ශ්‍රී ලංකාවේ සසප රැස්වීම, දඩයමට ලක් වූ වතු කම්කරුවන් ආරක්ෂා කරයි

Sri Lanka: SEP meeting defends victimised plantation workers

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 ජූලි 15

ග්ලෙනුගි තේ වත්තේ ඩීසයිඩ් කොටසේ දඩයමට ගොදුරුවූ වතු කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ජූලි 5 දා අප්කොට්හි දී සාර්ථක රැස්වීමක් පැවැත්වූහ. වතු වෘත්තීය සමිති නිලධරයන්ගේ හා ප්‍රදේශයේ පොලීසියේ අඛන්ඩ බියවැද්දීම් මධ්‍යයේ දඩයමට ලක් වූ වතු කම්කරුවන් ද ඇතුලු සැලකිය යුතු සංඛ්‍යාවක් රැස්වීමට සහභාගි විය.

අප්කොට්හි සසප ප්‍රසිද්ධ රැස්වීම

දලු නෙලීම අඩපන කිරීම සඳහා ක්ෂේත්‍ර නිලධාරියෙකුට පහර දී අසල තිබුනු දෙබර කූඩුවක් ඇවිස්සීය යන ව්‍යාජ චෝදනා ගොතමින් කම්කරුවන් තිදෙනෙකු සේවයෙන් නෙරපා තවත් හතර දෙනෙකුගේ වැඩ මසකට අත්හිටුවීමට ග්ලෙනුගි වත්තේ කලමනාකාරීත්වය මැයි 22දා පියවර ගත්තේ ය. අත්තනෝමතික ලෙස වැඩ වේගවත් කිරීමට එරෙහි ව පසුගිය පෙබරවාරි මාසයේ පැවති තෙදින වැඩවර්ජනයක දී ඉදිරිපෙල භූමිකාවක් ඉටු කිරීම මෙම කම්කරුවන් දඩයමට ලක් කිරීමට හේතු විය. කලමනාකාරීත්වයේ ව්‍යාජ චෝදනා මත පදනම් ව හැටන් මහේස්ත්‍රාත් උසාවියේ දී නඩුවක් ද පවරන ලදී.

පසුගිය සති අන්තයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමට පෙරාතුව සසප හා සසජාතශි සාමාජිකයෝ “දඩයමට ලක්කල ඩීසයිඩ් වතු කම්කරුවන් යලි සේවයේ පිහිටුවනු”යන සසප ප්‍රකාශනය බෙදාහරිමින් වතු කිහිපයක උද්ඝෝෂනයේ නිරත වූහ.

ජූලි 30දා වතු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වෘත්තීය සමිතියක් වන ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) ප්‍රාදේශීය නායකයෙක් මස්කෙලියේ සසප උද්ඝෝෂනයට බාධා කිරීමට උත්සාහ දැරීය. “මැතිවරන සමයේ ඡන්ද ගසා කෑමට සසප මෙම සිද්ධිය යොදා ගන්නේ” යයි චෝදනා කල සීඩබ්ලිව්සී නිලධාරියා උද්ඝෝෂනය නතර කරන ලෙසට තර්ජනය කලේ ය. අවට ගමන් කරන්නන්ට කතා කරමින් දඩයමට ලක්කල කම්කරුවන් ආරක්ෂා කිරීමට සසප ගෙනයන අරගලය හා වෘත්තීය සමිතිය ග්ලෙනුගි කලමනාකාරීත්වය සමඟ එක්වී ඇති ආකාරය පැහැදිලි කල විට සීඩබ්ලිව්සී නායකයා පසු බැස්සේ ය.

ඊට පසුදින මස්කෙලිය පොලීසියේ ස්ථාන භාර නිලධාරියා (ඕඅයිසී) සසප උද්ඝෝෂකයන් හමුවට පැමිනියේය. සසප පත්‍රිකාවක් කිය වූ ඔහු “යමෙක්” පොලීසියට පැමිනිලි කර ඇති නිසා උද්ඝෝෂනය නවතා පොලීසියට පැමිනෙන ලෙස සසප ආධාරකරුවන්ට කීවේ ය.

සසප උද්ඝෝෂන කන්ඩායමේ නායකයා ඕඅයිසී වෙත කතා කරමින් සිටිය දී කැබිනට් ඇමති පී. දිගම්බරම් නායකත්වය දෙන ජාතික කම්කරු සමිතියේ (ජාකස) මැරයෙක් අනෙක් සසප සාමාජිකයන්ට පහර දීමට උත්සාහ ගත්තේ ය.

සසප සාමාජියකයන් පොලීසිය යන විට ජාකස සාමාජික කන්ඩායමක් ඔවුන් පසුපසින් පැමින සසප ප්‍රකාශනය උදුරා ගැනීමට තැත් කලහ. මෙම විවෘත තර්ජනය නැවැත්වීමට හෝ සමිති මැරයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අසමත් විය. සසප උද්ඝෝෂකයන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කල ජාකස සාමාජිකයෝ තම සමිති නිලධරයන්ට එරෙහි ව කිසිවක් පල නො කල යුතු බව කියා සිටියහ. සසප නිල වශයෙන් පැමිනිල්ලක් කර ඇතත් පොලිසිය, ජාකස සාමාජිකයන්ට එරෙහි ව කිසිදු පියවරක් ගෙන නැත.

මෙම සිද්ධි දෙක වැඩි දුරටත් පැහැදිලි කරන්නේ, වෘත්තීය සමිතිවල දේශපාලන මංමුලාව සහ වෘත්තීය සමිති හා පොලීසිය අතර ඇති සමීප සම්බන්ධය යි.

ජූලි 5දා පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීමේ මුලසුන ගත් සසප සාමාජික කේ. කාන්දීපන්, පැමින සිටි අය පිලිගනිමින්, වෘත්තීය සමිති නිලධරයේ හා පොලීසියේ තර්ජන නො තකා තම සහෝදර කම්කරුවන් ආරක්ෂා කිරීමට තේ වතු කම්කරුවන් ගත් තීරනය පැසසුමට ලක් කලේ ය.

“වතු සමාගම් වැඩ වේගවත් කිරීමට එරෙහි ව අරගලය මෙහෙයවීම නිසයි ඩීසයිඩ් කම්කරුවන් දඩයම් කලේ. මේක ග්ලෙනුගි කලමනාකාරීත්වයේ තනි තීරනයක් නෙවෙයි” යයි කාන්දීපන් කීවේ ය.

“මෙය විශේෂයෙන් ම වතු අයිතිකාරයින් ද ඇතුලු ධනපති පන්තිය සිතා මතා ගත් තීරනයක් බව කම්කරුවන් තේරුම් ගත යුතු යි. කම්කරුවන්ගේ පඩි රුපියලකින් වත් වැඩි නො කරන බව කියන ඔවුන්, දෛනිකව නෙලන තේ දලු ප්‍රමානය කිලෝ 16 හෝ 18 සිට 23 දක්වා වැඩි කල යුතු බව කියනවා.”

ඩීසයිඩ් අරගල‍යේ පාඩම් ලෝකයේම කම්කරුවන්ට වැදගත් වන බව කියමින්, කම්කරුවන් ආරක්ෂා කිරීමේ අරගලය පෙරට ගෙන යන ලෙස රැස්වීමට සහභාගි වූවන්ගෙන් ඉල්ලා සිටි කාන්දීපන්, දඩයමට ලක්කල කම්කරුවන්ට විරුද්ධ ව නඟා ඇති සියලු චෝදනා ඉවත් කරගතයුතු බව පැවසීය.

ඩීසයිඩ් කම්කරුවන් දඩයම් කලේ, වතු සමාගම්වල සැලසුම්වලට ඔවුන් ඍජුවම විරුද්ධ වීම නිසා යයි පැවසූ සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා, ලෝක තේ වෙලඳපොලේ අනෙකුත් රටවල තරඟ කරුවන්ට මුහුනදීම සඳහා කම්කරුවන්ගේ ශ්‍රම ඵලදායිතාව ඉහල දමා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට සමාගම්වලට අවශ්‍යවී ඇති බව පැහැදිලි කලේ ය.

“ලොව පුරා කම්කරුවන් එක හා සමාන ප්‍රහාරයකට මුහුන දෙමින් සිටිනවා. ග්‍රීසියේ දී මෙම තත්ත්වය තියුනු ලෙස ප්‍රකාශයට පත් වෙනවා. ලෝක මූල්‍ය අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට නිර්දේශ කරන යුරෝපා සංගමය, යුරෝපා මහ බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ග්‍රීක කම්කරුවන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් හා සුභ සාධන තව තවත් කපා හරින ලෙස නියෝග කරනවා.”

මෙරට වතු කම්කරුවන් අතර ඉන්දීය බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය ගෙන ගිය මූලධර්මාත්මක අරගලය දේවරාජා සිහිපත් කලේ ය. “1940 ගනන්වල මහනුවර මුල්ඔය වත්තේ මෙන් ම බදුල්ලේ වේවැස්ස වත්තේ කම්කරුවෝ ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත බ්‍රිතාන්‍ය විජිත ආන්ඩුවට වගේ ම හාම්පුතුන්ට එරෙහි අරගලයේ ඉදිරියෙන් ම සිටියා. සසප සටන් වදින්නේ මෙම පාඩම් මත පදනම් ව සමාජවාදී මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට යි” යයි දේවරාජා කීවේ ය.

අවසන් කථාව කල සසප දේශපාලන කමිටු සාමාජික පානි විජේසිරිවර්දන, කම්කරුවන්ට විරුද්ධ ව වතු කලමනාකාරීත්වය, වෘත්තීය සමිති, පොලීසිය හා අධිකරනය කටයුතු කරන්නේ කෙසේදැයි පැහැදිලි කලේ ය. “සමස්ත ධනපති කඳවුරම මෙම කම්කරුවන් දඩයම් කිරීම සඳහා එකට එක්ව කටයුතු කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මෙම ප්‍රහාරවලට මුලුමනින් සහයෝගය දෙනවා.”

“ඩීසයිඩ් කොටසේ සිදු වී තිබෙන්නේ ආන්ඩුව හා පුද්ගලික සමාගම් කම්කරු පන්තියේ සෑම කොටසකට ම එරෙහි ව එල්ල කිරීමට නියමිත පුලුල් ප්‍රහාරයකට පෙර සූදානම් වීමක්. කඩා වැටෙන ලාභය රැක ගැනීම සඳහා වැටුප් හා රැකියා කපමින් ඉහල ඵලදායීත්වයක් සඳහා ගනු ලබන පියවරයන්ට පුද්ගලික හා රාජ්‍ය අංශවල කම්කරුවන් එකලෙස මුහුන දෙනවා.”

“රැකියා, කොන්දේසි හා වැඩ වැරීමේ අයිතිය ද ඇතුලු මූලික ප්‍රජාතාන්ත්‍ර අයිතීන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිප්‍රහාරයක ආරම්භක පියවර ලෙස දඩයමට ලක් වූ ඩීසයිඩ් කම්කරුවන් ආරක්ෂා කිරීමේ අරගලයට උර දෙන ලෙස සසප හා සජාතශි ඉල්ලා සිටිනවා.”

“මෙම උද්ඝෝෂනය පදනම් විය යුත්තේ ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මතය. දකුනු ආසියනු හා ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලයකි මෙය. මෙම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැගීමට එක් වන්නැයි අප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.”

අධිරාජ්‍යවාදී යුද තර්ජනයට හා සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහි ව කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ඉදිරියේ එන පාර්ලිමේන්තු මැතිවරනයේ දී සසප කොලඹ, යාපනය හා නුවරඑලිය දිස්ත්‍රික්ක වලට අපේක්ෂකයන් ඉදිරිපත් කරන බන විජේසිරිවර්ධන පැවසී ය. ඔහු ඉල්ලා සිටියේ, මෙම උද්ඝෝෂනයට සහයෝගය දෙමින්, සසප ක්‍රියාමාර්ගය සමඟ එකඟ වන සියලු දෙනා පක්ෂයට බැඳෙන ලෙස ය.

රුපියල් 1,000ක දෛනික වැටුපක් ඉල්ලා සීඩබ්ලිව්සී විසින් දියත් කොට ඇති “හෙමින් වැඩකිරීමේ” අරගලය පිලිබඳ ව සසපයේ ආකල්පය ගැන එක් කම්කරුවෙක් විමසීය.

සීඩබ්ලිව්සීයේ සීමිත විරෝධතා ක්‍රියාව කැඳවුම් කර ඇත්තේ වඩා නරක අතට හැරෙන තම කොන්දේසි කෙරෙහි වතු කම්කරුවන් අතර වර්ධනය වන කැලඹීම යටපත් කිරීමට බව පැහැදිලි කරමින් විජේසිරිවර්දන පිලිතුරු දුන්නේ ය. වතු කම්කරුවන්ගේ කෝපය හා රැඩිකලීකරනය මඟින් වික්ෂිප්තවී සිටින වෘත්තීය සමිති හා හාම්පුත්තු, එය මර්දනය කිරීමට උත්සාහ කරති. කම්කරුවන්ගේ අතෘප්තිය ගසා කමින්, හෝදා පාලු වන තම පදනම මුක්කු ගසා නඟා සිටුවීමට සීඩබ්ලිව්සී උත්සාහ කරන බව ඔහු පැවසීය.

“අප මෙම හෙමින් වැඩ කිරීමේ විරෝධතාවට සම්බන්ධ විය යුතු ද නැද්ද” යනුවෙන් තවත් කම්කරුවෙක් විමසීය.

වතු කම්කරුවන් එයට සහභාගි විය යුතු නමුත් සීඩබ්ලිව්සී හෝ වෙනත් කිසිදු වෘත්තීය සමිතියකට අබමල් රේනුවක හෝ සහායක් නො දිය යුතු බව විජේසිරිවර්දන කීවේ ය.

“වෘත්තීය සමිති මත පදනම්වී තමන්ගේ වැටුප් ඉහල දමා ගැනීමට හා යහපත් සේවා හා සමාජ කොන්දේසි දිනා ගැනීමට කම්කරුවන්ට නොහැකිය. ඒ සඳහා ඔවුන් තමන්ම ආරම්භකත්වය ගත යුතු ය. පාවාදීමේ දීර්ඝ කාලීන වාර්තාවක් ඇති වෘත්තීය සමිති, ධනපති ආන්ඩු හා සමාගම් සමඟ අතිනත ගෙන වැඩ කරති.“

“සෑම වත්තකම කම්කරුවන් තම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නගාගෙන, සාධාරන මාසික වැටුපක්, නිවාස, අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සීමිත විරෝධතාවලින් ඔබ්බට සිය අරගලය පුලුල් කරමින් ශ්‍රී ලංකාවේ හා ලෝකයේ අනෙකුත් සහෝදර කම්කරුවන්ගේ සහයෝගය සඳහා කැඳවුම් කල යුතු වෙනවා.

“මෙම ඉල්ලීම් සඳහා වන අරගලය ධනේශ්වර ක්‍රමයට එරෙහි සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කරන දේශපාලන අරගලයක කොටසක් ලෙස වර්ධනය කල යුතු ” යයි විජේසිරිවර්දන කීවේ ය.

Share this article: