එක්සත් ජනපදය අයිඑස්අයිඑස් සන්නද්ධ කිරීම

The US arming of ISIS

2015ජූනි 03

රටවල් 20 ක ඇමැතිවරු මේ මාසයේ 2 දා පැරීසියේ පැවැති ඉරාක හා සිරියානු ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑස්) සමග සටන් කිරීම සඳහා වන සන්ධානයේ රැස්වීමක් ලෙස හැඳින්වූ රැස්වීකට සහභාගී වූහ. වොෂින්ටනය විසින් පුරුද්දනු ලැබූ මෙම සන්ධානය, සවුදි අරාබිය සහ අනෙකුත් ගල්ෆ් කලාපයේ තෙල් සම්පත් ඇති රාජාන්ඩු සමගින් ප‍්‍රධාන වශයෙන් නේටෝ (NATO) සංවිධානයේ මිතුරු රටවලින් සමන්විත වේ.

අයිඑස්අයිඑස් සමග බරපතල ලෙස සටනේ යෙදෙන රටවල් තුනක් මෙම කාර්යය සඳහා සහභාගී නොවීම කැපී පෙනුනි. ඒ සිරියාව, ඉරානය හා රුසියාවයි. මෙය එක්සත් ජනපදය සැලසුම් කල පරිදි විය.

රැස්වීම ආරම්භයේ දී ම අගමැති හයිඩර් අල්-අබාඩි සිරියාවේ සහ ඉරාකයේ අයිඑස්අයිඑස් ලද ජයග‍්‍රහනය ගැන මෙන් ම, රටවල් දෙකටම බාධාවකින් තොරව ගලා එන්නා වූ ඉස්ලාමීය විදේශ සටන් කරුවන් ගැන අවධානය යොමු කරමින්, ඉරාකය “අතැහැර දැමීම” ගැන ලෝකයට චෝදනා නැගීය.

ඔහුගේ පැත්තෙන් එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් උදක්ම කියා සිටියේ, වොෂින්ටනය එහි සගයන් සමග “ජයග‍්‍රාහී මූලෝපාය”ක් අනුයමින් සිටින බවත් “අප එක්සත්ව, අධිෂ්ඨානශීලීව සහ අරමුනෙහි ඒකාග‍්‍රව සිටියි නම්” එය සාර්ථක වන බවත් ය.

පසුගිය සති කිහිපය තුල දී, මෙම “ජයග‍්‍රාහී මූලෝපාය” අත් දුටුවේ, ඉරාකයේ අන්බාර් පලාතේ අගනුවර වන රමාඩි ද සිරියාවේ ඓතිහාසික නගරයක් වන පැල්මයිරා ද අයිඑස්අයිඑස් විසින් අල්ලා ගැනීමය. මැයි මස අවසන් දින වලදී අයිඑස්අයිඑස් බලකායන්, පසමිතුරු ඉස්ලාමීය මිලිෂියාවන් (සන්නද්ධ සිවිල් බලකායන්) මෙන් ම සිරියානු රජයේ භටකායන් ද පරාජය කරමින් සිරියාවේ ඇලෙප්පෝ පලාතට සමීපවී ඇත. අයිඑස්අයිඑස්ට එරෙහිව ගුවන් යුද්ධයක යෙදී සිටින බැව් කියාපාන එක්සත් ජනපදය හා එහි සහචරයින්ගේ ගුවන් ප‍්‍රහාර වලින් කිසිදු බාධාවක් නොමැතිව අයිඑස්අයිඑස් ප‍්‍රහාරය දියත් විය.

“අරමුනේ ඒකාග‍්‍රබව” වැනි වදන්, කිසිම මැදිහත් නිරීක්ෂකයකු විසින්, කලාපයේ එක්සත් ජනපද පිලිවෙත විස්තර කිරීම සඳහා භාවිතා කරතැයි සිතීම උගහටය. අයිඑස්අයිඑස්ට එරෙහිව යුද්ධ කිරීම සඳහා කැපවී සිටින්නේ යයි කියාපාන අතර වොෂින්ටනය සහ එහි සහචරයින් අයිඑස්අයිඑස්හි ශක්තියේ ප‍්‍රධාන ප‍්‍රභවයන් සේ ක‍්‍රියාකරන බව නොයෙක් විට ඔප්පු කර ඇත.

ඉරාක වැසියන් ලක්ෂ ගනනක් මරා දමමින් සහ සුන්නි සහ ෂියාවරුන් හිතාමතා ම කාකොටවා, භේදකර, ජය ගැනීමේ පිලිවෙතේ කොටසක් ලෙස නිකායවාදී ආතතීන් අවුලූවමින්, 2003 දී ඉරාකයට එරෙහිව එක්සත් ජනපදය තම සාපරාධී ආක‍්‍රමනික යුද්ධය දියත් කරන තෙක් මෙම ව්‍යාපාරය නො පැවැතුනි.

මුඅම්මර් ගඩාෆි බලයෙන් පහ කර මරා දමමින්, අද දක්වාම පවතින අවුල් ජාලයකට එම රට ඇද දමමින්, ලිබියාවේ තන්ත‍්‍ර මාරුව සඳහා සිදුකල එක්සත් ජනපද-නේටෝ යුද්ධය මධ්‍යයේ, අල්කයිඩා හා සම්බන්ධ -දැන් අයිඑස්අයිඑස් හා අනුබද්ධ- මිලිෂියාවන් ගොඩබිම් හමුදා ලෙස යොදා ගැනීම, ඔවුගේ ශක්තියේ වර්ධනය සඳහා තුඩු දුනි. සිරියාවේ තන්ත‍්‍ර මාරුව සඳහා වූ එක්සත් ජනපද පිටුබලය ලත් යුද්ධයේ දී එය වඩාත් ශක්තිමත් වූ අතර බෂර් අල්-අසාද් ගේ ආන්ඩුව පෙරලා දැමීම සඳහා වූ ලේ වැකි නිකායික යුද්ධය තුල අයිඑස්අයිඑස් බලවත් ම පිල ලෙස ඉස්මතු විය.

අයිඑස්අයිඑස් හි නවතම ප‍්‍රහාරය සඳහා හැකියාව ලැබී ඇත්තේ, එක්සත් ජනපදයේ අති මහත් ආයුධ සම්පාදනය හේතු කොට ගෙනය. දැනට අවුරුද්දකට පමන පෙර මෝසුල් හිදී ඉරාක හමුදා බිඳ විසුරුවා හැර, අන්ත පරාජයකට පත් කිරීමේදී -ඩොලර් බිලියනයකට වඩා වටිනා - සන්නද්ධ හම්වී රථ 2300ක් ඉස්ලාම්වාදීන් අත්පත් කරගත් බව අගමැති අබාඩි ජූනි 1 දා පිලිගත්තේය.

මීට අමතරව ජූනි 2දා රොයිටර් කොලමකට ලියමින් ඉරාකයේ හිටපු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු වූ පීටර් වෑන් බියුරෙන් වාර්තා කල පරිදි, අවම වශයෙන් M1A2 ප‍්‍රධාන යුද ටැංකි 40ක්, මැෂින් තුවක්කු 74,000 ක් ඇතුලු කුඩා අවි සහ උන්ඩ අති විශාල ප‍්‍රමානයක් සහ M198 හොවිට්සර් වර්ගයේ ජංගම කාල තුවක්කු පද්ධති 52 ක් තරම් සංඛ්‍යාවක්ද ඉස්ලාමීය මිලිෂියාව අතට පත් විය.

එක්සත් ජනපද ආයුධ අයිඑස්අයිඑස් වෙත ගලා යෑමේ නෛසර්ගික තර්කනයක් තිබේ. එය ඇමෙරිකාවේ වඩාත්ම භයානක ත‍්‍රස්ත තර්ජනය ලෙස නිල වශයෙන් හංවඩු ගසා තිබියදී ම, සිරියාවේ අසාඩ් ආන්ඩුවේ බලවත් ම මිලිටරි විරුද්ධවාදියා ද වේ.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප‍්‍රතිවිප්ලවීය අරමුනු ලඟා කර ගැනීම සඳහා තම සතුරෙකු යයි ලෝකයාට කියාපාන පාර්ශවයකට ආයුධ සැපයූ ප‍්‍රථම වතාව මෙය නොවේ. අවුරුදු 30 කට පෙර ද ඉරාන-කොන්ට‍්‍රා සිද්ධිය ලෙස ප‍්‍රසිද්ධියට පත්වූ මෙවැනි ජවනිකාවක් රඟ දැක්වුනි. එහි දී ධවල මන්දිරයේ රහස් ජාලයක් විසින් ත‍්‍රස්තවාදී ජාතියක් යයි හංවඩු ගැසූ ඉරානයට, ඉරාකයට එරෙහිව සටන් කිරීම සඳහා ද වඩාත් තීරනාත්මකව නිකරගුවාවට එරෙහිව CIA විසින් මෙහෙයවූ ත‍්‍රස්ත යුද්ධයේ දී කොන්ට‍්‍රාස් ලෙස හැඳින්වූවන්ට නීති විරෝධී සහ රහසිගතව අවි ආයුධ සහ මුදල් සැපයීම සිදුකර තිබේ.

අයිඑස්අයිඑස් ඉමහත් ලෙස සන්නද්ධ කිරීම පසුපස ඉහත කී ආකාරයේ තිරයෙන් පිටුපස සිදු කෙරෙන කුමන්ත‍්‍රනකාරී සැලසුම් ක‍්‍රියාත්මක වුවද නොවුව ද එක්සත් ජනපද ආන්ඩුවේ සහ එහි යෝධ මිලිටරි ඔත්තුසේවා යාන්ත‍්‍රනයේ වෙනස් කන්ඩායම්, ඉරාකය සහ සිරියාව තුල වෙනස් යුද්ධ මෙහෙයවනවා සේ පෙනේ.

එක්සත් ජනපද පාලක සංස්ථාවේ සැලකිය යුතු කන්ඩායමක් සඳහා, අසාද් පෙරලා දැමීම ද ඒ සමගින් ඉරානයේ සහ රුසියාවේ ආන්ඩු හුදකලා කර දුර්වල කර අවසානයේ විනාශ කිරීම ද අන් සියල්ලක් අතික‍්‍රමනය කරන මූලෝපායික අරමුනු ලෙස පවතී. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා එහි ව්‍යාජ වාම ක්ෂමාලේපකයන් වෙහෙස නොබලා මවා පෑමට තැත් කල ඊනියා මැදහත් කැරලි කරුවන් නොමැති තත්වයක් තුල, ඔවුන්ගේ එවන් අරමුනු ඉටු කර ගැනීම සඳහා අයිඑස්අයිඑස්, අල්නුස්රා පෙරමුන වැනි අල්කයිඩා හා සම්බන්ධ කොටස් යොදා ගැනීමට ඔවුන් සූදානම් ය.

යුද්ධය හා පොලිස් රාජ්‍ය පියවර පිලිගැන්වීම සඳහා ඇමෙරිකානු ජනතාව ත‍්‍රස්ත කිරීම සඳහා උපයෝගී කරගත හැකි ත‍්‍රස්තවාදය පිලිබඳ යම් උත්සුකයන්ට වඩා මෙකී මූලෝපායික අරමුනු විශාල වශයෙන් වැදගත්ය.

එමෙන්ම සෝවියට් රුසියාවට “තමන්ගේම වියට්නාමයක්” උරුමකර දීමේ එල්ලය ඇතිව, ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාම්වාදීන්ට එක්සත් ජනපදය පිටුබලය සැපයූ කාලය තරම් ඈතට දිවයන ඉතිහාසයක් මෙම දිශානතියට පවතී. “සැප්තැම්බර් එකොලහ” (2001 සැප්තැම්බර් 11 දින ත‍්‍රස්ත ප‍්‍රහාරය) ට වගකිව යුතු යයි නිල වශයෙන් සැලකෙන අල් කයිඩා ව්‍යාපාරය පැන නැගීමට එම ව්‍යාපෘතිය හේතු කාරක විය.

මාධ්‍යය පිලිබඳ මතුපිට තලයෙන් කරනා විශ්ලේෂනයකින්, ඇමෙරිකානු විදේශ ප‍්‍රතිපත්තිය තේරුම් ගැනීම වඩ වඩාත් දුෂ්කර වේ. නිසැක ලෙස ප‍්‍රතිවිරෝධී වූ පිලිවෙත් හඹා යන්නා සේ බැලූ බැල්මට දිස්වීමට හේතු කාරනා වී ඇත්තේ මුලු ග‍්‍රහලෝකයම තම පාලනයට නතු කර ගැනීමට උත්සාහ දැරීම නිසා ඇතිවන මග හැරිය නොහැකි දුෂ්කරතාවයන්ය. මෙම ව්‍යායාමය අනිවාර්ය ලෙස එකක් පසුපස තව එකක් බැගින් විනාශයන් ඇෆ්ගනිස්ථානයේ සිට ඉරාකය, ලිබියාව, සිරියාව සහ ඉන් ඔබ්බට, ඇති කරනු ලබයි.

බැලූ බැල්මට අසම්බන්ධිත හා ආකූලසේ පෙනෙනා ඇමෙරිකානු පිලිවෙත පිටුපස ඒවායේ ගැඹුරුතම තලයේ දී පරිපූර්නව අතාර්කිකවූ එල්ලයන් පවතී. එනම් දැනටමත් දියුනුවූ හා ආපසු කැරකවිය නොහැකි සේ පරිහානි ගතව ඇති ගෝලීය දේශපාලන ආධිපත්‍යය, මිලිටරි බලයෙන් අත්කර ගැනීමය.

එක්සත් ජනපද හා ලෝක ධනවාදයේ ඓතිහාසික අර්බුදය තුල මුල්බැස ඇති ප‍්‍රබල වෛෂයික බලවේගයන්, ප‍්‍රචන්ඩත්වය මගින් ජය ගැන්මේ වොෂින්ටනයේ උත්සාහය, විනාශකාරී හා ආන්තිකව අන්ත‍්‍රාදායක මැදිහත්වීම් මාලාවක් ජනිත කරන අතර ඒවායේ ඓක්‍යය, අත්‍යන්තයෙන් ම 3 වන ලෝක යුද්ධයක් දිශාවට ධාවනය කරවයි.

බිල් වෑන් ඕකන් විසිනි

Share this article: