටුම් ඇවිලෙමින් ද ආර්ථික අර්බුදය ගැඹුරු කරයි.

මෙම සිද්ධිදාමය පෙන්නුම් කරන්නේ, 2008 හටගත් මූල්‍ය අර්බුදය හුදෙක් වාරික පසුබැස්මක් නොව, පශ්චාත් යුද්ධ ලෝක පර්යායේම ගැඹුරට මුල් බැසගත් අර්බුදයක ප‍්‍රකාශනය බවට ලෝක සමාජවාදී වෙබ් අඩවිය කල තක්සේරුවේ නිරවද්‍ය භාවයයි.

2009න් පසුව ලෝක ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් නරකම වසර 2015 බවට අනාවැකි පල කරන, සිය ලෝක ආර්ථික දැක්ම පිලිබඳ අලූත්ම වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලැබ ඇත්තේ මෙවන් පසුබිමකය.

වසරක් වසරක් පාසා ජාමූඅ හා අනෙකුත් විශ්ලේෂකයින් පවසා ඇත්තේ, ගෝලීය ආර්ථියේ සැලකිය යුතු වර්ධනයක් නොවරදවාම පැමිනෙනු ඇති බවය. එහි පලපුරුදු අව තක්සේරුවේ භාෂාවෙන් යලි වතාවක් මේ වසරේ ද එම සංවිධානයට පිලිගැනීමට සිදුව ඇත්තේ, “සැලසුම් කල ගෝලීය වර්ධනයේ එම ප‍්‍රකෘතිය තවමත් සිදුව නැති” බවයි.

ජාමූඅ පවසන්නේ, මේ වසර තුල ලෝක ආර්ථිකය සියයට 3.3න් වර්ධනය වනු ඇති බවය. එය අපේ‍්‍රල් මාසයේ ඔවුන් පැවසූ අනුපාතයට වඩා සියයට 0.2 ද පසුගිය වසරේ සඳහන් කල සියයට 3.4ට වඩා 1.1 ද අඩුය.

අලුත්ම තක්සේරුවෙන් ඔවුන් සංවර්ධනය වන රටවල වර්ධනය පිලිබඳ දැක්ම, අපේ‍්‍රල් මාසයේ පැවසූ සියයට 2.4 සිට 2.1 දක්වා පහත හෙලා ඇත. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය, කැනඩාව හා ජපානය යන දියුනු ආර්ථිකයන්හි වර්ධන පුරෝකථනයන් ද සැලකිය යුතු තරමින් පහත හෙලා ඇත.

වර්ධන පුරෝකථන පහත වැටීමට බලපා ඇති ප‍්‍රධාන සාධකය, ඇමරිකාවේ තියුනු පසුබෑම ද සහිත උතුරු ඇමරිකාවේ දුබල ආර්ථික තත්වය බව ජාමූඅ පවසයි. එය බලාපොරොත්තු වන්නේ, ඇමරිකාවේ කලින් සඳහන් කල සියයට 3.1ක වර්ධන අනුපාතය මේ වසර තුල සිට 2.5 දක්වා පසු බසිනු ඇති බවය.

ඇමරිකාවේ පලමු කාර්තුවෙහි ආර්ථික නිමැවුම වාර්ෂික අනුපාතයකට අනුව සියයට 0.2න් පහත ගිය අතර දෙවැනි කාර්තුවේ දත්ත පෙන්නුම් කරන්නේ ඉතා සුලු ප‍්‍රගතියක් පමනි.

අරමුදල ඇමරිකානු ආර්ථික නිමැවුමේ පිරිහීම සාධක ගනනාවකින් “එකක්” බව කියනු ලැබුව ද එරට ආර්ථිකය අපේක්ෂා කලාට වඩා අඩු මට්ටමක් සලකුනු කල දෙවන වසර 2015ය යන කාරනය වෙනස්වී නැත.

මේ වසරේ පලමු කාර්තුවෙහි ඇමරිකානු ආර්ථිකය මුහුනපෑ අර්බුදයට හේතුව, එරට සමාගම් ඩොලර් ටි‍්‍රලියන 4ක දැවැන්ත මුදල් කන්දක් මත වාඩිවී සිටියදී පවා යටිතල ව්‍යුහයේ ආයෝජන සියයට 2.8න් පහත වැටීමය. වෝල් ස්ටී‍්‍රට් ජර්නලය මෑතකදී වාර්තා කලේ, ඇමරිකානු සමාගම් මේ වසරේදී කම්හල් හා ආම්පන්න වෙනුවෙන් වැයකරනවාට වඩා කොටස් යලි මිලට ගැනීමට වියදම් කරනු ඇති බවයි.

නැගී එන ආර්ථිකයන් පිලිබඳ අපේක්ෂා ගැන සලකද්දී ජාමූඅ, විශේෂයෙන්ම කනස්සලූ සහගත හඬක් නගයි. එය සඳහන් කරන්නේ, “වර්ධනය අඛන්ඩව පසුබැසීම, සාධක ගනනාවක් පිලිබිඹු කරයි. ඊට, පහත් පාරිභෝගික මිල ගනන්, බාහිර මූල්‍ය තත්වයේ දැඩි කම, ව්‍යුහාත්මක ගෙල සිරකිරීම්...හා භූ දේශපාලනික සාධක වලට සම්බන්ධිත ආර්ථික ආතතිය.” සම්බන්ධ බවයි.

මෙම අවසන් කාරනය විශේෂ වැදගත් කමක් දරයි. එක් අධ්‍යයනයකට අනුව පසුගිය වසරේදී ගෝලීය ආර්ථිකයට යුද්ධ හා ප‍්‍රචන්ඩත්වයෙන් සිදුව ඇති හානිය ඩොලර් ටි‍්‍රලියන 14.3ක් නැත්නම් සමස්ත ආර්ථික නිමැවුමෙන් සියයට 13.4කි. මෙය නැගෙනහිර යුරෝපයේ, මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාවේ ගැටුම් ඉහල යෑමේ ප‍්‍රතිපලයයි. යුකේ‍්‍රන ගැටුමට බැඳුනු සම්බාධකවල හා තියුනු ලෙස පහත වැටුනු තෙල් මිලගනන්වල බරෙන් රුසියානු ආර්ථිකය මේ වසර තුල සියයට 4.8න් හැකිලෙනු ඇති බවට ගනන් බලා තිබේ.

අනෙකුත් නැගී එන ආර්ථිකයන් ද එවැනිම දුෂ්කරතාවන්ට මුහුනපා ඇත. බ‍්‍රසීලයේ ආර්ථිකය මේ වසර තුල සියයට 1.5න් හැකිලෙනු ඇති බවට ගනන් බලා තිබෙන අතර එය, අරමුදල අපේ‍්‍රල් මාසයේ පුරෝකථනය කලාට වඩා සියයට 0.5න් ඉහලය. නැගී එන ආර්ථිකයන් කරා ගලා ආ ප‍්‍රාග්ධනය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී තියුනු ලෙස පහත වැටෙනු ඇති බවට ජාමූඅ අනතුරු අඟවයි.

දැනට වෙලඳපොලවල් මත දැඩිම බරක් පැටවෙන්නේ, පසුගිය මාසය පුරා කොටස් අගය සියයට 30න් හැකිලී ගිය තතු හමුවේ කඩාවැටීම වලක්වාගැනීමට චීන බලධාරීන් වෙර දරද්දී, චීන කොටස් වෙලඳපොල තුල සිදුවන විනාශකාරී කොටස් විකිනීම මගින්ය.

මේ වසර තුල දැනටමත් සිදුව ඇති ආර්ථික නිමැවුමේ පසුබෑමෙහි වැදගත්කම පිලිගන්නා අතර පවා මූල්‍ය අරමුදල පවසන්නේ, “මූල්‍ය වෙලඳපොලවල ඉහල පහල යෑම වැනි ගෝලීය ආර්ථික කටයුතු වලට ඇතිකරන අවදානම් තවමත් ඇත්තේ සුලු වශයෙන් බවයි.” එය ගෝලීය කොටස් වෙලඳපොලවල කලබැගෑනි හඳුන්වන පොදු වචනයයි.

ගෝලීය ආර්ථිකයේ පවතින ව්‍යසනකාරී තත්වයට ජාමූඅ දෙන ප‍්‍රතිකර්මය කුමක් ද? තව තවත් කප්පාදු සමග එකට බැඳුනු ගෝලීය මූල්‍ය ක‍්‍රමයට මහ බැංකු විසින් දිගටම මුදල් පොම්ප කිරීමේ විසඳුම ම මිස අනෙකක් නොවේ.

“දියුනු ආර්ථිකයන්හි පවතින මූල්‍ය පිලිවෙත අඛන්ඩව ඉදිරියට ගෙන යමින් ආර්ථික කටයුතු වලට සහාය දිය යුතුවන අතර උද්ධමනය ඉලක්කය වෙත ගෙන යා යුතුය.” යි එය සඳහන් කරයි. මේ තක්සේරුව අනුව යමින් එය මේ සතිය මුල කියා සිටියේ, සය වසරක් බිංදුවට ආසන්නව පවත්වාගෙන යන ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාතය අඩුම තරමින් 2016 දක්වා හෝ වැඩි නොකරන ලෙසය.

වාර්තාව පවසන පරිදි මූල්‍ය ක‍්‍රමයට පහසු නය සම්පාදනය සමග අත්වැල් බැඳගත් ව්‍යාපාර ගැති ප‍්‍රතිසංස්කරන අවශ්‍ය කෙරේ. “පලදායිතාවය නංවන ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරන හා නිෂ්පාදනයේ ගෙල සිරකිරීම් අවසන් කිරීම බොහෝ ආර්ථිකයන් තුල ක‍්‍රියාත්මක කිරීම අවශ්‍ය කෙරේ.” මෙය වනාහි ග‍්‍රීසිය තුල ක‍්‍රියාත්මක කරන විනාශකාරී සමාජ ප‍්‍රතිපල සහිත කප්පාදුව වර්ගයේ වැඩසටහනක් ගෝලීය ආර්ථිකයටම අවශ්‍ය කෙරෙන බව වහෙන් ඔරෝ භාෂාවෙන් පැවසීමයි.

2008 මූල්‍ය අර්බුදයෙන් වසර හතකට පමන පසුව ද බැංකු කරුවන්ට මුදල් සැපයීම මගින් ලෝක මූල්‍ය බුබුල තවත් පිම්බීම ද කම්කරු පන්තිය ඉලක්ක කරගත් කප්පාදු ද හැරෙන්නට, ධනේශ්වර ආයතන සතුව ලෝක ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් ඇත්තේ නැත. මහා ජන සමූහයන්ගේ වියදමෙන් මූල්‍ය වංශාධිපතියන් තව තවත් ධනවත් කිරීමේ මූලික අරමුන සහිත මෙම පිලිවෙත ගමන් කරන්නේ, තවත් මූල්‍ය හා ආර්ථික බිඳවැටීමක් කරාය.

ඇන්ඩි‍්‍ර ඩෙමෝන්

Share this article: