ශ්‍රී ලංකාවේ ආන්ඩු පෙරලිය සහ කම්කරු පන්තියේ කාර්ය භාරය

ප්‍රසිද්ධ රැස්වීම් මාලාවක්

කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය ජූනි 17 සවස 4ට

අම්බලන්ගොඩ නගර ශාලාව ජූනි 28 සවස 4ට

හලාවත ශර්ලි කොරයා ශාලාව ජූනි 30 සවස 4ට

මහනුවර ජනමැදුර ශාලාව ජුලි 7 සවස 4ට

යාපනය වීරසිංහම් ශාලාව ජුලි 12 සවස 2ට

ලංකාවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පාලනය ද සමස්ත දේශපාලන සංස්ථාපිතය ද ගැඹුරු දේශපාලන අර්බුදයක් තුලින් ගමන් කරමින් සිටී. සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) ප‍්‍රසිද්ධ රැස්වීම් මාලාවක් මගින් මෙම දේශපාලන අර්බුදයත් ඊට තුඩු දී ඇති භූ දේශපාලන තත්වය හා ආර්ථික අර්බුදයත් පැහැදිලි කිරීමට සැලසුම් කර ඇත.

ජනවාරි 8 දා ජනාධිපතිවරනයට මැදිහත් වෙමින් ව්‍යාජ වාම සංවිධාන, පුරවැසි බලය හා සමාජ සාධාරනත්වය සඳහා ව්‍යාපාරය වැනි මධ්‍යම පන්තික කන්ඩායම් සහ වෘත්තීය සමිති නිලධරයන් දෙසා බෑ ගජබින්නය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පොලිස් පාලනයට ද ජීවන හා සමාජ කොන්දේසි තලා දැමීමට ද එරෙහිව පවතින එකම විකල්පය සිරිසේන ජනාධිපති කරවීම බවයි. මෙය දේශපාලන ප්‍රෝඩාවක් බව පසු ගිය මාස පහේ ඔප්පු වී ඇත. මෙම කන්ඩායම් සියල්ල සිරිසේන හා වික‍්‍රමසිංහ සමග අධිරාජ්‍යවාදී කඳවුරේ සිට ගත්හ.

සසප හා සසජාතශි පමනක් ම රාජපක්ෂගේ හා සිරිසේනගේ ප‍්‍රතිගාමී සැලසුම් එලිදරව් කරමින් ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස ලංකාව තුල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට බලමුලු ගැන්වෙන ලෙස කම්කරුවන්ගෙන්, දුගීන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටියේ ය. ධනපති පාලනයේ අර්බුදය හා ආන්ඩුවේ හා විපක්ෂවල ප‍්‍රතිගාමී සූදානම්වීම් ද එම ක‍්‍රියාමාර්ගය සඳහා සටන් කිරීමේ දැවෙන අවශ්‍යතාව මතු කර ඇත.

රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි මහජන විරෝධය ගසාකමින් සිරිසේන ජනාධිපති කරවීම ද වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව පිහිටුවීම ද සිදු කලේ ඇමරිකාවේ ඔබාමා පරිපාලනය අතදමා සිදු කල පාලන තන්ත‍්‍ර මාරුවක් ලෙස ය. මෙම වොෂින්ටන් මෙහෙයුම වනාහි ඇමරිකානු අධිරාජ්‍යවාදීන් චීනයට එරෙහිව “ආසියාවට හැරීම” යටතේ මුවහත් කෙරෙන යුදවාදී වැඩ කටයුතුවල කොටසක් ලෙස, රාජපක්ෂ ආන්ඩුව බෙයිජිනය සමග ගෙන ගිය සබඳතා බිඳ, තම මූලෝපායික ජාලයට ලංකාව එක් කිරීමේ පියවරකි.

බලයට පත්වී ගත වූ මාස කීපය තුල සිරිසේන-වික‍්‍රමසිංහ පාලනය ඇමරිකාවට හා ඉන්දියාවට හිතවාදී ලෙස රටේ විදේශ පිලිවෙත මාරු කර තිබේ. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මැයි මස මුල ලංකාවට පැමින මෙම සබඳතා ශක්තිමත් කිරීමට ක‍්‍රියා කලේ ය. ඔහු ලංකාව ඇමරිකානු සාගර ආරක්ෂක වැඩපිලිවෙලට ද ආසියානු-පැසිෆික් ආර්ථික කොරිඩෝරයට ද සම්බන්ධ කර ගන්නා බව නිවේදනය කලේ ය.

චීනයට එරෙහි ප්‍රකෝපකාරී ක‍්‍රියා මගින් එරට සමග යුද ගැටුමක ද ලෝක යුද්ධයක ද අන්තරාය ඇමරිකාව විසින් නිර්මානය කර ඇත. ලංකාව, අන් සියලු රටවල් මෙන් ම ඇදගෙන ඇත්තේ භූදේශපාලන ආතතියේ මෙම ගිනිමැලය තුලටයි.

දින සියයේ වැඩ සටහනක් මගින් මහජනයාගේ ජීවන කොන්දේසි නගා සිටුවන බව ද ආඥාදායක විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව ද සිරිසේන හා ඔහුට සහයෝගය දීමට රොක් වූ එජාපයේ පටන් නව සමසමාජ පක්ෂය බඳු ව්‍යාජ වම්මු දක්වා කොටස් පොරොන්දු වූහ. ජනතා විමුක්ති පෙරමුන ඒ වටා රැලි වූ අනෙක් සංවිධානය යි. පොරොන්දුව වූයේ දින සීයෙන් පසු අපේ‍්‍රල් 23 දා ආන්ඩුව විසුරුවා හැර මහ මැතිවරනයකට ගොස් අලුත් ආන්ඩුවක් පිහිටුවන බවයි.

දැන් සිදුවී ඇත්තේ කුමක් ද? ආන්ඩුව හා විපක්ෂය ද ආන්ඩුවේ කොටස් හා විපක්ෂයේ කොටස් ද එකිනෙකා කා කොටා ගන්නා මහ දවල් බලු පොරයකි. මෙම පොරය නිසා ම බාගෙට තැම්බුනු 19 වන ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවෙන් යන්තම් සම්මත කර ගෙන ඇත. දැන් විසිවන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පාර්ලිමේන්තු ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමෙන් ව්‍යායාමයක යෙදෙන බව ප‍්‍රකාශිත ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීමට සටන් කරන පතාක යෝධයන් සේ පෙනී සිටින එජාපයත්, නිල ශ‍්‍රීලනිපයත් ප‍්‍රමුඛව පසුගිය දශක හතක් රට පාලනය කර ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මැඩලන්නන් ලෙස ය. අවුරුදු 30ක් වර්ගවාදී යුද්ධය දියත් කලේ ද එය රට මිලිටරීකරනයට, පොලිස් රාජ්‍ය විධික‍්‍රම මුවහත් කිරීමට පියවර ගත්තේ ද මේආන්ඩු ය.

ඔවුන් අතර බලු පොරයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ තමන් සම්බන්ධ ධනපති කන්ඩායම්වල වරප‍්‍රසාද නැතිවීම ගැන භීතිය යි. යූඇන්පිය බලය දරා සිටීම ශ‍්‍රීලනිප ධනපතියන්ට ඉවසා සිටිය නොහැකිය. අපකීර්තියෙන් පාරාජිකාවූ රාජපක්ෂ යලි බලයට ඒමට පොරකන්නේ විවෘතවම දෙමල ජනයාට එරෙහි වර්ගවාදය අවුස්සමිනි.

මොන ධනපති පක්ෂය හෝ සන්ධානය ඊලඟ මැතිවරනයෙන් බලයට ආවත් පිහිටුවන ආන්ඩුව ද ජනාධිපති සිරිසේන ද ඒකාබද්ධව ක‍්‍රියා කරනු ඇත්තේ ඇමරිකානු ගැති පිලිවෙත පෙරට ගෙන යන ගමන් කම්කරුවන්ගේ ද, දුගීන්ගේ හා තරුනයන්ගේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මෙන්ම ජීවන හා සමාජ අයිතීන් තලා දැමීමයි. ලෝක ධනවාදයේ අර්බුදයෙන් වැඩි දියුනු වී ඇති ලංකාවේ ආර්ථික අර්බුදයේ බර වැඩ කරන ජනයා මත මුර්ග ලෙස පැටවීම හැර වෙනත් විකල්පයක් ධනපති පන්තියේ මොනම කන්ඩායමකට වත් නැත.

අප ගේ රැස්වීම මේ වර්ධනයන් අවධානයට යොමු කරමින් කම්කරු පන්තික සමාජවාදී මූලෝපාය සාකච්ඡාවට භාජන කරනු ඇත. මෙම රැස්වීමට සහභාගි වී එම සාකච්ඡාවට එක්වන ලෙස අපි ඔබෙන් ඉල්ලමු.

Share this article: