බැංකු මැරයන් සිරගත නො කරන්නේ ඇයි?

Why aren’t the banksters in prison?

2015 මැයි 22

පසුගිය 20 වනදා, ජේ.පී.මොර්ගන් චේස් සහ සිටිගෲප් නම් ඇමෙරිකාවේ විශාලතම සහ තෙවෙනි විශාලතම මූල්‍ය ආයතන දෙක ද ඇතුලු ප‍්‍රධාන ජාත්‍යන්තර බැංකු පහක්, ගෝලීය විනිමය වෙලඳපල තම වාසිය පිනිස හැසිරවීමට උදව් කිරීම හේතුවෙන් ගොනු කෙරුනු බරපතල අපරාධ චෝදනා වලට වරද පිලිගෙන, ඩොලර් බිලියන 1 බැගින් වූ සාපේක්ෂව කුඩා දඩ මුදලක් ගෙවා දැම්මෝ ය.

බරපතල අපරාධ චෝදනාවක් සඳහා වරද පිලිගැනීම හේතුවෙන් ජේ.පී.මෝර්ගන් සහ අනෙකුත් බැංකු මත තථ්‍ය වශයෙන් කිසිදු මූල්‍ය බලපෑමක් ඇති නො කෙරෙනු ඇත. සාපරාධී සංවිධාන ලෙස නම් කිරීමෙන් ඇතිවන නීතිමය බලපෑම් වලින් එම බැංකු නිදහස් කරමින්, නය නිකුත් කිරීම සදහා ඔවුන්ට විශේෂ සැලකිලි දිගටම ලබා ගැනීම මෙන්ම අන්‍යෝන්‍ය අරමුදල් මෙහෙයවීම සඳහා අයිතිය දිගටම ලබාදීම ද ඇතුලු ගනුදෙනුවේ කොටසක් ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිසම ‘අත්හැරීමේ ලියවිලි' waivers, නිකුත් කලේය.

“විශ්මය දනවන සුලු බිය සැක නැති විලාසයකිින්, මහා පරිමානයෙන් සිදුකල සාපරාධී කුමන්ත‍්‍රනයක් පිලිබඳව අධිකරන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසා සිටිය ද ඔවුන්ගේ විධායක නිලධාරීන්ට එරෙහිව සාපරාධී චෝදනා එල්ල කිරීම කෙසේ වෙතත් ජේ.පී.මෝර්ගන් සහ අනෙකුත් බැංකු වලට චෝදනා ගොනු කිරීම ගැන හෝ කිසිදු කථාවක් නොවීය.

එක්සත් ජනපද හා ජාත්‍යන්තර නියාමකයන් විසින් ජේ.පී. මෝර්ගන් වෙත දඩ නියම කල අපරාධ, වංචා සහ සාපරාධී කුමන්ත‍්‍ර වැලක නවතම සිද්ධිය ගෝලීය විදේශ විනිමය අනුපාතික වංචා කිරීමය’.

1. 2013 ජනවාරී මස, උගස් තැබූ නිවාස වඩා ඉක්මනින් පෙරවරනය හෙවත් අත්පත්කර ගැනීම සඳහා කූට ලේඛනය පිලිබඳ වූ චෝදනා සමථය කිරීම සඳහා ජේ. පී මෝර්ගන් සහ තවත් බැංකු 10 ක් ඩොලර් බිලියන 8.5 ක මුලු මුදලක් ගෙවීමට එකඟ වූහ.

2 2007 සහ 2008 වසරවල නිවාස බුබුල බිඳවැටීමට පූර්වයෙන් ප්‍රෝඩාකාරී උගස්කර මත පදනම් වූ සුරැකුම්පත් විකිණීම මගින් ආයෝජකයන්ට වංචා කල බවට වූ චෝදනා සමථය කිරීම සඳහා 2013 නොවැම්බර් මස දී ඩොලර් බිලියන 13 ක් ගෙවීමට බැංකුව එකඟ විය.

3. එම මාසයේදීම, විශ‍්‍රාම අරමුදල් හා වෙනත් ආයතනික ආයෝජකයන් වංචා කිරීමේ චෝදනා සමථය කිරීම සඳහා ජේ.පී. මෝර්ගන් ඩොලර් මිලියන 4.5 ක් ගෙවීය.

4. 2013 දෙසැම්බර් මස, ඩොලර් ටි‍්‍රලියන ගනන් වටිනා සුරැකුම් පත් වල වටිනාකම පාදක වන, පොලී අනුපාතික සඳහා ගෝලීය මිනුම් ලකුන වන ලයිබෝ පොලී අනුපාතිකය තම වාසිය සඳහා හැසිරවීම වෙනුවෙන්, ජේ.පී.මෝර්ගන් සහ තවත් බැංකු 8 කට ඩොලර් බිලියන 2.3 ක දඩ මුදලක් ගෙවීමට සිදුවිය.

5. 2014 ජනවාරී මස දී, බර්නාඩ් මැඩෝෆ් ගේ පොන්සි කූටෝපාය කි‍්‍රයාත්මක කිරීම සඳහා උදව් කිරීම හා ඉන් ලාභ ලැබීම සඳහා වූ චෝදනා සමථය කිරීම සඳහා ජේ. පී. මෝර්ගන් ඩොලර් බිලියන 2 ක් ගෙවීය.

ජේ.පී.මෝර්ගන් සහ අනෙකුත් බැංකු විසින් පසුගිය දශකය පුරා සිදුකරන ලද අපරාධ හේතුවෙන් මිලියන ගනනක ගේ නිවාස මූල්‍ය ආයතන වලට පෙරවරනය වීම නිසා අහිමි වී ද තවත් මිලියන ගනනාවකට තම රැකියා අහිමි වී ද ගනන් නැති තරම් විශ්වවිද්‍යාල උපපාදන අරමුදල් endowments වලින් විශ‍්‍රාම සැලසුම් වලින් හා නගර අධිකාරයන් ගෙන් ඩොලර් බිලියන ගනන් වංචා කෙරී ද ඇත.

ජේ.පී.මෝර්ගන් විසින් සිදුකල නවතම හා විශාලතම අපරාධ පමනක් අඩංගුවන මෙම පාර්ශ්වීය ලැයිස්තුව මත පදනම්ව ඇමෙරිකාවේ විශාලතම බැංකුව සාපරාධී සංවිධානයකැයි නිගමනය කිරීම අතිශෝක්තියක් නොවේ. එසේ නම්, මේ සියලු අපරාධ හා කුමන්තනවල මහ මොලකරු වන ජේ.පී.මෝර්ගන් හි ප‍්‍රධාන විධායක ජෙමී ඩීමන්, සිරගත කිරීම කෙසේ වෙතත්, ඔහුට නඩු පැවරීමවත් කල නොහැක්කේ මන්ද?

මෙම ප‍්‍රශ්නයට පිලිතුරු ඇත්තේ ඇමෙරිකාවේ සමාජ අසමානතාවයේ අති විශාල වර්ධනය මධ්‍යයේ සමාජ සම්බන්ධතාවයන්හි සිදුවී තබෙන දැවැන්ත පිරිහීම තුලය. එන්ට එන්ටම වඩාත් වැරහැලි වන ප‍්‍රජාතාන්ති‍්‍රක බාහිර ආයිත්තම් පසුපස ඇමෙරිකාව පාලක ප‍්‍රභූව සඳහා හොඳින් ස්ථාපනයවූ නෛතික හා සමාජ වරපසාද සහිත වංශවතුන්ගේ සමාජයක් බවට පත්ව ඇත.

1789 ප‍්‍රන්ස විප්ලවයට පෙරාතුව යුරෝපීය සමාජය, වංශවතුන්, නායක පූජකයන්, හා සාමාන්‍ය ජනතාව ආදී වශයෙන් වැඩවසම් සමාජ පන්තීන්ට බෙදී පැවතුනි. කෙනෙකු උපත ලබන සමාජ පන්තිය ආර්ථික පන්තියක් වූවා පමනක් නොව ඔහුට/ඇයට බල පවත්වන නීති රීති, ගෙවිය යුතු බදු පමනක් නොව, නීත්‍යානුකූලව පැලඳිය හැකි ඇඳුම් ආයිත්තම් පවා ඇතුලත් වනසේ ජීවිතයේ සෑම අවස්ථාවක්ම අලලා ගත්තේ විය.

ඇමෙරිකානු විප්ලවය පසුපසින්, ඇමෙරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනම දැමුනේ සමකාලීන යුරෝපයේ ආධිපත්‍ය දැරූ දෘඩ සමාජ ධුරාවලියටයට ප‍්‍රතිවිරුද්ධවය. වංශවතුන් සඳහා පට්ටම් තානාන්තර ප‍්‍රදානය කිරීම සහ භාවිතා කිරීම ඇමෙරිකානු ව්‍යවස්ථාව අනුව තහනම් වන අතර 14 වන සංශෝධනය මගින් සියලු ජනතාවන් සඳහා “නීතියේ සමාන රැකවරනය” නිශ්චිතව සහතික කර තිබේ.

එනමුත්, අද මෙවැනි තත්වයක් ඇති බවට කිසිවකුටත් තර්ක කල හැකිද ? ඇමෙරිකානු නීති සංගමයට අනුව සාප්පු බඩු සොරකම් සඳහා කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පමනක් මිනිසුන් 300 කට වඩා වැඩි ප‍්‍රමානයක් කලින් නිදහස්වීමේ අවස්ථාවකින් තොර ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක්වී සිටිති. මේ අතර ලමා නඩත්තු ගෙවාගත නොහැකි දුප්පතුන් ගනන් නැති දහස් ගනනක් එක්සත් ජනපදය තුල බන්ධනාගාර ගතව සිටිති.

මේ අතර, මූල්‍ය කතිපයාධිකාරය සහ ඔවුන්ගේ ඕනෑ එපාකම් ආරක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් නඩු පැවරීම් වලින් නිදහස් කර ඇත. මෙම ඉතා කුඩා ප‍්‍රභූව, හුදෙක් වෙනම ආර්ථික පන්තියක් නොව, තථ්‍ය ලෙස, වෙනස් නීති සමුදායකින් විනිශ්චය කරනු ලබන වෙනස් සමාජ පැලැන්තියකින් සමන්විත වේ. උසාවි දිනෙක උසාවියේ පෙනී නොසිටීම සඳහා කම්කරුවකු දඟ ගෙට දැමිය හැකි වුවද ඩොලර් බිලියන ගනන් සොරා ගන්නා බැංකුකරුවෝ කිසිදු ප‍්‍රශ්නයක් නැතිව නිදහස ලබති.

ඇමෙරිකානු මූල්‍ය වංශාධිපතිත්වය නිසගයෙන්ම සාපරාධී සමාජ පන්තියකි. එහි පදනම නිෂ්පාදනය නොව කොල්ලකෑම, සමපේක්ෂනය සහ සමාජයේ අති මහත් බහුතරය දුගීභාවයට ඇද දැමීම මගින් ධනය ඉහලට නැවත බෙදා හැරීමය.

වර්තමාන සමාජයේ බලය හා සම්බන්ධ සෑම ලීවරයක්ම මූල්‍ය කතිපයාධිකාරය විසින් පාලනය කරනු ලැබේ. මාධ්‍ය, උසාවි, දේශපාලනඥයන් සහ ඊනියා මූල්‍ය නියාමකයන් ආදී සියල්ලන්ම වෝල් වීදියේ මාපියා දෙටුවන් ගේ අල්ල මත නැටවෙති. වෝල් වීදියේ සාපරාධිත්වය පාලනය කරනු කෙසේ වෙතත්, එහි අපරාධ සඳහා පහසුකම් සැපයීමට සහ ඒවා ආවරනය කිරීමට ආන්ඩුව කි‍්‍රයාත්මක වේ.

ඊට හිලව් වශයෙන්, ඡන්ද ව්‍යාපාර සඳහා සහ “කථා පැවැත්වීමේ ගාස්තු” සඳහා යයි දේශපාලනඥයින්ට ඩොලර් මිලියන ගනන් ලබා දෙන අතර, ඉහල පෙලේ මූල්‍ය නියාමකයන්ට ආන්ඩුවේ තම සේවය අවසන්වූ පසුව ඉහල වැටුප් සහිත වෝල් වීදියේ තානාන්තර නිත්‍ය වශයෙන් සහතික කෙරේ.

2008 බැංකු ඇපදීමේ දී වෝල් වීදියට ඩොලර් ටි‍්‍රලියන ගනන් සම්පාදනය කල ෆෙඩරල් රිසර්ව් බැංකුවේ (ඇමෙරිකානු මහ බැංකුව) හිටපු සභාපති බෙන් බර්නැන්කි, සිටඩෙල් නැමැති හෙජ් අරමුදල සහ පිම්කෝ නම් බැඳුම්කර වෙලඳ සමාගම යන වෝල් වීදියේ ප‍්‍රධාන වෙලඳ සමාගම් දෙකම තමන්ව බඳවා ගෙන ඇති බව මේ වසරේදී ප‍්‍රකාශයට පත් කලේ ය, සමාගම් දෙකම ඉලක්කම් හතේ වැටුපක් ඔහුට ගෙවනු ඇති බව උපකල්පනය කල හැක. බර්නැන්කි භාන්ඩාගාර ලේකම් ලෙස සිටීමෙන් පසුව 2013 නොවැම්බර් මස වෝබර්ග් පින්කස් නම් හෙජ්අරමුදලේ ප‍්‍රධානියාවූ ටිමති ගයිට්නර් නම් තම සගයාගේ අඩිපාරේ යමින් ඔහු අනුගමනය කලේ ය.

වර්තමාන සමාජපටිපාටියේ රාමුව තුල එක්සත් ජනපද දේශපාලන ජීවිතය අරා සිටින සාපරාධී කල්ලියේ බලය බිඳ දැමීම සඳහා මගක් ඇත්තේ නැත. වෝල් වීදියේ අපරාධකාරයන් වගකීමට අල්ලා ගැනීම සඳහා සමාජය රැඩිකල් ආකාරයට ප‍්‍රතිසංවිධානය කිරීමක් අවශ්‍ය කෙරේ. එක්සත් ජනපදයේ සහ මුලු ලෝකයේ ජනතාවන්ට එරෙහිව ඔවුන් මෙහෙයවූ අපරාධ සඳහා, එක්සත් ජනපද ප‍්‍රධාන මූල්‍ය ආයතන වල ප‍්‍රධානීන් ලෙස කි‍්‍රයාකරන මේ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම, නඩු පැවරීම හා වරදකරුවන් කිරීම සිදුකල හැක්කේ එමගින් පමනි. ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් උන් වංචාවෙන් ලබාගත් ධනය අත්පත් කර ගෙන, වෝල් වීදියේ බැංකු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට නතු කල යුතුය.

මේ සඳහා ධනවාදී පද්ධතිය පෙරලා දැමීම සහ ලෝක ජනතාවගේ අති මහත් බහුතරයේ අවශ්‍යතාවයන් උදෙසා ආර්ථික ජීවිතය සමාජවාදී ප‍්‍රතිසංවිධානයට ලක් කිරීම අරමුනු කරගත් කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් ගොඩ නැංවීම අවශ්‍ය කරයි.

ආන්ද්‍රේ ඩේමන්

Share this article: