අධ්‍යාපන කප්පාදුවට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලට සටන් කරනු!
අවිශිබම විරෝධතා දේශපාලනය ප‍්‍රතික්ෂේප කරනු!

සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ප‍්‍රකාශයකි, 2015 ජූනි 11

සිසු සටන්වලට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුවේ ද පිලිතුර වී ඇත්තේ පොලිස් ප‍්‍රහාර ඇතුලු රාජ්‍ය මර්දනය උග‍්‍ර කිරීමයි. ආර්ථික අර්බූදය ගැඹුරුවන තතු තුල, පරපුටු ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ ලාභ පිපාසිත උවමනාවන්ට කැප වී සිටින මෙම ආන්ඩුව මෙන්ම ඉදිරියේ එන කුමන ආන්ඩුවක් වුව අනෙකුත් අංශවල මෙන්ම අධ්‍යාපනය සඳහා ද වියදම් කප්පාදුවත් පුද්ගලික අංශයට ඉඩ සැලසීමත් වඩා වඩා ඉහල දැමීමට කි‍්‍රයා කරනු ඇත.

හදිසි භාවයකින් මතු කර ඇත්තේ වර්ධනය වන මෙම සිසු අරගල ධනපති ක‍්‍රමයෙන් එල්ල වන ප‍්‍රහාරවලට එරෙහිව සටන් කිරීමේ නව ඉදිරි දර්ශනයකින් ද මූලෝපායකින් ද සන්නද්ධ කරගැනීමේ අවශ්‍යතාව බව සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) කියා සිටී.

විරෝධතා දේශපාලනය

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) විසින් සිසුන් අඛන්ඩව විරෝධතා කි‍්‍රයාවලට යෙදවීම මෙම ප‍්‍රහාර නතර කිරීමට සමත් වී නැත. විරෝධතා කැඳවීම අවිශිබම විසින් යොදා ගෙන ඇත්තේ සිසුන් එම ප‍්‍රහාර පරාජය කිරීම සඳහා අවශ්‍ය දේශපාලන අරගලයකට ඒම වැලැක්වීම සඳහා ය. සිසුන් එලෙස කොටු කිරීම කලින් අවිශිබමය මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ද දැන් එය පාලනය කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ද දේශපාලනයෙන් තීන්දු වී ඇත.

පෙසප ජනරළ පුවත්පතේ (2015 අපේ‍්‍රල් 12) “ඔව්, අපි දේශපාලනය කරන්නේ” යන මැයෙන් පලවූ අවිශිබම වත්මන් කැඳවුම්කරු වන නජිත් ඉන්දික දුන් සම්මුඛ සාකච්ඡාවකදී “ඉදිරි කි‍්‍රයාමාර්ග මොනවාද?” යි ප‍්‍රශ්න කල විට පිලිතුරු ලෙස කියා ඇත්තේ එකම කි‍්‍රයා මාර්ගය “අරගලය” බවයි. “නිදහස් අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් කරන්න වෙලා තියෙන්නේ අරගලයක්... අධ්‍යාපනය විතරක් නෙමෙයි අනෙකුත් සියලු ප‍්‍රශ්න දිනාගන්න වෙන්නෙත් අරගලය ඇතුලේ.... අපි විශ්වාස කරන්නේ පාර්ලිමේන්තුව නෙවෙයි. අප විශ්වාස කරන්නේ අරගලය. ඒ අනුව තමයි අපේ කි‍්‍රයාමාර්ග හැදෙන්නේ”.

“අරගල” පිලිබඳ පුරසාරම් දෙඩවිල්ලෙන් අදහස් කෙරෙන්නේ එකකට පසු තව එකක් වශයෙන් විරෝධතා පැවැත්වීමයි. මේ වනාහි ධනපති පන්තියට හා ආන්ඩුවලට බලපෑම් දමා ධනපති ක‍්‍රමය තුල සහන දිනා ගැනීමේ හැකියාව පිලිබඳ මිත්‍යා වපුරන විරෝධතා දේශපාලනය යි. ධනපති ආන්ඩු පිලිබඳ මෙම බලාපොරොත්තුව ඉන්දික විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට ලියූ ලිපියක මෙසේ සටහන් කර තිබුනි: “අපි ඔබතුමාගේ තාවකාලික ආන්ඩුව මගින් යම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරන සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු”.

තමන් 1978 පටන් අරගලයේ යෙදී ඇති බව බව අවිශිබම කියා සිටී. අධ්‍යාපනය කප්පාදුව නතර කිරීමට සෑහෙන බව ප‍්‍රකාශ කරමින් සත් තිස් වසරක් සිසුන්ගේ සටන්කාමීත්වය පටලවා තිබු මෙම දේශපාලනයේ ශුද්ධ ප‍්‍රතිඵලය එම ප‍්‍රහාර ගැඹුරුවීමයි. සක්‍ය දේශපාලන අරගලයකට සිසුන් එලඹීම වලක්වා එම ප‍්‍රහාරවලට ඉඩ සැලසීම සම්බන්ධයෙන් අනෙකුත් අවස්ථාවාදීන් මෙන්ම ජවිපෙ, පෙසප හා අවිශිබමය දේශපාලනිකව වග කිව යුතු ය.

ඔවුන් මෙම කි‍්‍රයා මාර්ගය තරයේ බදා ගෙන සිටින්නේ ලංකාව ද ඇතුලු ලෝක ධනපති ක‍්‍රමය, ඉතිහාසයේ බරපතලම අර්බුදයක ගිලී එහි බර කම්කරු පන්තිය හා දුගී ජනතාව මත පටවන විවෘත වෙලඳපොල ආර්ථික ප‍්‍රතිපත්ති යටතේ වඩවඩාත් තියුනු ලෙස පහර එල්ල කෙරෙන තතු යටතේය. මේ යටතේ අධ්‍යාපනය, සෞඛ්‍ය අතුලු සේවාවන් ද ලාභ ගැරීමේ ව්‍යාපාර බවට පත් කෙරේ.

ගුනාත්මකව ඉහල නිදහස් අධ්‍යාපනයක් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප‍්‍රකෝටි සංඛ්‍යාත මුදල් හා අනෙකුත් සම්පත් වෙන්කල හැක්කේ ලාභය සඳහා නොව මනුෂ්‍ය අවශතා සඳහා නිෂ්පාදනය සංවිධාන කරන සමාජවාදී ක‍්‍රමයක් තුල ය. ධනපති ආන්ඩුවට එරෙහිව, සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ දේශපාලන සටනට අවතීර්න වන ලෙස සිසුන්ගෙන් සසජාතශි ඉල්ලා සිටින්නේ මේ නිසයි. මෙය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයකි. අවිශිබම හා පෙසප මෙම කි‍්‍රයා මාර්ගයට ඉඳුරාම විරුද්ධය.

නව-ලිබරල් ධනවාදී ප‍්‍රතිපත්ති ගැන මිථ්‍යාව

අධ්‍යාපනය ද ඇතුලුව මහජනතාවගේ කොන්දේසිවලට හා අයිතීන්ට ධනපති ආන්ඩු එල්ල කරන ප‍්‍රහාර නව ලිබරල්වාදී ධනපති ප‍්‍රතිපත්තිවල (විවෘත වෙලඳපොල ආර්ථික ප‍්‍රතිපත්තියේ) කොටසක්ය යන ප‍්‍රකට සත්‍යය පෙසප හා අවිශිබම පුනපුනා කියයි. ඔවුන් එනයින් නිශ්චිතව ඇඟවුම් කරන්නේ එම ප‍්‍රතිපත්ති නතර කර ගත්විට ධනවාදය තුල අධ්‍යාපන අයිතියට එල්ල කෙරන ප‍්‍රහාර ද නතර කර ගත හැකි බව යි. නව ලිබරල්වාදී ප‍්‍රතිපත්තිවල මූලය ධනවාදය බවත් ඒවා ධනවාදී අර්බුදයෙන් තීන්දුවී ඇති බවත් මෙම ප‍්‍රතිපත්ති පරාජය කිරීම ධනවාදය පෙරලා දැමීමේ අරගලය සමග බැදී ඇති බවත් ඔවුහු ප‍්‍රතික්ෂේප කරති.

නව ලිබරල් ප‍්‍රතිපත්ති ඇතැම් ධනපති කොටස්වල් දුෂ්ට පීලි පැනීමක් ලෙස දක්වා ඒවා වෙනස් කර ගැනීමට බලපෑම් දැමීමේ ව්‍යාපාර තුලට කම්කරුවන්, තරුනයන් හා දුගීන් කොටු කර ධනපති ක‍්‍රමය ආරක්ෂා කිරීමට කි‍්‍රයාකරන නොයෙකුත් ව්‍යාජ-වාම හා අවස්ථාවාදී ව්‍යාපාර ලංකාවේ මෙන්ම අන් රටවල ද දක්නට ඇත.

පෙසප හා අවිශිබම නායකයන් එර්නෙස්ටෝ ලක්ලාවූ, ස්ලවෝජ් ජිජෙක් වැනි පශ්චාත් නුතනවාදී හා පශ්චාත් මාක්ස්වාදී ගුරාලා අනුයති. නව ලිබරල් ධනවාදය විවේචනය කරන ඔවුන් විවිධ “සමාජ ව්‍යාපාර” මගින් අර්බුදයේ බර සමනය කරගැනීමට බලපෑම් දැමීමද ඇතුලු විධික‍්‍රම යෝජනා කරති. ජිජෙක් කියා සිටින්නේ “නව ලිබරල් දෘෂ්ටිමය ආකෘතිය අර්බුදයට යමින් තිබෙන බවයි.” එනිසා ඔහු උග‍්‍ර අර්බුදයක ගිලී ඇති ගී‍්‍රසියේ මහජනයාට ඇති එකම විකල්පය ලෙස යෝජනා කලේ සිරිසා සංවිධානය බලයට ගෙන එන ලෙසයි. දැන් බලයේ සිටින, ධනවාදය රැකීමට කැපවූ සිරිසා, විපක්ෂයේදී නව ලිබරල් ප‍්‍රතිපත්ති වලට “විවේචනය” කර ආන්ඩු බලයට ඒමෙන් පසු විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දමයි.

ඔවුන් සියලු දෙනාට පොදු දෙය නම් මාක්ස්වාදය හා සමාජවාදය සඳහා අරගලය කෙරෙහි විරුද්ධත්වය යි. අවිශිබම හා පෙසප නව ලිබරල් වාදය පිලිබඳ ආස්ථානය පෙරී ඇත්තේ මේ දෘෂ්ටිමය හා දේශපාලන ව්‍යාපාරය තුලිනි.

“අධ්‍යාපනයේ වත්මන අර්බූදය කුමක් ද?” යනුවෙන් අවිශිබම 2013 ලියු ලියවිල්ල බ‍්‍රමනය වන්නේ මේ ආස්ථාන වටාය. 1977 වසරේ අධ්‍යාපනය සඳහා දල ජාතික නිෂ්පාදිතයෙන් (දජානි) සියයට 6 ක් වියදම් කලත් එම වසරේ අග සිට කි‍්‍රයාත්මක කෙරුනු නව ලිබරල් ප‍්‍රතිපත්ති යටතේ එම වෙන් කිරීම් සීග‍්‍රව කාප්පදු වන බව වගුවකින් දක්වා ඇත. 1977 පටන් විවෘත වෙලඳපොල ප‍්‍රතිපත්ති නිර්දයව කි‍්‍රයාවට දැමුනු බව කවුරුත් දනී. එහෙත්, 1977 වන විට දජානියෙන් සියයට 6 ක අධ්‍යාපන වියදමක් තිබූ බව කීම බොරුවකි. 1948 තමන් අතට බලය මාරු කර ගත් දා පටන් ලංකාවේ ධනපති පන්තිය එවන් අගයක් වෙන් කර නැත. කෙසේ වුවත්, අවිශිබම තර්කය යන්නේ එම වසරට පෙර පැවති ජාතිකවාදී, නියාමනය කෙරුනු ධනපති ආර්ථික ක‍්‍රමය හුවා දැක්වීමටය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව මූලික වී කි‍්‍රයාවට දැමූ ආර්ථිකයන් නියාමනය කිරීමේ කේන්සියානු ප‍්‍රතිපත්ති අර්බූදයට යවමින් ධනවාදී අර්බූදයේ නව කාලපරිච්ඡේදයක් ඇරඹුනු තතු තුල නව ලිබරල් ධනවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දැමීම ඇරඹුනේ 1970 ගනන් අග සහ විශේෂයෙන්ම 1980 ගනන් මුල සිට ඇමරිකානු හා බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ උසිගැන්වීම පිටය. නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති ධනපති අර්බුදය කෙරෙහි මූල්‍ය ප‍්‍රාග්ධනයේ නිර්දය ප‍්‍රතිචාරයකි.

අප දැන් ජීවත් වන්නේ 2008 සැප්තැම්බරයේ ඇමරිකාවේ මහා මූල්‍ය ආයතන බිඳවැටීමෙන් ඇරඹී ලෝකය සිසාරා ගිය අර්බූදයෙන් සටහන් ව ඇති, ලෝක ධනවාදය බිඳවැටීමක් මැදින් ගමන් කරන කාල පරිච්ඡේදයක් තුලයි. මේ තතු තුල කම්කරු පන්තියේ, දුගීන්ගේ හා තරුනයන්ගේ අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාර අඛන්ඩව තියුනු වීමට නියමිතය.

සෑම රටකම, ලංකාවද ඇතුලුව, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන්, සරසවි සිසුන් සටන් කිරීමට තල්ලු වෙන්නේ ධනපති පන්තියේ අර්බුදයෙන් පැනනැංවෙන මෙම ප‍්‍රහාරවලට විරුද්ධව ය. නව ලිබරල්වාදී ප‍්‍රතිපත්ති අහෝසි කර නියාමන කෙරනු ජාතිකවාදී පිලිවෙත් කාරා යාමට කෙරෙන යෝජනාවන් මනෝරාජික වෙනවා පමනක් නොව අරගලවලට පෙරට එන සිසුන් හා කම්කරුවන් පීලි පන්නවා එම ප‍්‍රහාරවලට ගොදුරු කිරීමට කි‍්‍රයාත්මක වේ. ඇමරිකාව ප‍්‍රමුඛව අධිරාජ්‍යවාදී බලයන් තුන්වන ලෝක යුද්ධයක් කරා දිවෙන මිලිටරි ධාවනයක යෙදී ඇත්තේ මේ තත්වය තුලය.

ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙතට හැරිය යුත්තේ ඇයි?

තමන් මුහුන දෙන සැබෑ දේශපාලන ප‍්‍රශ්න වලින් සිසු අවධානය වෙනතකට යොමු කිරීමට අවිශිබම හා පෙසප ඔවුන්ගේ සටන්කාමීත්වය අහස උසට වර්නනා කරයි. මෙම ඉච්ඡා බස්වලින් ප‍්‍රවේශම් වන ලෙස සසජාතශි සිසුන්ගෙන් ඉල්ලා සිටී. අවිශිබම වෙබ් අඩවියේ පල කෙරුනු “හෙට වෙනුවෙන් සටන අනිද්දා නොව අද ය” යන ලිපියක මෙසේ සඳහන් ය: “මේ වගේ ඇල්මැරනු කතා පිරුනු සමාජෙක, උපදෙස් දෙන්න විවේචනය කරන්න තොග ගනන්. ඒත් ඇත්ත සටන් බිමට එන්න සිල්ලරටවත් නැති සමාජ පසු බිමෙක ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සාටෝප විගඩන් කතා කරුවන්ට සටන් කරන්නේ මෙහෙම යයි පෙන්වමින් සිටී.” එම ලිපිය අවසන් කරන්නේ “(සිසුන්) සටන් කිරීමේ න්‍යාය භාවිතයෙන් මුවහත් කරමින් සිටී” යන කඨෝර ලෙස සිසු සටන්කාමිත්වය වන්දනාමාන කිරීමකිනි.

කම්කරුවන් “සිල්ලරටවත්” නැතත් සිසුන් පමනක් සටන් කරන බව කියමින් මුරුංගා අත්තේ තබන මෙම ප‍්‍රචාරය අතිශයින්ම විසකුරු ය. ඔවුන් කරන්නේ කම්කරු පන්තිය කෙරෙහි වෛරය වපුරා සිසුන් එම පන්තිය වෙතට හැරීම වැලැක්වීම හා හුදකලා කිරීමයි. සිය අරගලවල දී මොනතරම් සටන්කාමීත්වයක් හා ජවයක් පෙන්නුම් කල ද අධ්‍යාපන අයිතීන් ජයග‍්‍රහනය කිරීමට නම් කුනු වී ගිය ධනපති ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී ආකාරයට ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කල යුතුවෙයි, ඒ සඳහා සිසුන් කම්කරු පන්තිය සමග එකමුතුව එහි නායකත්වය ලබමින් සටන් කල යුතු වෙයි. අධ්‍යාපන අයිතීන් දිනා ගැනීමේ සටන කම්කරු පන්තිය ධනේශ්වරයේ සියලු ප‍්‍රහාරවලට එරෙහිව කලයුතු පුලුල් අරගලයේ කොටසකි.

කොමියුනිස්ට් ප‍්‍රකාශනය තුල කාල් මාක්ස් අවධාරනය කල පරිදි වත්මන් ධනේශ්වර ක‍්‍රමය තුල ස්ථිරසාර විප්ලවවාදී බලවේගය වන්නේ කම්කරු පන්තියයි. එය තීන්දු වී ඇත්තේ නූතන නිෂ්පාදන ක‍්‍රමය තුල කම්කරු පන්තිය දරන කේන්ද්‍රීය තැන හේතු කොටගෙනයි. මනුෂ්‍ය වර්ගයාගේ ප‍්‍රගතිය සඳහා මේ සමාජ ක‍්‍රමය සමාජවාදී ලෙස වෙනස් කල හැකි වෙනත් පන්තියක් නැත. කම්කරු පන්තිය තම ඓයිතිහාසික කි‍්‍රයා කලාපයෙන් ඉවතට හරවා තැබීමට යොදවා ඇති ධනේශ්වර දෘෂ්ටිවාදයේ හා දේශපාලනයේ බල පෑමෙන් එය බිඳ ගැනීමට කරන අරගලය සමග සිසුන් සම්බන්ධ වීම තීරනාත්මක බව සසජාතශි අවධාරනය කරයි.

ඊට එරෙහි, පෙසප හා අවිශිබම නායකයන් කම්කරුවන් හා අනෙකුත් ජන කොටස් කොතෙකුත් පාවාදී ඇති වෘත්තීය සමිති නිලධරයන්, නව සම සමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය බඳු ව්‍යාජ වම්මුන් ඇතුලු සංවිධානවල නියෝජිතයන් වේදිකාවලට ගෙන්වා “සටන් කරන බලවේග” ලෙස පින්තාරු කිරීමේ ව්‍යායාමයක යෙදී සිටියි. මේ සංවිධාන දෙකම තමන්ගේ වැඩපිලිවෙල කරගෙන ඇත්තේ ව්‍යාජ වම්මුන් හා ධනපති කන්ඩායම එක්වී තනා ඇති ග‍්‍රීසියේ සිරිසා හා ස්පාඤ්ඤයේ පොදෙමොස් බඳු ධනපති සන්ධාන මගින් උගුල් ඇටවීමටයි.

බෞද්ධ භික්ෂුන්ට විශේෂ තැනක් දිනාගැනීමට ගෙන යන උද්ඝෝෂනය අවිශිබම හා පෙසප කරන ප‍්‍රතිගාමී මැදිහත්වීමකි. එහි කොටසක් ලෙස ඔවුහු “අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු පෙරමුනක්” පවත්වා ගෙන යයි. බුද්ධාගම හුවා දැක්වීමේ වර්ගවාදය සමග බැදී ඇති පෙසප හා අවිශිබම නායකයෝ මෙමගින් ද ආගම්වාදී කොටස් තහවුරු කිරීමට කි‍්‍රයාත්මක වෙති. තුඩු දෙනු ඇත්තේ එය සිසුන් අතර භේද කාරීත්වය වැපිරීමට යි. ආගමික හා ජාතිකත්ව භේද කපාගෙන සිසුන් අතර එකමුතුව ගොඩ නැගීම සමාජවාදී පිලිවෙත් සඳහා අරගලයේ අත්‍යන්ත කොටසකි.

අවිශිබම වත්තමන් කි‍්‍රයාකලාපය එහි ආරම්භයේදී පදනම් වූ ජවිපෙ දේශපාලනයේ තර්කානුකූල ප‍්‍රතිඵලයකි. 1978 එය ඇරඹුනේ ජවිපෙ දේශපාලනයට විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් යට කිරීමට පටන්ගත් කාලයේ ය. ජවිපෙ උත්පත්ති දේශපාලනය පදනම් වුයේ ස්ටැලින්වාදයේ රිකිල්ලක් වන මාඕවාදය ද කස්ත්‍රෝවාදය හා ගුවේරාවාදය ද සිංහල වර්ගවාදය ද සම්මිශ‍්‍රනයෙන් හදාගත් දෘෂ්ටියකි. විප්ලවවාදී බලවේගය ලෙස කම්කරු පන්තියේ කි‍්‍රයා කලාපය ප‍්‍රතික්ෂේප කිරීම එම දේශපාලනයට ආවේනික විය. එම දේශපාලනයේ ප‍්‍රතිපලයක් ලෙස වඩා වඩා දකුනට යමින් ධනපති පන්තියට සමීපවූ මෙම පක්ෂය වර්ගවාදී යුද්ධයේ ප‍්‍රමුඛ කසකරුවෙක් විය. ජවිපෙ දැන් අධිරාජ්‍යවාදී පද්ධතියට අනුගතවූ, කොලඹ ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත්ව ඇත.

සිසුන් අතර ජවිපෙ සමාජ පදනම් තබා ගැනීමේ උපකරනය ලෙස කි‍්‍රයා කලේ අවිශිබමයි. සටන්කාමීත්වය වර්නනා කරමින් දවටා ගත් සිසුන් අන්ත ප‍්‍රතිගාමී වර්ගවාදී උද්ඝෝෂනවලට මෙහෙයවීමට ද ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවලට උසි ගැන්වීමට ද අවිශිබම යොදා ගැනුනි. මෙම දේශපාලනය නිදැල්ලේ ගෙන යෑම සඳහා ජවිපෙ හා අවිශිබම නායකයන් කලේ මැර කි‍්‍රයා මගින් දේශපාලන විරුද්ධවාදීන් මැඩලීමයි. සිය ප‍්‍රතිගාමී කි‍්‍රයාකලාපය නිසා එය අන්ත අපකීර්තියට පත්වන තුරු ජවිපෙ ප‍්‍රධානීන් ලෙස කි‍්‍රයාකලවුන් ගෙන් කොටසක්, 2012 අගදී පෙසප පිහිටුවීමත් සමග අවිශිබමය ද එය සමග පෙලගැසුනි. නව පෙල ගැස්මෙන් පසු අතීතයෙන් බිඳුනේ යයි මවා පෙන්වීමට පෙසප හා අවිශිබම නායකයෝ තැත් කලත් මොනම මූලික වෙනසක් වත් සිදුවී නැත.

අවිශිබම ඉටු කලේ හා ඉටු කරන්නේ ධනපති පන්තියට හා ආන්ඩුවට ද විශ්වවිද්‍යාල පරිපාලනයට ද අතිශයින්ම ප‍්‍රයෝජනවත් කි‍්‍රයාකලාපයකි. එනම් විරෝධතා සටන් මගින් සිසුන් හා තරුනයන් අතර දැවෙන විරුද්ධත්වය වාෂ්ප කර දැමීමයි. සිසු නායකයන් හා උද්ඝෝෂනවලට සහභාගීවන සිසුන්ට පහරදීම, අත්අඩංගුවට ගැනීම් හිරේ දැමීම ආදී ප‍්‍රහාර පෙරලා යොදා ගැනෙන්නේ මෙම කි‍්‍රයාකලාපය ආවරනය කර ගැනීමටය. දේශපාලන වසයෙන් අවිශිබම ධනපති පන්තියට ආරක්ෂක ඉපියාවක් වේ.

අවිශිබම මොනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනමකින්වත් කි‍්‍රයා කරන සංවිධානයක් නොවේ. එය, අධ්‍යාපන අයිතීන්ට එල්ලවන ප‍්‍රහාර ජයගත හැක්කේ කෙසේ ද, රටේ හා ජාත්‍යන්තර දේශපාලන වර්ධනයන් කවරේද, සිසුන් ගත යුතු දේශපාලන මග කුමක් ද යන මේවා පිලිබඳ විවෘත සාකච්ඡාවක් හා අරගලයක් මගින් සිසුන් විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පත් කර ගන්නා සංවිධානයක් නොවේ. ආන්ඩුව හා සරසවි පාලකයන් සිසු සංගම් ද සරසවි තුල දේශපාලන කටයුතු ද තහනම් කිරීම අවිශිබම යොදාගෙන ඇත්තේ තම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තන්ත‍්‍රය තහවුරු කර ගැනීමටයි.

අවිශිබම දේශපාලනයෙන් තීරනාත්මකව බිඳීමෙන් තොරව සිසුන්ට අධ්‍යාපන අයිතිය රැකීමට සාර්ථකව අරගලයක් කල නොහැකිය. ඔවුහු කම්කරුවන් අවස්ථාවාදී නායකත්වයන්ගෙන් ද ධනපති පන්තියේ විවිධ කන්ඩායම්වලින් ද බිඳීමේ අවශ්‍යතාව ගැනත් සමාජවාදී වැඩ පිලිවෙල ගැනත් සාකච්ඡා කිරීමට වැඩ පොලවලටත් කම්කරු නිවහන් පෙදෙස්වලටත් යායුතුය.

සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා සිසුන් අතර සටන් කරන එකම සංවිධානය සසජාතශි පමනකි. මෙම ලියවිල්ල බැරෑරුම් ලෙස සාකච්ඡාවට ගන්නා මෙන්ද සසජාතශි සමග එක්ව මෙම අරගලය වර්ධනය කරන ලෙස ද අපි ඉල්ලමු.

Share this article: