සසප රැස්වීම සඳහා උද්ඝෝෂනය: කම්කරුවෝ ආන්ඩුව ගැන විරුද්ධත්වය පල කරමින් අදහස් දක්වති

අපේ වාර්තාකරුවන් විසිනි, 2015 ජුනි 16

ශ්‍රී ලංකාවේ ආන්ඩු පෙරලිය සහ කම්කරු පන්තියේ කර්තව්‍යයෝ මැයින් ජුනි 17 කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිත සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය කරනු ලබන ප්‍රසිද්ධ රැස්වීම සඳහා පසුගිය දිනවල කරන ලද උද්ඝෝෂන වලදී ධනපති පන්ති පාලනය යටතේ වැඩකරන ජනතාව මුහුන දී සිටින මූලික දේශපාලන ප්‍රශ්න ගැන සාකච්චාවක් විවෘත කර ගැනීමට ඔවුන්ට අවකාශ සැලසුනි. පසුගිය සති අන්තයේ සසප සහ සසජාතශි සාමාජිකයෝ රත්මලාන දුම්රිය කම්කරු නිවහන් ප්‍රදේශයේ උද්ඝෝෂනයක නිරත වූහ.

රත්මලාන දුම්රිය සේවක නිවාසවල දුම්රිය කම්කරු පවුල් සිය ගනනක් ජීවත් වෙති. රත්මලාන දුම්රිය වැඩපොල තුල වැඩමුර ක්‍රමයට කම්කරුවන් සේවයේ යෙදවීමට පහසුවන පරිදි සහනදායි මාසික කුලියක් මත දුම්රිය කම්කරු පවුල්වලට මෙම නිවාස ලබා දී ඇත. මාසික කුලිය ඔවුන්ගේ වැටුපෙන් අඩුකර ගනු ලබයි. දසක ගනනාවකට පෙර ලබාදුන් මෙම නිවාසවල නඩත්තු කටයුතු කලින් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කල නමුත් දසක කිහිපයක සිට එය මුලුමනින් ම අත හැර දැමීම හේතුකොට ගෙන නිවාස බොහොමයක් අබලන් තත්වයට පත් වී ඇත. නඩත්තු කටයුතු තමන් විසින් ම කරගත යුතු ය. තමන්ගේ ම නිවසක් තනාගෙන නැති කම්කරු පවුල් සේවයෙන් විශ්‍රාම ගිය විට මුහුන දෙන තත්වය ඊටත් වඩා නරකය.

උද්ඝෝෂනයේ දී මුන ගැසුන කම්කරුවෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ආ න්ඩුව කෙරෙහි අතිශයින් ම විවේචනශීලී වූ හ. තමන්ට ජනාධිපති සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහි කිසිදු විස්වාසයක් නැති බව ඔවුන්ගෙන් බොහෝදෙනෙකු ප්‍රකාශ කලහ. රාජපක්ෂ යලි බලයට ගෙන ඒම සඳහා සිංහල ස්වෝත්තමවාදී හා වර්ගවාදී බලවේගවල උද්ඝෝෂනයෙන් නො මග ගිය කම්කරුවන් කිහිපදෙනෙකු ද අප උද්ඝෝෂකයන්ට මුන ගැසුනි.

ආන්ඩු මාරුව ගැන කතා කල වැඩපොලේ වඩු අංශයේ කම්කරුවෙකු සඳහන් කලේ " මේක හරියට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ. තත්වය තවතවත් නරක අතට හැරෙමින් තියෙන්නේ"

රාජපක්ෂ ඉවත්කර සිරිසේන බලයට දමා ගැනීමේදී තිරයට පිටුසින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වූ බව සසප සාමාජිකයන් පෙන්වාදුන් විට එය අනුමත කල ඔහු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෑත ශ්‍රී ලංකාවට පැමිනීම ගැන සඳහන් කරමින් "අපි දන්නවා එයා ආවේ අපට ආදරේකට නෙමෙයි කියලා. ඔවුන්ට ඔවුන්ගෙ ම බලගතු උවමනාවන් තියෙනවා. ඔවුන් අපේ රටට එන්නේ ඔවුන්ගේ ලෝක යුද මූලෝපාය සම්පුර්න කරගන්න කියන එක පැහැදිලියි"

"අවට සිද්ධවෙන්නේ මොකක් ද කියල අපට පැහැදිලි අවබෝධයක් නැතත් අප අවට සිදු වෙන දේ ගැන හැඟීමක් අපට තියෙනවා" ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ ය.

දුම්රිය කම්කරුවෙක් සසප පත්‍රිකාව කියවමින්

දුම්රිය වැඩපොලේ බොහෝ කම්කරුවන් අතර ආන්ඩුව සහ දේශපාලන පක්ෂ කෙරෙහි අසතුටක් සහ කෝපයක් පවතින බව තරුන කම්කරුවෙක් වූ අරුන කීවේ ය. "මා හිතන්නේ ඊලඟ ඡන්දයේ දී වැඩපොලේ සියයට 80 ට වඩා ඡන්දෙ නොදී ඉන්න ඉඩ තියෙන වා " යයි ඔහු ප්‍රකාස කලේ ය.

සිය දේශපාලන අතීතය ගැන ඔහු විස්තර කලේ ය. "අවුරුදු කිහිපයකට කලින් මා එක්සත් ජනතා නිදහස් සන්ධානය ට සහයෝගය දුන්න. ඒකේ ස්වභාවය මට අවබෝධ වුනාට පස්සේ මා පසුගිය මැතිවරනෙ දී සිරිසේනට සහයෝගය දුන්න, දැන් මට තේරෙනවා අප කබලෙන් ලිපට වැටුනා මිසක් සිරිසේන බලයට දමා ගැනීමෙන් කම්කරුවන්ට ලැබුන දෙයක් නැහැ කියල"

දුම්රිය විදුලි තාක්ෂනික ශිල්පියෙක්

ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත කම්කරුවන් සංවිධානය වීමේ වැදගත්කම ගැන සසප සාමාජිකයන් පැහැදිලි කරන විට ඊට සාවධානව සවන් දුන් ඔහු සසප දේශපාලන සාහිත්‍ය කියවීමට එකඟ වූ අතර රැස්වීමට සහභාගීවීමට උත්සාහ කරන බව කීවේය.

පරිප්පු, සීනි ආදි වසයෙන් දිග බඩු ලැයිස්තුවක් ඉදිරිපත් කල එක ගෘහනියක් "කොයික ද ලාබ වෙලා තියෙන්නේ" යයි ප්‍රශ්න කලා ය. බඩු ලාබ කලා කියන කතාව විකාරයක්! ඒ ගොල්ලෝ හිතන්නේ අපි මෝඩයෝ කියල දුප්පත්තු හැමදාමත් දුප්පත්. ඒක තමයි ඇත්ත. කම්කරුවන්ට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ"

දර සකස් කිරීමේ යෙදී සිටින කම්කරුවෙක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි කම්කරුවෙකු වූ ඇගේ සැමියා සාකච්චාවට සම්බන්ද වෙමින් මෙසේ පැවසුවේ ය: "මට තේරෙනව ඒ ගොල්ල (සිරිසේන ආන්ඩුව) කම්කරුවන්ට කිසිම සුගතියක් කරන්නේ නැහැ කියලා. නමුත් මගේ ප්‍රශ්නය කවුද අපිට ඉන්න විකල්ප නායකයා? එජනිස, එජාප සහ තවත් පක්ෂවල නායකයෝ ඉන්නවා. අපිට විශ්වාස කරන්න පුලුවන් කම්කරු පන්ති නායකයා කවු ද?"

නායකයෙක් ඉබේ මතු නොවන බව ද සමාජාවාදී ක්‍රියාමාර්ගයක් මත විකල්ප නායකත්වයක් ගොඩ නැගීමට සටන් කල යුතු බව සසප සාමාජිකයෝ ඔහුට පැහැදිලි කලහ. කම්කරුවන් සංවිධානය කරන්නේ කෙසේ දැයි දැන ගැනීමට ඔහුට අවශ්‍ය බව ඔහු පැවසුවේ ය. සසප කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස හා ධනපති පන්තියේ උපකරන බවට පරිවර්තනය වී ඇති වෘත්තීය සමිති වෙනුවට කම්කරු පන්තියේ අරගල සංවිධානය කිරීම සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමේ අවශ්‍යතාවය සසප සාමාජිකයෝ ඔහුට පැහැදිලි කලහ.

"රුපියල් 10,000 වැටුප් වැඩි වීමක් දෙන බවට සිරිසේන පොරොන්දු වුනා. නමුත් 5,000 දීමනාවක් විතරයි දුන්නේ. අනෙක් අතින් කම්කරුවන්ගේ කිසි ම දුග්ගැනවිල්ලක් ගැන ආන්ඩුව තකන් නැහැ. රාජපක්ෂ ආන්ඩුව නතර කරපු තැනින් මේ ආන්ඩුව වැඩ පටන් අරගෙන තියෙනවා. වැඩපොල ඇතුලේ කම්කරුවන් අතර නොසන්සුන්කමක් ඉස්මතුවෙමින් තියෙනවා. පාලනාධිකාරයයි වෘත්තීය සමිතියි උත්සාහ කරනවා ශ්‍රේනි අනුව සේවකයෝ බේද භින්න කරන්න. ඒ නිසා ඇතුලේ වැඩ කඩා කප්පල් වෙලා. අතිකාල සහ දිරිදීමනා ඇත්තෙත් නැහැ. අලුත් ආන්ඩුව යටතේ තත්වය තවත් නරක අතට හැරිලා" කාර්මික අංශයේ සේවකයන් කන්ඩායමක් පැවසුවේය.

පුහුනු වන තරුන වැද්දුම් කරුවෙකු වූ සජිත් මෙසේ කීවේය. "හැම දෙයක් ම කරන්නේ ඔවුන්ගේ ප්‍රභූ පන්තියට. කම්කරු ජනතාවට නෙමෙයි. ඔහු චීනයට ගැති නිසා රාජපක්ෂ අයින් කලා. පාලක පන්තිය අතර බෙදීමක් තියෙනවා සහ ලෝක යුද්ධයක් සුදානම් කෙරෙමින් පවතිනවා කියන කාරානාවලට මං එකඟයි"

දුම්රිය කම්කරුවකුගේ බිරිද සහ දරුවා

දුම්රිය කම්කරුවෙකු වූ සජිත් ගේ පියා ද සාකච්චාවට එකතු වුයේය. "මෙම නායකයන් කවුරුවත් එදා ඉඳල ම දුන්න පොරොන්දු එකක්වත් ඉෂ්ට කලේ නැහැ. සිරිසේන ඊට වඩා වෙනස් නැහැ." කිසිම පක්ෂයක් වැඩකරන ජනතාවගේ ප්‍රශ්න ගැන තකන්නේ නැති නිසා කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති බවත් එම ජරා දේශපාලනයෙන් ඈත් වී ජීවත් වීමට තමන්ට අවශ්‍ය බවත් ඔහු කීවේය.

ඔහු "ජරා දේශපාලනයක්" ලෙස පිලිකුලින් ප්‍රකාශ කලේ ධනපති හා අවස්ථාවාදී පක්ෂ විසින් කම්කරුවන් රැවටීම පිලිබඳ ව පවතින විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට ය.

මේ ආකාරයේ විපිලිසර වීමක් සමහර දුම්රිය කම්කරුවන් අතර දකින්න ලැබුනි. එය අහසින් කඩාපාත් වූවක් නොව රාජපක්ෂ, සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ කම්කරු පන්තියේ ගැලවූම් කාරයන් ලෙස මවා පෑමට නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම පක්ෂ විසින් ඉෂ්ට කල හා කරන ප්‍රතිගාමී හා ද්‍රෝහී භුමිකාවේ ප්‍රතිපලයකි එය.

විදුලි අංශයේ කාර්මිකයෙකු වූ කරුනාරත්නට ලෝක යුද්ධයක් යලි ඇතිවන්නේ කෙසේ දැයි පැහැදිලි කර ගැනීමට අවශ්‍ය විය. "මා කොහොම ද තේරුම් ගන්නේ ලෝක යුද්ධයක් ගැන ඔබ කියන කාරානාව හුදෙක් හිතින් මවා ගත්ත එකක් නෙමෙයි කියල. රටවල් අතර සාමාන්‍ය සම්බන්ධකම් හෝ හොඳ හිත පවත්වා ගන්න බැරි ද?" ඔහු ප්‍රශ්න කලේ ය.

චීනය හෝ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට යහපත් සිතින් උදව් කිරීමක් ගැන ඔහුට මිත්‍යාවක් නොතිබු නමුත් ඔහුගේ ප්‍රශ්න සහ අදහස් වලින් පිලිබිඹු වූයේ ව්‍යාජ වම්මුන්ගේ සහ රැඩිකලුන්ගේ සහයෝගය ඇතිව ධනේශ්වර මාධ්‍ය සහ ඊනියා බුද්ධිමතුන් විසින් වපුරන මිත්‍යාවන් ය.

ඔහුගේ ප්‍රශ්න කිරීම භූ-දේශපාලන ආතතීන් ද ලෝක යුද්ධයක් දිසාවට අධිරාජ්‍යවාදී රටවල, විශේෂයෙන් ඇමරිකාවේ ප්‍රකෝපකාරී මිලිටරි ක්‍රියා ඊට තුඩු දිය හැකි ආකාරය සාකච්චා කිරීමට ඉඩ සැලසුවේ ය. ලෝකයේ ප්‍රදේශ ගනනාවක පවතින දහනශීලී ස්වභාවය සහ පසුගිය ලෝක යුද්ධ දෙකේ අත් දැකීම් පැහැදිලි කල විට රැස්වීමට සහභාගී වීමට අවස්ථාවක් නො ලැබුනොත් පසු ව හමු වී ලෝක යුද්ධයක අන්තරාය හා දේශපාලන ප්‍රශ්න ගැන සාකච්චා කිරීමට ඔහු එකඟ විය.

Share this article: