සිරිසා ග්‍රීක කම්කරු පන්තිය පාවාදෙයි

Syriza’s betrayal of the Greek working class

2015 ජුලි 11

ග්‍රීක කම්කරුවන් සහ තරුනයන් යුසං ආඥාවන් මුලුමනින්ම ප්‍රතික්ෂේප කරමින් චන්දය දී යන්තම් දින හතරකට පසුව සිරිසා ආන්ඩුව, ඩොලර් බිලියන 13 ක කප්පාදුවක් ග්‍රීක ජනතාව මත පැටවීම සඳහා යෝජනා සති අන්තයේ රැස්වන යූසං මුදල් ඇමතිවරුන් වෙත ඉදිරිපත් කොට ඇත. මෙම මෘග කප්පාදුව අවශ්‍යවී ඇත්තේ, වහා පියවිය යුතු ව තිබෙන ක්ෂනික හිඟ නය ගෙවීම් උදෙසා යුරෝ බිලියන 53ක ඇප දීමක් යුරෝපිය සංගමයෙන් ලබා ගැනීම පිනිසය.

සිකුරාදා උදේ ග්‍රීක පාර්ලිම්න්තුව විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් අනුමත කල කප්පාදු යෝජනාව, ග්‍රීක ඡන්ද දායකයන් ජනමත විචාරනයේදී ප්‍රතික්ෂේප කල යුරෝ බිලියන 9ක කප්පාදුවටත් වඩා මෘග එකකි. එයට පහත සඳහන් ප්‍රහාර අතුලත් වේ:

*විශ්‍රාම යන වයස වසර 62 සිට 2022 වන විට, වසර 67තෙක් ටිකින් ටික ඉහල දැමීම සහ කල්තියා විශ්‍රාම යන අය “දිරි නොගැන්වීම”

*දිලිඳු විශ්‍රාමිකයන් ට හිමි ආධාර දීමනාවක් අහෝසි කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය වියදම් සියයට 50කින් ඉහල දැමීම.

*බොහෝ භාන්ඩවල වැට් බදු සියයට 23 කින් ඉහල දැමෙන පරිදි සමාජමය වශයෙන් පරාගාමී බදු වැඩිකිරීමක් ග්‍රීසිය අවට පිටිසරබද දිවයින් වලට ද බල පාන අයුරු ක්‍රියාවට නැංවීම.

ආන්ඩුවේ කම්කරුවන්ගේ වැටුප් ජාලය “එකබද්ධ කිරීම” මගින් රාජ්‍ය අංශයේ වැටුප් තවදුරටත් කැපීම සහ කම්කරු නීති තවදුරටත් ඉවත් කිරීම

ප්‍රාදේශීය ගුවන් තොටුපොල වල් සහ සහ පිරේයස් , තෙස්සලොනොකි සහ හෙලනිකොන් ඇතුලු දැනට සැලසුම් කර ඇති ඒවායේ පුද්ගලීකරන සැලසුම් වහා සම්පුර්න කිරීම.

ගොවියන්ගේ ඉන්ධන ආධාර කැපීම , කුඩා කර්මාන්ත කම්කරුවන්ගේ, සුලු දේපල හිමියන්ගේ සහ ස්වයං රැකියා ලාභීන්ගේ බදු බර වැඩි කෙරෙන අයුරු බදු නීති දැඩි කිරීම.

සිරිසා නායක ග්‍රීක අගමැති ඇලෙක්සි සිප්‍රාස් විසින් ග්‍රීක ජනතාවගේ ජනමතය මුලුමනින්ම පාවාදීම ප්‍රජාතන්ත්‍රයේ විජයග්‍රහනයක් යයි ඉදිරිපත් කිරීමට කැස කවයි, ඇත්ත වශයෙන් ම මෙම සිද්ධිය මුලුමනින්ම තහවුරු කරන්නේ කප්පාදුව පිලිබඳ ජනමත විමසුමක් කැඳවීම වනාහි “බැංකු විසින් ග්‍රීසිය කොල්ලකෑම ට ප්‍රජාතන්ත්‍ර මුහුනුවැස්මක් දැමීමට කරන ලද ප්‍රතිගාමී ප්‍රෝඩාවක් ය” යි ලෝක සමාජ වාදී වෙබ් අඩවිය විසින් මුලපටන්ම කරනලද අර්ථ කථනය සාකල්‍යයෙන්ම නිවැරදි බව ය.

යුසං හි ඉල්ලීම් වලට සිරිසාව නිලජ්ජිතව දන ගැසීම වනාහි එම සංවිධානය මුලපටන්ම ගිය ගමන් මගේ අනිවාර්ය විපාකය ට වැඩි දෙයක් නොවේ. ජනවාරියේ දි එය බලයට පත්වූ තැන් පටන් එය තතනා ඇත්තේ යුසංහි පිලිවෙත්වල වාටිය සැකසීමට වැඩි දෙයකට නොවේ. සිරිසාව වහාම සපථ කර ඇත්තේ යුරෝ බිලියන 300ක්වූ ග්‍රීසියේ නය නොගෙවා අහෝසි කිරීම සඳහා කිසිදු ඒක පාක්ෂික තීන්දුවක් නොගැනීමට ද ප්‍රාග්ධනය ග්‍රීක බැංකු වලින් ඉවත් කර ගැනීමෙන් ධනපතියන් වැලැක්වීමට ක්‍රියා නොකරන බවට ද වේ.

යුසං විසින් පටවා ඇති කප්පාදූවට විරුද්ධව මුලු යුරෝපයේ ම කම්කරු පන්තිය තුල පැතිර පවත්නා විරුද්ධත්වයට තමන් හා එක්වීමට ආමන්ත්‍රනය කරන්නට සිරිසා ආන්ඩුව සිතුවේ වත් නැත. ඒ වෙනුවට ඔවුන් උත්සාහ කලේ මහා බැංකු ද යුරෝපීය අධිරාජ්‍ය බලවතුන්ද පමනක් නොව ඔබාමා පාලනාධිකාරයේ ද අනුග්‍රහය දිනාගැනීමට ය. බර්ලිනය ඇතුලු ප්‍රධාන යුරෝපිය පාලකයෝ සිප්‍රාස්ට සැලකුවේ ඔහුට ගැලපෙන අවමානයෙනි. සිරිසා නායකයාගෙන් තමන්ට බිය වීමට කිසිදු හේතුවක් ඇත්තේ නැතැයි ඔවුහු හොඳින් දෑන සිටියෝ ය.

යුසං ග්‍රීසියට නය දීම නැවැත්වූ පසු සිරිසා ආන්ඩුව කලේ මෙම නය ගෙවීමට පලාත් ආන්ඩුවලින්, රෝහල් වලින්, සහ සරසවි වලින් ඩොලර් බිලියන ගනන් කොල්ල කෑම ය. මෙම අරමුදල් සිඳී ගිය පසු, ග්‍රීසියට නය දීම මුලුමනින්ම නවතා සිටි යුසං ග්‍රීසිය ඉයුරෝ කලාපයෙන් පලවා හැරීමට තර්ජනය කල කල්හිය සිප්‍රාස් ජනමත විචාරය කැඳවුම් කලේ. ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ අම්බ්‍රෝස් එවන්ස් ප්‍රිචාර්ඩ් විසින් ලියන ලද සිරිසාවේ සාකච්චා පිලිබඳ වාර්තාවකට අනුව සිප්‍රාස් අපේක්ෂා කලේ ( කප්පාදුව පිලිගන්නා) “ඔව්" පැත්ත දිනනු ඇති යයි කියාය. එවිට තමන්ට ඉල්ලා අස්වී , මහ ඡන්දයක් පවත්වා කප්පාදු පැටවීම අලුත් ආන්ඩුවකට කරන්නට ඉඩ දීම ය.

ග්‍රීක ජනතාවගෙන් සුවිසල් බහුතරයක් “නැත” යනුවෙන් කප්පාදුවට විරුද්ධ චන්දය දුන් කල්හි සිප්‍රාස් කම්පා විය. එවිට සිරිසාවට විකල්ප දෙකකි තෝරාගැනීමට තිබුනේ: එක්කෝ පසුගිය සතියේ පුපුරාගිය සුවිසල් විරෝධතා චන්දය කප්පාදු විරෝධී මහජන බලමුළුගැන්වීමක් සඳහා ආරම්භය ලෙස යොදාගැනීමය, නැතහොත් අධම යටත් වීමය. සිරිසාව යටත් වීම තෝරාගති.

මෙහිදී යුරෝපිය බැංකු සහ ආන්ඩුවල තර්ජනය එක් කොටසක් ඉටු කල අතර , සිරිසාව ඊට ද වඩා බියට පත් වූයේ ග්‍රීක කම්කරු පන්තිය නැගී සිටියොත් උද්ගත විය හැකි තත්වයට ය. සිප්‍රාස් ද ඔහුගේ රාජ්‍ය නිලධාරින් අතුලු අනුචරයන් ද ජනමත විචාරයට පෙර ඇතිවූ මහා පෙලපාලි සහ ජනමත විචාරනයේ දී කප්පාදුවට විරුද්ධව දෙන ලද , නායයාමක් බඳු පුලුල් ඡන්දය ද දැක ගත්තේ ව්‍යසනයක් ලෙසය.

යුසං පෙර නුවූ විරූ උග්‍ර කප්පාදු පැකේජය පැටවීමට සිරිසාව ගත් පියවර කම්කරු පන්තියට බැරෑරුම් පරාජයකි. එමගින් යුසංට කැමති පරිදි ජනතාවට පහර දීමට ඉඩ හැරෙනවා පමනක් , සිරිසාවේ බියගුලු දේශපාලනය “වාමාංශික දේශපාලනය”යයි හැඳින්වෙන තාක් දුරට නව නාසි ගෝල්ඩන් ඩ්‍රෝන් වැනි අතිශයින්ම දක්ෂිනාංශික දේශපාලන පක්ෂවල ශක්තිය වැඩෙනු ඇත.

ග්‍රීසියේ සිද්ධීන් ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රමුඛ මූලෝපායික අත් දැකීමකි. පෝසත් මධ්‍යම පන්තියේ මුල් බැසගත්, පශ්චාත් නූතනවාදී ගුරුකුලයේ සේවය ලත් සිරිසා ද ලෝකය පුරා වෙනත් එවන් ව්‍යාජ වාම පක්ෂවල ද භූමිකාව ග්‍රීසියේ සිද්ධීන් විසින් එලිදරව් කරනු ලැබ ඇත. මෙම සංවිධාන මෙහෙයවන මහාචාර්යවරුන් ද පාර්ලිමේන්තු කාරයන් ද කියා සිටින්නේ පන්ති අරගලයේ ද මාක්ස්වාදයේ ද යුගය අවසාන බවය.

කම්කරු පන්තිය ඇත්ත වශයෙන්ම මාක්ස්වාදය විසින් පැහැදිලි කර ඇති අයුරුම ධනවාදයේ යථාර්තය පිලිබඳ භයංකර පාඩමක් උගනිමින් සිටී: පාලක පන්තියේ නිර්දය භාවය , මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපාත්‍යය සහ කම්කරුවන්ගේ සහ ධනපතියන්ගේ අවශ්‍යතා අතර අශමනීය ඝට්ටනයයි ඒ .

ව්‍යාජ වාම පක්ෂයක් බලයට පත්වූ කල කරන්නේ කුමක් ද යන්න කම්කරු පන්තිය දැක ගනිමින් සිටී. කප්පාදුව සිදු කල යුතුය යන යුරෝපිය ප්‍රාග්ධනයේ ඉල්ලුමත් කම්කරු පන්තියේ සමාජ කෝපයත් අතර ඝට්ටනයට මුහුනදෙන සිරිසා සංවිධානය බැංකු වල අත යටට රිංගා ගත්තේ ය.

කප්පාදුවට එරෙහිව ප්‍රතිරෝධය පාමින් නැගී සිටීමට නම් යුසං සහ ග්‍රීක ධනේශ්වරයට එරෙහිව ක්ෂනික පියවර ගත යුතු ව තිබුනි: ග්‍රීසියේ නය ගෙවීම අත්හිටුවීම , මුල්‍ය පාලනය දැඩි කිරීම , බැංකු සහ ප්‍රධාන කර්මාන්ත කම්කරු පාලනය යටතේ ජනසතු කිරීම , යුරෝපයේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියෙන් ඒකාබද්ධ ක්‍රියා සහ ආධාර කැඳවීම යනු ඉන් සමහරකි. එහෙත් මෙම පියවර එකක් වත් ගනු ලැබුවේ නැත. එසේ වූයේ සිරිසාවේ පන්ති ස්වභාවය ද උපනතිය ද හේතු කොට ගෙනය.

සිරිසා මන්ත්‍රී (2013 දී ප්‍රකාශිත පුද්ගලික ඉතිරි කිරීම් ඉයුරෝ මිලියනයක් ඉක්මවූ ) දිමිට්‍රස් ටවුකලස් ද මුදල් ඇමති ට්සාකලටෝස් ද (මොහුගේ කොටස් ආයෝජන ඉයුරෝ 500,000 ඉක්මවිය ), ආර්ථික ඇමති ගොර්ගියෝස් සතාකිස් ද (මොහු ජේ .පී මෝර්ගන් බැංකුවේ යූරෝ 426,000ක් තැන්පත් කර ඇත ) හිටපු සිරිසා නායක ඇලෙකෝඇලවනොස් ද (මොහුට යුරෝ 350,000 ඉතිරිකිරීම්, කොටස් හා නිශ්චල දේපොල ඇත) හිටපු මුදල් ඇමති යානිස් වෙරෝෆකිස් ද ( මොහුගේ බිරින්ද දැනේ ස්ට්‍රටෝ , ලක්ෂපතිනියකි ) යනාදින්ට යුසංන් බිඳීමක් ගැන සිතන්නට හෝ ඉවසන්නට පුලුවන් කමක් නැත. මුලුමහත් ග්‍රීක පාලක ප්‍රභුවම මෙවන් ය. ග්‍රීසිය යුරෝපා සංගමයෙන් හා යුරෝ මුදලින් බිඳි ගොස් ඔවුන්ගේ ධනය දැඩි ලෙස අවප්‍රමානය වන ජාතික මුදලක් මත පාදක කරනු ලැබුවොත් ග්‍රීක පාලක ප්‍රභුවේ මේ සැම දෙනාටම විශාල ධනයක් අහිමි වනු ඇත.

ග්‍රීසියේ සන්තෑසිය කම්කරු පන්තිය සටන් නොකර සිටීම නිසා අත්වූවක්යැයි කාටවත් කිව නොහැකිය; කප්පාදු පැකේජයට විරුද්ධව චන්දය දුන් කම්කරුවෝ තමන් වටා විශාල තරුන කොටස් ද විශාල මධ්‍යම පන්තික කොටස් ද ඒකරාශී කර ගත්හ. ග්‍රීක කම්කරු පන්තිය මුහුන දුන් කේන්ද්‍රීය බාධකය වුයේ සිරිසාවේ ප්‍රතිගාමී භූමිකාවයි.

ට්‍රොට්ස්කි සිරිසාව සඳහා සමායාචකයන්ගේ කෙරුවාව මැනවින් මෙසේ විස්තර කලේය, “පරාජයන් විශ්වීය වර්ධනයන්ගේ අත්‍යවශ්‍ය පුරුක්යයි සමහන් කරලීමට යත්න දරන මෙම බෙලහීන දර්ශනවාදය, මුලුමනින්ම අසමත් වන්නේ ද පැහැර හරින්නේද පරාජය සංවිධාන කිරීමට වැඩකල ක්‍රියාමාර්ග, පක්ෂ, සහ පුද්ගලයන් පැහැදිලිකර පෙන්වීමටය. දෛවවාදයේ හා දන්ඩනමස්කාරයේ මෙම දර්ශනවාදය, විප්ලවවාදී ක්‍රියාවේ න්‍යාය වන මාක්ස්වාදයට කෙලින්ම සතුරු වුවකි. ”

සිරිසාවට සමාව යදින සියලු දෙනා ම - ස්පාඤ්ඤයේ පොඩිනොස් පක්ෂය, ප්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය හා ජීන් -ලුක් මෙලෙචිනොස්ගේ වාම පෙරමුන සහ එක්සත් ජනපදයේ ඉන්ටර් නැෂනල් සෝෂලිස්ට් සංවිධානය, ජර්මනියේ වාම පක්ෂය සිරිසාවට සුදුහුනු ගාන්නේ තමන් බලයට ආවොත් හැසිරෙන්නේ ද කටයුතු කරන්නේ ද මීට වෙනස් ආකාරයකට නොවන නිසාය. මේ සකල සුලුධනේශ්වර කන්ඩායම් කම්කරු පන්තියට ගෙන එනු ඇත්තේ විනාශය හැර අන් කිසිදෙයක් නොවේ.

අති මූලික ප්‍රශ්නය වන්නේ, කම්කරු පන්තියේ දේශපාලන ඉදිරිදර්ශන සහ නායකත්වයේ අර්බුදය විසඳීමයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය යටතේ, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරය ගොඩ නැගීමයි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: