චීනයට විරුද්ධව සබඳතා තර කරගැනීමේ අරමුනෙන් ඉන්දීය අගමැති බංග්ලාදේශයට පැමිනෙයි

Indian prime minister visits Bangladesh to strengthen ties against China

දීපාල් ජයසේකර විසිනි,2015 ජුනි 12

චීනයට එරෙහි ව ගිනිකොනදිග ආසියාව තුලට ඉන්දියාවේ පුලුල් මූලෝපායික කඩාවැදීමේ කොටසක් ලෙස ඩකා සමඟ සබඳතා තර කර ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ බංග්ලාදේශයේ දෙදින සංචාරයක නිරත විය. ගිනිකොනදිග ආසියාවට තම ප්‍රවේශ මාර්ගය ලෙස බංග්ලාදේශය දැක ගන්නා නව දිල්ලිය සිය මූලෝපායික “පෙරදිගට දෑස් යොමුකිරීම” හෙවත් දැන් “පෙරදිග ක්‍රියාකාරී වීමේ” මූලෝපායික දිශානතිය සඳහා එය තීරනාත්මක යයි සලකනු ලැබේ.

මෝදි බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා සමඟ සාකච්ඡා පැවැත්වීය. ඔවුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශනය ද්වි-පාර්ශ්වික සබඳතා “යථාර්තවත්, මෝරා ගිය හා ප්‍රායෝගික ප්‍රවිෂ්ටයක්” සහිත නව අවධියකට එලැඹ ඇතැයි ප්‍රකාශ කලේ ය. සංචාරය තුල දී නව ගිවිසුම් 22කට අත්සන් තබන ලදී. වඩාත් අර්ථභාරී ගිවිසුම් අතරට භූමි ප්‍රදේශ සීමා එකඟතාව (එල්බීඒ) ක්‍රියාත්මක කිරීම අයත් වේ.

එල්බීඒ යටතේ කිලෝමීටර 4,000ක් පමන වන දෙරටේ දේශසීමාව වටා පිහිටි කුඩා භූමි ප්‍රදේශ 200ක් පමන හුවමාරු කර ගනිමින් එය සරල කරනු ඇත. බංග්ලාදේශය තුල පිහිටි ඉන්දීය ප්‍රදේශ 106ක් බංග්ලාදේශය යටතටත් ඉන්දියාව තුල පිහිටි බංග්ලාදේශයට අයත් ප්‍රදේශ 92ක් ඉන්දියාව යටතටත් පත්වනු ඇත.

එල්බීඒ ගිවිසුම මුලින් ම 1974 දී අත්සන් තබන ලද්දේ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි හා බංග්ලාදේශයේ පලමු අගමැති මුජිබර් රහුමාන් අතර ය. රහුමාන්ගේ අවාමි ලීග ආන්ඩුව එය අනුමත කලත්, ස්වෝත්තමවාදී විරුද්ධත්වය හමුවේ පසුව බලයට පත්වූ ඉන්දීය ආන්ඩු එය ක්‍රියාවට නැගීමට අපොහොසත් වූහ. එල්බීඒ අරභයා බංග්ලාදේශය සමඟ සම්මුතියකට ඒමට, කලින් පැවති කොංග්‍රසය ප්‍රමුඛ ආන්ඩුව දැරූ උත්සාහයන්ට මෝදිගේ හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂය (බීජේපී) විරුද්ධ විය.

නව දිල්ලියේ පුලුල් භූ-දේශපාලනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඩකාව සමඟ වඩා සමීප සබඳතා සඳහා වන අභිමතය හමුවේ, මෝදි ආන්ඩුව පසුගිය මාසයේ ඉන්දීය පාර්ලිමේන්තුව තුල එල්බීඒ සම්මත කිරීමට පියවර ගත්තේ ය. ගිනිකොනදිග ආසියානු කලාපය කරා සංක්‍රාන්ති ප්‍රදේශවලට ප්‍රවේශ මාර්ගය පහසු කර ගැනීමට බංග්ලාදේශය සමඟ වඩා යහපත් සබඳතා තිබිය යුතු ය යන්න කෙරෙහි දේශපාලන සංස්ථාපිතය අතර පවතින එකඟත්වය පිලිබිඹු කරමින් සියලු පාර්ලිමේන්තු පක්ෂ පනතට පක්ෂ වූහ.

චීනයට එරෙහි තම “ආසියාවට හැරීමේ” පිලිවෙතේ කොටසක් ලෙස කලාපය තුල වඩා ආක්‍රමනශීලී ලෙස මැදිහත් වීමට ඔබාමා පාලනය, ඉන්දියාව උනන්දු කර ඇත. පසුගිය වසරක කාලය පුරා වොෂින්ටනය දෙසට පැද්දී ඇති මෝදි ආන්ඩුව සිය “පෙරදිගට දෑස් යොමු කිරීමේ” පිලිවෙත “පෙරදිග මත ක්‍රියාකාරී වීම” හෙවත් නැගෙනහිර හා ගිනිකොනදිග ආසියාව තුල චීනයට එරෙහි එක්සත් ජනපද ප්‍රකෝපකරනයන්ට ක්‍රියාශීලී ව සහභාගි වීම කරා පරිවර්තනය කොට තිබේ. ඉන්දියාවේ රජයට අයත් ඕඑන්ජීසී විදේශ සංගතය, චීන විරුද්ධත්වය නො තකා වියට්නාමයේ සිට දකුනු චීන මුහුදේ තෙල් කැනීම් පිලිබඳ හිමිකම දැනටමත් තහවුරු කරගෙන ඇත.

මෝදිගේ සංචාරය තුල දී බෙංගාල බොක්ක වෙතට ඉන්දියාවට වැඩි ප්‍රවේශයක් ලබා දෙමින් වෙලඳාම හා සම්බන්ධන හැකියාව වැඩි කිරීමට දෙරට අතර “වෙරලබඩ නාවික ගිවිසුමක්” අත්සන් තබන ලදී. “සාගරය මත පදනම් වන නීල ආර්ථිකයක් හා බෙංගාල බොක්ක තුල නාවික සහයෝගය වර්ධනය කර ගැනීමට සමීපව වැඩ කිරීමටත් අනාගත සහයෝගය සඳහා මාවත් සොයා බැලීමටත්” මෝදි හා හසීනා එකඟ වූහ.

සිවිල් න්‍යෂ්ටික බලශක්තිය, ඉන්ධන හා බලශක්තිය යන ක්ෂේත්‍ර ද ඇතුලුව පුලුල් පරාසයක කාරනා ද්වි-පාර්ශ්වික ගිවිසුම්වලට අඩංගු වේ. බංග්ලාදේශය තුල බලශක්ති කම්හල් හයකට ඉන්දියානු සමාගම් දෙකක් එක්සත් ජනපද ඩොලර් බිලියන 4.5කට වැඩි ප්‍රමානයක් ආයෝජනය කරනු ඇත. ඉන්දියාවෙන් බංග්ලාදේශයට කරන බලශක්ති අපනයන දෙගුන කිරීමට මෝදි පොරොන්දු විය. ඩොලර් බිලියන දෙකක නව නය පහසුකමක් බංග්ලාදේශයට ලබා දෙන බව ඉන්දියාව නිවේදනය කලේ ය. එයට හිලවු ලෙස ඉන්දියාවට පමනක් වෙන් වූ ආර්ථික කලාපයක් ස්ථාපනය කිරීමට ඩකාව එකඟ විය. මේ සියල්ල බංග්ලාදේශය තුල බොහෝ සෙයින් ආයෝජනය කොට සුවිශේෂී ආර්ථික කලාප කිහිපයක් සතු චීනයට එරෙහි ව ප්‍රතිබලයක් ලෙස ඉන්දියාව ගන්නා පැහැදිලි පියවරයන් ය.

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ සිට ඊසානදිග ප්‍රාන්ත දක්වා බංග්ලාදේශය හරහා බසයෙන් යන ගොඩබිම් මාර්ගයක් විවෘත කිරීම ද මෝදි සලකුනු කලේ ය. ඊසානදිග ත්‍රිපුර ප්‍රාන්තයේ කල්කටාවේ සිට අගර්තාලා දක්වා ඇති බස් සේවාවන් මඟින් ගොඩබිමින් යන දුර කිලෝමීටර 1000කට වැඩි ප්‍රමානයකින් අඩු කරනු ඇත. දැනට පවතින බස්වලට සමහර ස්ථානවල දී කිලෝමීටර 23ක් තරම් පටු භූමි ප්‍රදේශ හරහා බංග්ලාදේශයේ උතුරු දේශසීමා ඔස්සේ ගමන් කිරීමට සිදු වේ. වේගවත් මාර්ග ඊසානදිග මූලෝපායික දේශසීමාව මත සිය ග්‍රහනය තද කර ගැනීමට නව දිල්ලියට උපකාරී වනු ඇත.

ඉන්දියාව හා බංග්ලාදේශය යන දෙරටට ම පොදු ගංගාවල ජලය බෙදා ගැනීමට එකඟතාවකට එලැඹ නැත. විශේෂයෙන් ම බටහිර බෙංගාල මහ ඇමතිනී මමතා බැනර්ජිගේ ප්‍රාන්ත ආන්ඩුව ඇතුලු බංග්ලාදේශ දේශසීමාව ආසන්නයේ පවතින ඉන්දීය ප්‍රාන්ත ආන්ඩුවල පටු විරුද්ධත්වය හේතුවෙන් මෝදිගේ පූර්වගාමියා වූ මන්මෝහන් සිං ටීස්ටා ජල ගිවිසුම හා එල්බීඒ ගිවිසුම අත්සන් කිරීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ විය. එතැන් පටන් එල්බීඒ ගිවිසුම පිලිබඳ සිය විරුද්ධත්වය ඉවත් කරගෙන ඇති බැනර්ජි, මෝදි සමඟ සංචාරයට ද එක් වුවත් ටීස්ටා ජලය බෙදා ගැනීමේ ගිවිසුමට නො කඩවා විරුද්ධත්වය පලකොට තිබේ.

“අපගේ ගංගාවල් අප අතර සබඳතා පෝෂනය කල යුතු අතර විරසකයට හේතු නො විය යුතු යි. සියල්ලට ඉහලින් ජලය බෙදා ගැනීම මානුෂික කාරනාවක්” යයි හසීනා සමඟ පැවති මාධ්‍ය හමුවේ දී මෝදි කීවේ ය. මෝදිට ඇති ප්‍රධාන කනස්සල්ල, ජලය බෙදා ගැනීම අරබයා පවතින දිග්ගැස්සුනු අර්බුදය ඩකා ආන්ඩුව සමඟ වඩා සමීප සබඳතා ඇති කර ගැනීමේ උත්සාහයන්ට බාධා කරති ය යන්න යි.

ජලය බෙදා ගැනීම හා දේශසීමා “ජනපද” මත්තේ ඉන්දියාව හා බංග්ලාදේශය අතර පවතින අර්බුදයන්හි මූලය පවතින්නේ, 1947 දී බ්‍රිතාන්‍ය ඉන්දියාව මුස්ලිම් පාකිස්තානයකට හා හින්දු අධිපතිවාදී ඉන්දියාව ලෙස බෙදා වෙන් කිරීම තුල යි. මෙම බෙදීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් පටවන ලද්දේ ඉන්දියානු ධනේශ්වරයේ සාම්ප්‍රදායික පාලක පක්ෂය වන කොංග්‍රසයේ හා මුස්ලිම් ලීගයේ අනුග්‍රහය ඇතිව ය.

1971 දී බංග්ලාදේශය නමැති කැඩී ගිය රටක් නිර්මානය කිරීමට හේතු වූයේ, ඉස්ලාමාබාද් පාලනයට විරුද්ධ ව නැගෙනහිර පාකිස්තානය යනුවෙන් එවකට හැඳින්වූ ප්‍රදේශයේ ඇති වූ කැරැල්ලකි. දේශපාලන හා සමාජ කැලඹිල්ල බටහිර බෙංගාලය දක්වා පැතිරී නො යාම තහවුරු කර ගැනීමටත් සිය කලාපීය තරඟකාර පාකිස්තානය දුර්වල කිරීමටත් ඉන්දියාව මිලිටරිමය ලෙස මැදිහත් විය. එහෙත් බ්‍රිතාන්‍ය ඉන්දියාව කෘතිම ලෙස බෙදීමෙන් මතු වූ කිසිදු ගැටලුවක් විසඳී නැත.

Share this article: