පෙන්ටගනයේ ප්‍රධානියා රුසියාවට එරෙහි යුද සූදානම හෙලි කරයි

Pentagon chief outlines war preparations against Russia

2015 ජුනි 24

රුසියාවට මායිම්ව ඇති බෝල්ටික් හා නැගෙනහිර යුරෝපීය රටවල බැර මිලිටරි ආම්පන්න හා සෙබලුන් කල්තියා ස්ථානගත කරනු ඇති බවට ඇමරිකානු ආරක්ෂක ලේකම්, මේ සතියේ පැවැත්වෙන නේටෝ ආරක්ෂක ඇමතිවරුන්ගේ රැස්වීමට පූර්වයෙන් කර ඇති නිවේදනය, ලෝකයේ ප්‍රමුඛ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර යුද්ධයේ අන්තරාය උත්සන්න කරයි.

03දා එස්තෝනියානු ටිලිනින් අගනුවර දී කථාකරමින් කාටර් නිවේදනය කලේ, සෙබලු 5000ක් සන්නද්ධ කිරීමට සෑහෙන තරම්, ඒබ්‍රහම් යුද ටැංකි, බ්‍රැඩ්ලි සන්නද්ධ රථ, බැර කාලතුවක්කු හා අනෙකුත් මිලිටරි ආම්පන්න, පෝලන්තයේ, රුමේනියාවේ, එස්තෝනියාවේ, ලැට්වියාවේ හා ලිතුවේනියාවේ සථානගත කරන බවයි. “නේටෝවට හා අපගේ සහකරුවන්ට එල්ල වන සයිබර් අභියෝගයන්ට, විශේෂයෙන්ම රුසියාවෙන්, අප සූදානම් විය යුතුය” යි පවසමින් නේටෝවේ සයිබර් ශක්තිය ගොඩනැගීම ද ඔහු නිවේදනය කලේය.

ඊට පෙර දිනයේ කාටර්, බර්ලිනයේ මිලිටරි-ආරක්ෂක දෘෂ්ඨි මන්ඩලයකදී කථාකරමින්, රුසියාව සමග දිගු කාලීන ගැටුමක් වෙත නේටෝව සිය මූලෝපායික දිශානතිය යොමුකර ඇති බව කියා සිටියේය. ඔහු කියන යුක්‍රේනයේ රුසියානු “ආක්‍රමනිකත්වය” හෙලා දකින කාටර්, “ක්‍රීඩාවේ නව පොතක්” ගැන කථාකරමින් පැවසුවේ, “සෝවියට් යුගයේ අනුහස් වැයික්කි යලි පිහිටුවීමේ රුසියානු උත්සාහයන්ට හා එරට කටයුතු වලට මුහුන දීමට අපි නැගී සිටින්නෙමු” යනුවෙනි.

උපරිම සූදානම සහිත ක්ෂනික මෙහෙයුම් බලකාය සඳහා ඇමරිකාව, ප්‍රහාරක ජෙට් යානා, නිරීක්ෂන ඩ්‍රෝන් යානා, විශේෂ කාර්ය බලකායන් හා අනෙකුත් මිලිටරි අවශ්‍යතා සම්පාදනය කරනු ඇති බව ඔහු පැවසීය. පසුගිය වසරේදී නේටෝව ප්‍රකාශයට පත් කල එම ක්ෂනික මෙහෙයුම් බලකාය, කැඳවුම් කල විට දින කිහිපයක් තුල රුසියාවට එරෙහිව මිලිටරිමය වශයෙන් මැදිහත් වනු ඇත.

රුසියාව මධ්‍යම දුර න්‍යෂ්ටික බලය පිලිබඳ ගිවිසුම උල්ලංඝනය කර ඇති බව ද ඔහු පැවසීය. රුසියාව තුල න්‍යෂ්ටික මිසයිල් මධ්‍යස්ථාන වෙත පූර්ව භංග ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඔහු ප්‍රතික්ෂේප කල නමුත් ඇමරිකාව, රුසියාවේ ගිවිසුම් උල්ලංඝනය කෙරෙහි මිලිටරි ප්‍රතිචාර මාලාවක් ගැන සලකා බලන්නේ යයි පැවසීය.

රුසියාවට මිලිටරිමය වශයෙන් තර්ජනයක් වන ආකාරයෙන්, නේටෝව නැගෙනහිරට ප්‍රසාරනය වීමට එරෙහිව මොස්කෝවට සහතිකයක් ලබාදුන්, 1997 නේටෝ-රුසියා ආරම්භක ගිවිසුම විශේෂ කොටගත් ජාත්‍යන්තර ගිවිසුම් අමු අමුවේ උල්ලංඝනය කරන්නේ, සැබවින්ම වොෂින්ටනය හා එහි නේටෝ සහචරයින්ය.

පැහැදිලිවම යුද්ධය දෙසට වන පියවර ගෙනහැර දක්වමින් කාටර් නරුම ලෙස පැවසුවේ, “රුසියාව සමග උනුසුම් කෙසේ වෙතත් සීතල යුද්ධයකටවත් අපි යොමු නොවන්නෙමු. අපි රුසියාව සතුරෙකු කර ගැනීමට බලාපොරොත්තු නොවෙමු.”

මෙසේ සිදුවෙද්දී වචන වලට වඩා ක්‍රියාවන් කථා කරයි. මේ සතියේ නිවේදනය කල පියවර විනිවිද පෙනෙන අයුරින් මිලිටරි ගැටුම සඳහා වන සූදානමකි. මේවා සිදුවෙමින් ඇත්තේ, ආයුධ ගහන කලාපයක් තුලය. රුසියානු හා නේටෝ හමුදා අතර සාපේක්ෂව කුඩා ගැටුමක් වුවත් වේගයෙන්, සමස්ත ලෝකයම න්‍යෂ්ටික ව්‍යසනයක් තුලට ඇද දැමීමට තර්ජනය කරන මහා පරිමානයේ ගැටුමක් බවට පැතිරයා හැකිය.

ආක්ටික් සාගරයේ සිට බෝල්ටික් හා කලු මුහුද දක්වා රුසියාවේ බටහිර දේශසීමාව දිගේ ඇමරිකාවේ මූලිකත්වයෙන් නේටෝව මිලිටරි අභ්‍යාස පවත්වයි. නේටෝ හා රුසියානු ගුවන් යානා හා නැව් සම්බන්ධ කරගත් සිදුවීම් ගනනාවක් දැනටමත් වාර්තාවී ඇත. ජර්මනියේදී කාටර් කයිවාරු ගැසුවේ, මේ සතිය තුල පමනක් ඇමරිකාව කලාපය තුල එකිනෙකට වෙනස් මිලිටරි අභ්‍යාස 20කට සම්බන්ධව සිටින බවයි.

බෝල්ටික් මුහුදට මායිම් වන ප්‍රදේශයේ ගොඩබිම්, මුහුදු හා ගුවන් අභ්‍යාස වලට රටවල් 17ක සෙබලු 6000ක් සම්බන්ධ වන බැල්ටොප්ස් අභ්‍යාස නිමාවත් සමග කාටර්ගේ සංචාරය සිදුවේ. කලිනින්ග්‍රෑඩ් යන රුසියානු ප්‍රදේශවට සැතපුම් 100ක් තරම් නුදුරෙන් පෝලන්තයේ උස්ට්කාහි, රහසේ ගොඩබැස පහර දීමේ අභ්‍යාස වල සෙබලු යෙදී සිටිති. රුසියානු දේශසීමාවෙන් සැතපුම් 200ක් තරම නුදුරින්, ඇමරිකාවේ න්‍යෂ්ටික බලය සහිත බී 52 බෝම්බ හෙලන යානා ඩමී බෝම්බ යොදාගනිමින් අභ්‍යාස වලට සම්බන්ධ විය.

කාටර්ගේ නිවේදනය, 22දා යුරෝපීය සංගමය රුසියාවට එරෙහි ආර්ථික සම්බාධක තවත් සය මසකින් දීර්ග කිරීමට ගත් තීන්දුව සමග සම්පාත වේ. 1941ජූනි 22දා නාසි හමුදා සෝවියට් සංගමය ආක්‍රමනය කිරීම සමරන සිහිකිරීමේ හා ශෝකයේ දිනය ලෙස නම්කර ඇති රුසියාවේ නිවාඩු දිනය තුල එම නිවේදනය නිකුත් විය.

මෙම ඇමරිකානු හා නේටෝ ප්‍රකෝපකරනයන්ට ප්‍රතිචාර වශයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, “අපගේ දේශසීමාවන්ට ලඟාවෙමින්” සිටින බවට නේටෝවට චෝදනා කලේය. රුසියාවේ ආරක්ෂක මන්ඩල ප්‍රධානී නිකොලායි පැටෘෂෙව් පැවසුවේ, “රටක් වශයෙන් රුසියාවේ පැවැත්ම අවසන් වන බව දැකීමට ඔවුන් බෙහෙවින් සතුටු වනු ඇති” බවයි.

ඇමරිකානු අවි හා සෙබලු ලබාගැනීමට පෙල ගැසී සිටින බෝල්ටික්හි හා නැගෙනහිර යුරෝපයේ සියලු පශ්චාත් සෝවියට් ආන්ඩු, දක්ෂිනාංශික, රුසියානු විරෝධී හා බෙහෙවින් අස්ථාවර ඒවාය. ජනතා විරෝධය හමුවේ මෘග කප්පාදු ක්‍රියාත්මක කරන ඒවා අභ්‍යන්තර අර්බුදවලින් ඇලලී ගොසිනි. මෙම එක් හෝ ගනනාවක් ආන්ඩු රුසියානු ප්‍රතිප්‍රහාරයකට හා යුද්ධය සඳහා නිමිත්ත බවට පත්විය හැකි ප්‍රකෝපකරනයක් ඇතිකිරීමේ අන්තරාය ඉතා වැඩිය.

රුසියාවට එරෙහිව මෙම ආන්ඩුවල ආරක්ෂාව සඳහා අවි හා හමුදා රැඳවීමට පොරොන්දු දී සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදය, එරටෙහි ද සමස්ත ලෝකයේම ද ජනතාවගේ ඉරනම දැඩි අන්තරායකට හෙලා ඇත. තව ද මෙය සිදුකරනු ලබන්නේ, ජනතාවගේ පිටුපසිනි. කිසිදු ප්‍රසිද්ධ සාකච්ඡාවකින් හෝ විවාදයකින් තොරව, මිලිටරිය විසින් ඉල්ලා සිටින්නේ නම් පිරිනමනු ඇති, නිල කොන්ග්‍රස් අනුමැතියකින් පවා තොරව මෙය සිදුවෙමින් තිබේ.

පසුගිය සතියේ නිකුත්කල පිව් පදනමේ ජනමත විමසුම හෙලි කලේ යුද ව්‍යායාමයට පුලුල් විරෝධයක් පවත්නා බවයි. ජර්මනියේ ජනගහනයෙන් සියයට 58ක් ද ප්‍රන්සයේ 53ක් ද ඉතාලියේ 51ක් ද නේටෝ සහචර රාජ්‍යයක ආරක්ෂාව වෙනුවෙන්, රුසියාවට විරුද්ධ යුද්ධයකට විරෝධය දැක්වූහ.

ඇමරිකාවේ නිල පිලිවෙත හුවාදක්වන මාධ්‍ය පෙන්නුම් කරන්නේ මේ සියල්ල රුසියානු ආක්‍රමනිකත්වයට දක්වන ආරක්ෂක ප්‍රතිචාර ලෙසය. මෙම මුසාව සත්‍යය ඔලුවෙන් සිටුවයි.

ආක්‍රමනිකයා ඇමරිකාව හා නේටෝවයි. වත්මන් අර්බුදය ඇවිලුනේ 2014 රුසියාවට පක්ෂපාතී වික්ටර් යනුකොවිච්ගේ ආන්ඩුව කුමන්ත්‍රනයකින් පෙරලා දැමීමත් සමගයි.

කුමන්ත්‍රනය උසිගැන්වූයේ වොෂින්ටනය හා බර්ලිනය විසිනි. එහි මූලිකත්වය ගත්තේ, දෙවන ලෝක යුද්ධයේදී යුදෙව් විරෝධී නාසි ජන සංහාරයන්ට සම්බන්ධවූ යුක්‍රේනියානු ජාතිකවාදී හමුදාවන්ට ඒකාබද්ධවූ ෆැසිස්ට් මිලිෂියාවන්ය. කියෙව්හි අන්ත දක්ෂිනාංශික රෙජිමයට විරුද්ධත්වය දක්වමින් රටේ නැගෙනහිර රුසියානු බස කථාකරන යුක්‍රේනියානුන් නැගී සිටිය විට ඇමරිකානු රූකඩ ආන්ඩුව වොෂින්ටනයේ ද පූර්න සහාය ඇතිව ලේවැකි සිවිල් යුද්ධය දියත් කලේය.

1991 සෝවියට් සංගමය විසුරුවා හැරුනු තැන් පටන්, යුරේසියාවේ දැවැන්ත සම්පත් ඇමරිකාවේ අතට ගැනීම අරමුනු කරගත්, රුසියාව හුදෙකලාකොට, දුබලකොට වැටලීම සඳහා ගෙනගිය නිර්දය ව්‍යායාමයේ හරිමැද තිබුනු ඇමරිකානු අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියේ කුලුගැන්වීම මෙම කුමන්ත්‍රනයෙන් සලකුනු කෙරින.

පැරනි වෝර්සෝ ගිවිසුමට අයත් රටවල් ද බෝල්ටික් රටවල් ද ගොනුකර ගනිමින් නැගෙනහිර දෙසට නේටෝවේ ව්‍යාප්තිය මෙයට අන්තර්ගතය. නැගෙනහිර යුරෝපයේ හා මැද පෙරදිග රුසියාවේ සහචරයින්ට එරෙහි යුද්ධ හා ආක්‍රමනික ක්‍රියා මීට සම්බන්ධව ඇත. 1991 ඉරාකයට එරෙහි පලමු ගල්ෆ් යුද්ධය, 1999 යුගෝස්ලාවියාව කැබලි කර සර්බියාවට එරෙහිව ගෙන ගිය යුද්ධය, 2003 හා 2004 ජෝර්ජියාවේ හා යුක්‍රේනයේ ඊනියා “වර්නවත් විප්ලව” 2008දී ජොර්ජියානු හමුදාව රුසියානු හමුදාවන්ට පහර දීම, ඉරානයට එරෙහි සම්බාධක හා යුද තර්ජන හා සිරියානු රෙජිමයට එරෙහි ඇමරිකාවේ පිටුබලය ලත් සිවිල් යුද්ධය ඒ අතර වේ.

එහෙත් පුටින් තන්ත්‍රයේ ප්‍රතිචාරයෙහි ප්‍රගතිශීලී කිසිවක් ඇත්තේ නැත. සෝවියට් සංගමය විසුරුවා හැරීම හා ධනපති පුනස්ථාපනය අවධියේ රාජ්‍ය දේපොල කොල්ලකෑම මගින් මඩි තරකරගත් කතිපයාධිකාරයේ උපකරනයක් වන රුසියානු ආන්ඩුව, ගනුදෙනුවක් සඳහා බටහිරට ආයාචනා කිරීම ද මිලිටරි උජාරුව ද අතර පැද්දෙන අතර රුසියානු කම්කරුවන්ගේ සමාජ තත්වයන්ට එල්ලකරන ආන්ඩුවේ ප්‍රහාරයන්ගෙන් අවධානය වෙනතකට හැරවීම පිනිස රට තුල ජාතිකවාදය උසිගන්වයි. යුරෝපයේ හා ඇමරිකාවේ වැඩකරන ජනතාව වෙත කිසිදු ආයාචනයක් කිරීමට මුලුමනින්ම අසමත් එහි පිලිවෙත්, වොෂින්ටනයේ හා නේටෝවේ යුද ව්‍යායාමයට ආශිර්වාදයක් වී තිබේ.

අධිරාජ්‍යවාදය මනුෂ්‍යවර්ගයා තෙවන ලෝක යුද්ධයේ අගාධය වෙත ඇදගෙන යමින් සිටියි. යුද්ධයට හා එය පැටව් ගසන ධනවාදී පද්ධතියටත් එරෙහිව සිය ශක්තිය බලමුලු ගැන්වීම මගින් ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනක් එය නතර කල හැකිය.

නීල්ස් විලියම්සන්

Share this article: