යුරෝපීය සංගමය ග්‍රීසිය බංකොලොත් කිරීමට කරන තර්ජන හමුවේ බ්‍රස්ල්ස්හි පැවති අර්බුදකාරී සාකච්ඡා බිඳ වැටේ

Crisis talks in Brussels collapse as EU threatens to bankrupt Greece

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි , 2015 ජූනි 15

ග්‍රීසිය බංකොලොත්කමේ අද්දර වැනෙමින් සිටින තතු හමුවේ, යුරෝපීය සංගමයේ ග්‍රීක ඇප අරමුදලෙන් දිගටම නය ලබාගැනීම පිනිස, ග්‍රීසිය විසින් සම්පූර්න කල යුතු කප්පාදු පියවර කවරේ ද යන්න මත එකඟත්වයක් ඇතිකර ගැනීමට දෙපාර්ශවයේ නිලධාරීන් අසමත් වීමෙන් පසුව 14දා, බ්‍රසල්ස්හි පැවති අර්බුදකාරී සාකච්ඡා බිඳ වැටුනි.

සාකච්ඡා “දුෂ්කරවූ”බව සඳහන් කල යුරෝපීය මූලාශ්‍ර, යුරෝ මුදල් ඇමතිවරුන්ගේ “කන්ඩායම තුල තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට නියමිත” බව ඇඟවුම් කලහ. යුරෝ සංගමය හා “රැඩිකල් වාම සංධානයේ” සිරිසා පක්ෂයෙහි ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් අතර යුරෝ බිලියන 2ක පමන කප්පාදු පිලිබඳව තවමත් එකඟ විය යුතුව ඇත. ඇතන්ස් පාලනය තවදුරත් විශ්‍රාම හා වැටුප් කැපීමේ සැලසුම් වලටත් වැට් හෙවත් එකතුකල අගය මත අයකරන බද්ද වැඩි කිරීමටත් විරුද්ධත්වය පල කරන බව වාර්තා විය.

ග්‍රීක නිලධාරීහු, වත්මන් යුරෝ සංගම් යෝජනා “අතාර්කික” හා “දරදඩු” යයි ප්‍රතික්ෂේප කරන නමුත් සිරිසා නිලධාරීන් පැවසුවේ, කප්පාදු පැකේජය පිලිබඳ එකඟත්වයකට පැමිනීමට තමන් බලාපොරොත්තු වන බවය. බ්‍රසල්ස්හි සිට ග්‍රීක උප අගමැති යියානිස් ඩ්‍රැගසාකිස් පැවසුවේ, “අන්‍යෙන්‍ය වශයෙන් පිලිගත හැකි ගිවිසුමකට එලඹීම පිනිස සාකච්ඡා ඉදිරියට ගෙනයාමට ග්‍රීක ආන්ඩුවේ නියෝජිතයින් සූදානම්ව සිටින බවයි.”

ජූනි 30දා ග්‍රීක ඇප වැඩසටහන නිල වශයෙන් අවසන් වීමට පෙරාතුව, ග්‍රීක ආන්ඩුව පෙර නුවූ විරූ කප්පාදු පියවරයන් කරා දැක්කීමට යුරෝ සංගමය කරන තර්ජන හමුවේ, ගිවිසුමක් ඇතිකර ගැනීමේ බලාපොරොත්තු කෙසේ වෙතත් වියැකෙමින් තිබේ. එම දිනයේම ග්‍රීක රාජ්‍යය, ඇප අරමුදල් නොමැතිව ගෙවාගත නොහැකි බව පුලුල් වශයෙන් විශ්වාස කරන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවීමට නියමිත යුරෝ බිලියන 1.6 ආපසු ගෙවීමේ ප්‍රශ්නයට ද මුහුනපා සිටියි.

ස්ලොවේකියාවේ පැවති යුරෝ සංගම් රැස්වීමේදී පලමු වතාවට, යුරෝ බලධාරීහු, ග්‍රීසියේ නය සැපයුම කපා හරින විකල්පය වශයෙන් “බී සැලසුම” සකස් කිරීමේ නිල සාකච්ඡා පැවැත්වූහ. මේ යටතේ ග්‍රීසියට නය පැහැර හැරීමට බල කෙරෙන අතර එරට බංකොලොත්වීමේ හා ග්‍රීක බැංකුවලට නය සම්පාදනය කපා හැරීමත් සමග ග්‍රීක මූල්‍ය ක්‍රමය බිඳවැටීමේ තර්ජනය ද මතු කරයි.

ඉහල යුරෝපීය සංගම් නිලධාරියෙක් ලේ මොන්ඩේ පත්‍රයට පැවසුවේ, “යුරෝ මහබැංකුව, ජාමූඅ හා යුරෝ සංගමය යන ආයතන ත්‍රිත්වය තුල, ග්‍රීක නය පැහැරහැරීමකට අප සූදානම් විය යුතුය යන වැඩෙන අවබෝධයක් පවතී” යනුවෙනි.

ගැඹුරුවන ආතතීන් පිලිබඳ තවත් සලකුනක් නම්, ජර්මනියේ නියෝජ්‍ය චාන්සලර් හෙවත් රාජ්‍ය නායක හා සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ (එස්ඩීපී) නායක සිග්මා ගේබ්‍රියෙල් බිල්ඩ්හි පල කල සිරිසාව හෙලා දකින ලිපියයි. “ග්‍රීක ආන්ඩුවේ ක්‍රීඩා න්‍යායාචාර්යවරු, තම රටේ අනාගතය මත සූදු කෙලීමේ තැනට පත්ව ඇත. යුරෝපය හා ජර්මනිය තමන් අඩමාන තර්ජනයකට ලක් කිරීමට ඉඩ නොදෙනු ඇත. එසේම අපි පාර්ශවීය වශයෙන් කොමියුනිස්ට් ආන්ඩුවක, වැඩිකොට දක්වන මැතිවරන පොරොන්දුවලට, ජර්මානු කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්වල අයගෙන් අය කිරීමට ද ඉඩ නොදෙමු.”

ග්‍රීසිය නය පැහැර හැරීමේ තැනට තල්ලු කිරීමට යුරෝ සංගමය ගෙන ඇති තීරනය, එරට ආර්ථිකය විනාශ කරනවා පමනක් නොව, යුරෝ මුදල හා යුරෝපීය සංගමය ද ඇතුලු යුරෝපීය ධනවාදයේ දේශපාලන ව්‍යුහයටම වල කැපීමේ හැකියාව ද අන්තර්ගත කර ගනියි.

එවන් අර්බුදයක් කම්කරු පන්තිය තුල තවත් දැවැන්ත සමාජ පිපිරීම් හටගැනීමේ අවදානම ද මතු කරන බව යුරෝපය පුරා පාලක පන්තිය හොඳාකාරවම දැන සිටිති. නය පැහැර හැරීමේ අවස්ථාවක ග්‍රීසිය තුල “දැවැන්ත සෙනඟ” බලමුලු ගැන්වෙනු ඇතැයි ද “ප්‍රචන්ඩ පෙලපාලි” හටගනු ඇතැයි ද බර්ලිනය බියපත් වන බව ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය සඳහන් කරන අතර, ග්‍රීසිය මූල්‍ය ආධාර සඳහා මොස්කෝව වෙත හැරීමේ හැකියාව ද මතු කරයි. චාන්සලර් ඇන්ජිලා මර්කෙල්ට, “බෝල්කන් ප්‍රදේශ බිඳෙන සුලු තත්වයක පවතිද්දී හා රුසියාව සිය අනසක පැතිරවීමට සූදානම්ව සිටියදී, යුරෝපීය හා නේටෝ සාමාජික රටවල් අස්ථාවර කිරීමට අවශ්‍ය නොවන බව” පුවත්පත සඳහන් කරයි.

එහෙත් බර්ලිනය හා යුරෝ සංගමය, කලින් කිව නොහැකි දැවැන්ත ඇඟවුම් සහිත දැඩි ක්‍රියාවන් ග්‍රීසියට විරුද්ධව ගැනීමට තර්ජනය කරයි. බෙරෙන්බර්ග් බැංකුවේ හොල්ගර් ස්ක්මෙඩ්ලින් මෙසේ පවසයි. “නය හිමියෝ තමන් බුරුලක් නොදක්වන බව නොයෙකුත් ආකාරයෙන් ඇඟවුම් කරති. මේවා පාර්ශවීය වශයෙන් සාකච්ඡාමය උපක්‍රම වුවත් නැතත්, එවන් සූදනමක් ඔවුන්ගේම ජීවිතය වුවත් පැහැර ගත හැකිය.”

යුරෝපීය මූල්‍ය ප්‍රාග්ධනයේ ඉව බව නැති ප්‍රහාර පෙන්නුම් කරන්නේ, යුරෝ සංගමයේ සැකිල්ල තුල සාකච්ඡා මාර්ගයෙන් ග්‍රීක ධනවාදය බේරාගත හැකිය යන සිරිසා ඉදිරිදර්ශනයෙහි බංකොලොත්කමයි. බලයට පත්වී සති කිහිපයක් ඉක්මෙන්නටත් පෙර සිරිසාව, කප්පාදු අවසන් කරන බවට දී තිබුනු සිය මැතිවරන පොරොන්දු අතහැර දැමීය. යුරෝපය පුරා කම්කරුවන් කප්පාදු වලට දක්වන සතුරුකමට ප්‍රකාශයක් නොදී ම සිරිසාව, යුරෝ සංගමයේ ඇප වැඩසටහන් දිගටම ක්‍රියාවට නැගීය. ඊට විකල්ප වශයෙන් ඔවුන් යුරෝපීය බලවතුන් සමග සාකච්ඡා කලේ, කප්පාදු පියවර සුලු වශයෙන් සංශෝධනය කිරීමටය.

කප්පාදුවලට යටත්වීම යුක්තිසහගත කිරීම සඳහා, යුරෝපීය තර්ජන සිරිසාවට උදව් වූ අතර එහි නිලදරුවන් සමග කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර ගැන සාකච්ඡා කරන අතර වාරයේ සිරිසාව, ග්‍රීක අවශ්‍යතා ආරක්ෂාකිරීමට තමන් යුරෝ සංගමය සමග සටන් වැදී සිටින බව මවාපෑමට උත්සාහ කලේය.

මෙම දේශපාලන ව්‍යාජය, කප්පාදු වලට කම්කරු පන්තියේ විරුද්ධත්වය ව්‍යාකූල කර දියකර හැරීමට සැලසුම් කරන ලද්දකි. කෙසේ වෙතත් දැන් එය, ග්‍රීසියට එරෙහි ආන්තික පියවර පිලිබඳ තර්ජන, ස්වයං තෘප්ත අනාවැකියක් බවට පත්වීමේ අවදානම ද සමග, වඩාත් පුලුල් අර්බුදයක් නිර්මානය කිරීමට තර්ජනය කරයි.

පසුගිය සතියේ ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය, සිප්‍රාස් හා යුරෝ කොමිසමේ සභාපති ජීන් ක්ලව්ඩේ ජුන්කර් අතර ජූනි 03දා පැවති සාකච්ඡා වලදී ඇතිකරගත් ගිවිසුම කඩා වැටීම පිලිබඳව සවිස්තරාත්මක අභ්‍යන්තර සටහනක් ප්‍රකාශයට පත් කලේය.

“පැය හතරක සැසියෙන් පසුව ජුන්කර් සිතුවේ තමන් ගිවිසුමකට එලඹි බවය. සිප්රාස්, ඇතන්ස් බලාපොරොත්තු වූවාට වඩා දැඩි නමුත් දැනට පවතින ඇප දීමේ වැඩසටහනට වඩා අඩු මට්ටමේ නව අයවැය අතිරික්ත ඉලක්ක පිලිගෙන තිබුනි. සිප්‍රාස් බලශක්ති හා බොහෝ විශ්‍රාම සහන කැපීමට එකඟ නොවූ නමුත් වෙනත් තැනකින් කල හැකි කප්පාදු හඳුනාගත් ප්‍රති යෝජනාවක් සමගින් යලි පැමිනීමට එකඟ විය.“ (“බ්‍රසල්ස් සාකච්ඡාවන්හිදී ග්‍රීසිය, යුරෝ සංගමය සමග කප්පාදුවේ ගිවිසුමකට සමීප වේ“) යන ලිපිය ද කියවන්න.

එහෙත් සිප්‍රාස් යලි පැමිනීමේදී ග්‍රීසිය තුල “දේශපාලන ගිනිමැලයකට“ මුහුනපෑමෙන් පසුව ජුන්කර් සමග ගිවිසුම එලිදරව් වූ බව එෆ්ටී සඳහන් කරයි. තමන්ගේම ආන්ඩුව ඇතුලත විරුද්ධත්වයට මුහන දෙමින් සිප්‍රාස්, පාර්ලිමේන්තුවේදී ගිවිසුම හෙලා දකිමින් කථාවක් පැවැත්වීය. ඒවා “අභූත, අතාර්කික, අඩමාන තර්ජන සහිත ඉල්ලීම්“ බව ඔහු පවසා තිබුනි.

එතැන් පටන් ග්‍රීසිය පිලිබඳ යුරෝපයේ ආස්ථානය තවත් දැඩි විය. එෆ්ටී පත්‍රයට අනුව, ජූනි 6-7 පැවති ජී7 සමුලුවේදී තමන් “සිරිසාව සමග ඔවුන් මුහුනපාන දුෂ්කරතා පිලිබඳව “සානුකම්පික“ වන බව යුරෝපීය නායකයින්ට පවසමින් ඔබාමා, ග්‍රීක ආන්ඩුව විවේචනය කලේය.

ග්‍රීක ඇප දීමේ කොන්දේසි යලි සලකා බලන, ජර්මානු පාර්ලිමේන්තුව හා යුරෝ කලාපයේ ආන්ඩු සමග එකඟත්වයකට ජූනි 30දා වන විට එලඹීමට නොහැකි තතු හමුවේ, ග්‍රීක නය පැහැර හැරීමක් දැන් නොවැලැක්විය හැකි බව සමහර මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ජුන්කර්ගේ “ජූනි මුල ඉදිරිපත්වූ යෝජනාව, යුරෝ කන්ඩායමේ සාමාජිකයින් 19 දෙනාගේම එකඟත්වය ලබාගත හැකි එකම අවස්ථාව වී ඇතැයි” එක් යුරෝපීය නිලධාරියෙක් ලේ මොන්ඩේ වෙත පැවසීය.

එකම ඉදිරි මග, යුරෝපීය සංගමයටත් සිරිසාවටත් එරෙහිව විප්ලවවාදී අරගලයක් තුල යුරෝපය පුරා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලුගැන්වීම පමනි. සිප්රාස් දැනටමත් යුරෝ සංගමයට දී ඇති සහන සීමා කිරීමට උත්සාහ කරන, ග්‍රීක ආන්ඩුව තුල සිටින කොටස් වෙත කිසිදු සහායක් දිය නොහැකිය. ආන්ඩුවේ සහචරයෙකු වන අන්ත දක්ෂිනාංශික ඇනෙල් හෙවත් ස්වාධීන ග්‍රීකයෝ හා සිරිසාවේ “වාම සන්ධානය” යන දෙකම ඇඟවුම් කරන්නේ, යුරෝ සංගමයෙන් වෙන්වීමේ හා ග්‍රීඑක්සිට් හෙවත් ග්‍රීසිය දොට්ට බැසීමේ අවදානම ගැනීමටත්, එරට ජාතික මුදල වන ඩ්‍රැක්මාව යලි හඳුන්වා දීමටත්, තමන් කැමති බවය.

මෙම තරයේම ප්‍රතිගාමී මූලෝපායේ අරමුන, සියල්ලටත් වඩා, කම්කරු පන්තියේ විරුද්ධත්වය යලි මතුවීම වැලැක්වීමය. එමගින්, මූල්‍ය වෙලඳපොලවලදී යුරෝවට සාපේක්ෂව බිඳවැටේ යයි බලාපොරොත්තු වන ඩ්‍රැක්මාවෙන් සිය වැටුප් ලබාගන්නා කම්කරුවන් තවත්, දුප්පත් කරනු ඇත. ඩ්‍රැක්මාව යලි හඳුන්වාදීමේ සැලසුම් සමග සිවිල් කැලඹීම් මැඩීමට ග්‍රීසිය තුල මිලිටරිය බලමුලු ගන්වනු ඇත.

අර්බුදයේ ආරම්භක අදියරේදී, එවන් වාතාවරනයක් පිලිබඳ සාකච්ඡා ගැන ග්‍රීක කැතිමෙරිනි පුවත්පත වාර්තාකර තිබේ. “ඇතන්ස් පාලනය නය පැහැර හැරීමට හෝ යුරෝවෙන් දොට්ට බැසීමට තීරනය කලහොත්, එය එසේ කරනු ඇත්තේ කොටස් වෙලඳපොලවල් වසා ඇති සති අන්තයේය. පසුව සිවිල් නායකත්වය “සිවිල් කැලඹීම්” නතර කිරීමට උත්සාහ කිරීමේදී සෙනසුරාදා උදෑසනම සිය මිලිටරිය යොදවමින් දේශසීමා වසා දමනු ඇත. ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත්කල වහාම පාලකයෝ, අභ්‍යන්තර විසඳුමක් ලෙස යුරෝ මුදල ඩ්‍රැක්මාව ලෙස මුද්‍රා තැබීමට සූදානම් කරනු ඇත.”

Share this article: